සැබැවින්ම අසිරිමත්ය
ඒ සම්බුදු සමිඳුන්
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ගයාවේ නේරංජනා ගංතෙර ඇසතු රුක් සෙවනේ බවුන් වඩමින් සිටිද්දී පවිටු
මාරයා දසබිම්බරක් මාර සේනාව රැගෙන පැමිණ බෝසතාණන් වහන්සේට හිරිහැර
කරද්දී සසරේ පුරන ලද පාරමී බලයෙන් මාර සේනා පරදවා උතුම් ශ්‍රී
සම්බුද්ධත්වය සාක්ෂාත් කළා. මහා පෘථිවිය කම්පා වුණා. බඹලොව දක්වා මහා
එළියක් පැතිර ගියා.
ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපගේ මෙලොව ජීවිතය මෙන්ම පරලොව
ජීවිතය ද නිසැකව සැපයට පත් කරවයි. එනිසා ඒ ධර්මය මනාකොට ඉගෙන ගැනීමෙන්
ධාරණය කර ගැනීමෙන් එහි ප්‍රතිඵල තම තම ශක්ති පමණින් ලබාගත හැකියි.
මජ්ක්‍ධිම නිකායේ ‘අච්ජරිය අබ්භූත සූත්‍රයේ’ බුදුරජාණන් වහන්සේ ජීවිතය
තුළ පැවැති ආශ්චර්ය අද්භූ®ත ධර්ම ගැන මෙසේ සඳහන් වෙනවා. දිනක් භික්ෂූන්
වහන්සේ පිරිසක් එකතු වෙලා කතාවුණා ‘ආයුෂ්මතුනි, මේ බුදුරජාණන්
වහන්සේලාගේ ස්වභාවය හරිම ආශ්චර්ය යි. පුදුමසහගත යි. මහා සෘද්ධිමත්. අද
ඉන්න මේ කිසිවෙක් නො දන්නා කාලයේ වැලිතලාවෙන් වැසීගිය අතීතයේ
බුදුරජාණන් වහන්සේලා ගැන තොරතුරු මතුකර අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා
කළා නෙව‘ කියා.
මේ සිද්ධිය තථාගතයන් වහන්සේට දැන ගන්නට ලැබුණා. උන්වහන්සේ ආනන්ද
හිමියන්ගෙන් අහනවා ‘ආනන්ද ඔය තථාගතයන් වහන්සේගේ ආශ්චර්ය අද්භූ®ත කාරණා
අසා තිබෙනවා නේද?’ කියා. එවලෙහි ආනන්ද හිමියන් තථාගතයන් වහන්සේගෙන්
කලින් අසා දැනගත් ආශ්චර්ය අද්භූ®ත කරුණු සඟ පිරිස මැද ප්‍රකාශ කළා.
බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොව ඉපදුණේ මනා සිහි නුවණින්ම යි. තුසිත
දෙව්ලොව වැඩ සිටියෙත් මනා සිහිනුවණින්ම යි. තුසිත දෙව්ලොව ආයුෂ ඇතිතාක්
ඉඳලා එයින් චුතවෙලා මව්කුස පිළිසිඳ ගත්තේත් මනා සිහිනුවණින්ම යි.
බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගනිද්දී දස දහසක් ලෝකධාතුවම කම්පා
වුණා. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය මහා ආලෝකයක් ලෝකයෙහි පැතිර
ගියා. ඒ ආලෝකයෙන් සදාකල් ඝණ අඳුරේ තිබෙන ලෝකාන්තරික නිරය පවා එළිය
වුණා.
බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගත්තට පස්සේ බෝසත් මාතාව ප්‍රකෘතියෙන්ම
(ස්වභාවයෙන්ම) සිල්වත් තැනැත්තියක් වුණා. ඒ වගේම කිසිදු පුරුෂයෙක්
කෙරෙහි රාග සිතක් එතුමිය තුළ හටගත්තේ නැහැ. එතුමියට තම කුසෙහි දරුවා
වැඩෙන ආකාරය දකින්න පුළුවන් වුණා. ඒ වගේම ඇය පංචකාම ගුණයන්ගෙන් ඉඳුරන්
පිනවමින් බොහෝම සතුටින් කාලය ගතකළා. බෝසතාණන් වහන්සේ මව්කුසේ සිටින
කාලය තුළ කිසිදු රෝගාබාධයක් තුළ හටගන්නේ නැහැ. මේ සියල්ලම ආශ්චර්ය
අද්භූ®ත දේවල්.
ඒ වගේම බෝසත් කුමාරයා මව්කුස පිළිසිඳ ගත් දවසේ පටන් හරියටම මාස දහයක්
ගතවුණු විට බෝසත් මාතාව දරුවා බිහි කරන්නේ වෙනත් මව්වරුන් මෙන් නොව
සිටගෙන සිටියදී. එමෙන්ම කිසිදු අපවිත්‍ර දෙයක් නො තැවරී කුමාරයා මේ
ලෝකයට බිහිවෙන්නේ. බෝසත් කුමාරයා බිහිවෙද් දී පළමුවෙන්ම පිළිගන්නේ
සරතරවම් දෙවිවරු. ඒ සතරවරම් දෙවිවරු, උන්වහන්සේ මව්කුස තුළ සිටියදීත්
සිව් දිසාවේ ඉඳගෙන බෝසත් මාතාවටත් බෝසත් කුමාරයාටත් රැකවරණය සැලසුවා. ඒ
සතරවරම් දෙවිවරු මේ පින්වත දරු සිඟිත්තා අතට අරගෙන ‘පින්වත් දේවීන්
වහන්ස, සතුටුවනු මැනව. ඔබට මහේශාක්‍ය පුත් රුවනක් උපන්නා’ කියා මව්
දේවියගේ දෑතට දරුවා පිළි ගන්වන විට. අහසින් ඇල් දිය හා උණු දිය උල්පත්
දෙකක මතුවී මව්පුතු දෙදෙනා නැහැවී යනවා.
ඊට පස්සේ පුංචි බෝසත් කුමාරයා පොළොවේ හිටගෙන උතුරු දිශාවට මුහුණලා සත්
පියවරක් ඇවිදගෙන යනවා. ඒ පුංචි සිරිපතුල් පිළිගන්න පොළොවෙන් නෙළුම් මල්
මතු වුණා. සිව් දිශාවම නෙත්විදහා බලලා දකුණු අතර අහසට දිගුකොට අභීත
සිංහ නායදක් කරනවා
අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්තිමා ජාති
නත්ථිදානි පුනබ්භවෝ
මම තමා ලෝකයට අග්‍ර. මම ලෝකයේ වැඩිමහලු. මම තමා ලෝකයේ ශ්‍රේෂ්ඨ කෙනා.
මේ මාගේ අවසන් උපතයි. නැවත උපතක් නැහැ’ කියා.
බෝසතාණන් වහන්සේ මව්කුසින් බිහි වෙද්දීත් මේ මහ පොළොව කම්පා වුණා.
දේවානුභාවය ඉක්මවා ගිය මහා ආලෝකයක් ලෝකයේ පැතිර ගියා. ඒ බෝසත් කුමාරයා
ඉපදිලා සත් දිනකින් බෝසත් මව කළුරිය කළ තුසිත දෙව් ලොව දිව්‍ය
පුත්‍රයෙක් වෙලා උපන්නා. ඒ බුදුරජාණන් වහන්සේ මොනතරම් අසිරිමත්ද?
ඒ වගේම උන්වහන්සේගේ ශරීරයේ අභිනීල නෙත්, රන්වන් සම, දුහුවිලි නො රඳින
සියුම් සිවිය, මනාකොට පොළොවෙහි පිහිටන පාද, බ්‍රහ්මයාගේ බඳු සෘජු
සිරුර, ඌර්ණ රෝම ධාතුව, සිංහයෙකුගේ බඳු පූර්ව කය, අතරෙහි සිදුරු නැති
හතළිහක් වූ සුදෝ සුදු දත් දෙපල, කෙමියක බහලු පරිද්දෙන් පිහිටි රහසඟ
යනාදි වශයෙන් මහා පුරුෂ ලක්ෂණ තිස්දෙකක් පිහිටා තිබුණා. ඒ සියල්ලම
උන්වහන්සේට ලැබුණේ සසරේ කල්ප ගණනාවක් පුරා රැස්කළ පුණ්‍යානුභාවයෙන්.
ඒ වගේම සිදුහත් කුමරා ගිහිගෙයින් නික්ම යද්දී එදා නගරාක්ෂකයින් හොඳට
නිදි. දෙවිවරු රාජධානියෙහි දොරටු විවෘත කර දුන්නා. උන්වහන්සේ යන ගමන
වළක්වන්න කිසිවෙකුට පුළුවන් වුණේ නැහැ. විමුක්තිය සොයගෙන ජීවිත ආශාව
අතහැර සය වසරක් පුරා නිරාහාරව ශරීරයට අනන්ත අප්‍රමාණ දුක්පීඩා දුන්නද
උන්වහන්සේගේ ජීවිතයට අනතුරක් වුණේ නැහැ. ආශ්චර්යයි, පුදුම සහගත යි.
මින් වසර 2602 කට පෙර ගයාවේ නේරංජනා ගංතෙර ඇසතු රුක් සෙවනේ බවුන්
වඩමින් සිටිද්දී පවිටු මාරයා දසබිම්බරක් මාර සේනාව රැගෙන පැමිණ
බෝසතාණන් වහන්සේට හිරිහැර කරද්දී සසරේ පුරන ලද පාරමී බලයෙන් මාර සේනා
පරදවා උතුම් ශ්‍රී සම්බුද්ධත්වය සාක්ෂාත් කළා. මහා පෘථිවිය කම්පා වුණා.
බඹලොව දක්වා මහා එළියක් පැතිර ගියා. දෙවිවරු පී‍්‍රතිඝෝෂා පැවැත්වූවා.
මොනතරම් ආශ්චර්ය යි ද? ඉන්පසු පුරා වසර හතළිස් පහක් මුළුල්ලේ
ලෝකානුකම්පාවෙන් දඹදිව් තලය පුරා වැඩම කරමින් සතර අපායෙන් මුදවන සුගති
රැකවරණය සලසන සසර කතරින් එතෙර කරවන අමා නිවනට පමුණුවන උතුම් ශ්‍රී
සද්ධර්මය වදාළා.
කෙතරම් නින්දා අපහාස ලැබුණත් කෙතරම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා
ලැබුණත් උන්වහන්සේ ඒ කිසිවෙකුට කම්පා වුණේ නැහැ. ගමින් ගමට, නගරයෙන්
නගරයට රටින් රටට වැඩම කරද්දී උන්වහන්සේ ගැන කල්‍යාණ කීර්තිරාවයක්
හැමතැනම පැතිරිලා ගියා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බුදුරජාණන් වහන්සේගේ
ශාසනය තුළ පැවිදි උපසම්පදාව ලබා මගඵල නිවන් සාක්ෂාත් කළා. කෝටි
සංඛ්‍යාත පිරිසක් උන්වහන්සේ දිවි හිමියෙන් සරණ ගිය උපාසක උපාසිකාවන්
වූවා.උන්වහන්සේ දේශනා කළ සත්‍යයට මොනතරම් මිනිස්සු ඇදී ගියාද කියන්නේ
සමහරු කියා සිටියා ‘ශ්‍රමණ ගෞතමයන් ආවර්තනී මායාව කියන මායාවක් දන්නවා.
ඒකෙන් තමා මේ මිනිසුන්ව තමන්ගේ් පැත්තට ඇද ගන්නේ’ කියා.
ඒ බුදුරජාණන් වහන්සේ බෝසත් අවධියේ පවා උන්වහන්සේගෙන් වැදුම් ලබන්න
සුදුසු කිසිවෙක් ලෝකයේ හිටියේ නැහැ. සුද්ධෝදන මහ රජතුමාගේ ගුරුවරයා වන
අසිත සෘෂිවරයා වැනි චිත්තවශීප්‍රාප්ත මහා සෘෂිවරු තමන්ගේම දෙමාපියන්
පවා උන්වහන්සේට වන්දනා කළා. උන්වහන්සේ වෙනත් ශ්‍රමණයෙකුට හෝ
බ්‍රාහ්මණයෙකුට හෝ ගෞරව සත්කාර කළොත් වන්දනා කළොත් ඔහුගේ හිස ගිලිහී
බිමට වැටෙනවා. එතරම් උන්වහන්සේ මහා සෘද්ධිමත්. මහානුභාව සම්පන්න යි.
මනුලොව සිටි රාජ රාජ මහාමාත්‍යවරු දෙව්ලොව දෙවිවරු, බඹලොව බඹුන් පවා
උන්වහන්සේට වන්දනා කළා. උපස්ථාන කළා. බුදුරජාණන් වහන්සේට සම්මා
සම්බුද්ධත්වයට පත්වීමට සෙවණ දුන් ජය ශ්‍රී‍්‍ර මහා බෝධින් වහන්සේ තුළ,
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඒ ශ්‍රී දේහය ආදාහනය කළ පසුව ඉතිරි
වූ ධාතුන් වහන්සේලා තුළ පවා ඒ සම්බුදු අසිරිය ගැබ්වී පවතිනවා. ඒ ශ්‍රී
මහා බෝධීන් වහන්සේත් සර්වඥ ධාතුන් වහන්සේලාත් අසිරිමත් ලෙස ප්‍රාතිහාර්ය
පෑ අවස්ථාවන් ඉතිහාසයේ සඳහන් වෙනවා.
මේ අයුරින් ඒ බුදුරජාණන් වහන්සේ යනු මේ ලෝකයේ එකම එක ආශ්චර්යවත්
මනුෂ්‍ය රත්නය යි. උන්වහන්සේ දෙසු ශ්‍රී සද්ධර්මය මේ ලෝකයේ එකම එක
ආශ්චර්යවත් සුභාෂිතය යි. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා යනු මේ ලෝකයේ එකම
එක ආශ්චර්යවත් ශ්‍රාවක පිරිස යි. ඒ ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය කෙරෙහි
කිසි දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ මේ ලෝකයේ වෙන
කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි චිත්තප්‍රසාදයක් ඇතිකරන්නට අපට හැකිවුණොත්
එහි අසිරිමත් ඵල අපට මෙලොවදීත් පරලොවදීත් දැකගත හැකියි. ඔබටද ඒ දුර්ලභ
වූ වාසනාව උදාවේවා!
සටහන
නයනා නිල්මිණි |