UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිවසේ බුද්ධ වන්දනාව ළමා මනස හික්මවයි

ලෝකය ශීඝ්‍රයෙන් දියුණුවෙනවා. සියලුම දෙනා එක පවුලක් ලෙස හඳුන්වනවා. නමුත් තාක්ෂණික දියුණුවට වඩා ශීඝ්‍රයෙන් මිනිසුන්ගේ මානසිකත්වය පිරිහෙනවා. පෙර දවසේ අප අතරේ තිබූ දූදරු - මාපිය සම්බන්ධතාවය ගිලිහිි යමින් පවතිනවා. ඒ පිළිබඳව අප මෙසේ සාකච්ඡා කළා.

ස්වාමින් වහන්ස, බෞද්ධ නිවසක මව්පිය දූ දරු සම්බන්ධතාවය කෙබඳු විය යුතුද?

බෞද්ධ නිවසක තිබිය යුතු මවුපිය දූදරු සම්බන්ධතාවය පෞරාණික වශයෙන් එදා සිට මේ දක්වා පැවැතගෙන එනවා. නිවසක් තුළ ආගමික පරිසරයක් මෙන්ම අනිවාර්යෙන්ම අම්මගේ තාත්තාගේ ආදර්ශය ආගමික මෙන්ම සමාජීය වශයෙන් දරුවාට කාන්දු වෙන්න ඕන. දරුවාට ඒ වටිනාකම් හර පද්ධතිය මවුපියන්ගේ ආදර්ශය තුළින් ලැබෙන්න ඕන. තම නිවසේ උදේ සවස බුදුන් වඳින්න පුරුද්දක් නැති, පිළිම වහන්සේ නමක් හෝ නැති නිවසක් තිබෙනවානම් දරුවන් ගේ මානසික පෝෂණයක් බලාපොරොත්තුවන්න බැහැ. අම්මයි තාත්තයි විරසකව ජීවත් වෙනවානම් ඒ නිවස තුල ජීවත්වීම ඉතාමත් පීඩාකාරී යි. අම්මා කියන දෙයට තාත්තා නිතරම විරුද්ධයි. තාත්තා කියන දෙයට අම්මා එකඟ වන්නේ නැහැ. ඒ මැද ඉන්න දරුවෝ ඉතාමත් චිත්ත පීඩාවට ලක්වනවා. දරුවන්ට මවුපියෝ පොඩි කාලයේදී ම එපාවෙනවා. පුංචි හිත් වෛරයෙන් ගිනි ගන්නවා. භය සංතාපය ඔවුන්ගේ සිත් තුළ මුල් බැස ගන්න නිසා වැඩිහිටියන් වී සමාජයට පිවිසෙන්නේ කිසිදු තෙතමනයක් නැති අනුන්ට මෛත්‍රී කරුණාවක් නැති, දහමට ගෞරවයක් නැති, වැඩිහිටියන්ට කීකරු බවක් නැති පුද්ගලයෙක්. මේ දරුවා මේ තත්ත්වයට පත්වීමට මූලිකම පරිසරය ගොඩනැඟුනේ ඔහුගේම නිවස තුළින්.

සමහර මවුපියන් ගැන බොහෝම සතුටුවිය හැකියි. ඔවුන් ඉතාමත් දැහැමි යි. මෛත්‍රී සහගතයි. දරුවන්ට ආගමික පරිසරයක් නිවසේ ඇතිකරන රත්තරං දෙමවුපියෝ ඉන්නවා. දරුවන් සමඟ හැන්දෑවට බුදුන් වඳින නිවෙස් මේ රටේ තවමත් තිබෙනවා. ඔවුන් දවසේ විවේක වෙලාවක් තෝරාගෙන එකටම බුදුන් වඳිනවා. එවිට එය දරුවන්ට ආගන්තුක දෙයක් නොවේ. යහපත් විදිහට ඒ පුරුද්ද පවත්වාගෙන යනවා. ජීවිතයේ එක අංගයක් ලෙස බුද්ධ වන්දනාව ගෙදරදී පුරුදු කර ගන්නවා. ඒ වගේම තමයි නිවසක ආච්චි සහ සීයා හැදෙන වැඩෙන දරුවන්ට මහත් වූ සම්පතක්. ඒ දෙදෙනා තමා දරුවන්ට බොහෝ දේ කියා දෙන්නේ. හැන්දෑවට බුද්ධ වන්දනාව ළමා ලෝකයක් හැදුවා. බුද්ධ වන්දනාවට පසුව අම්මා, තාත්තාට වැන්දා. තාත්තා ආශිර්වාද කළා. අම්මයි තාත්තයි ඊළඟට තමන්ගේ මව්පියන්ට වන්දනා කළා. ඒ දෙස බලාගෙන ඉන්න දරුවා තමන්ගේ මවුපියන්ට වන්දනා කළා. මේ ආකාරයට දවසේ අවසානය යම් රටාවකට සිදුවුණා. දවස තුළදී හිත් නො හඬු නොක්කාඩු වුණානම් ඒවා පවිත්‍ර කර ගැනීම වගේ එදිනෙදා ජීවිතය තුළ යහපැවැත්මක් බෞද්ධ සමාජය තුළ තිබුණා.

ඒ කාලය අපෙන් සොරා ගත්තේත් අපේ තිබුණු සාරධර්ම විනාශ කළේත් අපේ සාලයේ තිබෙන රූප පෙට්ටිය යි. එය අපේ දරුවන්ට මහ අවාසනාවක් ගෙන දුන්නා. ඒ වගේම බාහිර සමාජය අධික වේගයෙන් ගමන් කරන නිසා වැඩිහිටියන්ට දරුවන්ටත් විවේකයක් කියන එක ගිලිහි ගියා. විවේකය නැතුවා නොවේ. එය අතහැර දැමීමකුයි තිබෙන්නේ. රූපවාහිනිය තුළින් ප්‍රවෘත්ති, කාටුන්, චිත්‍රපටි, නාට්‍යය බලන්න කාලය තිබෙන බොහෝ මවුපියන්ට දරුවන් සමඟ බුද්ධ වන්දනාවට වෙන් කරන්න කාලයක් නැහැ. දරුවන්ටත් කාටුන්, නාට්‍ය බලන්න, සරුංගල් යවන්න, සෙල්ලම් කරන්න කාලය තිබෙනවා. නමුත් බුද්ධ වන්දනාවට කාලයක් නැහැ. දරුවන් සෙල්ලම් කළ යුතුයි. නමුත් තමාගේ ජීවිතය යහමඟට යවන බුද්ධ වන්දනාවත් සෑම දරුවෙකුටම අනිවාර්යෙන්ම තිබිය යුතු අංගයක් වෙනවා. මේ කාරණා නිසා බෞද්ධ නිවසක මවුපියන් දූ දරුවන් අතර සම්බන්ධතාව ගිලිහි යමින් පවතින යුගයක් මේක.

අනෙක් කාරණය තමා බුද්ධ වන්දනාවට පසුව කෑම මේසයේ දී පවුලේ අය එකට එකතුවීම. අම්මයි තාත්තයි දෙදෙනා මෙතැනදී තමයි දරුවන් සමඟ දවසේ විස්තර සාකච්ඡා කරන්නේ. එතැනදී දරුවන්ගේ ගැටළු මවුපියන්ට හඳුනා ගන්න පුළුවන්. අපේ මුතුන් මුත්තෝ මේ දේවල් කරගෙන ආවේ හේතු සහිතවයි. ගැටළු සාකච්ඡා කරන, ප්‍රශ්න විසඳන, සුහද කථාබහ මේ සේරටම මධ්‍යස්ථානය කෑම මේසය වුණා. ඒත් අද එහෙම නොවේ. ගෙදර පස්දෙනෙක් ඉන්නවානම් පස් දෙනා කන්නේ පස් වෙලාවකට. තාත්තා එක වෙලාවෙක දරුවෝ තව වෙලාවක අම්මා තවත් වෙලාවකයි කෑම කන්නේ. මේ තත්ත්වය නිසා අර තිබුණ පවුලක වටිනාකම ටිකෙන් ටික ගිලිහි ගියා.

දරුවන් නොමඟ යාමට මවුපියෝ වගකිව යුත්තේ කෙසේද?

අම්මගේ හා තාත්තා යටතේ ළමයි දවසේ වැඩි හරියක් ඉන්නේ. පාසලේ රැඳෙන්නේ පැය 6 හෝ 7ක කාලයක්. ඉතින් මවුපියන් තම දරුවන්ගේ හැසිරීම් රටාව කතාබහ පිළිබඳව ආදි සෑම ඉරියවුවක්ම අධීක්ෂණය නිරීක්ෂණය කළයුතු වෙනවා. වගකීමක් ඇතුව දරුවා ගැන සොයා බැලිය යුතු වෙනවා. දෙයක් වුණාට පස්සේ හඬා වැටෙනවාට වඩා ඒ දෙයින් මුලින්ම දරුවා බේරා ගැනීම තමා වැඩිහිටියන්ගේ යුතුකම වන්නේ. දරුවන්ගේ පුංචි වෙනසක් වුණත් සැබෑ අම්මා තාත්තා කෙනකුට තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. එය දැනෙනවා. නමුත් අද මාපියන් දරුවන් කෙරෙහි සංවේදී නොවීම නිසා ඔවුන් ළඟින් ඇසුරු නො කිරීම නිසා වර්තමානයේ දී දරුවන් නො මඟට යොමුවෙලා. අප පාසල් මට්ටමින් සිදුකරන පරීක්ෂණ වලදී ඔප්පු වෙලා තිබෙනවා දරුවන්ගේ බෑග්වල දරුවන්ගේ සාක්කුවල තිබෙන විවිධ විෂමකාරි දේවල්. වැඩිහිටියන්ගේ සොයා බැලීම අඩු නිසා ම දරුවන් ඒ විෂමකාරි දේවල් දිගටම පවත්වාගෙන කරගෙන යනවා. ඔවුන්ගේ පවට බය හා ලජ්ජාව නැතිවෙලා තිබෙනවා. අනවශ්‍ය පින්තූර අනවශ්‍ය වීඩියෝ පට නොයෙක් තාක්ෂණයත් සමඟ මුසු වූ විද්‍යුත් උපකරණ ආදි දේ දරුවන්ගේ මානසිකත්වය දුර්වල කරනවා. දරුවන් තමා ළඟ ඒ දේවල් රඳවා ගන්නේ වැඩිහිටියන්, මාපියන් තමා ගැන සොයා බලන්නේ නැතිබව ඔවුන් දන්නා නිසා. දරුවන් කෙරෙහි අධීක්ෂණයක් තිබුණානම් දරුවන් නරක ආශ්‍රයට යොමු වුණත් මුලදීම අම්මට තාත්තාට ගුරුවරයාට එය හඳුනාගන්න පුළුවන්.

අද සමාජයේ දරුවන් දන්නවා අපේ අම්මල තාත්තා අප ගැන සොයා බලන්න කාලයක් නැහැ කියලා. ඒ නිසාම දරුවන් වැරැදි මඟට බිය සැක නැතිවම යොමුවීමේ ඉඩකඩක් තිබෙනවා. එසේ වීමට මූලිකම හේතුව ලෙස දකින්නේ අම්ම තාත්තා වගකීමෙන් ඈත්වෙලා වෙන වෙන ප්‍රශ්නත් සමඟ ජීවිතය ගැට ගහගන්න දඟලන නිසයි. එනිසාම දරුවන් ගැන සොයන්න බලන්න අවස්ථාව අඩුවෙලා. එහෙමත් නැත්නම් නැතිවෙලා ගොස් තිබෙනවා. ළමා පරපුර හැදෙන්නේ වැඩිහිටියන් දෙන ආදර්ශය තුළින් .

සාරධර්ම පිරි සමාජයක දී දරුවා යහමඟට යොමු කරන්නේ කෙසේ ද ?

අගඟිකම් නිසා හෝ වෙනත් දේ නිසා අම්මා ගෘහ සේවිකාවක් ලෙස රට යනවා. අම්මා රටයෑම සාධාරණීය කරන්නට නොයෙක් හේතු තිබෙන්න පුළුවන්. නමුත් අම්මා කෙනෙක් වැඩිවියට පැමිණි දුව පුතා තනිකර මිල මුදල් සොයන්න යෑමෙන් සිදුවෙන විනාශය සොයන්නේ කවුරුන් ද? අම්ම දුක් මහන්සි වෙලා, විදේශ ගතවෙලා මුදල් සොයන අතරේ ඒ මුදල් ටික එවන්නේ තාත්තාට. තාත්තාගේ අතේ මුදල් වැඩිපුර ගැවසෙන කොට විවිධ වැරැදි ඇබ්බැහිවලට යොමු වූ තොරතුරු මාධ්‍යයෙන් නිතර වාර්තා වෙනවා.

අපේ රටේ බොහෝ පාසල්, දහම් පාසල් වලදී අපට දරුවන් මුණ ගැහෙනවා. බොහෝ අයගේ කථා අසද්දී අපට තේරෙන්නේ ඇතැම්විට අම්මා විදේශගත වීම නිසා දරුවන්ගේ ලෝකය අඳුරු වූ අයුරුයි. ස්වාමිපුරුෂයාගේ ජීවිතය වැරැදි මඟට යොමු වූ අයුරුයි. ඒ වගේම ඒ එවන මුදල් කිසිම වගකීමක් නැතුව මුදලේ තිබෙන වටිනාකමක් අවබෝධයක් නැතුව සමහර විට මෙහේ සිටින තාත්තා මත්වතුර සඳහා, මත් ද්‍රව්‍ය සඳහා, වෙනස් විෂමාචාර වැඩ සඳහා පාවිච්චි කරනවා. කිසිදු දුක් මහන්සියක් නොවී ලොකු මුදලක් අතට ලැබුණාම සමහර පුරුෂයන් කිසිම දෙයක් තේරුම් බේරුම් කර ගන්න බැරිව යනවා. එහෙමත් පවුල් විනාශ වෙනවා. මව දුක් විඳලා අවුරුදු දෙක තුනකින් ගෙදර එනකොට මුදලුත්, දරුවොත්, සැමියත් නැහැ. පවුල සී සීකඩ වෙලා. එනිසා විදේශ ගතවීමට අවශ්‍යම නම් පිය පාර්ශවය ඒ සඳහා සුදුසුකම් සපුරාගෙන කළයුතු බවයි මගේ් අදහස.

සටහන: නයනා නිල්මිණි


දරුවන්ගෙ දේ දරුවන්ට කරගන්න ඉඩ දෙන්න

 

වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 02 වැනි දා සෙනසුරාදා අපරභාග 08.10 ට ලබයි.
03 වැනිදා ඉරිදා අපරභාග 06.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 03 වැනි දා ඉරිදා ය

මීළඟ පෝය නොවැම්බර් මස 10 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk