UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ණය නැති සුවය

ණය නැති සුවය

අංගුත්තර නිකායේ පත්තකම්ම වග්ගයෙහි අණන සූත්‍රයෙහි ගිහි සමාජය විසින් ලැබිය හැකි සැප 4 ක් දක්වා තිබේ.

1. අත්ථි සුඛ (මට යමක් තිබෙනවා නම් වූ සැපය)

2.භෝග සුඛ (උපයා ගත් දේ දැහැමින් අනුභව කිරීම නම් වූ සැප)

3.අණන සුඛ (ණය නැතිව ජීවත් වීමේ සුවය)

4.අනවජ්ජ සුඛ (තමා ධාර්මිකයැයි හැඟීමේ සුවය)

මෙම සැප හතරම , ගිහි ජීවිතයක අභිවෘද්ධියට මෙන්ම, කායික හා මානසික සන්තෘෂ්ටියට ඉවහල් වෙයි.

ජන සමාජයේ සෑම පුද්ගලයෙකුටම තිබිය යුතු මූලික අවශ්‍යතා හතරකි. එනම්, ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස ,බෙහෙත් හේත් ය

යම්කෙනෙකුට මේවා ධාර්මික වූ රැකියාවකින් උපයා ගත් මුදලින් ලැබිය හැකි වන්නේ නම් එය මහත් පහසුවකි. සියලු සත්වයන් අරගල කරන්නේ පළමුකොටම කුසගින්න නිවා ගැනීමටය. එමෙන්ම මනුෂ්‍යයෝ ගෙයක් දොරක් හදාගැනීමටත් ඇඳුම් පැළඳුම් සපයා ගැනීමටත් අසනීපයකදී වෛද්‍ය පහසුකම් ලැබීමටත් උත්සාහ වෙති.

මේවා පහසුවෙන් හෝ තමාට පීඩාවක් නැතිව ලැබිය හැකි වීම අත්ථි සුඛයයි. බොහෝ දෙනා මේ අවස්ථාව ප්‍රකාශ කරන්නේ අප කාටවත් කරදරයක් නැතිව අපේ පාඩුවේ තිබෙන හැටියට කාලා බීලා ඉන්නවා යනුවෙනි.

මෙම මූලික අවශ්‍යතා නැති අය කොපමණ නම් කායික වූ මානසික වූ දුක් ගැහැට ලබන්නේ දැයි ඔබටම සිතා ගත හැකිය.

සෑම අයෙකුටම ආහාර , නිවාස, ඇඳුම් පැළඳුම් වැනි මූලික අවශ්‍යතා පහසුවෙන් ලැබීම සුවදායකය. එහෙත් ඒවා ණයට ලබා ගැනීමෙන් ඇතිවන්නේ සුවයක් නොව විපත්තියකි. මානසිකව ව්‍යාකූලත්වයකි.

යම් කෙනෙකුට නිවෙසක් හෝ වාහනයක් තිබුණද එය ද ණය ලබාගෙන ඉදිකරගත් හෝ මිලට ගත් යමක් නම් ලබාගත් ණය ගෙවා අවසන් කරන තෙක් ඇතිවන්නේ මානසික දුක්ඛයකි. කරුණු මෙසේ වුවත් පැහැදිලිව සඳහන් කළ යුතු කරුණක් ඇත.

නිදසුනක් ලෙස මාසිකව ස්ථිරව වැටුපක් ලබන අයකුට එක විටම එම වැටුපෙන් ගෙයක්,දොරක් හෝ යම් විටෙක බයිසිකලයක් වුවද ලබා ගැනීම අපහසුය. මේ නිසා මාසිකව පහසුවෙන් ගෙවීමේ පදනම මත යම් ණය මුදලක් ගැනීම හැර වෙන කළ යුතු ක්‍රියා මාර්ගයක් නැත. ස්ථිර රැකියාවක හො ස්ථිර ආදායම් මාර්ගයක් තිබෙන හෙයින් එසේ ණය ලැබීම පිරිහීමක් හෝ බරපතළ මානසික දුකක් ලෙස මෙහිදී හඳුන්වනු නොලැබේ.

වසර ගණනාවක් ඉදිරියට ණය පියවන්නට තිබීම තරමක මානසික ගැටලුවක් බව සැබෑවකි. එහෙත් එය පියවීමට ආදායම් ක්‍රමයක් තිබීම අනෙක් අතට මානසික සහනයකි.

මෙහිදී ණය ගැනීම පරිහානියක් හා කායික මානසික දුක්ඛ ලෙස හඳුන්වන්නේ ගෙවා ගැනීමට බැරි ආකාරයටත්, කිසිදු සැලැසුමකින් තොරව ණය ගැනීමත්,ගෙවා ගැනීමට හැකියාවක් තිබුණත් අනවශ්‍ය කරුණු වෙනුවෙන් ණය ගැනීමය. ණයකාරයෙකු වීම නිසා තමාට මෙන්ම තම පවුලටම සිදුවන ගැහැට පිළිබඳව කතාන්දරයක් බුදුරදුන් දවස තිබේ.

අප බුදුරජාණන් වහන්සේ කොසොල් දනව්වේ එක්තරා වන ලැහැබක වැඩ සිටියදී බමුණෙක් නැති වූ ගොනුන් සොයා යන ගමනේ බුදුරදුන් වෙතට පැමිණ තමාගේ දුකෙන් පිරුණු ජීවිත කතාව සඳහන් කළේය. එහි අවසානයේ සඳහන් කළේ සෑම දවසකම ණයකාරයන් උදේම ඇවිත් ගේ වට කොට මුදල් ඉල්ලා බැණ වදිමින් කරදර කරන බවයි. මෙ විට තම ස්වාමි දියණිය පවා පයින් ගසා නින්දෙන් නැගිටුවන බවය.

සංයුක්ත නිකායේ බ්‍රහ්ම සංයුක්තයේ සඳහන් මෙම කතා පුවතින් පැහැදිලි වන්නේ ණය බර, තම පවුලේම අසමඟියට ද හේතුවන බවය.

ජන සමාජයේ බොහෝ දෙනෙකු ණයකරුවන් බවට පත්වන්නේ, සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් පරිදි, භෝග විනාශ මුඛවලට පුරුදු වීම, නිසාය. මේ නිසා තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි මෙලොව ජීවිතයේ හිත සුව පිණිස හේතුවන කරුණු 4 ක් දේශනා කළ සේක. උත්සාහ සම්පත්තිය හෙවත් වීර්යය ආරක්ෂක සම්පත්තිය, හෙවත් උත්සාහයෙන් උපයාගත් වස්තුව ආරක්ෂා කර ගැනීම, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය හෙවත් යහපත් ආශ්‍රය, සමජීවිකතාව හෙවත් ආදායම් ප්‍රමාණය දැන වියදම් කිරීම හා ජීවත්වීම

මේ කරුණු හතර, ණයකාරයෙකු නොවී ජීවත්වීමට කොතරම් උපාකරි වන්නේ දැයි සිතා බලන්න.

බෞද්ධ දර්ශනයේ සඳහන් ලාභ සන්තුට්ඨිය හෙවත් ලද දෙයින් සතුටුවීමත් අප්පකිච්ච හෙවත් අල්ප වූ කාර්යය ඇත්තකුවීම සුබර හෙවත් පහසුවෙන් පෝෂණය කළ හැකි හා පෝෂණය විය හැකි වීමද ණය නොවී ජීවත්වීමට හේතු සාධක ලෙස පෙන්වාදිය හැකිය. බෞද්ධ දර්ශනයේ උගන්වන මහිච්ඡතා නම් වූ කොපමණ ලැබුවත් සිත සතුටු කරගන්නට නොහැකි වන දුර්ගුණය ණය බර වැඩිවීමට හේතුවකි. අනවශ්‍ය ලෙස ඇඳුම් පැළඳුම් ආදියට, විනෝදාස්වාදයට,නොමනා ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා වෙනුවෙන් මුදල් විය පැහැදම් කිරීම මේවාට සාක්ෂි ලෙස දැක්විය හැකිය.

ණය ගත් අයෙක් ණය නොගෙවා ණය හිමිකරුට වංචා කරයිද, ණය නොගෙවා, පලා යයිද එය පහත් වූ වසල ධර්මයක් බව ‘වසල සූත්‍රයෙහි‘බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

අප මෙතෙක් සාකච්ඡා කළේ සාමාන්‍ය ලෝකයා කතා කරන ණය පිළිබඳවය. අධ්‍යාත්මික ණය පිළිබඳවද ඔබ දැනුවත් කළ යුතුව ඇත. එනම් හැකියාව තිබියදී තම දෙමාපියන්ට නොසලකා හරින්නෝද දෙලොවම ණයකාරයෝය.

මවක වුවද පිය කෙනෙකු වුවද මව් ගුණයට පිය ගුණයට අනුව නොහැසිර දරුවන්ගෙන් වන්දනාව ලැබීම ණයකරුවන් බවට පත්වීමකි.

යහගුණ ඇති බිරිඳක් නොවීමෙන් ගුණබර ස්වාමියකුට ණයකාරියක් වන අතර, යහගුණ පුරුදුනොකිරීමෙන් ස්වාමි පුරුෂයෙක්ද ගුණබර ස්වාමි දියණියකට ණයකාරයෙක් වෙයි.

ස්වාමින් වහන්සේ නමක් වුවද දුසිල්වත්ව දායකයන්ගේ සිව්පස ලැබීමද දායකයන්ට ණය වීමකි. මෙය “ඉණ පරිභෝගය “ නමින් ධර්මයෙහි සදහන් වේ.

උතුම් වූ ධර්මාවබෝධයම වේවා!

 

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 18 වැනිදා සිකුරාදා පූර්වභාග 05.35 ට ලබයි.
19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 05.09 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 18 වැනිදා සිකුරාදා ය.

 මීළඟ පෝය ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]