නිකිණි පුර පසළොස්වක 2013 අගොස්තු 20 වන දා
පින්බර සමය
දෙස් විදෙස් බෞද්ධ අබෞද්ධ ජනතාවගේ නොමඳ අවධානයට පාත්‍ර වන්නාවූ
හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස සියවස් ගණනාවක් පුරා අඛණ්ඩව පැවැත
එන්නාවූ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර
මෙම පසළොස්වක පෝදා පැවැත්වේ.
ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේට පූජෝපහාර පිණිසත් සතර මහා
දෙවිවරුන්ට පූජෝපහාර පිණිසත් පැවැත්වෙන ඓතිහාසික සෙංකඩගලපුර
ඇසළ මහා පූජෝත්සවයට සහභාගිවී එම මහා පූජෝත්සවය නැරැඹීමට ලක්‍ෂ
සංඛ්‍යාත සැදැහැවතුන් සහභාගිවීම ද අපේ රටේ අඛණ්ඩව පැවැත එන
උදාර සිරිතකි.
මේ වස්සාන සමයෙහිදී උදා වූ නිකිණි පුර පසළොස්වක පොහොය ශාසනික
වශයෙන් ඓතිහාසික අනුස්මරණීය දිනයකි.
ශාසනාභිවෘද්ධියටත්, ගුණදහම් පෝෂණයටත් ගිහි පැවිදි උභය සමාජය
අතර අන්‍යෝන්‍ය සහායද අත්‍යවශ්‍යය. ශාසනික වශයෙන් භික්‍ෂූන්
වහන්සේ උදාර පෞරාණික බුද්ධ නියමයක් ඉටු කරන මෙම වස්සාන සමයෙහි
ගිහි සමාජය වෙතින් පැවිදි සමාජය උදෙසා ද පැවිදි සමාජය වෙතින්
ගිහි සමාජයට ද යුතුකම් ඉටුවන විශේෂ පුණ්‍ය කාලයක් ලෙසද සඳහන්
කළ හැකිය.
ඉකුත් ඇසළ පුර පසළොස්වක පෝදා පොහොය විනයකර්මයෙහි යෙදුණු
භික්‍ෂූන් වහන්සේට ඇසළ අව පෑළවියදා පටන් මෙම වස්සාන කාලය පුරා
වස් වසා වැඩ සිටින්නැයි ද දායක පක්‍ෂය වෙතින් සිව් පසයෙන්
උපස්ථාන කරන බවට ද කැපකරු දායක පක්‍ෂය මහත් ගෞරවයෙන් ආරාධනා
කොට ස්වාමීන් වහන්සේලා වස් වැසවූහ.
උන්වහන්සේලා වෙත ශක්ති පමණින් දායක පිරිස ඇප උපස්ථාන කිරීම
අතීතයේ සිට පැවැත එන උදාර බෞද්ධ චාරිත්‍රයකි.
එමෙන්ම වස් එළඹ වැඩ වසන ස්වාමීන් වහන්සේලා ද සිය දායක පිරිස
වෙනුවෙන් මහත් කරුණාවෙන් අවවාද අනුශාසනා කරමින් පින්දහම් සඳහා
යොමු කරවන විශේෂ සමයකි.
වසරේ අනෙකුත් දිනවලට වඩා බොහෝ විහාරස්ථානවල දිනපතා බෝධිපූජා,
බෝධි වන්දනා, පහන් පූජා, මල් පූජා, සෙත් පිරිත් දේශනා ආදී
පින්කම්ද විශේෂ දිනවලදී ධර්මදේශනා ආදී පින්කම් ද ඉතා කල් ඇතිව
යොදා ගනිමින් බොහෝ දෙනා ඊට සහභාගි කරවා ගැනීමට ද දායක පිරිස
උනන්දු වන සමයකි.
සතර පේරුවේ දායක පිරිස දිනපතා විහාරස්ථානයට ඒකරාශී වන වස් කාලය
තුළ දායක පිරිසේ එක් එක් සැදැහැවතුන් ඉදිරිපත් වී තම තමන්ගේ
ශක්ති පමණින් විවිධ වූ පින්කම්වල නිරත වන උදාර සමයකි.
වස් එළඹ වැඩ වසන ස්වාමීන් වහන්සේලාගේ ප්‍රත්‍ය පහසුව සැලසීමේ
වගකීම දායක පිරිස විසින් ඉටු කිරීමද යුතුකම වේ.
ශාසන ප්‍රතිපදාවට අනුව උපසම්පදා භික්‍ෂූන් වහන්සේට වස් එළඹීමට
දින දෙකක් නියමව ඇත. ඒ දින දෙක පෙරවස සහ පසුවස යනුවෙන්
හඳුන්වනු ලැබේ.
ඉකුත් ඇසළ අව පෑළවියදා පෙරවස් එළඹනු අතර එසේ පෙරවස් එළඹීමට
අපහසු වූයේ නම් පසුවස් එළඹීම ද ශාසනික සම්ප්‍රදාය වේ.
එහෙත් පෙර වස් වැස මහා පවාරණයෙන් පවාරණය කරන ලද භික්‍ෂූන්
වහන්සේට පමණක් කඨින චීවරය ලබා ගැනීමේ අයිතිය පැවරී ඇත. නිකිණි
අවපෑළවිය දා පසුවස් එළඹෙන දිනයයි.
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහ රහතන්
වහන්සේලාගේ සහභාගිත්වයෙන් රජගහනුවර වේහාර පර්වතයෙහි සප්තපර්ණි
ගුහාද්වාරයෙහිදී පළමු වන ධර්ම සංගායනාව ඇසළ අව පෑළවියදා අරඹා
සත් මසක් පුරා පවත්වන ලදී.
ශාසනික ආගමික හා සංස්කෘතික වශයෙන් මෙරට බෞද්ධ කේන්ද්‍රස්ථාන
රැසක ඓතිහාසික ආගමික පූජෝත්සව සිදු කෙරෙන නිකිණි පුර පසළොස්වක
පොහොය බෞද්ධ ජනතාවගේ සැදැහැසිත් වඩ වඩා තෙරුවන් විෂයෙහි යොමු
කරවන උතුම් දිනයකි.
පුණ්‍ය සමයක උදාවූ සූවිශේෂි පින්බර දිනයකදී විහාරස්ථානය වෙත
යොමු වී තම තමන්ගේ ආගමික දිවි පෙවෙත තව තවත් වර්ධනය කර ගැනීමට
උත්සාහ කළ යුතුව ඇත. |