UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපවත් වී වසර 51ක් සපිරෙන අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහා නා හිමි

අපවත් වී වසර 51ක් සපිරෙන

අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහා නා හිමි

අපවත් වීමෙන් මෙම නොවැම්බර් 09 දිනට වසර 51 ක් සපිරෙන දේශ දේශාන්තර පතළ කීර්තිධර අම්බලන්ගොඩ පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහා නා හිමියෝ කලකින් ලොව පහළවන දුර්ලභ ගණයේ මහා ශ්‍රේෂ්ඨ උත්තමයෙකි.

1887 ජූලි 23 දින උපන් පොල්වත්තේ ඕබඩගේ ලුවිස් හා තුයිය ගම්හේවා සාඤ්චිහාමි දම්පතීන්ගේ පුත් 1899 නොවැම්බර් 02 දින පොල්වත්තේ අග්ගාරාමාධිපති පෝරඹ ධම්මාධාර මාහිමිපාණන් වෙතින් පැවිදි බව ලද්දේ ය. ධම්මාධාර රාජගුරු හිමියෝ එවක විසු ධර්ම ශාස්ත්‍රීය ඥානයෙන් අති ශ්‍රේෂ්ඨ, බුරුම කාම්බෝජ ආදී රජවරුන්ට ද ඉගැන්වූ විශ්ව භාරත විශ්වවිද්‍යාලයේ පාලි හා බුද්ධධර්මය පිළිබඳ ආචාර්යවරයෙකි. බුද්ධදත්ත හිමියෝ පැවිදි වූ තැන් සිට මේ ශ්‍රේෂ්ඨ ආචාර්යවරයාගෙන් වෙන් නොවී පාලි, සිංහල, සංස්කෘත භාෂා ඉගෙන ගත්හ. ගුරු හිමියනට ද අන් ශිෂ්‍යයන් නොවූ අතර 1902 දී බුද්ධත්ත හිමි බුරුම රටට වඩිනවිට පාලිවරනැගිල්ල, “බාලවතාරය, ධාතු මංජුසාව, පාලි නිඝණ්ඩුව, ධම්මපදය, සතිපට්ඨාන, වුත්තානන්දය, අභිධර්මත්ථ සංග්‍රහ, අභිධම්ම කතිකා” යන පොත් සම්පූර්ණයෙන්ම කටපාඩම් වී තිබිණි. අවුරුදු 15 දී එසේ බුරුමයට වැඩි උන්වහන්සේ බුරුම බස ද මැනවින් උගත්හ. එහි උන්වහන්සේ කෙතරම් දක්‍ෂ ද යත් අභිධර්ම විභාගයෙන් ගෞරව සහිත සාමාර්ථයක් ලදහ.

1907 දී බුරුම රටට යළි වැඩම කළ බුද්ධදත්ත සාමණේරයෝ ස්වර්ණමති විජ්ජෝත රතනසිහ මන්දිරියේ දී උපසම්පදාව ලබා 1911 දී යළි ලක්දිව වැඩියහ.

1908 දී බුරුම බසින් ග්‍රන්ථ ගණනාවක් ලියූ උන්වහන්සේ මුල්ම සිංහල පොත වූයේ 1911 දී පළවූ “අභිධර්ම මාතෘකා ස්වරූපය” යි. සිංහල, පාලි, සංස්කෘත, බුරුම ඉංගී‍්‍රසි ආදී විවිධ භාෂාවන් පිළිබඳ පරිණත ඥානයෙන් හෙබි බුද්ධදත්ත හිමියෝ ඒ සෑම භාෂාවකින්ම පොත පත ලියූහ. ‘මෝහ විභාචේදනී’ ‘ජිනකාලමාලි’ ආදී ග්‍රන්ථ රෝම අකුරින් ලියූ පොත් අතර වෙයි. “පාලි හා සප්පවෙසති” අභිධනප්පදිකා, ‘සාත්ථ ලක්ඛන අභිධාන’ ‘බුද්ධසෝසුප්පන්ති’ ආදී බුරුම බසින් ලියූ පොත් බුරුම බස පිළිබඳ ප්‍රාගුණ්‍යය මනාව පිළිබිඹු කරයි. උන්වහන්සේගේ මුල්ම පොත් මේ වන අතර ඒ ලියැවුණේ 1908 දී ය.

ග්‍රන්ථ කර්තෘවරයෙක් මෙන්ම ග්‍රන්ථ ශෝධකයෙක් සංස්කාරකයෙක් වෙති. උන්වහන්සේගේ සමය සමයාන්තර ඥානය, ග්‍රන්ථ විශාරද්වය බහුශ්‍රැතභාවය, පාණිඩිත්‍යය බුද්ධි ප්‍රභාව උන්වහන්සේගේ “ථෙරවාදී බෞද්ධාචාර්යන්” අටුවා පරීක්‍ෂණ හා අටුවා කථාවත්ථු, ග්‍රන්ථ පෙන්වා දෙයි. උන්වහන්සේ මහත්ම සන්තෝෂය ලැබුවේ ලිවීමෙනි. ලිවීම උන්වහන්සේට භාවනාවක් විය. තමන්ගේ සිතුම් වාද විවාද ග්‍රන්ථාරූඪ කිරීමෙන් උන්වහන්සේ දැඩි සන්තෝෂයක් ලැබූ හෙයින් උදේ සිට රෑ වනතුරු ලිවීමෙන් වුවද උන්වහන්සේට වෙහෙසක් නොදැනුදැයි මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීහු පවසති.

පාලි භාෂාව, ඉගෙනීමට කළ සේවාව, විශාලය, උන්වහන්සේගේ “පාලි භාෂාවතරණය” පොත් පෙළ පාලි ඉගෙනීමට අන් පොත් පෙළයි. The New Pali Course, The Higeher Pali Course ආදි ග්‍රන්ථ වැදගත් ය. සැමට පාලි බස ඉගෙනීමට මඟ පෑදුවෝ බුද්ධදත්ත හිමියෝ ය. රීස් ඩේවිඩ්ස්, අයි.බී. හෝනර්, ඒ.ජේ. තෝමස් ආදී වියතුන් සමඟ අදහස් හුවමාරු කළේ පාලි භාෂාවෙනි. එංගලන්ත පාලි පොත් සමාගම මඟින් බුද්ධදත්ත හිමියන්ගේ දුර්ලභ පොත් පළ කළහ.

1923 දී ආනන්ද විද්‍යාලයේ ආචාර්යය ධුරයටපත් උන්වහන්සේ 1935 දී පාලි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධුරයට පත් වූහ. සිය ගුරු හිමි අපවත් වීමෙන් 1936 දී අග්ගාරාමාධිපතිත්වයට පත් පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ 1953 ජූනි 27 දින ශ්‍රී කල්‍යාණි වංශික නිකායේ අනුනායක ධුරයට ද 1957 දී මහානායක ධුරයට ද පත් වූහ. නිකායාභි වෘද්ධියට මහත් සේවාවක් කළ උන්වහන්සේ ‘කල්‍යාණි වංශනිකාය’, කල්‍යාණි ශිලාලියි, කල්‍යාණි ශාසන වංශය, ආදී ග්‍රන්ථ ගණනාවක්ම සිය නිකාය සම්බන්ධයෙන් පළ කළහ.

රට දැය සමයට හානිවන සැම තැනම අභීතව නැගී සිටි බුද්ධදත්ත හිමියෝ අධිරාජ්‍යවාදී පාලනයෙන් ගුහාව පිළිබඳ ‘ඓතිහාසික මහා සංඝ සභාවේ’ මුලසුන හෙබවූහ. බුද්ධ රූපය හා කුරුසය පිළිබඳ සිද්ධියේ විරෝධතාවේ ක්‍රියා කළ බුද්ධදත්ත හිමි සමස්ත ලංකා භික්‍ෂු සම්මේලන රැස්වීමේ දී නිර්භයව සිය අදහස් ප්‍රකාශ කරමින් මහත් සේවා ඉටු කළහ.

නම්බුනාම, කීර්ති ප්‍රශංසා, සම්මාන පසු පස කිසි විටෙකත් නොගිය බුද්ධදත්ත හිමියන් වෙත ඒ සියල්ල ගලා ආයේ ය.

1953 ජූලි 17 දින බුරුමයේ පැවැති ඡට්ඨ සංගායනාවේ ප්‍රමුඛ ක්‍රියාකාරී බුද්ධදත්ත හිමියෝ 1955 ජනවාරි මස 04 දින බුරුම රජයෙන් අග්ගමහා පණ්ඩිත උපාධියෙන් ගෞරව ලැබූහ. මේ උපාධිය වනාහි බුරුම රාජ්‍යයෙන් විදේශිකයෙකුට පිරිනැමුණු ප්‍රථම අවස්ථාව වීම විශේෂයකි. 1956 දී ප්‍රාචීණ භාෂෝපකාර සමිතියෙන් සම්මාන පණ්ඩිත උපාධිය ප්‍රදානය කළ අතර 1959 දී ලංකාදීප පත්‍රයෙන් ‘සාහිත්‍ය කීර්ති’ ගෞරව සම්මානය පිරිනැමූහ.

ලංකා බෞද්ධ මණ්ඩලය, ත්‍රිපිටක පරිවර්තන මණ්ඩල, බෞද්ධ ධර්ම කෝෂය, සාහිත්‍ය උපදේශක මණ්ඩලය ආදියේ නිරත වෙමින් මහත් සේවාවක් සිදු කළහ.

විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙහි බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා වූ බුද්ධදත්ත හිමියන්ට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍රවර්තී  (D. Lit) උපාධියද, විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රසූරී  (PHD) උපාධිය ද පිරිනැමිණි.

තෙවළා දහමටත්, සම්බුද්ධ ශාසනයටත් මෙන්ම ශාස්ත්‍රයට නොයෙක් අතින් අනූපම අමිල සේවාවක් ඉටුකළ දේශ දේශාන්තර පතළ කීර්තිධර අග්‍රගණ්‍යය මේ මහා පඬිරුවන 1962 නොවැම්බර් මස 09 දින අපවත් වී වදාළහ. එය සමස්ත ලෝකයාටම මහත් පාඩුවක් විය.

දස දහස් සංඛ්‍යාත මහා ජනතා ගෞරව මධ්‍යයේ 1962 නොවැම්බර් 17 දින පොල්වත්තේ පියසේන ක්‍රීඩාංගණයේ දී ආදාහන පූජෝත්සවය සිදු කැරිණ.

උන්වහන්සේට ගෞරව පිණිස 1981 දී රජය විසින් සමරු මුද්දරයක් නිකුත් කැරිණි.

පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත විද්‍යාලය, ශ්‍රී බුද්ධදත්ත මාවත, ශ්‍රී බුද්ධදත්ත ප්‍රතිමාව, ආදී නොයෙක් සිහිවටන ඇත.

බුද්ධදත්ත මහා නා හිමි පාණන්ට නිවන් සුව අත්වේවා!

 

වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 02 වැනි දා සෙනසුරාදා අපරභාග 08.10 ට ලබයි.
03 වැනිදා ඉරිදා අපරභාග 06.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 03 වැනි දා ඉරිදා ය

මීළඟ පෝය නොවැම්බර් මස 10 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk