බිනර අව අටවක 2013 සැප්තැම්බර් 27 වන දා
පින් කළ යුතුය
මනුෂ්‍යයා තම ශරීරය බොහෝ දුරට නිරෝගිව තබා ගැනීමට උත්සාහ කිරීම
සාමාන්‍ය ස්වභාවය වේ. නිරෝගී බව උතුම් ලාභයකි. නිරෝගීමත් දිවි
පෙවෙත මගින් මානසික සුවය ද උදාකරවයි.
කෙතරම් නිරෝගීමත් දිවි පෙවෙතකට වුව ද රෝග හට ගැනීම ද ස්වභාවය
වේ. එහෙත් ඇතැමෙක් තම නීරෝගී ජීවිතය රෝගී තත්ත්වට පත් කර ගනු
ලබන්නේ ද තමන්ගේම වැරැදි ක්‍රියාවන් හේතුවෙනි.
නීරෝගී බව ආරක්ෂා කර ගැනීම මගින් තම ශරීරය වර්ධනය වෙයි. එමෙන්ම
ගතේ සවිය ද ඇති වෙයි. දිගාසිරි ලැබීමට ප්‍රධාන හේතුවක් වනුයේ ද
නිරෝගි බවය.
ගතේ සවිය නිරෝගීමත් දිවි පෙවෙතක් ගත කිරීම මෙන්ම තම සිතේ
නිරෝගීමත් බව ආරක්ෂා කර ගැනීමෙන් සිතේ ශක්තිය ද වැඩේ. හිත
දියුණු වෙයි.
ගතට සුව එළවන නිසි ආහාර ගැනීමෙන් ශරීරය සුවදායකව පවත්වා ගෙන යා
හැකිය. පමණ දැන පෝෂ්‍යදායි පිරිසුදු ආහාර ශරීරයට ලබා ගැනීමෙන්
ශරීර සුවතාවය පවත්වා ගත හැකිය.
නිරෝගීබව පසෙකලා කටයුතු කිරීමෙන් රෝගීයකු ලෙස දිවි ගෙවමින්
දුකට වේදනාවට පත්වනුයේ ද තමා ම ය. එහෙත් නිරෝගි තැනැත්තා හැම
විට තමා සුවපත් යැයි සැනසීමෙන් පසුවේ.
රෝගාබාධ පැමිණීම පවා ජීවිතයට දුකකි. වේදනාවකි. එහෙත් ඒ බව දැන
දැන වුවද ඇතැමෙක් තම ක්‍රියා කලාපයන්හි ඇති වරද නිවැරැදි කර
නොගැනීම නිසා ම රෝගාබාධ වලට ගොදුරුවේ.
ස්වභාවයෙන් පැමිණෙන ලෙඩ රෝග දරාගත හැකි වුවද,තම වැරැදි ක්‍රියා
කලාපයන් මගින් වැළදෙන ලෙඩදුක් නිසා වරක් නොව දෙතුන් වර දුක්
වනු ඇත.
ලෙඩ දුක්, දුරුවී නිරෝගීව ජීවත්වීම කාගේ වුව ද අපේක්ෂාව වේ.
එහෙත් ස්වාභාවික ලෙඩ දුක් වලට මුහුණ දීමටත්,අනපේක්ෂිත ලෙඩදුක්
තම ජීවිතයට ළඟා කර නොගැනීමටත් හැම විට කල්පනා කළ යුතුවේ.
ගත පමණක් නොව හිත ද ලෙඩ වෙයි. රෝගී තත්වයට පත්වෙයි. ඇතැම් විට
ගතේ සුවය නොතිබීම තමන්ට පමණක් දැනුනද හිතෙහි සුවයක් නොපැවැතිය
හොත් තමාට පමණක් නොව එමගින් අනෙක් තැනැත්තාට පවා යහපතක් සිදු
නොවේ.
යහපත් ගුණයට ප්‍රසාදය ඇතිවීම, අයහපතක් තමා තුළ ඇති නොවන්නට
කටයුතු කිරීම, නරක නපුරු අයහපත් ගතිවලට අකැමැත්ත තරහ ගතිය ඇති
නොවීම, ඇත්ත ඇති සැටියෙන් දැකීම ආදිය ලෙඩ නැති හිතේ ලකුණුය.
එවන් යහ ගුණ සිත තුළ පුරුදු පුහුණු කිරීමෙන් මෙන්ම වර්ධනය
කිරීමෙන් ද යහපත් කටයුතු සිදුකිරීමට සිත පෙළඹේ.
මේ අයුරෙන් එසේ යහපත් සිතෙන් කරනු ලබන ක්‍රියාවලට පින්
යනුවෙන්ද ව්‍යවහාර කරනු ලැබේ. යහපත් ක්‍රියාවක් සිදු කිරීම
මගින් හදවතට නිරතුරුව දැනෙනුයේ සතුටකි.
පිවිතුරු වූ සිතෙහි යහපත් ගති දියුණුවීමෙන් කරනු ලබන යහපත්
ක්‍රියා වර්ග දහයක් පමණ වේ. ඒවාට දස පින් යැයිද දහමෙහි කියනු
ලැබේ.
ඉන් පළමුවැන්න නම් දීමය. හෙවත් දානයයි. සිල් ආරක්ෂා කිරීම දෙවන
පින්කමය. තෙවැනි පින්කම භාවනාවයි. යටහත් පහත්කම පෑම හෙවත්
අපචායනය සිවු වන පින්කමයි. මව්පිය ආදින් වෙත වතාවත් කිරීම
පස්වන පින්කමය. පින්දීමද පින්කමකි. ඒ හයවන පින්කමය. පින්
ගැනීමද පින්කමකි. එය හත්වන පින්කමයි. අට වන පින්කම නම් බණ
කීමය. බණ ඇසීම නව වන පින්කමයි. නිවැරැදි දැකීම හෙවත් හරි නුවණ
ඇති කර ගැනීම දස වන පින්කම වේ.
දාන, ශීල ,භාවනා අපචායන, වෙය්‍යාවච්ච, පත්තිදාන, පත්තානුමෝදනා,
ධම්ම දේසනා, ධම්ම දෙසනා, ධම්ම සවණ, දිට්ඨිජුධම්ම යනු දස පුණ්‍ය
ක්‍රියා වේ.
අයහපතෙහි යෙදීමෙන් මෙලොව පරලොව යන දෙලොවදීම දුකට පත්වේ.
දියුණුවෙන් ඈත්වෙයි. පරිහානියට යොමුවෙයි.
පවෙන් වැළකී පිනෙහි නිරතවීමෙන් යහපතෙහි යෙදීමෙන් මෙලොව දියුණුව
සතුට උදාවෙයි. පරලොවද සුගතිගාමිවී සතුටු වෙයි.
ඉහත සඳහන් කළ දස පින් පුරුදු කිරීම මගින් තමාට පමණක් නොව අන්
අයට ද ප්‍රයෝජනවත් අයකු වනු ඇත.
නිරෝගී බව ලැබීමට කැමැති තැනැත්තා තමන් වෙත සුදුසු පවිත්‍ර
ආහාර පාවිච්චි කළ යුතුවේ. එමෙන් ම දෙලොව දියුණුව පතන්නා පවින්
දුරුවී පින් කළ යුතුවේ. |