හොරණ සමූහ බන්ධුල ආර්.ගුලවත්ත
සහ ඉංගිරිය සමූහ කුමාරි ගමගේ
චෛත්‍ය රාජයාණන් වහන්සේ |
මල්වතු පාර්ශ්වයේ වීදියගොඩ සඟ පරපුරට අයත් පුහුවල ගංගාතිලක මහා විහාරයට
2013 සැප්තැම්බර් මාසයට පුරා වසර 190 ක් සපිරේ. ඓතිහාසික රයිගම්පුරවරයේ
සාම්ප්‍රදායික ලක්‍ෂණවලින් හෙබි පුහුවලගම කේන්ද්‍රකර ගනිමින් මෙම
විහාරස්ථානය ගොඩනැගෙන සමයේ හොරණ මුණගම සිට පාදුක්කේ මලගල දක්වා එක ද
විහාරස්ථානයකින්වත් නොතිබුණු වග පාරම්පරිකව පැවත එන තොරතුරුවලින් පසක්
වේ. මුල්ම අවධියේ මෙම විහාරස්ථානය ගොඩනංවා ඇත්තේ වත්මන් විහාරස්ථානයට
නුදුරු බිම් පෙදෙසක බව අනාවරණය වේ. වත්මන් හොරණ මීවනපලාන දඹර පුහුවල
මාර්ගයේ පුහුවල හන්දියේ ගොඩනගන ලද මුල් පන්සල් භූමිය පිටාර ජලයෙන් නිතර
යටවීම නිසා මෙම ස්ථානයෙහි යළි ඉදිකරන ලද බවට තොරතුරු පවතී.
වසර දෙසීයකට පමණ ඉහත දී මුක්කරු නම් ජන කොට්ඨාසය මැණික් ගරන්නට හාරන ලද
ආවාටය පසුව පුහුවල වශයෙන් නම් කෙරිණි. එම පුහු වල පසුව පුහුවල වශයෙන්
භාවිතා කරන ලද වග රයිගම්පුරයේ ගම් නම් විත්ති තොරතුරු මගින් අනාවරණය
වේ.
පිළිම වහන්සේ |
පුහුවල ගංගාතිලක මහා විහාරයේ වංශ කතාව වැලිවිට පිණ්ඩපාතික සංඝරාජ
මාහිමිපාණන්ගේ ශාසනික මෙහෙවර දක්වා ඈතට විහිදෙන බව ශාසන ඉතිහාසයෙන්
පැහැදිලිවේ. එම ශාසනික පුනරාවලෝකනයත් සමග රයිගම් කෝරළය ද නැවතත් ජාතික
ආගමික අභිවෘද්ධි මාර්ගයට පිවිසුණු වග ආචාර්ය හොරණ වජිරඤාණ නාහිමිපාණෝ
රයිගම්පුර විත්ති පොතෙහි පැහැදිලි කරති. මෙම ශාසනික පුනරුදයේදී රයිගම්
කෝරළයේ ප්‍රධාන සංඝ පරම්පරා තුනක් පිළිබඳව සඳහන් වේ.
වීදියගොඩ මහ සඟ පරපුර පිළිබඳව දීර්ඝ විස්තරයක් සඳහන්ව තිබේ. එම මහ සඟ
පරපුරට අයත් වීදියගොඩ පුරාණ මහා විහාරාධිපති වැඩ විසූ වීදාගම ශ්‍රී
සෝභිත හිමිපාණන්ට ශිෂ්‍යවරයෝ සය නමක් වූහ. පුහුවල ගංගාතිලක
විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ මීවනපලානේ සෝභිත හිමිපාණන්ද එම
ශිෂ්‍යවරුන්ගේ පස්වැන්නා විය. මීවනපලානේ සෝභිත හිමිපාණන්ගේ ශිෂ්‍යවරු
තුන් දෙනෙක් වූහ. ලබුගම සෝනුත්තර හිමි දිද්දෙණියේ ධම්මපාල හිමි, දඹර
සිරි නිවාස හිමි ඒ ශිෂ්‍යවරයෝ වෙති.
හොරණ සෝමානන්ද කරඳන දේවානන්ද නා හිමිවරුන් දෙනමගේ ශිෂ්‍යවරයින් වහන්සේ
දහහතර නමක් වන අතර මීවනපලානේ සෝමරතන හිමි දෙවැනි ශිෂ්‍යවරයා ලෙස
හැදින්වේ. මීවනපලානේ සුමනතිස්ස හිමි ලබුගම සෝනුත්තර හිමිපාණන්ගේ
ශිෂ්‍යවරයෙකි. උඩුවේ ධම්මතිලක හිමි දඹර සිරි නිවාස හිමිපාණන්ගේ
ශිෂ්‍යවරයෙකි.
බුදුමැදුරේ බිතු සිතුවම් |
පුහුවල ගංගාතිලක පුරාණ මහා විහාරයේ විහාරාධිපතිව වැඩ වැඩ විසූ
මීවනපලානේ සෝභිත හිමි ඉතා ශෝචනීය සිද්ධියකින් අනපේක්‍ෂිතව 1878 දී
විහාරස්ථානය තුළදීම අපවත්වූ වග ඉතා සංවේගයෙන් සඳහන් කරමු. ඉනික්බිතිව
ලබුගම සෝනුත්තර හිමිපාණන් විහාරාධිපති ධුරයට පත්වූ අතර දඹර සිරිනිවාස
හිමිපාණෝ ඉන්පසු විහාරාධිපති ධුරයට පත්වූහ. ගංගාතිලකාරාමයේ
විහාරාධිපතිධුරයට උඩුවේ ධම්මතිලක හිමිපාණන් පත් වූ පසු විහාරස්ථානයේ
ස්වර්ණමය යුගය උදාවූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුවේ. මීවනපලානේ වාචිස්සර
හාන්දුපැල්පොල පුඤ්ඤරතන, මහනුවර ධම්මරතන හිමිපාණන්වරුන් සමග සම්බන්ධතා
ගොඩ නගමින් මුළු මහත් රයිගම් පුරවරය තුළ ජාතික ආගමික ශාසනික හා සමාජ
දේශපාලන ක්‍ෂේත්‍රයන් ඔස්සේ නව යුගයක් ගොඩනගන්නට පෙරමුණ ගෙන ක්‍රියා
කළහ. ධම්මතිලක හිමිපාණන් 1967 අගෝස්තු 17 වන දින අපවත්වීමෙන් පසු උඩුවේ
ධම්මසිරි හිමිපාණෝ විහාරාධිපති ධුරයට පත් වූහ. 2002 දී ඒ හිමිපාණෝ ද
අපවත් වූහ. පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන්හි පරිවෙනාධිපති ධුරය
හොබවමින් සිටි ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ශාස්ත්‍ර විශාරද ශාස්ත්‍රපති
නාපාවල ඉන්දසර හිමිපාණෝ වත්මන් විහාරාධිපතිධුරය හොබවති.
නාපාවල ඉන්දසර හිමි |
පුහුවල දඹර පහන්ගල ප්‍රධාන ගම සහ බට්ටන්ගල, වැල්විටිගොඩ, මඩුගස්වත්ත,
කොස්වත්ත පැරණි ගම්වලට අයත් පුහුවල ගංගාතිලක විහාරස්ථානය ප්‍රදේශවාසී
සැදැහැවතුන්ගේ කේන්ද්‍රස්ථානයකි. එදා පොල් අතු සෙවිලි කර මැටියෙන්
බිත්ති බැඳ තිබූ ධර්මශාලාව වෙනුවට 1938 දී නව ධර්ම ශාලාවක්ද ගොඩනගන
ලදී. කබොක් ගල් සහ මැට්ටෙන් නිම කළ ආවාස ගෙය තවමත් ශක්ති සම්පන්නව
පවතී. පිළිම, දාගැබ්, බෝධින් වහන්සේ ප්‍රධාන සියලු විහාරාරාමයන්හි
තවමත් එම පෞරාණික ලක්‍ෂණ නොනැසී පවතී.
බුදු මැදුර පුරා කැලණි රජ මහා විහාර චිත්‍ර සම්ප්‍රදායට අනුව චිත්‍රණය
කරන ලද අලංකාර දර්ශනීය බිතුසිතුවම් දක්නට ඇත. වත්මන් විහාරාධිපති
නාපාවල ඉන්දසර හිමිපාණන්ගේ දැඩි අවධානය හා ආරක්‍ෂාව ගංගාතිලක
විහාරස්ථානයේ සියලු අංශයන් වෙත නිතරම යොමු කෙරෙන බවට සාක්‍ෂි සෑම
විහාරාංගයකින්ම දැක ගත හැකිවේ. මෙම විහාරස්ථානයම ආශි‍්‍රත ශ්‍රී
ගංගාතිලක දහම් පාසලද පැවැත්වේ.
දඹර ශ්‍රී සිරිනිවාස හිමිපාණෝ |
විහාරස්ථානයේ දර්ශනීය මණ්ඩපයක තායිලන්තයෙන් හා මැලේසියාවෙන් ත්‍යාග
වශයෙන් ලැබුණු දුර්ලභ බුදු පිළිම කීපයක් වෙයි. හිටපු විදේශ අමාත්‍ය
ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා විසින් ඒ දුර්ලභ බුදුපිළිම ත්‍යාග වශයෙන් ලබා
දී තිබේ. මෙම විහාරස්ථානය සතුව ඇති පුස් කොළ පොත් සංඛ්‍යාවෙන් පුහුවල
ගංගාතිලකාරාමයේ සුවිශේෂී ලක්‍ෂණයන් අපට නොකියා පවසයි.
මෙම පුස්තකාල පොත් සියල්ල ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන්
සංරක්‍ෂණය කර ඇති බැව් විහාරාධිපති හිමිපාණෝ පවසති. ඒ සමගම දුර්ලභ
කෞතුකභාණ්ඩ රාශියක්ද දක්නට ඇත.
සුන්දර පරිසරයක පිහිටි ගංගාතිලක විහාරස්ථානය අනවශ්‍ය විධියට නවීකරණය
නොවී තිබීම ගැන ප්‍රදේශයේ දායක දායිකාවෝ ඉමහත් ප්‍රසාදය පළ කරති.
රයිගම්පුරය ප්‍රධානව දසත පුරා සදහම් සුවඳ පතුරන බෞද්ධ කේන්ද්‍රස්ථානයක්
බවට පුහුවල ගංගාතිලක මහා විහාරය තවත් චිරාත් කාලයක් මුළුල්ලේ වැජඹේවායි
අපේ ප්‍රාර්ථනාවයි. ඒ සමගම මෙම විහාරස්ථානයේ සුරක්‍ෂිතව පවත්නා දුර්ලභ
බෞද්ධ පිළිම වහන්සේ කෞතුක භාණ්ඩ ඉපැරණි පත්පොත් ආරක්‍ෂා කර සංරක්‍ෂණය
කිරීමේ පියවරකට ඉක්මණින් බලධාරින්ගේ අවධානය යොමු වේවායි අදහස් කරමු.
මේ නිමිතිකර ගෙන සැප්තැම්බර් 22 –29 දක්වා සර්වඥ ධාතු ප්‍රදර්ශනයක්
ගංගාතිලක විහාරස්ථ ධර්ම ශාලාවේදී සිදු කෙරේ.
ඡායාරූප- කුමාරි ගමගේ |