මරණයේ දී සිත බියට පත් කරන සතරාකාර හේතු
වේවැල්දෙණිය, පහළගම
සමථ-විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ
ප්‍රධාන අනුශාසක
පොල්ගහවෙල මිතභාණි හිමි
උප්පත්තියා සහෙ වේදං
මරණං ආගතං සදා
මරණත්ථාය ඕකාසං
වධකො විය එසති
“උපතත් සමඟ මරණය සමස්ත ලෝකයාම උරුම කරගෙන පැමිණෙයි. මරුවා නිරන්තරයෙන්ම
මැරීම පිණිස අවකාශයක් වධකයකු මෙන් සොයන්නේය” යන අරුත මෙයින් ප්‍රකාශ
කෙරේ. සත්වයා අකැමැති වූවත්, මරණ ධර්මය කාල පරිච්ඡේදයක් වයස් පරතරයක්
නොමැතිව සත්වයා කරා පැමිණේ. එක් භවයකට අයත් ජීවිතින්ද්‍රිය බිඳීයෑම,
සිඳීයාම මරණය නම් වේ. සමුච්ඡේද මරණය, ක්‍ෂණික මරණය, සම්මුති මරණය කියා
තුන් ආකාරයෙන් මරණ සිදුවන්නේ වේ. සියලු කෙලෙස් නැති උත්තමයන් වහන්සේගේ
මරණය සමුච්ඡේද මරණය නම් වේ. නාම, රූප, සංස්කාර ධර්මයන්ගේ බිඳීම ක්‍ෂණික
මරණය නම් වේ.
සසර සැරිසරන සත්වයා කෙලෙස් වසඟයට පත්ව නා නා ආත්ම භාව වලදී මරණයට පත්
වූ වාර ගණන මෙපමණයැයි ගණනය කර දැක්විය නොහැකිය. මව, පියා, සහෝදර
සහෝදරියන්, දූ දරුවන් ඇතුළු ඥාති මිත්‍රාදීන්ගේ විප්‍රයෝගයෙන් හැඬූ
කඳුළු ප්‍රමාණ කළ නොහැකිය. එය සතර මහා සාගර ජලයට වැඩි බව ලොව්තුරා
බුදුන් වහන්සේ දේශනා කළ සේක. කුකුළන්, එළුවන්, ගවයන් ආදී තිරිසන්ගත
සත්ව ආත්මභවයන්හිදී මෙන්ම මිනිස් ආත්මභාව වලදී ද හිසසුන් කරනු ලැබූ
අවස්ථාවලදී ගැලූ ලේ ප්‍රමාණය ගණනය කළ නොහැකිය. සතර මහා සාගර ජලයට වැඩි
වන්නේමය. ඒ ඒ සත්ව යෝනිවල ඉපැදි බිව් මව්කිරිවල ප්‍රමාණය, සිවුමහ
සාගරයටත් වඩා වැඩිවන්නේ ය. මෙසේ සසර ගමනේ මුලක් පැනවිය නොහැක්කේමය.
ඉපිද මැරී සොහොනට ගිය වාර ගණන සංඛ්‍යාත්මකව ගණනය කළ නොහැකිය. එබැවින්
සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීම ඇති කරගත යුතු ය. එහි විරාගිභාවය
වැඩිය යුතු වන්නේමය. දුකින් මිදීමට මඟ එයම වන්නේ ය.
එහෙත් වත්මන් සමාජය තුළ මරණ ධර්මය පිළිබඳ සංවේගය ඇති කරගැනීම, මෙනෙහි
කිරීම නුවණින් යුතුව සිදු නොවන්නේ ය. සංවේගය ප්‍රකාශ කරන නාම පුවරු
බැනර් ආදිය එල්ලා පාලි පාඨ අන්තර්ගත කර තිබුණත් හදවත් තුළ සංවේගය
නුවණින් ජනිත කරගන්නවා මඳය. මරණ ධර්මය තමා කරා කුමන ආකාරයකින් පැමිණේද,
ඒ සඳහා වැඩිය යුතු ප්‍රතිපදාව ආදිය මෙනෙහි කරමින් දුකින් මිඳීමට නිසි
මාර්ගය පූර්ණය කරගැනීමට වීර්යය නොකරන්නේ ය. ප්‍රමාද විහරණයෙන් කාලය ගත
කරන්නේ ය. ක්‍රීඩා පිණිස, මදය පිණිස, විනෝදය පිණිස දිවා රාත්‍රිය ගෙවා
දමන්නේ ය. පි‍්‍රය වූ මනාප වූ මව, පියා හෝ ඥාති සහෝදරයෝ මාගෙන් වෙන් වී
ගියෝ ය, කොපමණ එකට කාලය ගත කළත් කවදා හෝ මරණ ධර්මයට මා මුහුණ දිය
යුත්තේ ය, එසේ පැමිණෙන මරණ ස්වභාව ශක්තිමත්ව, මුළා නොවී, සිහි නුවණින්
යුතුව පිළිගැනීමට කුසල සහගත සිත වඩාත්ම දියුණු කර ගත යුතු නොවේද
යනුවෙන් මෙනෙහි කරන්නන් විරලය.
මරණාසන්න මොහොතෙහි ප්‍රතිකාර සඳහා රෝහල වෙත රෝගියා ගෙන යනු ලැබේ. එවන්
අවස්ථාවන්හි පි‍්‍රය වූ වස්තු අත්හැරීමට සිදුවෙයි. අතර මඟදී හෝ රෝහලේ
දී මරණ ධර්මයට මුහුණ දීමට සිදුවනු ඇත. ප්‍රවේසමෙන් රෝහලට රැගෙන ගිය
රෝගියා දහස් සංඛ්‍යාත මිනිසුන් ඉපදුණු, මියගිය ඇඳක උඩුකුරුව දමන්නට
සිදුවෙයි. තමන්ට රුචි ආකාරයෙන් සුව පහසු ඇඳක සයනය කරන්නටද අවස්ථාව
නොමැති වෙයි. අවසානයේ දී මිය ගිය පසුව මෘත දේහය ඥාතීන්ට භාරදීම
සිදුවෙයි. නැවත ප්‍රවේසමෙන් මල් ශාලාවට රැගෙන යයි. එහිදී මෘත දේහය කල්
තබා ගැනීමට එම්බාම් කර සරසා නිවෙසට රැගෙන එයි. එහෙත් ලෝකයා මරණ ධර්මය
පිළිබඳ මනා වැටහීමක් නැතිව කටයුතු කරයි.
මළ මිනිය දෙස බලා අසුබය මෙනෙහි කොට තමා දෙසට ගළපා නුවණින් විමසා බැලීම
ප්‍රඥාවන්තයාගේ ස්වභාවයයි. උඩුකුරුව සයනය කොට ඇති මළකඳට වඩා තම ශරීරයේ
අභ්‍යන්තර ස්වභාව කෙතරම් පිළිකුල් සහගතද? මා කෙතරම් බාහිරව පිරිසුදු
කළත්, ශරීර අභ්‍යන්තර දුර්ගන්ධය හමන්නේ ය. අසුචි වළක් මෙන්
අපවිත්‍රය.මළ කඳට වඩා මාගේ ශරීරය පිළිකුල් වන්නේ ය. ජරා, ව්‍යාධි, මරණය
කරාද මා නිරන්තරයෙන් ළංවන්නේ ය. ජීවිතය අනියතයි මරණය නියතයි. මරණ
ධර්මයෙන් බේරීමට නොහැකිය. උපන් සියලු ලෝකයාට මරණය පැමිණෙන්නේ ය. මා හටද
එය පැමිණෙන්නේය. එසේ නුවණින් විමසා කලකිරීම බහුලව වැඩිය යුත්තේ ය.
අප්‍රමාදව කුසල් සිත වැඩිය යුත්තේ ය. මෙලෙස නුවණින් විමසා මරණය
නොඉක්මවූයෙක්මි’යි නිතර නිතර සිහිකටයුතුය.
එහෙත් පුහුදුන් ලෝකයා මළ මිනිය කෙරෙහිද සරාගි සිත වඩනු ඇත. ඇතැම්හු
සැරසිලි කොට ඇති මළකඳ ලස්සන, හැඩවැඩ දෙයක් කොට ශුභව සිතන්නෝය. නිමිතිද
ගන්නෝ ය. මෘත දේහයට ඉස ඇති සුවඳ සිත පිනවයි, වර්ණවත් ආලෝකයෙන් වටකර
ඇත්තේය යනුවෙන් සිතති. බහා තබා ඇති ලී පෙට්ටියේ වටිනාකම්ද තක්සේරු
කරන්නෝ ය. මියගිය පුද්ගලයාගේ තානාන්තර, මිල මුදල්, වස්තු දේපොළ වල දිග
පළල ද කථා කරති. සැරැසිලි බැනර් ආදියේ සංඛ්‍යාවද ගණනය කරති. මෙසේ ඥාති
හිතමිතුරු සමූහයා දින දෙකක් තුනක් මළකඳ ප්‍රදර්ශනය කර සොහොනට රැගෙන
යති. ආදාහනය හෝ භූමිදානය කරති. අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථාව අසන විට හෝ
නුවණින් මෙනෙහි නොකරති. ජරා ව්‍යාධි මරණය මෙනෙහි කරන්නේ නැත. දින ගණනක්
අකුසල සිත වඩා ඇත්තේ ය. සත් දිනක් වන විට මරණ ධර්මයක් වුවා ද කියා
සිහිපත් නොවන තරම්ය. නැවත සංග්‍රහයන් සඳහා වෙහෙසෙන්නේ ය. ධර්මදේශනාවට
වඩා ඥාති සංග්‍රහය සඳහා කාලය කැප කරති. මනා සිහිනුවණින් පැයක පමණ
වේලාවක් ධර්ම දේශනාව ශ්‍රවණය කොට යථාර්ථය අවබෝධ කරගැනීමට දෙසවන් යොමු
නොකරති. ඇතැම්හු ඈතින් සිටගෙන, හිඳගෙන සම්ඵප්‍රලාප දොඩමින් ප්‍රමාද
කථාවන්හි නිරත වන්නෝ ය. කාලය ගෙවමින් මරණය කරාම යති.
සසර බියකරුභාවය වටහාගැනීමට ප්‍රමාද වීමෙහි ආදීනවය මෙසේ කියවා තේරුම්ගෙන
අප්‍රමාද වීමට උත්සාහවත් වන්න. දිනක් ජානුස්සෝනි නම් බමුණු ගෘහපතියෙක්
භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ ය. සතුටු සාමිචි කතාව නිම කොට ඔහුගේ
දැක්ම මෙසේ ප්‍රකාශ කරන ලදී. කුමක්දැයි සවිස්තරව තේරුම් කර ගනිමු.
මරණයට පත්වන යමකුට මරණාසන්න මොහොතේ බියවියයුතු තැතිගැන්විය යුතු
සන්ත්‍රාසයට පත්විය යුතු කිසිදු කරුණක් නැත යන්න ජානුස්සොනි ප්‍රකාශ කර
සිටියේය. “බමුණ, යමෙකුට මරණාසන්න මොහොතේ බිය වන සන්ත්‍රාසයට පත්වන
කරුණු සතරක් ද, එසේ නොවීමට හේතු වන කරුණු සතරක් ද ඇතැ”යි බුදුරජාණන්
වහන්සේ දේශනා කළ සේක.
දැන් අපි පැහැදිලි කර ගැනීමට උත්සාහ කරමු, යමකු මරණාසන්නයේ දී
තැතිගන්වන බිය ගන්වන කරුණු සතර කුමක් ද කියා. පින්වත්නි, සිතේ ස්වභාවයම
වන්නේ කාමාදි අරමුණුවල රසවින්දනය කිරීම, එහි ඇලි ගැලී වාසය කිරීම, එහි
මදයට මත්භාවයට පත්වීම, අකුසල් රැස්කිරීම සහ මිහිරිකොට ප්‍රණීත කොට
නැවැත නැවත ප්‍රමාද විහරණයෙන් වින්දනය ලැබීමට යොමුවීමයි. එබැවින්
මරණාසන්න මොහොතේ යමකු සන්ත්‍රාසයට පත්වන කරුණු සතරද ඒ හා සම්බන්ධය.
1. කාමයන් අත්හැරීමට නොකැමැත්තෙන් බියව, සන්ත්‍රාසයට පත්වීම.
2. කයෙහි රාගීව බැඳීම අත්හැරීමට බියව සන්ත්‍රාසයට පත්වීම.
3. පින්දහම්, කුසල් දහම් නොකළ සිතින් බොහෝ කලක් ජීවත් වූයෙමියි, කිලිටි
සිතින් පවුකම් කෙළෙමියි, ආරක්‍ෂක වැඩපිළිවෙළක් සිදුකර නොගත්තෙමියි
(සුගතියට කර්ම රැස් නොකළැයි) බියව සන්ත්‍රාසයට පත්වීම.
4. බුද්ධාදී උතුමන් වහන්සේ කෙරෙහි (තෙරුවන් කෙරෙහි) සැක ඇතිව මිථ්‍යා
දෘෂ්ටිගතව අසද් ධර්මයෙහි සිත බොහෝ කලක් භාවිත වූයේයැයි බියට
සන්ත්‍රාසයට පත් වීම.
මෙලෙස කරුණු කාරණා විමසා බලමු. මිනිසුන්ට මෙන්ම තිරිසන් ආදී සත්වයන්ටද
පොදු වූ ආවේණික ලක්‍ෂණ සතරක් ඇත. කාම සේවනය (සංවාසයෙහි යෙදීම), දරුවන්
පෝෂණය කිරීම, නිවාස (කූඩු) තැනීම, කාමයන් අරභයා කළහ දබරවීම යන සතරයි.
මේ අයුරින් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන අරමුණු වල සෑහීමකට පත් නොවේ.
තෘෂ්ණාවෙන් දාසව කටයුතු කිරීම හා කෙතරම් ලැබුණත් තෘප්තිමත් නොවීම නිසා
සිත පිරිහීමකට පත්වේ. නුවණින් තොරව කාමයන් ගවේෂණය කරන, ඒ දෙසට අසීමිතව
බැසගත් නූගත්, උගත් සැම සත්වයෙක්ම රෝගව්‍යාධින්ගෙන් බහුලවූ තම කය
කෙරෙහි සිත යොමු නොකරයි. කාමයන්හි මුසපත් ඔවුන් මුළාවී යොවුන් මදයෙන්
මත්වී නිරෝගමදයෙන් මත් වී අකුසල් රැස්කරයි. එවන් මොහොතක දරුණු වූ
සුවපත් නොකළ හැකි රෝග ව්‍යාධීන් ද වැළඳෙයි. එය උත්සන්න වී මරණාසන්න
අවස්ථාව එළැඹෙන විට මෙතෙක් පි‍්‍රය වූ කාමයන් අතහැරීමට සිදුවෙයි. එවිට
මා හට පි‍්‍රය වූ දේ අත්හැරයාමට සිදු වූයේයැයි ශෝක කරයි, ක්ලාන්තවෙයි.
වැළැපෙයි, අත් පැහැර පැහැර හඬයි. මෝහයට පත්වෙයි. මරණාසන්න වූවකු බියට
තැතිගැන්මට සන්ත්‍රාසයට පත්වන පළමුවැනි කරුණ එයයි.
කායගතාසතිය නොවඩන සත්ව තෙම කය කෙරෙහි ආලයෙන් ප්‍රේමයෙන් යුක්තව වාසය
කරයි. ශුභවාදීව සිතයි, අහංකාර මමංකාරයේ කෙලෙස් වසඟයෙන් සිතයි. සක්කාය
දෘෂ්ඨි ගතව වාසය කරයි. දෙතිස් කුණුපයන්ගේ ආදීනවය මෙනෙහි නොකරයි. ජරා
ව්‍යාධි මරණය නොසිතයි. උස් මිටිකම් පවත්වයි. මෙසේ කටයුතු කරන
ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට සුව කළ නොහැකි ව්‍යාධියක් කයෙහි හටගනී. ක්‍රම
ක්‍රමයෙන් රෝගය උත්සන්න වෙයි. එවිට පි‍්‍රය වූ කය මාගෙන් අත් හැරයයි,
මා හටද පි‍්‍රය වූ කය අත් හැරීමට සිදුවෙයි යනුවෙන් නොවැඩූ සිත ඇති
බාලතෙම ශෝක කරයි. ක්ලාන්ත වෙයි. ගිලන් වෙයි. මෝහයට පත්වෙයි. මරණ බියෙන්
සන්ත්‍රාසයෙන් කලුරිය කරයි. මෙය දෙවැනි කාරණය වන්නේ ය. උදාහරණයන්
වශයෙන් අස්සක ජාතකයේ එන අස්සක රජුගේ උබ්බරි අග්‍ර මහේෂිකාවගේ මරණය
සඳහන් කිරීමට කැමැත්තෙමි. දීර්ඝ වන නිසා කෙටියෙන් ප්‍රකාශ කරමි. එහි
විස්තර ජාතක පොත් වහන්සේ තුළින් කියවා තේරුම් ගන්න.
උබ්බරි දේවිය පංච කල්‍යාණයෙන් විශිෂ්ට රූ ඇත්තියක විය. දිව්‍යාංගනාවගේ
රූපයට ආසන්න රුවක් විය. රජ මැදුරේ සියලු කාන්තාවන් අභිබවා සිටියාය.
යොවුන් වියේදීම බලවත් වූ ව්‍යාධියකින් මරණයට පත් වූවාය. කුසල් දහම් වඩා
ගැනීමට කාලය ගත නොකළාය. රජතුමා බිසව කෙරෙහි අධික ඇල්මෙන් ලැදිව බැඳුණේ
ය.
ඇය කලුරිය කොට ගොම කුරුමිණියකව උපත ලැබුවාය. සසර බියකරු බව මේ කාරණයෙන්
තේරුම්ගෙන කුසල් සිත වඩත්වා! කාම පරිදාහයෙන් ගිලන් වූ රජතුමා දින ගණනක්
නොකා නොබී මුසපත්ව කඳුළු හෙළමින් ශෝක කළේ ය. බිසවුන්ගේ මළ කඳෙහි තෙල්
ගල්වා කුණුනොවන සේ දින කිහිපයක් ඇඳ සමීපයෙහි තබාගෙන වික්ෂිප්තව දුකෙන්
ගත කළේ ය.
මෙලොව ජීවත් වන අය කාමයන් අරභයා වස්තු රැස්කිරීමෙහි දැඩි ආශාවෙන්
පව්කම් බොහෝ කොට කරති. කර්ම ඵල විශ්වාස නොකරති. මව, පියා කෙරෙහි පවා
ක්‍රෝධය බහුලව කටයුතු කරති. රාග, ද්වේශ, මෝහයෙන්ම කර්ම රැස් කරති.
අනුනට හිංසා පීඩා පමුණුවති. කඳුළු වගුරුවති. සඟසතු දේ පැහැර ගනිති.
උතුමන් වහන්සේට අක්‍රෝෂ පරිභව කරති. නින්දා කරති. මෙසේ කිලිටිකම් කරති.
මස් වැඩීගිය කය තමාගේ යැයි සිතති. පාපයෙහි ඇලී වාසය කරති. බලවත් වූ
ව්‍යාධියක් උත්සන්න වී කය දුබල වෙයි. අසරණ තත්ත්වයට වැටෙයි. කිසිවෙක්
උපකාර නොකරති. ඥාතීහු ද අත් හැර යති. තනි වූ ඔහු මෙසේ සිතයි. කාය
බලශක්තිය ඇතිවිට පින් නොකෙළෙමි. කුසල් රැස් නොකළෙමි. ආරක්‍ෂණයක් නොකරන
ලදැ යි තැවෙයි. සිත තමාට දොස් නඟයි. මම කිසිදු කුසල ක්‍රියාවක්
නොකළෙමියි බියට ත්‍රාසයට පත්වෙයි. ඌරන් මැරූ වැද්දාමෙන් දින ගණනක් කෑ
ගසයි. මැරී අපායට වැටෙයි. මෙය මරණාසන්න වූවකුට බිය ගෙන දෙන තෙවැනි කරුණ
වන්නේ ය.
අතීතයේද බුද්ධාදී උතුමන් කෙරෙහි සැක ඇති කොට ගෙන සිත් දූෂණය කරගෙන බියට
පත්ව අපායට ඇද වැටුණු සත්වයන් බොහෝ ය. දැනුදු බොහෝ වන්නේ ය.
අනාගතයේ දී ද එසේ වනු ඇත්තේ අකුසලයම බොහෝ කොට වඩන සත්වයන් බහුල වන
නිසාය. සැකය නීවරණ ධර්මයක් ලෙස පැමිණ සත්වයාගේ සන්තානය අපිරිසුදු කරයි.
අසමාහිත භාවයට පත් වන්නේ ය. සොහොනක් අපවිත්‍රය, දුර්ගන්ධය, බියකරුය,
අමනුෂ්‍යයන්ගේ වාසස්ථානයකි. වැළැපීම් අදෝනා ඇත්තේ ය. එසේම සැකය නමැති
චෛතසිකය සත්වයාගේ පැණැස වසා සොහොනක් බවට පත්කරවන්නේ ය. එතරම් බලවත් වූ
නීවරණය සිතේ සීලමය ගුණය, සමාධිමය ගුණය, ප්‍රඥා මහිමය නසා දමන්නේ ය. සතර
අපායට පමුණුවන්නේ ය. මෙලෙස ශාසන සද්ධර්මයෙහි ස්ථිර භාවයට පත් නොවී
කටයුතු කළ අයට හදිසියේ තීව්‍ර වේදනා සහිත රෝගයන් හටගෙන මරණාසන්න වූ විට
දරාගත නොහැකිය. ලොව්තුරු සුවයට පත් නොවූයේ ය, දහම් රසය ලබානොගත්තේ යැයි
පසුතැවිල්ලට පත් වන්නේ ය. මෙලොව පරලොව රැකවරණයන් සකසා නොගත්තේ යැයි ළය
පැහැර හඬන්නේ ය. විළාප කියන්නේ ය. මුළාවට පත්වන්නේ ය. බියට ත්‍රාසයට
පත් වී කලුරිය කරන්නේ ය. මෙය සතර වැනි කරුණ වන්නේ ය. මෙම සතර දහම්
මරණාසන්න වූවකුට බිය ත්‍රාසය එළවන්නේ ය.
මරණයේ දී බියට පත් නොවන්නේ කුමන කරුණු හේතුවෙන්දැයි ඉදිරි ලිපියකින්
සාකච්ඡා කරමු. |