මේඝිය සූත්‍රයෙන්
හෙළිවන
සැබෑ සැනසුම
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ප්‍රඥාවන්ත කෙනකුට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අසන්නට ලැබුණාම ඔහුගේ
හිතේ ශ්‍රද්ධාව උපදිනවා. ඔහුට මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මය
තුළින් පෙන්වා දෙන ඉලක්කය සපුරා ගන්න ලොකු ආශාවක් උපදිනවා. නමුත් එය
සුළු උත්සාහයකින් සුළු වීර්යකින් සුළු පුණ්‍ය බලයකින් කරන්න බැහැ.
විශාල පුණ්‍ය බලයක් ඇතුව, කරදර බාධා මධ්‍යයේ අඛණ්ඩ වීර්යකින් මේ ධර්මය
අවබෝධ කිරීම කළ යුතුයි. ඒ සඳහා හොඳින් මෝරපු පටු නැති පළල් හිතක් ඕන. ඒ
නිවන් අවබෝධය සඳහා නොමේරූ සිත මේරීම සඳහා උපකාර වන කාරණා කිහිපයක් ගැන
ඛුද්දක නිකායේ ‘’මේඝීය සූත්‍රයේ’’ සඳහන් වෙනවා.
ආනන්ද ස්වාමින්වහන්සේ තථාගතයන් වහන්සේට උපස්ථාන කරන්න කලින් තවත්
ස්වාමීන් වහන්සේලා කිහිප නමක් උන්වහන්සේට කලින් කලට උපස්ථාන කළා. මේ
දේශනාව කරන දවස්වලදී බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ මේඝීය කියන
ස්වාමින් වහන්සේ.
ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ‘වාලිකා’ කියන නගරාසන්නයේ තිබුණ
කන්දක. එක් දවසක් මේ මේඝීය ස්වාමින් වහන්සේ තථාගතයන් වහන්සේගෙන් අවසර
අරගෙන ‘ජන්තු’ කියන ගමට පිණ්ඩපාතයේ වැඩියා. දානයෙන් පසු ඒ ළඟම තිබුණ
‘කිමිකාලා’ කියලා ලස්සන ගංගාවක්. ඒ ගංතීරේ දිගේ ඇවිදගෙන යද්දී දුටුවා
ඒ ගඟ අයිනේ අතුපතර විහිදුන හොඳට හෙවන තිබෙන ලස්සන අඹ වනයක්. උන්වහන්සේ
කල්පනා කළා ‘මෙතෙන හරි හොඳට මට භාවනා කරන්න පුළුවන්. භාවනා කරන කෙනකුට
මේ ස්ථානය ඉතාමත් වටිනවා’ යැයි සිතා මම භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර
අරගෙන මෙතැනට එන්න ඕන භාවනා කරන්න සිතා නැවත බුදුරජාණන් වහන්සේ වෙතට
වැඩියා.
‘ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මම අද ජන්තු කියන ගමට පිණ්ඩපාතයේ වැඩම
කර ඉවර වෙලා කිමිකාලා කියන නදිය ළඟට ගියා. ඒ නදීතෙර අසලදී මම දැක්කා අඹ
වනයක්. ඒ අඹ වනය හරිම ලස්සනයි. ඉතින් ස්වාමිනි, මට සිතුනා මේ වනය හොඳයි
භාවනා කරන කෙනකුට. භාග්‍යවතුන් වහන්ස, අවසර දෙනවානම් මම භාවනා කරන්න ඒ
අඹ වනයට යන්නම්’ කියලා. එවිට තථාගතයන් වහන්සේ වදාළා ‘පින්වත් මේඝිය,
පොඩ්ඩක් ඉන්න. දැන්ම කලබල වන්න එපා. තව කවුර හරි භික්ෂුවක් ෙමතැනට
එනකම් ඉන්න’ කියලා.
එවිට මේඝිය ස්වාමින්වහන්සේ කියනවා ‘අනේ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන්
වහන්සේට නම් දැන් ඉතින් අමුතුවෙන් භාවනාවක් කියලා දෙන්න කරගන්න නැහැ.
භාග්‍යවතුන් වහන්සේ සියල්ල සම්පූර්ණ කරගෙනයි වැඩ ඉන්නේ. අනේ මට තාම මේ
ධර්ම විනය තුළ බොහෝ කළයුතු දේ තිබෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අවසර
දෙනවානම් මම ඒ අඹ වනයට යන්න කැමැතියි. තථාගතයන් වහන්සේ කැමැති වුණේ
නැහැ. නමුත් නැවත නැවැත් ඉල්ලීම් කළ නිසා උන්වහන්සේ වදාළා ‘යන්නම ඕන
කියනවා නම් ඔබ භාවනා කරන්න යන්න’ කියලා
මේඝිය ස්වාමින් වහන්සේ භාවනා කරන්න හිතාගෙන ගග අයිනේ තිබු අඹ වනයට
වැඩම කරලා හොඳින් සෙවන තිබෙන අඹ ගසක් යට භාවනා කරන්න පටන් ගත්තා. ටික
වෙලාවක දී කවදාවත් නැති ආකාරයට රාග සිතිවිලි, තරහ සිතිවිලි ඇතිවෙලා සිත
විසිරෙන්න පටන් ගත්තා. කැළඹෙන්න පටන් ගත්තා. උන්වහන්සේ සිතනවා හරි
පුදුමයිනේ. මම මොනතරම් ශ්‍රද්ධාවෙන් පැවිදි වූ කෙනෙක් ද? ඒත් මගේ සිතේ
කවදාවත් නැති විදිහට පාපී අකුසල් විතර්ක ඇතිවෙනවා නේ කියා. උන්වහන්සේ
නැවතත් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මේ පුවත කියා සිටියා.
ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ වදාළා ‘පින්වත් මේඝිය, නිවන් අවබෝධය පිණිස
නොමේරූ සිත මේරීම සඳහා කරුණු පහක් උපකාර වෙනවා. වැඩිහිටි වූ පමණින්,
නොයෙක් විෂයන් ඉගෙනගත් පමණින් කෙනෙකුගේ සිත නිවන් අවබෝධය පිණිස මෝරන්නේ
නැහැ. මෝරපු සිතකට උපකාර වෙන පළමු කරුණ කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය - දිනක්
ආනන්ද හිමි බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා ප්‍රකාශ කළා ‘ස්වාමිනි
භාග්‍යවතුන් වහන්ස, මට හිතෙනවා මේ බුද්ධ ශාසනයේ භාගයක්ම තිබෙන්නේ
කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මත’ කියලා. එවිට තථාගතයන් වහන්සේ වදාළා
හා...හා... ආනන්ද එසේ කියන්න එපා. මේ බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම
පවතින්නේ කල්‍යාණ මිත්‍රයා මත. ‘පින්වත් ආනන්ද, කල්‍යාණ මිත්‍ර වූ
තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට එන ජනතාව, ඉපදීමෙන්, ජරාවට පත්වීමෙන්,
මරණයෙන්, ශෝක, වැළපීම්, දුක් දොම්නස් වලින් නිදහස් වෙනවා’ කියලා.
දෙවැනි උපකාරක ධර්මය සිල්වත්වීම බුදුරජාණන් වහන්සේ වදාළා ඒ ශික්ෂා පද
සමාදන්වෙලා, ආචාරගෝචර සම්පන්නව, බොහෝම හොඳට වත් පිළිවෙත්වලින් යුක්ත
වෙලා යහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්තව, අංශුමාත්‍ර වරදේ පවා බය
දකිමින් වාසය කරන්න ඕන. සිල්වත් වීමට තිබෙන හොඳම දේ තමා අවංකකම. අවංක
වන්න උත්සාහ කරන කෙනා සිල්වන්තයෙක් වනවා. මේ ධර්ම මාර්ගයේ දුස්සීල
කෙනෙක් ධර්මය අවබෝධ කරන්නේ නැහැ. තථාගතයන් වහන්සේ ගිහි ශ්‍රාවකයන්ට
නිත්‍ය ශීලය ලෙස පනවා වදාළේ පංච ශීලය යි. පොහොය දවසට උපෝසථ අෂ්ඨාංග
සීලය තුළ හික්මෙන්න කියා දේශනා කළා. තුන්වෙනි කාරණය නිතර දසකතා අසන්නට
ලැබීම. දසකථා කියන්නේ 1. අල්පේච්ඡ ජීවිතයේ වටිනාකම ගැන කථා, 2. ලද
දෙයින් සතුටුවීම ගැන කථා, 3. පිරිසට ඇලී ගැලී නො සිට පිරිසෙන් වෙන් වී
සිටීම ගැන කථා, 4. හුදකලා විවේකයෙන් වාසය කිරීම ගැන කථා, 5. වීරියෙන්
යුතුව ධර්ම මාර්ගය දියුණු කරගැනීම ගැන කථා, 6. සීලය ගැන කථා, 7. සමාධිය
ගැන කථා, 8. ප්‍රඥාව ගැන කථා, 9. විමුක්තිය ගැන කථා, 10. විමුක්ති ඥාන
දර්ශනය ගැන කථා.
මේ දසකථා නිතරම අහන්න ලැබෙද්දී ඔහු මේ ගුණ ධර්ම තමන්ගේ ජීවිතය තුළ
දියුණු කරගන්න වෑයම් කරනවා. ආශාවන් අඩුකර ගන්න, ලද දෙයින් සතුටුවන්න,
සිල්වත්වන්න, ඉන්ද්‍රිය සංවර කර ගන්න භාවනා කරලා සමාධිය ඇතිකර ගන්න,
අකුසල් ප්‍රහාණය කරන්න, කුසල් වඩන්න වීරිය කරනවා. හතරවෙනි කරුණ ආරද්ද
වීරිය තමන්ගේ සිත තුළ හටගන්න ක්‍රෝධය, ලෝභය, බද්ධ වෛරය, එකටෙක කිරීම,
පළිගැනීම, මසුරුකම, ඊර්ෂ්‍යාව, ගුණමකුකම, කුහකකම, මිත්‍යා දෘෂ්ඨිය,
ප්‍රමාදය, සටකපට මායා ආදී අකුසල ධර්ම ප්‍රහාණය කිරීම පිණිස දැඩි
වීරියක් ගන්න ඕන. ඒ වගේම මෛත්‍රිය, කරුණාව, සීලය, ඉන්ද්‍රිය සංවරය,
සමාධිය, ප්‍රඥාව, සිහිනුවණ ආදී කුසල ධර්ම උපදවා ගැනීම පිණිසත් දැඩි
වීර්යක් ගන්න ඕන. කුසල් දහම් දියුණු කරගැනීම සඳහා අත් නො හරින
වීර්යකින් කටයුතු කරන්න ඕන. කුසල් දහම් උපදවා ගන්න තිබෙන පහසුම ක්‍රමය
නිහතමානි වීම. පස්වෙනි කරුණ ප්‍රඥාව. ආර්ය වූ අවබෝධයෙන් යුතු කළකිරීම
ඇතිකරගෙන මනාකොට දුක් ක්‍ෂය වීම පිණිස පවතින ප්‍රඥාවෙන් යුක්ත වීම. ඒ
ප්‍රඥාව තුළින් ඔහු අනිත්‍ය දේ අනිත්‍ය හැටියට තේරුම් ගන්නවා. දුක් දේ
දුක් ලෙසත්, අනාත්ම දේ අනාත්ම දේ ලෙසත් බුදුරජාණන් වහන්සේ වදාළා
‘පින්වත් මේඝිය ඔය කරුණු පහ මත පිහිටලා මෙන්න මේ කරුණු හතර දියුණු
කරන්න ඕන. ඒ තමා 1. රාගය ප්‍රහාණය කිරීම පිණිස අසුභය වැඩීමද, 2. ද්වේශය
ප්‍රහාණය කිරීම පිණිස මෛත්‍රිය වැඩීමද, 3. විතර්කය සංසිදීම පිණිස
ආනාපානසතිය වැඩීමද, 4. ‘මම වෙමි’ යි යන මානය නැසීම පිණිස අනිත්‍ය සංඥාව
වැඩීමද කළ යුතුයි කියා.
එනිසා ඔබටත් මේ උතුම් ධර්මයන් තමන්ගේ ජීවිතය තුළ දියුණුකර ගැනීමටත්
නිවන් අවබෝධය සඳහා අවශ්‍ය මේරූ සිතක් ඇතිකර ගැනීමටත් භාග්‍යය උදාවේවා.
සටහන: නයනා නිල්මිණි |