UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෙර වස් පවාරණය

පෙර වස් පවාරණය

වැසි සමයෙහි භික්‍ෂූන් වහන්සේ එක් තැනක විසීමට තෝරා ගන්නේ මහජනයා වාසය කරන ප්‍රදේශයක්. වැඩි කරදරයක් නැතිව දානය ලබා ගන්න පහසු තැනකයි වස් එළැඹෙන්නේ. මහජනයාට වුවත් භික්‍ෂූන් නිත්‍ය වශයෙන් ඒ තෙමස තමන්ගේ ගම සමීපයෙහි වැඩ සිටින නිසා විවේක වේලාවට උන්වහන්සේ හමුවන්න ගොස් බණ දහම් අසන්නට, දානය ගිලන්පස ආදිය පූජා කරන්නට පහසු වනවා

“අනුජානාමි භික්ඛවෙ වස්සං වුත්ථානං භික්‍ඛුනං තීහි ඨානෙහි පවාරෙතුං, දිට්ඨෙන වා සුතෙන වා පරිසංකාය වා. සා වො භවිස්සති අඤ්ඤමඤ්ඤානුලොමතා ආපත්ති වුට්ඨානතා, විනය පුරෙක්ඛාරතා.” “මහණෙනි, වස් විසූ භික්‍ෂූන්ට කරුණු තුනක් මුල්කරගෙන පවාරණය කරන්නට (තමාගේ වරදක් දොසක් පෙන්වා දෙන්නට) අවසර දෙමි. එසේ අවසර දීම සංඝයා අතර (ඔවුනොවුන් අතර) අනªකූල පැවැත්මටත් අවැත්වලින් නැඟී සිටීමටත් විනයානුකූල පැවැත්මටත් හේතු වේ. ඒ කරුණු තුන නම් වස් විසූ මා පිළිබඳ කිසියම් දොසක් කිසියම් අවස්ථාවක් දුටුවේ නම් හෝ කිසියම් දොසක් ඇසුවේ නම් හෝ කිසියම් දොසක් ගැන සැකයක් ඇති වූයේ නම් හෝ සංඝයා ඉදිරියෙහි (ප්‍රසිද්ධියේ) කියන්නට අවසර දෙමි යන්නයි.”

එම ප්‍රකාශය කිරිමයි පවාරණය කියන්නේ.මෙය වස් අවසන් කිරීමේ ප්‍රකාශයක් නොවේ. එහෙත් පවාරණය කරන දිනය වන විට ඉබේම වස් අවසන් වී තිබෙනවා. එසේ වූයේ වස් වැසූ ඇසළ මාසයේ පෑලවිය දිනයේ ම වස් අවසන් කරන දිනය ද (ඉමං තෙමාසං වස්සං උපෙමි) නිගමනය වන නිසායි. මා මේ වස් වසන්නේ වස්සාන සෘතුවේ තෙමස පමණකි යි කීමෙන් ඉන් එහා වසක් නැති බව කියැවෙනවා. අනෙක් අතින්, වස් තෙමස තුළ භික්‍ෂූන් එයට සුදුසු ස්ථානයක් තෝරාගෙන ඒ වස් කාලය තුළ එහිම වාසය කරමි යන අධිෂ්ඨානයෙනුයි වස් එළැඹෙන්නේ.

වැසි සමයෙහි භික්‍ෂූන් එක් තැනක විසීමට තෝරා ගන්නේ මහජනයා වාසය කරන ප්‍රදේශයක්. වැඩි කරදරයක් නැතිව දානය ලබා ගන්න පහසු තැනකයි වස් එළැඹෙන්නේ. මහජනයාට වුවත් භික්‍ෂූන් නිත්‍ය වශයෙන් ඒ තෙමස තමන්ගේ ගම සමීපයෙහි වැඩ සිටින නිසා විවේක වේලාවට උන්වහන්සේ හමුවන්න ගොස් බණ දහම් අසන්නට, දානය ගිලන්පස ආදිය පූජා කරන්නට පහසු වනවා. ඒ නිසා ඔවුන්ට පින් රැස් කරගන්න පහසු වනවා. අනෙක් අතින් වස් සමයේ දී දානාදිය සඳහා පිණ්ඩපාතයේ වඩින්නට අවශ්‍ය නැති නිසා භික්‍ෂූන් වහන්සේටත් ඒ අරම්වල වැඩ සිටිමින් භාවනා වඩා ධ්‍යාන මාර්ග ඵල ලබා ගැනීමට විවේක ලැබෙනවා. එසේම උන්වහන්සේටත් තම බඹසර වාසය මුදුන් පමුණුවා ගන්න මේ විවේකය අතිශයින් උපකාර වනවා. එම නිසා මේ කාලය පැවිදි, ගිහි යන දෙපක්‍ෂයටම පින් වඩා ගැනීමට ධ්‍යාන මාර්ග ඵල ලබාගැනීමට අතිශය උපකාර වන කාල පරිච්ඡේදයක්. වසරේ හේමන්ත, ගිම්හාන, සෙසු කාල දෙකේම එදා භික්‍ෂු ජීවිතය හැඩ ගැසී තිබුණේ සංචාරක ජීවිතයක් වශයෙන්. අනෙක් අතින් වස් සමයේ ඉතාම සිල්වත් සුපිරිසුදු දිවියක් ගත කරන භික්‍ෂූන්ට තමා නොදැන හෝ අනුමාත්‍ර වරදක් වුණා නම් පවාරණයෙන් සෙස්සන්ගෙන් දැන ගන්නට ලැබෙනවා තමාගේ ඒ වරද ඒ දෝෂය ගැන. ආයතී සංවරයෙන් පිරිසුදු කරගෙන එම සුළු වරදෙන් පවා මිදෙන්නට පවාරණය ඉමහත් පිටුබලයක්. වස් වැසීමේ මේ වැනි අනුසස් රාශියක් තිබෙනවා.

එක්තරා වස් සමයක බුදුන්වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටියදී භික්‍ෂූන් වහන්සේ කණ්ඩායමක් කොසොල් දනවුවෙහි එක්තරා ආවාසයක වස් එළැඹුණා. උන්වහන්සේ කතිකා කර ගත්තා සමඟියෙන් සතුටින් වස් කාලය ගත කරන්නටත් පිණ්ඩපාතය පහසුවෙන් ලබා ගන්නටත් අපි කිසියම් පිළිවෙතක් අනුගමනය කරමු කියා. එසේ කතිකා කළ උන්වහන්සේ තීරණය කළා වස් කාලය තුළ අපි එකිනෙකා කතා බස් නොකරමු, එසේම යමෙක් කල්තියා පිණ්ඩපාතයේ ගොස් ආවොත් ආසන පැනවීම, පා සෝදන වතුර තැබීම, අපිරිසුදු භාජන සේදීම ඉතිරි වන ආහාර සුදුසු තැනක දැමීම, හිස් පැන් කළවලට ජලය ගෙනැත් තැබීම, වැසිකිලි කැසිකිළි භාජනවලට වතුර පිරවීම, ආදී කටයුතු කිරීමත් තනිව යමක් කළ නොහැකි වූවොත් කතා නොකොට හස්ත මුද්‍රාවෙන් තවත් කෙනකුට එය අඟවා ආධාර පමණක් ගැනීමාදිය කරන්නත්. එවිට සතුටින් පහසුවෙන් වස් කාලය ගත කරන්නත් පිණ්ඩපාතයෙන් කරදරයක් නොවන්නත් හේතු වෙනවා. එසේ කතා කරගෙන භාවනා කරමින් ඒ කාලය එපරිද්දෙන් ගත කළා. වස් කාලය අවසන සුපුරුදු පරිදි මේ භික්‍ෂු පිරිස බුදුන් දකින්න ගියා. බුදුන් වැද එකත් පසෙක හුන් භික්‍ෂූන් සමඟ වස් කාලය ගත කළ හැටි ඇසූ බුදුන් ්වහන්සේට, ඉහත කී පරිදි ගොළුවන් මෙන් එම කාලය සතුටින් ගත කළ බව කියා සිටියා .

එය ඇසූ බුදුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට දොස් පැවැරුවා. මොඝ පුරිස එනම් හිස් පුරුෂයෙනියි කියා භික්‍ෂූන් ඇමතූ බුදුන් වහන්සේ, නුඹලා ගොළු ව්‍රතයක් වූ තීර්ථකයන්ගේ ව්‍රතයක් අනුගමනය කොට ඇතැයි කියා ගර්හා කළා. මහණෙනි, නුඹලා අනුගමනය කර තිබෙන්නෙ නොපැහැදුණ අයගේ පැහැදීම නැතිවන, පැහැදුණ අයගේ පැහැදීම වැඩිවන නොව අඩුවන තිර්ථක ව්‍රතයකියි කියා ගරහා ‘න භික්‍ඛවෙ මූගබ්බතං තිත්ථිය සමාදානං සමාදියාතබ්බං යො සමාදියෙය්‍ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ වස්සං වුත්ථානං භික්‍ඛුනං තීහි ඨානෙහි පවාරෙතුං දිට්ඨෙන වා සුතෙත වා පරිසංකාය වා’ යනුවෙන් වදාරමින් ගොළු ව්‍රතයන්ගෙන් යුතුව වස් කාලය ගත කරන්නේ නම් ඒ භික්‍ෂුවට දුකුළා ඇවැත් වේ යයි ප්‍රඥප්තියක් පැනවූවා. වස් වැස නිමකළ භික්‍ෂුව දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් හෝ තමන්ගේ කිසියම් දෝෂයක් ඇත්නම් ඒ බව මට සඟ මැද කියනු මැනැවැයි පවරන්නට කියා බුදුන් වදාළා. එසේ පැවරීම ඔවුනොවුන්ගේ අනුකූල බවට ද ඇවතින් නැඟී සිටීමට ද විනයානුකූලව පැවැත්මට ද හේතු වන බැවින් වස් අවසානයෙහි මෙසේ පැවැරීය යුතුයයි වදාළා.

වස් පවාරණයට වප් පුරපෝදින උපෝසථාගාරයට රැස්වන භික්‍ෂූන් අතරින් (අඩුවශයෙන් පස්නමක් වියයුතුයි.) ප්‍රතිබල සම්පන්න භික්‍ෂුවක් ‘සුණාතුª මෙ භන්තෙ හෝ ආවුසො කියා අමතා සංඝෝ අජ්ජ පවාරණා යදි සංඝස්ස පත්ත කල්ලං සංඝො පවාරෙය්‍ය. (සංඝ තෙමේ මාගේ වචනය අසත්වා. අද පවාරණයයි. ඉදින් සංඝයාට පැමිණි කල් (පවාරණය කළයුතු අවස්ථාව) ඇති බැවින් සංඝ තෙමේ පවරන්නේ ය හෙවත් පැවරීම කරනු මැනැවි යනුවෙන් ප්‍රකාශ කරනවා. එසේ ප්‍රතිබල සම්පන්න භික්‍ෂුව ප්‍රකාශ කළ පසු එහි සිටින එක් එක් භික්‍ෂුව උක්කුටිකයෙන් සිට වැඩිහිටි භික්‍ෂුවගේ පටන් ලාබාලම භික්‍ෂුව තෙක් උතුරු සලුව (තනිපට සිවුර) ඒකාංස කරගෙන උක්කුටිකයෙන් හිඳ ගෙන වැඳගෙන, ‘සංඝං භන්තෙ හො සංඝං ආවුසො හෝ කියා සංඝයා අමතා (සඟ මහලු පිළිවෙළට) සංඝං ... පවාරෙමි දිට්ඨෙන වා සුතෙන වා පරිසංකාය වා වදන්තු මං ආයස්මන්තො අනුකම්පං උපාදාය පස්සන්තො පටිකරිස්සාමි, යි දෙවනුවත් තෙවනුවත් කිව යුතු යි වදාළා. නවක භික්‍ෂුව ‘සංඝං භන්තේ පවාරෙමි’ කියයුතු අතර වැඩිහිටි භික්‍ෂුව ‘සංඝං ආවුසො’ යි කියයුතුය.

පවාරණයේ දී තුදුස්වක් පවාරණය දිනයක් නම් ‘සුනාතු මෙ භන්තෙ සංඝො අජ්ජ පවාරණා චාතුද්දසී කියාද පසළොස් වක් පවාරණය නම් ‘අජ්ජ පවාරණා පණ්ණරසී’ කියාද සාමග්ගී පවාරණයක් නම් ‘අජ්ජ පවාරණා සාමග්ගි’ කියාද පවාරණ දිනය සඳහන් කළ යුතු වනවා. මෙය පවාරණ ඤත්තිය තැබීමයි. ඉන් පසුවයි වස් පවාරණ වාක්‍ය කිය යුත්තේ. සංඝ පවාරණයෙහි දී යටත් පිරිසෙයින් උපසපන් භික්‍ෂූන් පස් නමක්වත් සිටිය යුතුයි. අඤ්ඤමඤ්ඤ (ඔවුනොවුන්) පවාරණයේ දී සතර නමක් හෝ තුන් හෝ දෙනමක් හෝ සිටිය යුතුයි. එක් නමක් නම් අධිට්ඨාන පවාරණය ‘අජ්ජ මෙ පවාරණා’ යනුවෙන් තෙමේ ම අදිටන් කරගත යුතුයි.

වස්සාන තෙමස වස් ශීලය ආරක්‍ෂා කරගත් භික්‍ෂුවට වප් මස පුරපෝ දිනයෙහි පවාරණය කිරීමේ සුදුසුකම අත්වෙයි. වස් වැසූ හෝ නොවැසු හෝ භික්‍ෂූන්ට උපෝසථාගාරයෙහි දී ගණ පූරණයට වැඩි භික්‍ෂු පිරිසකට ඉදිරියෙහි වස් පවාරණ දිනයේ දී එයට සහභාගි විය යුතු ය. ඉහත සඳහන් පරිදි පවාරණය කළ භික්‍ෂූන්ට සෙසු භික්‍ෂූන්ට නැති වරප්‍රසාදයක් හිමි වේ. එනම් භික්‍ෂුවකට සම්මත තුන් සිවුරට අමතරව තවත් සිවුරක් පරිහරණය කිරීමේ අයිතියයි. කඨින චීවරය නමින් හඳුන්වන (අඳනය හෝ තනිපට සිවුර හෝ දෙපට සිවුර) එම සිවුර වප් පුර පෝ දින පවාරණයෙන් පසු ඉල් පුර පෝ දිනය තෙක් මසක් තුළ පූජාවක් වශයෙන් දායකයන්ගෙන් ලබා ගැනීමට බල ලැබෙනවා.

තුන් සිවුරට අමතරව ලබන මේ කඨින චීවරය ලැබූ භික්‍ෂුවට මැදින් පුර පෝ දිනය තෙක් එයින් අත්වන විශේෂ වරප්‍රසාද හිමි වනවා. බුදුන් වහන්සේ පැන වූ කුඩා ශික්‍ෂාපද පහක් උල්ලංඝනය කිරීමේ විශේෂ අයිතියක් පවා ලැබෙන කඨිනානිශංසය අන් එකද කාර්යයකින් නො ලැබීමෙන් ම කඨිනානිශංසය කොතරම් බලවත් කුසලයක් ද යන බව වටහා ගත හැකියි. මේ අනුව සලකන විට භික්‍ෂූන්ගේ වස් වැසීම සහ ඒ නිසාම ලැබෙන කඨිනයේ වැදගත්කම බුදුසසුනේ චිරස්ථිතිය සඳහාත් ගිහි පැවිදි දෙපක්‍ෂයේම අන්‍යෝන්‍ය සහසම්බන්ධය සඳහාත් උපයෝගී වන මොනතරම් උතුම් පුණ්‍ය ක්‍රියාවක් ද යන බව මෙයින් වටහා ගත හැකියි.

 

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 18 වැනිදා සිකුරාදා පූර්වභාග 05.35 ට ලබයි.
19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 05.09 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 18 වැනිදා සිකුරාදා ය.

 මීළඟ පෝය ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]