UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතය සාර්ථක කර ගැනීමට මාවත

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස


කාරුණික පින්වත්නි,

ලොව වෙසෙන කවරකු හෝ වේවා නිරන්තරයෙන් සිහි කළ යුතු සිහියේ තබා ගත යුතු කරුණු කීපයක වප් පුර පසළොස්වක පෝදා ධර්ම දේශනාවෙන් විස්තර කර දීමට බලාපොරොත්තු වෙමි.

“ජරා ධම්මෝමිහි ජරං අනතීතොම්හි අභිණ්හං පච්චඛෙක්‍ඛිතබ්බං” මම ජරාවට පත්වෙමියි. ජරාව ඉක්මවු කෙනෙක් නොවන බවද නිතර සිහි කළ යුතු වේ.

“ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධිං අනතීතොම්හි අභිණ්හං පච්චවෙක්‍ඛිතබ්බං” මම ලෙඩ රෝග ඉක්මවූ කෙනෙක් නොවන බව ද නිතර සිහි කළ යුතු වෙමි.

“මරණ ධම්මෝම්හි මරණං අනතීතො මිහි මරණං අභිණ්හං පච්චඛෙක්‍ඛිතබ්බං” මම මරණය ඉක්ම වූ කෙනෙක් නොවන බවද නිතර සිහි කළ යුතු ය.

“සබ්බේහි මෙ පියෙහි නා නා භවො විනාභවො අභිණ්හං පච්චවෙක්‍ඛිතබ්බං” පි‍්‍රය මනාප හැම දේකින්ම වෙන් වී සිටීමට සිදු වන බව නිතර සිහි කළ යුතු ය..

අප හැම කෙනෙක්ම අවසානයේ දී කර්මය රැගෙන යයි. ඊළඟ භවයේ දී දුක සැප දෙකම හිමිවන්නේ එම කර්මයට අනුවය.

සම්බුදු දහම ජීවිතය බියට පත් කරවීමට හෝ කලකිරීමට දෙසූ දහමක් නොවේ. ජීවිතය සාර්ථක කර ගැනීමට මාවත පෙන්වාදීම මේ මඟින් සිදු කැරේ.

ජීවිතය පිළිබඳ යථා තත්ත්වය ඒ ආකාරයෙන්ම සම්බුදුදහම මඟින් පෙන්වා දෙනු ලැබේ. මිනිසත් භවයක් ලැබීම බෙහෙවින් ම දුෂ්කර කරුණකි. එසේ ලබාගත් මිනිසත් භවය සාර්ථක කර ගැනීමට බුදුදහම මඟ පෙන්වා දෙනු ලැබේ.

බෞද්ධයන් ලෙස අනාදිමත් කාලයක් පුරා මේ සංසාර ගමනේ ඉපදෙමින්, මැරෙමින් ගමන් කරන අප මෙ ලොව බිහිව ඇත්තේ පෙර කළ පුණ්‍ය ශක්තියේ බලයෙනි.

අස්ථිර ජීවිතය පිළිබඳ මොහොතක් පාසා කල්පනා කළ යුතු ය. කුඩා බිළිඳකුව ඉපිද ළමා, තරුණ, මහලු කාල ගෙවා ජරාවට පත්වීම ස්වභාවිකය. ඒ ලොව ස්ථිර පැවැත්මක් නොමැති හෙයිනි.

දිරා යාම මෙන්ම ක්‍රම ක්‍රමයෙන් මනුෂ්‍යයා නොයෙකුත් ලෙඩ රෝග ආදියට ද ගොදුරු වේ. ජීවිතයේ යථා ස්වභාවය මෙසේ තත්වාකාරයෙන් මෙනෙහි කිරීමට අපේ බුදුරජාණන් වහන්සේ අනු දැන වදාළහ.

උපන් සැම සත්වයා මරණයට පත්වීම නොවැළැක්විය හැක්කකි.

එමෙන්ම පි‍්‍රය මනාප සියලු දේවලින් ද වෙන්වීමට සිදුවීම ස්වභාවයයි. ඇතැම් කෙනකු මමත්වයෙන් ස්වකීය ජීවිතය ගත කරන නිසාම ලෝකයෙහි පවත්නා වූ මෙම යථා තත්ත්වය තේරුම් ගැනීමට උත්සාහ නොකෙරේ. එහෙත් ලොව පවතින යථා තත්ත්වයට මුහුණ පෑමට සිදුවීම් අනිවාර්ය වූ ක්‍රියාවකි.

ජීවිතය පිළිබඳ නුවණින් මෙනෙහි කරන විට බුදුරජාණන් වහන්සේගේ දෙසුම අප ජීවිත තුළින්ම මනාව වටහා ගත හැකි බව පෙන්නුම් කෙරේ.

මනුෂ්‍යයකු මෙම ලොව තුළ පවතින ඉහත දක්වන ලද තත්ත්වය පිළිබඳ කල්පනාවට ගන්නේ නම් ලෝකය කෙතරම් සැනසිලි දායක වන්නේ ද ?

එසේ බුද්ධිමත්ව තම ජීවිතය පිළිබඳ වටහා නොගැනීම නිසා සමාජයේ හොඳ හිත ආරක්‍ෂා කර ගැනීමට නොහැකි වී ඇති බව පෙනේ.

පුද්ගලයා තමන්ගේ ජීවිතය පිළිබඳව විමසිලිමත් වී ඉහත දක්වන ලද කරුණු පිළිබඳව සිය අවධානය යොමු කරන විට සාමාජික වශයෙන් පවතින නොහොඳ දුරු වී හොඳ යහපත් ගුණ දහම් වර්ධනය වී සමස්ත සමාජයම ගුණ දහමෙන් පෝෂණය වන බව වටහා ගත යුතු වේ.

මනුෂ්‍යයා උපතේ සිට පවත්වාගෙන යනු ලබන ජීවිතය පුරා දුකට, දොම්නසට, අසහනයට පත්වනුයේ මෙසේ ජීවිතය පිළිබඳ මනා වැටහීමක්, දැනුමක් අවබෝධයක් නොමැතිහෙයිනි.

ධර්මානුකූලව දිවි ගෙවන නැතැත්තා මෙලොව සැනසිලි දායක දිවියක් ගත කරති. ඒ නිසා ම එබඳු තැනැත්තා පරලොව වශයෙන් ද සැපවත් වෙති.

වාසනාවන්ත මිනිස් දිවියක් ලද ඔබත් සම්බුදු දහමට අනුව ජීවිතය ගත කර දෙලොව සැනසීම උදාකර ගැනීමට උත්සාහ කරන්න. හැම දෙනාටම තෙරුවන් සරණයි.

 

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 18 වැනිදා සිකුරාදා පූර්වභාග 05.35 ට ලබයි.
19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 05.09 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 18 වැනිදා සිකුරාදා ය.

 මීළඟ පෝය ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]