ඉල් පුර අටවක 2013 නොවැම්බර් 10 වන දා
ධාවන පථයෙන් ඉවත් වන්න !
ගහට කොළට, ඇළට දොළට පෙම් බැඳි වනේ වන සතාටත් මෙත් සිතින් සෙත්
පැතූ අපේ බොදු පසුබිමේ සැදුණු මුතුන් මිත්තන්ගේ පරම්පරාවෙන්
පැවැත එන්නන්ට අද අත්වී ඇති ඉරණම කනගාටුදායක ය.
රුහිරු දහරාවක් සැනෙන් ක්‍ෂීර සාගරයක් බවට පරිවර්තනය කිරීමේ
විශ්මිත ක්‍රියාදාමය සිදුවන්නේ මවගේ ළයෙහි පිටාර ගලනා අසීමිත
දරු සෙනෙහස නිසායැයි සිතෙ යි. මෙවන් සදාතනික මානව ධර්මතාවයක්
සිඳ බිඳලමින් මේ මොහොතේ උපන් සිඟිත්තා කුණු කාණුවට වීසිකර
දැමීමට තරම් ඇතැම් මව්වරුන්ගේ උත්තරීතර මාතෘ ප්‍රේමයට යක්‍ෂයා
ආවේශ වූයේ ඇයි ?
රුපියල් කීපයකට ගිජු වී මිනිසකු විසින් තවත් මිනිසකු මරා
දමන්නට පෙළඹෙන්නේ ඇයි ? ඉතා සුළු ප්‍රශ්නයකට නිවසක සියලු
සාමාජිකයන් අමු අමුවේ ඝාතනය කර දමන්නට පෙළඹෙන්නේ ඇයි ?
මෙවන් අඳුරු වටාපිටාවක පසුබිම පිරික්සීමේදී හැඟී යන්නේ මේ
පුංචි දිවයිනට විවෘත ආර්ථික රටාව හඳුන්වා දීමෙන් පසු ඇතිවූ
ඇතැම් අනිසි බලපෑම් ද කළු වළාවක් සේ ජීවිතයන්හි යම් පැතිකඩක්
අඳුරු කර ඇති බව යි. වාරණයකින් තොරව සියල්ල විවෘත වූ සමාජ වටා
පිටාවක ජීවිතයේ වටිනාකමට මිලක් නියම වන නිසා මිනිසා සතුව තිබූ
උතුම් ගුණධර්ම සියල්ල ඒ හාත්පසට නිරාවරිත කවුළු තුළින් ගලා එන
චණ්ඩ මාරුතයට හසුව විනාශ වී යන තත්ත්වයකට පත්ව ඇත. කිරි
දරුවන්ගෙන්, ආදරණීය සැමියාගෙන් වෙන්වන බිරිඳ වසර ගණනාවකට තම
පවුල් ජීවිතය උගසට තබා මැදපෙරදිග වාලුකා කතරට පියඹා යන්නේ
තරගකාරී ආර්ථික පීඩනයට හසුව සහනයක් සලසා ගැනීමේ අපේක්‍ෂාවෙනි.
ගෘහමූලිකයා වූ පිරිමියාට තම පවුල් කුටුම්භය රක්‍ෂා කරනවාට
අමතරව එය ආරක්‍ෂා කිරීමේ වගකීම ද පැවරී තිබේ. එම වගකීම්
යුතුකම් සියල්ල පිළිකන්නේ තබා ඔහුට විදේශගත වන්නට සිදුවන්නේ
ජීවත් විමට නො හැකි ප්‍රශ්න වැලකට උත්තර සොයා ගැනීමේ
අපේක්‍ෂාවෙනි. වසර ගණනාවකින් පසු පෙරළා නිවසට පැමිණෙන විටත්
ප්‍රශ්න සියල්ල එතනම ය. ඔහු සැපයූ පිළිතුරු සියල්ල ද වැරැදී
තිබේ.
මෙවන් පසුබිමක් තුළ දරුවාගේ අනාගතය වැටෙන්නේ අඳුරු අගාදයකට ය.
ආදරණීය මවගේ ඇකයේ උණුසුම නො දත්, උත්තරීතර සෙනෙහස දියකර පොවන
කිරි බිඳුවක රස නොදත් මෙවන් දරුවා තරුණයකු වී සමාජය ආක්‍රමණය
කරන්නේ නො මිනිසකු ලෙස ය. මවගේ නැලවිලි ගීයක, හුරතල් වදනක
ළයාන්විතභාවය නොදත් දරුවාගේ ළයේ ද තෙතමනයක් නොරඳයි. එසේම
පියාගේ රැකවරණය ආරක්‍ෂාව නො මැති දරුවාගේ සිත දිව යන්නේ අයාලේ
ය. මානුෂීය බන්ධන, හික්මීම නොමැති ඔහු අවසානයේ අළුගෝසුවකු බවට
පත්වනු නො අනුමාන ය. මෙවන් තරුණයන් සමාජයට පිවිසෙන විට පාතාලය
කුඩු ලෝකය ඔහුට කිරුළු පැළඳවීමට බලා සිටියි. කෙනකු සතු දෙයක්
පැහැර ගැනීමට සිත පොළඹවන එතැනින් නොනැවතී මරණයට පත් කරලීමට
තරම් දරුණු කුරිරු සිතක් නිර්මාණය කරන මේ විෂම සමාජ ක්‍රමයම
පෙරළා ඔහුටම පහර දෙනු ඇත. දරුවන් සහ දෙමාපියන් එක්ව කුරුලු
කැදැල්ලක සේ සතුටින් කල් ගෙවන්නට හැකි පසන් නිවසක් තනන්නට නම්
අසීමිත ආශාවන් පසුපස හඹා යාමට නො පෙළඹිය යුතුවේ. එසේම මේ සමාජ
ආර්ථික විෂමතාවයන් ද යම් තරමකට හෝ සමනය විය යුතුය.
ලෝකෝත්තර ජීවිතය ජය ගැනීමට පෙර ඊට මෙපිටින් ඇති ලෞකික ජීවිතයේ
පරමාදර්ශී මිනිසකු බිහි කිරීමට අවැසි මහා තක්සලාව තැනීමට අප වහ
වහා පියවර ගත යුතු වෙමු.
එයින් බෞද්ධ සංස්කෘතියෙන් ඔපවත් වූ සරල සැහැල්ලු, අල්පේච්ච
ජීවන රටාවේ සුවය නැවත ළඟා කරගත යුතු ය.
මේ සඳහා හික්මුණු දරුවකු තැනීමට දෙමාපියන්ගේ සෙවණ සිසිලස
අවශ්‍ය ය. ඒ හික්මුණු දිවිය සාරධර්මයෙන් ගුණ ධර්මයෙන් පිරිපුන්
කිරීමට දහම් අධ්‍යාපනයට හැකියාව තිබේ. ධර්මයේ උගන්වන මෛත්‍රීය,
කරුණාව, උපේක්‍ෂාව වැනි උසස් ගුණධර්ම දරුවාගේ ආත්මයේ ලේ ධාතුව
හා මුසු කිරීමේ ක්‍රමවේදය ගිහි පැවිදි දෙපාර්ශ්වයම මනාසේ
ප්‍රගුණ කර එය දරුවාගේ ලෙයට ප්‍රතිශක්තියක් සේ එන්නත් කළ යුතු
ය.
අසීමිත ආශාවන් පසෙකලා ජීවත්වීමට අරගලයක යෙදෙමින් පිදුරු ගසක හෝ
එල්ලී නොගිලී බේරෙන්නට වෙර දරන මිනිසාට සරණක් වීමට පාලක මෙන්ම
සමාජයක් වශයෙන් අප කාටත් පැවරී ඇති වගකීම ද, යුතුකම ද අපි
කවුරු කවුරුත් එක්ව නොපිරිහෙලා ඉටු කළ යුතුවෙමු. බෞද්ධ
ඉගැන්වීම්හි පදනම මත අසීමිත ආශාවන්ගෙන් වියුක්තවූ දේශයක්
නිර්මාණය කිරීම අප සැමගේ වගකීම වෙයි.
මිනිසෙක් සාදා රටක් සාදන ගමනේදී බෞද්ධ දර්ශනයෙන් ලබාගත හැකි
ආලෝකය හිරු මඬලේ ආලෝකය මෙන් ම ප්‍රභල වේ. ඒ අනුව දිවි මඟට,
සදහමින් ලැබෙන පිටිවහල නිසා අපා, දෙපා, සිවුපා, බහුපා, චතුප්පා
ආදීවූ ඇසට නොපෙනෙන ඇමීබාවන්ට පවා සත්තකින්ම මෙත් පතන්නට
සැදැහැති සිත් සැකසෙනවා නො අනුමාන ය. උදේ හවා දොහොත් මුදුන් දී
රක්‍ෂා කරන්නේම යැයි හෘද සාක්‍ෂිය හා ගිවිස ගෙන පංචශීල
ප්‍රතිපත්තිය මත, පිහිටුවන්නට, බහුතර මිනිස් සිත සත්‍යවාදී
වනවා නො අනුමාන ය.
එදාට ඒ සිතින් කුරා කුහුඹුවන්ටවත් අබමල් රේණුවක තරම්වත් අවැඩක්
සිදු නො වනු ඇත. තරගයට නො දුවන සරල සැහැල්ලු දිවියක අගය ඔවුන්ට
වැටහෙනු ඇත. ඒ නිසාම ජීවිතයේ සැබැ සුවය සැනසීම අත්විඳිය හැකි
මේ බිම නැවතත් රම්‍ය වූ දිවයිනක් ධර්මද්වීපයක් බවට පරිවර්තනය
වීම නො අනුමාන ය. |