ආහාර අනුභවයේ නිසි පමණ ගැන
බුදු හිමි දුන් උපදෙස්
රුහුණ විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ කථිකාචාර්ය
අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ සමලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත,
දර්ශනපති
බලපිටියේ සිරිසීවලී හිමි
ආහාර අනුභවයේ නියම ප්‍රමාණය ගැන
බුදු හිමියන් දුන් උපදෙස් පිළිපැදි නිසා කොසොල් මහ රජතුමා අවුරුදු
අසූවක්
ජීවත් විය. රජතුමා අසූ වියේ දී, භාග්‍යවතුන් වහන්සේ මෙලොව
අභිවෘද්ධියෙන් ද
පරලොව අභිවෘද්ධියෙන් ද යන
උභයාර්ථයෙන්ම මට අනුකම්පා කළ
සේකැ’යි ස්තුති කළේ ය.
මිනිස්සු අධික ලෙස හෝ ඌණ ලෙස හෝ ආහාර අනුභව කිරීම නිසා නිරන්තර
රෝගාබාධයන්ට ගොදුරු වෙති. ඒ නිසා ම තමන් උපයන ධනයෙන් සැලකිය යුතු
කොටසක් වෛද්‍ය ගාස්තු හා ඖෂධ වෙනුවෙන් වැය කරති. එසේ වන්නේ තවම අප
නිවැරැදිව පමණ දැන ආහාර අනුභව කළ යුතු ආකාරය හඳුනා නො ගත් හෙයිනි.
එබැවින් නිවැරැදි ව ආහාර ගත යුත්තේ කෙසේද යන්න මෙම ලිපියෙන් පැහැදිලි
කරන්නෙමු. සංයුක්ත නිකායේ දෝණපාක සූත්‍රය ඇසුරෙන් එම කරුණු ඉදිරිපත්
කරන්නෙමු.
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටින සමයේ කොසොල් මහ
රජු වෙනුවෙන් මෙම දෝණපාක සූත්‍රය දේශනා කළ සේක. කොසොල් මහ රජු ද්‍රෝණයක
පමණ බත් හා ඒ හා සමාන ම හොදි ව්‍යංජන එක වරකට අනුභව කර තිබේ. ඒ බව
අටුවාව දක්වන්නේ ‘දොණස්ස තණ්ඩුලානං පක්කභත්තං තදුපියඤ්ච සූපඛ්‍යඤ්ජනං
භුඤ්ජති’ යනුවෙනි. ද්‍රෝණයක් යනු නැළි හතරක ප්‍රමාණයකි. රජු එක් වේලකට
නැළි හතර බැගින් දවසේ වේල් දෙකට නැළි අටක ආහාර අනුභව කොට ඇති බව මෙයින්
පැහැදිලි වේ.
රජු දිනපතා ම ආහාර අනුභව කිරීමෙන් පසුව බුදුහාමුදුරුවන් හමුවට යෑම
සිරිතකි. එසේ ගිය එක් දිනක රජුට බුදුහිමි ඉදිරියේ දි මහත් බත් මතයක්
ඇති විය. (බලවා භත්ත පරිලාහො උදපාදි) තවත් ස්වල්ප වේලාවක දි මහත් සේ
ශබ්ද නඟමින් හුස්ම ගන්නත්, හුස්ම හෙළන්නත් විය. (මහන්තෙහි අස්සාසෙහි
අස්සසති) ඊටත් පසුව ශරීරයෙන් දහදිය වැගිරෙන්නට විය. (ගත්තතොපිස්ස
සෙදබින්දූති මුච්චති) රජු මෙම අපහසුතා හේතුවෙන් මහත් සේ දුක් විඳින බව
දුටු බුදුරජාණන් වහන්සේ මෙසේ අනුශාසනා කළ සේක.
මනුජස්ස සදා සතිමතො - මත්තං ජානතො ලද්ධ භොජනෙ
තනුතස්ස භවන්ති වෙදනා - සනිකං ජීරති ආයු පාලයන්ති
ආහාර අනුභව කරන විට පිළිපැදිය යුතු කරුණු දෙකක් මෙම උපදේශයෙන් පෙන්වා
දී තිබේ.
1. හොඳ සිහි කල්පනාවෙන් ආහාර ගැනීම (සදා සතිමතො)
2. තමන්ගේ කුසේ ප්‍රමාණයට සරිලන මාත්‍රාවට ආහාර ගැනීම (මත්තං ජානතො
ලද්ධ භොජනෙ)
මෙම කරුණු දෙක පිළිපදිමින් ආහාර අනුභව කළොත් ලබා ගත හැකි ආනිශංස තුනක්
ඊළඟට පෙන්වා දී ඇත.
1. ශරීරයට වේදනාවක්, අපහසුතාවක් ඇති නොවීම (තනුතස්ස භවන්ති වෙදනා)
2. ආහාර ක්‍රමානුකූලව ව සෙමෙන් දිරවීම (සනිකං ජීරති)
3. දීර්ඝායුෂ ලැබීම (ආයුපාලයන්ති)
කොසොල් මහ රජු මෙම උපදේශය ඇසීමෙන් ඉමහත් සතුටට පත්ව, තමන් උදේ, හවස
ආහාර ගන්නා විට දී මෙ උපදේශය මතක් කරන ලෙස තම අතවැසි සුදස්සනට පැවරීය.
ඒ අනුව සුදස්සන ද දිනපතා දිගින් දිගට ම මෙම උපදේශය මතක් කළ අතර, රජු ද
ක්‍රමක්‍රමයෙන් ආහාර ප්‍රමාණය අඩු කර ගත්තේ ය.
බුද්ධකාලීන ඉන්දියාවේ සමහර පිරිස් ක්‍රම පහක් අනුව ආහාර ගැනීමට පුරුදු
වී සිටියහ. පළමුපිරිස ‘හත්ථග්ගාහක’ නමින් හැඳින්වේ. මේ අය කුසේ
ප්‍රමාණය ඉක්මවා ආහාර ගත්හ. අවසානයේ දි නැඟිට ගන්නවත් නො හැකි ව ළඟ
සිටින අයට අත දී ‘මා නැඟිටුවන්න යැ’යි කියති. දෙවැනි පිරිස ‘අලං සාටක’
නමින් හැඳින්විණ. මේ අය තමන් හැඳ සිටින සළුපිළි ඇඟට සිරවනතුරු ආහාර
ගනිති. පසුව ඇඳුම් ශරීරයෙන් ඉවත් කරති. තුන්වැනි පිරිස ‘තත්‍ර වට්ටක’
නමින් හැඳින්වේ. මේ අය ආහාර අනුභව කිරීමෙන් පසු එතැන ම වැටී නිදා
ගනිති. හතරවැනි පිරිස ‘කාකමාසක’ නමින් හැඳින්වේ. ඔවුහු උගුරු දණ්ඩ
දක්වා ම ආහාර ගනිති. මොවුන්ට නින්ද ගිය පසු කපුටන් පැමිණ හොටේ දමා
උගුරු දණ්ඩේ තිබෙන ආහාර ඇද ගනී. පස්වැනි පිරිස ‘භුත්තවමික’ නමින්
හැඳින්වේ. මේ අය වමනේ කර කර, තව තවත් ආහාර ගනිති. මෙපමණ අපිළිවෙළකට
ආහාර ගැනීමට පුරුදු වූ පිරිසක් සිටි නිසයි බුදුහිමියන් මෙම දේශනාව සිදු
කළේ.
අප ආහාර ගන්නා හේතු හයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක.
1. විනෝදය පිණිස ආහාර ගැනීම (දවාය)
2. ශක්තිය පිණිස ආහාර ගැනීම (මදාය)
3. සැරැසීම පිණිස ආහාර ගැනීම (මණ්ඩනාය)
4. විසිතුරු බව පිණිස ආහාර ගැනීම (විභූසනාය)
5. ශරීරයේ පැවැත්ම හා යැපීම පිණිස ආහාර ගැනීම (කායස්ස ඨිතියා යාපනාය)
6. පැරැණි වේදනාව නැති කිරීම හා අලුත් වේදනාවක් ඇති නොවීම පිණිස ආහාර
ගැනීම. (පුරාණ වෙදනං පටිහංඛාමි නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි)
ආහාර ගැනීමේ දී මෙම හේතු හයෙන් අප පුරුදු පුහුණු කළ යුත්තේ පස්වැනුව
දක්වා ඇති ‘කායස්ස ඨිතියා යාපනාය’ යන්නයි. එනම් ශරීරයේ පැවැත්ම හා
යැපීම සඳහා ආහාර ගැනීමයි. මෙම හේතුව පමණක් සලකා ආහාර ගන්නා විට රස
තෘෂ්ණාව නැතිව යයි. එසේ ම දිව පිනවීම සඳහා ම පමණක් ආහාර නො ගනියි. රස
තෘෂ්ණාවට වශී වී දිව පිනවීමට ආහාර ගතහොත් අප ඉක්මණින් ම රෝගීන් බවට පත්
වේ. මහත් අපහසුතාවන්ට ලක් වේ.
එහෙත් අපි හැමෝ ම පාහේ මාධ්‍ය මඟින් ප්‍රචාරය කරනු ලබන නොයෙක් රසකාරක
පිරි විච්චූරණ ආහාරවලට ගිජු වී ඇත්තෙමු. එසේ ම විවිධ ක්‍ෂණික ආහාර
ජාතීන්ට හුරු වී ඇත්තෙමු. එසේ වී ඇත්තේ ආහාර ගත යුත්තේ කුමක් සඳහා ද
මොන ආකාරයෙන් ද යන්න පිළිබඳ හරිහැටි අවබෝධයක් නොමැති හෙයිනි.
බුදුරජාණන් වහන්සේ ආහාර ගැනීමේ දී උපදෙස් දී ඇත්තේ ‘චත්තාරො පඤ්ච ආලොපෙ
අභුත්වා භොජනං පිවේ’ යනුවෙනි. බත් පිඬු හතරක් පහක්වත් කන්න කුසේ ඉඩ
තබාගෙන ආහාර ගැනීම නවත්වන්න කියායි. කෑම පිඟානේ හොදි ව්‍යාංජන ඉතිරිව
තිබියදීත්, කුස තුළ තව ඉඩ තිබිය දීත් මේ ආකාරයට බත් පිඬු හතරක් පහක්
නොකා, කෑම ගැනීම නවත්වන්න පුළුවන් ද? ඇත්තටම එය අපහසු කාර්යයක්. මන්ද?
සියලු දෙනා ම පාහේ රස තෘෂ්ණාවට රැවැටී ඇති හෙයිනි.
සාමාන්‍ය කෙනකු එක් වේලකට අනුභව කරන බත් ප්‍රමාණය පිඬු කළොත් එහි
බත්පිඬු පහළොවක් පමණ තිබිය යුතුයි. මේ අනුව එක් වේලකට බත්පිඬු පහළොවක්
පමණ අනුභව කරයි. තුන්වේලටම බත් අනුභව කරන්නේ නම් දවසකට බත් පිඩු
හතළිස් පහක් පමණ අනුභව කරයි. මෙසේ දීර්ඝ කාලයක් බෙහෙවින් අනුභව කළ නිසා
අපි මධ්‍යම වයසේ දී ම රෝගීන් බවට පත් වන්නෙමු. එවිට වෛද්‍යවරුන් උපදෙස්
දෙන්නේ ‘ඩයට්’ කරන්න, ඒ කියන්නේ රෑට බත් කන්න එපා කියායි. එවිට මෙතෙක්
රාත්‍රියට අනුභව කළ බත් පිඬු පහළොව ම අත්හැරීමට සිදුවේ. මධ්‍යම වයසේ
අයකුට උදේට හා දහවලට අනුභව කරන බත් පිඬු තිහ ප්‍රමාණවත් නිසයි
වෛද්‍යවරුන් රාත්‍රියට ගත් බත් පිඬු පහළොව නවත්වන්න යැයි කියන්නේ.
එහෙත් බුදුහිමියන් ඉගැන් වූ උපදේශය පිළිපදින්නේ නම්, ඔබට උදේ වේලෙන්
බත් පිඬු පහක් අයින් කළ හැකිවේ. දවල් වේලෙන් ද බත් පිඬු පහක් අයින් කළ
හැකිය. රෑ වේලෙනුත් බත් පිඬු පහක් අයින් කිරීමට හැකිය. මේ විධියට වේල්
තුනෙන් ම බත් පිඬු පහළොවක් අඩුවේ. එවිට තුන්වේලට ම බත් අනුභව කළත්
ශරීරයට ලැබෙන්නේ දවසට බත් පිඬු තිහකි. මෙය මුල සිට පුරුදු පුහුණු කළොත්
රෝගීන් නො වී තුන් වේලට ම බත් අනුභව කරන්න පුළුවන් වේවි.
රස තෘෂ්ණාවෙන් බැහැර වීමට නම් අප ආහාර ගත යුත්තේ වෛද්‍යවරයකු තුවාලයකට
බෙහෙත් දමන ආකාරයටයි. වෛද්‍යවරයකු තුවාලයට බෙහෙත් දමන්නේ තුවාලය හොඳින්
පරීක්‍ෂා කර බලා, තුවාලයට සරිලන හා ප්‍රමාණවත් පරිදියි. තුවාලයට සරිලන
ප්‍රමාණයට වැඩියෙන් බෙහෙත් දැමුවහොත් තුවාලය නරක් වේ. අඩුවෙන් බෙහෙත්
දැමුවහොත් තුවාලය සුව වන්නේ නැත. වෛද්‍යවරයා තුවාලයේ ප්‍රමාණය පරීක්‍ෂා
කළා සේ අපිත් ආහාර ගැනීමට පෙර ‘ආහාරෙ උදරෙ යතො’ අපේ කුසේ ප්‍රමාණය
පරීක්‍ෂා කර බැලිය යුතුයි. කුසේ ප්‍රමාණයට පමණක් ආහාර ගත් විට පුදුම
සැහැල්ලුවක් හා සුවයක් දැනෙනු ඇත.
කොසොල් මහ රජතුමා මේ අවවාද පිිළිපැදි නිසා අවුරුදු අසූවක් ජීවත් විය.
රජතුමා අසූ වියේ දී ‘උභයෙන වත මං සො භගවා අෙත්‍ථන අනුකම්පි,
දිට්ඨධම්මිකෙන චෙව අතේත්‍ථන සම්පරායිකෙනවාති’ භාග්‍යවතුන් වහන්සේ මෙලොව
අභිවෘද්ධියෙන් ද, පරලොව අභිවෘද්ධියෙන් ද යන උභයාර්ථයෙන් ම මට අනුකම්පා
කළ සේක’යි ස්තුති කළේ ය. |