UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දරුවන්ගෙ දේ දරුවන්ට කරගන්න ඉඩ දෙන්න

දරුවන්ගෙ දේ දරුවන්ට කරගන්න ඉඩ දෙන්න

දරුවන්ගේ මොළයටයි, දෑතටයි වගේම හදවතටත් යමක් දියයුතු වෙනවා. මේ දරුවන්ගේ හදවතට දිය යුත්තේ කුමක්ද කියා බොහෝ අම්මල තාත්තා දන්නේ නැහැ. ඒ ගැන තැකීමක්, අවබෝධයක්, සැලකිල්ලක් නැහැ. දරුවන්ගේ හදවතට දෙන්න ඕන. මනුස්සකම, හැදිච්චකම සහ ගුණ යහපත්කම යි. එය මිල මුදල් වියදම් කරලා දෙන්න බැහැ. හදවතට දෙන මනුස්සකම විකුණන්න නැහැ

බ්‍රහ්මාති මාතාපිතරෝ
පුබ්බාචරියාති වුච්චරේ
ආහුනෙය්‍යා ච පුත්තානං
පජාය අනුකම්පකා

’මව්පියෝ දරුවනට බ්‍රහ්මයා ය. පූර්ව දෙවිවරු ය, පූර්වාචාර්ය හු ය, ආහුන්‍යෙය හ’ දූ දරු පිරිසට අනුකම්පා කරන්නාය යි අපේ පොත්පත්වල සඳහන් වෙනවා.

නමුත් අද අප රටේ බොහෝ මව්පියන් දරුවන්ගේ සම්බන්ධතාවය ගිලිහි ගොස් තිබෙනවා. වැඩිහිටියන්ගේ බලාපොරොත්තුව තමාගේ දරුවා ලංකාවේ ප්‍රසිද්ධම පාසලකට ඇතුළත් කර ගැනීමට යි. එය අද විලාසිතාවක් වෙලා. මව්පියන් දරුවා ප්‍රසිද්ධ පාසලකට දමන්නේ ඔහු හෝ ඇය දැනුම අතින් පෝෂණය කිරීමට. ඒ සඳහා මව්පියෝ වෙහෙසෙනවා. ඕනෑම කැප කිරීමක් වියදමක් දරනවා.

ඒ වගේම මවුපියන් දරුවන්ට ධනය රැස් කිරීමටත්, ඉඩකඩම් මිල මුදල් යාන වාහන ආදී දේ දරුවාට ඉතුරු කිරීමටත් වෙහෙසනවා. කුසට ආහරක් නැතුව හරියකට අඳින්නේ නිදන්නේ නැතිව දරුවන්ට ඉතිරි කරනවා. ඒ කටයුතු කළාම බොහෝ මව්පියෝ හිතනවා දැන් සියලුම දේ සම්පූර්ණයි. දෑතට ධනය දීලා මොළයට දැනුම දුන්නාම හරි කියලා. එහෙම නැහැ. මව්පියන්ට වැරදුන එක තැනක් තිබෙනවා. ඒ දරුවන්ගේ මොළයටයි, දෑතටයි වගේම හදවතටත් යමක් දියයුතු වෙනවා. මේ දරුවන්ගේ හදවතට දිය යුත්තේ කුමක්ද කියා බොහෝ අම්මල තාත්තා දන්නේ නැහැ. ඒ ගැන තැකීමක්, අවබෝධයක්, සැලකිල්ලක් නැහැ. දරුවන්ගේ හදවතට දෙන්න ඕන මනුස්සකම, හැදිච්චකම සහ ගුණ යහපත්කම යි. එය මිල මුදල් වියදම් කරලා දෙන්න බැහැ. හදවතට දෙන මනුස්සකම විකුණන්න නැහැ. කුඩා කළ සිටම දරුවාට මනුස්සකම පුරුදු කරන්නේ කොහොමද කියලා මව්පියන් දැන ගන්න ඕන. ඔවුන් නිතරම දෝෂාරෝපනය කරන්නේ මගේ දරුවන් හරි දඩබ්බරයි. නපුරුයි. කියන දේ අහන්නේ නැහැ. හැම නිතරම කරදර කරනවා කියලා. ඒ චෝදනාව මත පිහිටලා ඇයි එහෙම වුණේ කියා එහි පසුබිම නැහැ. අප නිතරම දරුවාගේ මොළයට දැනුම දෙනවා වගේම හදවතට මනුස්සකම ළං නො කළහොත් ඒ දරුවන් දඩබ්බර වෙනවා. ඒ මනුස්සකම තුළිනුයි සංවේදී මිනිසෙකු ගොඩ නැගෙන්නේ. මව්පියන් කෙරෙහි, ගුරුවරුන් කෙරෙහි, සමාජය කෙරෙහි වැඩිහිටියන් කෙරෙහි හිතන්න පුරුදු වෙන්නේ. කුඩාකළ සිටම ඒ බව දරුවන්ට කියා දෙන්න ඕන. ඒ ඔවුන්ගෙන් පිරිහි යන අභ්‍යන්තුර කුසලතාවය වැඩිදියුණු කරන්නට දෙමාපියන් උත්සුක වෙන්නත් ඕන.

අප රටේ බොහෝ මාපියන් දරුවන්ට තිබෙන සෙනෙහෙස ආදරය නිසා ඔවුන් නො දැනුවත්වම ඒ දරුවන්ට අවැඩක් සිදු කරනවා. අයහපතට පොළොඹවනවා. දරුවාගේ සියලුම වැඩ කරන්නේ අම්මා හා තාත්තා. දරුවාට කරන්න ඉතිරිවන්නේ බොහෝම ටිකයි. වර්තමානයේ දී අපට හමුවෙලා තිබෙන දරුවන්ගෙන් නො මඟ යාමට එක් හේතුවක් ලෙස දකින්නේ දරුවන්ට ප්‍රමාණය ඉක්මවා සැලකීම යි. පාසල් යන දරුවාගේ වතුර බෝතලය බෑගය අරගෙන යන්නේ මව්පියන්. ඇඳුම හෝදන්නේ සපත්තු හෝදන්නේ මව්පියෝ. ඒ වගේම ඉල්ලන ඉල්ලන වෙලාවට සල්ලි දෙනවා. නමුත් එහෙම කරද්දී මව්පියන් ගැනත් ඒ අය දුක් මහන්සිවෙලා මුදල් උපයන බවක් දරුවන්ට හැඟීමක් නැති වෙනවා. අගයක් නැතිවෙනවා. එ නිසා දරුවෝ හැමදේම මට මව්පියන් කරන්න ඕන කියන දේ අයිතිවාසිකමක් ලෙස සිතනවා. ඒ තුළ දැඩි ආත්මාර්ථකාමී බවක් ගොඩ නැගෙනවා. තේ බීපු කෝප්පය හෝදන්නත් අම්මට දෙනවා. අම්මයි තේ හදන්නේ. දුක් විඳීන්නේ. ඒ සියල්ල කරල දරුවා බීපු කෝප්පය හෝදන්නේ අම්මා. අපි මේ දරුවන් වෙනුවෙන් කැප කරනවා කියල හිතුවට එය අප නො දැනුවත්ම ඔවුන්ට කරන හානියක්. දරුවන් ගේ දේ දරුවන්ට කර ගන්න මව්පියන් ඉඩ දෙන්න ඕන. දරුවා කුස්සියට හුරු කරන්න ඕන. අම්ම විඳින දුක දරුවාට දැනෙන්න ඕන. දරුවා කුස්සියේ සිදුවන්නේ මොනවද කියලා දන්නේ නැහැ. හදිසියට දෙයක් උයාපිහා ගන්න දන්නේ නැහැ. නමුත් ඒවා කන ගමන් රස නැහැ කියන්න දන්නවා. ඒවාට දොස් කියනවා. ඉතිං මෙහි වරද දරුවාගේ නොවේ. ඒ තැනට දරුවන් දැම්මේ අම්ම තාත්තා සහ ඔවුන්ගේ අනවශ්‍යය ආදරය යි.

අපට හමුවෙලා තිබෙනවා සමහර දරුවන් ඉන්නවා ‘පැන්’ කියන වචනය දන්නේ නැහැ. ඒවා බරපතල හානි. ඒ වගේ අවස්ථා උදාවී තිබෙන්නේ අප ආගම දහමින් ඈත්වෙලා සිරිත් විරිත් තුළ තිබෙන භාෂාව දන්නේ නැතිකම යි. දරුවන් අතින් සිදුවන මේ වැරැදිවලට බොහෝවිට වගකිව යුත්තේ මව්පියන්. නිතරම මව්පියෝ තමා තුළත් පොඩි දරුවාට ආදර්ශය දියයුතු වෙනවා. එවිට දරුවාගේ හදවත ඉතාමත් පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. දරුවන්ගේ හදවතට මනුෂ්‍යකම පුරුදු කිරීමේදී වැඩිහිටියන් කතාබහ කරන ආකාරය හැසිරෙන ආකාරය අඳින පළඳින ආකාරය තුළින් ආදර්ශමත් වෙන්න ඕන. ඒ වගේම ඒ මව්පියෝ තමන්ගේ මව්පියන්ට වැඩිහිටියන් සැලකීම තුළින් ආදර්ශමත් විය යුතු වෙනවා. ඒ දේවල් දකින දරුවෝ ඇහෙන් කනෙන් ඒ දේ පටිගත කරගෙන හදවතේ තැම්පත් කර ගන්නවා. ඒ දේවල් මව්පියෝ නො දන්නාකම බරපතල වරදක්. දරුවාගේ ඇස්දෙක තමා ඔහු සතු වීඩියෝ එක. ඒ තුළින් දරුවා බොහෝ දේ පටිගත කර ගන්නවා. ඒ වගේ කන් දෙකට ඇහෙන දේ තමා ඕඩියෝ එක. ඒ තුළින් දරුවා ඇසෙන දේ පටිගත කර ගන්නවා. දරුවා කවදාහරි දිනක ඒ දේ දිග හරිනවා. ඒ තුළ ගත හැකි දෙයක් තිබෙනවා. මව්පියන්ගේ ක්‍රියා තුළින් දරුවා ඇසෙන් සහ කණෙන් උකහා ගත් දේ අනාගතතයේ දී හොඳ නරක දරුවෙක් වෙන්න බලපානවා. එනිසා අපේ දෙමව්පියෝ දරුවෙන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. දරුවන් දහම් පාසල් යැවීම ආදි දේ කළ යුතුයි. පාරම්පරික බෞද්ධයෝ වුණාට අපේ සමහර මව්පියන් නමස්කාරය කරන්න දන්නේ නැහැ. ඒ වගේම දරුවාට ආදර්ශයක් වන ආකාරයට ජාතික ගීයට හෝ සිටගෙන ඉන්න දන්නෙ නැහැ. පන්සලේ පාරතොටේ හැසිරෙන්න දන්නේ නැහැ. ඒ සියලු දේ දකින දරුවාගේ චර්යාවන් ඒ ලෙස හැඩ ගැසෙනවා. එය ලොකු හානියක්.

සමහර මව්පියන් දරුවාට උගන්වන ගුරුවරුන්ට, ගමේ පන්සලේ හාමුදුරුවන්ට, අසල්වාසින්ට දරුවා ඉදිරියේදීම දොස් කියනවා. එයින් දරුවාගේ කුඩා සිත විනාශ වෙනවා. ඒ මව්පියන්ට මතු දිනයක දී කනගාටුවෙන්න වෙනවා.

වර්තමානයේ දරුවන්ට නිවස තුළ ආගමික පරිසරයක් ඇත්තේ ම නැති තරම්. අපේ පැරණි වැඩිහිටියන් ළඟ තිබුණා බෞද්ධ ආගමික වත්පිළිවෙත් කිරීමේ පිළිවෙලක්. ඒ කාලයේ ගෙදරක පොඩි දරුවන්ට ආත්තම්මා කෙනෙක් සීයා කෙනෙක් සිටියා. ඔවුන්ගෙන් තමා බණකථා ඉගෙන ගන්නේ. අද ගොඩක් නිවෙස්වල ආච්චී සීයා අයින්කරලා. ළමයි හොඳ පුරුදුවලින් දුරස් වෙලා. අම්මා තාත්තා රැකියාවට ගියාම මේ ආත්තම්මා සහ සීයා අතර තමයි බොහෝ දරුවන් ලොකුමහත් වුණේ. කතාබහ කරන හැටි හැසිරෙන හැටි හොඳ පුරුදු ඒ වැඩහිටියන් දරුවන්ට ඉගැන්වූවා. බෞද්ධ ආගමික ක්‍රමයට පෙළ ගැසුවේ සකස් කළේ ඒ හුරුව දුන්නේ ඒ ආච්චි සහ සීයා යි. නමුත් වර්තමාන අම්මල තාත්තාලට ආච්චි සීයා කරදරයක්. ආච්චි එක් නිවසකට යවනවා. සීයා තවත් ගෙදරකට යවනවා. අන්තිමට පාඩුව අහිංසක දරු පරපුරට. ආච්චිගේ් සීයාගේ තැන ගන්නේ ගෙදර තිබෙන රූප පෙට්ටිය. ඒකෙන් හොඳ දේ ලැබෙනවා අඩුයි. ඒ රූප පෙට්ටියෙන් දරුවෝ තෝරා ගන්නේ වෙනත් දේවල්.

අප මුං වැපුරුවොත් පමණයි මුං ලැබෙන්නේ. මුං වපුරලා වෙනත් දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. අද සමාජයේ මේ සිදුවන සියලුම පරිහානියට වගකිව යුත්තේ දරුවන් නොවේ. මව්පියන්, වැඩිහිටියන් හා ් බවයි මගේ අදහස.

සටහන: නයනා නිල්මිණි

 

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 18 වැනිදා සිකුරාදා පූර්වභාග 05.35 ට ලබයි.
19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 05.09 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 18 වැනිදා සිකුරාදා ය.

 මීළඟ පෝය ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]