ප්‍රායෝගික ජීවිතයට
බුදු දහම 02
දැහැමි පවුල් දිවිය
දෙව් විමනක් බඳු ය
කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ
අධ්‍යයන අංශයේජ්යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
උඩුහාවර
ආනන්ද හිමි
විවාහය ගිහි ජීවිතයේ එක් අංගයකි. ස්ත්‍රියකගේ හා පුරුෂයෙකුගේ එකට වාසය
කිරීමක් වන විවාහය මහත් අවබෝධයකින් යුක්තව සිදුකළ යුත්තකි. පවුල්
ජීවිතයේ ප්‍රධාන අරමුණු කීපයකි. එනම්,
ප්‍රජනන කෘත්‍යය
අධ්‍යාපනය
ආර්ථික කාර්ය සාධනය
පවුල් ජීවිතය ආරම්භ කිරීමට පළමුව එය විධිමත් අයුරින් සැලැසුම්කර ගැනීමට
අවශ්‍ය උපදෙස් සූත්‍ර දේශනා රාශියකින් බුදුරජාණන් වහන්සේ දැක්වූහ. උපතේ
සිට වෙනස් පරිසර දෙකක හැදුණු වැඩුණු දෙදෙනෙකුගේ එකට වාසය කිරීම
මුළුමනින්ම ගැටුම්වලින් තොර පරමාදර්ශී පරිපූර්ණ එකක් වන්නේ නැත.
ඔවුනොවුන් කොතරම් සාමයෙන් කල්ගත කළද අසමානකම් කොතෙකුත් දකින්නට ලැබේ.
නමුත් දහමට ජීවිතය යොමුකළ අවබෝධයක් සහිත පුද්ගලයෙකුට තම දැනුම තුළින්ම
එවැනි අසමානකම් මඟහරවා ගැනීමට හැකියාවක් තිබේ. කාන්තාවක් වශයෙන් ඉපදීම
නිසා, ආවේණික වශයෙන් විඳින්න සිදුවන දුක් පහක් පිළිබඳව සංයුත්ත නිකායේ
ආවේණික දුක්ඛ සූත්‍රයේ දක්වා තිබේ. එනම්,
විවාහවීම හේතුවෙන් තරුණ අවදියේම තම නෑදෑයන්ගෙන් ඈත්වී ස්වාමියාගේ නිවසට
යාමට සිදුවීම,ඔසප් ඇතිවීම,ගර්භණී වීම,දරුවන් බිහිකිරීමට
සිදුවීම, සැමියාට උපස්ථාන කිරීමට සිදුවීම.
මේවායින් දෙවන, තුන්වන හා හතරවන දුක් කාන්තාවකට ජීව විද්‍යාත්මකව
විඳින්න සිදුවෙන දේවල් ය. පළමු හා පස්වැන්න සමාජ චාරිත්‍ර හා බැඳී
පවතී. කාන්තාවන්ට මුහුණදීමට සිදුවන මෙම ජීව විද්‍යාත්මක හා සමාජ
විද්‍යාත්මක කරුණු පිළිබඳ නිසි අවබෝධයක් තිබීම සාර්ථක පවුල් ජීවිතයක්
ගතකිරීමට උපකාරී වේ. ලොව පවතින රූප අතරින් ස්ත්‍රියට පුරුෂයාගේ රූපයත්,
පුරුෂයාට ස්ත්‍රියගේ රූපයත් ආකර්ෂණීය බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර
නිකායේ චිත්තපරියාදාන සූත්‍රයේ දී දේශනා කළහ. විවාහ ජීවිතයක් ඇරැඹෙන්නේ
මෙම ආකර්ෂණීය බව පදනම්කොටගෙන ය. විවාහයට පත්වීමට අපේක්‍ෂා කරන තරුණ
තරුණියන් මේ පිළිබඳ ගැඹුරින් සිතා බැලීම වැදගත් වේ. ස්ත්‍රියක හා
පුරුෂයෙකු තුළ ඔවුනොවුන් කෙරෙහි පවතින ආකර්ෂණීයභාවය කරුණු පහක් නිසා
සිදුවන බව සංයුත්ත නිකායේ ‘පුරිස සූත්‍රයේ’ සඳහන් වේ. කාන්තාවක් සිය
සැමියා වශයෙන් පුරුෂයෙකු තෝරා ගැනීමේ දී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය
යොමු කරයි.
මනා පෞරුෂයකින් යුක්ත වීම (රූපවා හොති)
සුවපහසු ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය ධනය තිබෙන අයෙකු වීම (භොගොච හොති)
සිල්වත් විනයගරුක මනා චරිතයකින් යුක්ත අයෙකු වීම (සිලවා හොති)
පවුලේ ආර්ථික කටයුතු වලදී මෙන්ම වෙනත් කටයුතුවලදීත් දක්‍ෂව අලස නොවී
කටයුතු කරන්නෙක් වීම (දක්ඛොච අනලසො)
දරුවන් ලබාදීමේ කායික හැකියාවෙන් යුක්ත අයකු වීම යන කරුණු නිසා ය.
වර්තමානයේ ද විවාහය පෙර සලකා බලන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වාදුන් මෙම
කරුණුම නොවේද? මේවායින් එකක් හෝ නොමැති නම් එවැනි පුද්ගලයන් සමඟ විවාහ
වීමට කාන්තාවන් අකැමැති වේ. ඉහතින් දැක් වූ කරුණු පහ කාන්තාව
සම්බන්ධයෙන් ද ඒ අයුරින්ම දක්වා තිබේ. එනම් කාන්තාවක් පුරුෂයාගේ සිත්
ගන්නේ ඇය රූපයෙන්ද ධන සම්පත් අතින් ද සිල්වත් කමින්ද දක්‍ෂතාවයන්ගෙන් ද
දරුවන් බිහි කිරීමේ හැකියාවෙන් ද යුක්තවන්නේ නම් පමණි. විවාහයට පෙර
මෙකී කරුණු කෙරෙහි සැලකිලිමත්වීම සාර්ථක පවුල් ජීවිතයක් ගතකිරීමට
බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. මෙයින් එක් කරුණක් හෝ දෙකක් ගැන පමණක් සලකා
විවාහ ජීවිතයට පත්වූ බොහෝ තරුණ තරුණියන්ගේ විවාහ ජීවිත එක් රැයකින්ම
බිඳී වෙන්වී ගිය අවස්ථා කොතෙකුත් දකින්නට ලැබේ. එබැවින් නුවණැති, දහමට
ලැදි තරුණ තරුණියන් විවාහයට පෙර මෙකී තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත්වීම
හා අත්දැකිම් සහිත වැඩිහිටි පුද්ගලයන්ගේ උපදෙස් අනුව ක්‍රියා කිරීම
අවශ්‍ය වේ. බුදුදහමට අනුව පවුල් ජීවිතයක් ගතකිරීම එක්තරා ආකාරයක
සාංසාරික බැඳීමකි. අංගුත්තර නිකායේ ‘නකුලසමජිවි සූත්‍රය’ මේ සඳහා
දැක්විය හැකි හොඳ නිදසුනකි. දිනක් බුදුරජාණන් වහන්සේ නකුලමාතා සහා
නකුලපිතා ජීවත් වූ නිවසට වැඩම කළහ. උන්වහන්සේට අසුන් පනවා දෙදෙනාම එකත්
පසක හිඳගත්හ. අනතුරුව තමන්ගේ පවුල් ජීවිතයෙහි පවතින අන්‍යෝන්‍ය
විශ්වාසය බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළහ.
“ස්වාමිනි නකුලමාතාව සමඟ තරුණ වියේදීම විවාහ ජීවිතය ආරම්භ කළ මට, එතැන්
පටන් මේ දක්වා වෙනත් ස්ත්‍රියක් පිළිබඳව සිතක් පහළ වූ බවක් නොදනිමි.
ඉදින් වැරැදි ඇසුරක් ගැන කියනුම කවරේද? අපි මෙලොවදී ඔවුනොවුන් දකින්න
කැමැති වන්නාක් සේම පරලොවදී ද ඔවුනොවුන් දකින්ට කැමැත්තෙමු.”
නකුලපිතාගේ මෙම ප්‍රකාශනයෙන් පසු නකුලමාතාව ද ප්‍රකාශනයක් කළා ය.
“ස්වාමිනි තරුණ වියෙහි පසුවූ නකුලපිතා සමඟ යුග දිවිය ඇරැඹූ එබඳුම
තරුණවියෙහි පසුවූ මට යුගදිවිය ඇරැඹු දා පටන් වෙනත් පුරුෂයෙකු පිළිබඳව
සිතක් පහළ වූ බවක් මම නොදනිමි. වැරැදි කායික ඇසුරක් ගැන කියනුම කවරේද?
අපි මෙලොවදී ඔවුනොවුන් දකින්න කැමැති වන්නා සේම පරලොවදීත් ඔවුනොවුන්
දකින්ට කැමැත්තෙමු.”
බුදුරජාණන් වහන්සේ මෙම දෙදෙනාගේම ප්‍රකාශන සාමදානව අසාගෙන සිට, අවසානයේ
දී මෙසේ දේශනා කළහ.
“යම් අඹුසැමි යුවළක් මෙලොවදී මෙන්ම පරලොවදීත් ඔවුනොවුන් දැකීමට
කැමැතිවන්නේ නම් දෙදෙනාම ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා (ත්‍රිලක්ෂණය
පිළිබඳ දැනුම) අංගවලින් සමාන වන්නේ නම් ඒ දෙදෙනා මෙලොවදීත් පරලොවදීත්
එකිනෙකා දකිති.”
බුදුරජාණන් වහන්සේගේ මෙම පිළිතුර ගැඹුරින් විමසා බැලිය යුත්තකි. මෙහි
දැක්වෙන ශාසනික ගුණ නම් සද්ධා, ශීල, චාග, පඤ්ඤාය. යුග දිවියේ
අන්‍යෝන්‍ය විශ්වාසය සුරක්‍ෂිතවීම කෙරෙහි, මෙම ආධ්‍යාත්මික ගුණ ධර්ම
බොහෝසෙයින් ඉවහල් වෙයි. නකුල මාතා හා නකුල පිතා යන දෙදෙනාම බුදුරජාණන්
වහන්සේගේ අගැයීමට ලක්වන්නේ ඔවුන් දෙදෙනාම දැහැමින් යුග දිවිය ගත කරන
නිසාය. දැහැමි බව සාර්ථක යුග දිවියක් ගත කිරීමට කිසිසේත්ම බාධාවක්
නොවේ. එය යුග දිවිය වඩාත් සුන්දර එකක් බවට පත් කරයි.
පී‍්‍රතිමත් යුග ජීවිතයක් ගත කරන අඹුසැමියන් කවර ආකාර වියයුතු දැයි
දැක්වීමට බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සංවාස නම් සූත්‍රයෙහි යුග
දිවිය එහි ස්වභාවය අනුව එය කොටස් හතරකට බෙදා දැක්වූහ.
මළ මිනියක් මළ මිනියක් සමඟ වාසය කිරීම.
මළ මිනියක් දෙව් දුවක සමඟ වාසය කිරීම.
දෙව් පුතෙක් මළ මිනියක් සමඟ වාසය කිරීම.
දෙව් පුතෙක් දෙව්දුවක සමඟ වාසය කිරීම.
යුග ජීවිතයේ මෙම අවස්ථා හතරෙන් බුදුරජාණන් වහන්සේගේ අගැයීමට ලක්වන්නේ
සිව්වන අවස්ථාව පමණි. යම් අඹුසැමි යුවළක් පස්පව්වල යෙදී ගෘහ ජීවිතය
පවත්වාගෙන යමින් සිල්වත් මහණ බමුණන්ට ආක්‍රෝස පරිභව කරන ස්වභාවයන්ගෙන්
යුක්ත නම් ඔවුන් දෙදෙනා මළ මිනී දෙකක් එකට වාසය කිරීමක් හා සමානය.
බිරිඳ හෝ ස්වාමියා පමණක් පස්පවින් තොර වූ පමණින් පවුල් ජීවිතය සාර්ථක
වන්නේ නැත. දෙදෙනා තුළම සමානව සදාචාරය පැවැතිය යුතු ය. දෙදෙනාම
සදාචාරවත්ව ගෘහ ජීවිතය පවත්වාගෙන යන්නේ නම්, එම පවුල් ජීවිතය දෙව්
පුතෙකු හා දෙව් දුවක සමඟ එකතුවීමක් හා සමාන වේ. මේ අනුව නිවසක්, පවුලක්
දෙව්විමනක් වන්නේ සදාචාර සම්පන්න වීමෙන් බව පැහැදිලිය. පන්සිල් සුරකින
අඹු සැමි යුවළකගේ ජීවිතය තුළ කිසිදු ආකාරයක අයපතක් හෝ පරිහානියක්
දකින්න නොලැබේ. එය මෙලොව ජීවිතයේ දී පමණක් නොව පරලොව ජීවිතයේ ද සතුටට
හේතුවන බව බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයේ දී තවදුරටත් දේශනා කළහ.
දැහැමි පවුල් දිවියක් ගතකරමින් අඹු, දරුවන් පෝෂණය කරන පුද්ගලයාට
සදෙව්ලොවටම අධිපති ශක්‍රයාද නමස්කාර කරන බව සංයුත්ත නිකායේ සක්කනමස්සන
සූත්‍රයේ දැක්වේ. සදාචාරයෙන් වෙන්ව අනාචාරයේ යෙදෙමින් දෙවියන්ගේ පිහිට
පතන අය මෙම ධර්ම කරුණ මැනවින් තේරුම් ගතයුතුය.
වර්තමානයේ බොහෝ පවුල් ජීවිත අසාර්ථක වී තිබෙන්නේ ධර්ම මාර්ගයෙන් වෙන්
වී අධර්ම මාර්ගයේ ගමන් කිරීම නිසා ය. නීතිමය අවශ්‍යතා ඉටුකිරීම සඳහා
කඩදාසියක් මත අත්සන් තැබීමෙන් පමණක් විවාහ ජීවිතය අරඹන බොහෝ දෙනෙකුගේ
පවුල් ජීවිත අමුසොහොනක තත්ත්වයට පත්ව තිබෙන්නේ ඔවුන් තුළ අන්‍යෝන්‍ය
විශ්වාසය හා සමාන සදාචාරය නොමැතිකම නිසාය. විශාල ධන සම්භාරයකට උරුමකම්
කියන අලංකාර නවීන පහසුකම් සහිත නිවසක ජීවත්වන අඹු, සැමියන් අමුසොහොනක
ජීවත්වන තත්ත්වයකට පත්වී, ඔවුනොවුන් වෛර කරන, ද්වේෂ කරන, වංචා කරන අය
බවට පත් වී සිටියි. පවුල් ජීවිතය අසාර්ථක කරගත් බොහෝ දෙදෙනකුගේ ජීවිත
පිළිබඳව සියුම්ව විමසා බැලීමේ දී හෙළිවන්නේ ආශාවන් පිටුපස හඹා යමින්
අධාර්මික ජීවන ප්‍රතිපදා අනුව ජීවත්වීම ඊට හේතුවී ඇති බවයි.
පවුල් ජීවිතය සාර්ථක කර ගැනීම උදෙසා වයස් පරතරයද බෙහෙවින් වැදගත් වේ.
විවාහ වීමට අපේක්‍ෂා කරන දෙදෙනා අතර පවතින වයස් පරතරය වැඩිවීම නිසා
නොයෙකුත් ගැටලු නිර්මාණය විය හැකිය. නවයොවුන් යුවතියක් වියපත්
පුද්ගලයෙකු විසින් විවාහයට ගැනීම පිරිහීමට හේතුවක් වශයෙන් පරාභව
සූත්‍රයෙහි දැක්වෙන්නේ මේ නිසාය. ඉහතින් දැක් වූ කරුණු වලට අනුව
විවාහයක් ආරම්භ කිරීමට පළමුව එය මැනවින් සැලැසුම් සහගතව සිදුකිරීමට
අවශ්‍ය උපදෙස් රාශියක් බුද්ධ දේශනා තුළ අන්තර්ගතව තිබෙන බව පැහැදිලිය.
එය මුළුමනින්ම සදාචාරය මත පදනම්ව කි‍්‍රයාත්මක වියයුතු සමාජ සංස්ථාවකි.
බුදුසමයේ ප්‍රායෝගිකත්වය |