මවකගේ
උණුසුම නොලබා
සැපට නිදන
පුතේ
කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති
මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේගේ බෝසත් අවධියෙහි, පුතණුවන් වන රාහුල
කුමාරයා හැදුවේ වැඩුවෙ යම් ආකාරයකට ද, එය අපට නූතන පරපුරේ දරුවන්
හැදීමට ඉතාමත්ම යහපත් ආදර්ශයක්. එහිදී රාහුල කුමාරයාට සේම සෝපාකට ද
ඉතාමත් මැනැවින් සාධාරණව සැලකූ බුදුපියාණන් වහන්සේ රාහුලත් සෝපාකත්
දෙදෙනාම හැදුවේ වැඩුවේ එකලට ගැළපෙන ආකාරයට නොවෙයි. උන්වහන්සේ ඒ දෙදෙනාම
හැදුවේ වැඩුවේ හෙටට ගැළපෙන ආකාරයට මිසක් වර්තමානයට ගැළපෙන අයුරින්
නොවෙයි.
දරුවන් තැනීම පිළිබඳ ආදර්ශයේදී, බුදුරජාණන් වහන්සේ සඳහන් කරල තිබෙන්නෙම
ආදර්ශයෙන් පෙන්වා වදාළේම, ජීවත් වන කාලයට ගැළපෙන දරුවෙක් හදනවට වඩා
අනාගතයට ගැළපෙන දරුවෙක් හැදිය යුතුය යන්නයි. ඒ නිසාම තමයි බුදුරජාණන්
වහන්සේගෙන් හැමදාම අවවාද අනුශාසනා ඉල්ලා වැලි උඩ දැමූ රාහුල කුමාරයා
මහරහතන් වහන්සේ නමක් වෙන තැනට පත් කළේ. අදට ගැළපෙන අයුරින් ජීවත් වීමට
නියමිතව උපන් සෝපාක හෙටට ගැළපෙන තත්ත්වයට බුදුපියාණන් වහන්සේ සකස් කළේ
ඒ අයුරිනි.
තථාගතයන් වහන්සේ අනුගමනය කරන අය ලෙස උන්වහන්සේට වන්දනාමාන කිරීම
ප්‍රමාණවත් වන්නේ නැහැ. උන්වහන්සේ අනුගමනය කරන්නේ නැතිව. “ බුද්ධං සරණං
ගච්ඡාමි” කියල බුදුන් සරණ යන්න බැහැ. වන්දනා කිරීමෙන් පමණක් බුදුරජාණන්
වහන්සේ සරණ යන්නට නම්, චර්යාවෙන් බුදුපියාණන් වහන්සේ සමග සමගාමි වන්නට
අවශ්‍යයි. බුදුපියාණන් වහන්සේ චර්යාවෙන් අනුගමනය කරන්නට නම්, උන්වහන්සේ
ජීවිතයේ හැසිරුණු ආකාරය, උන්වහන්සේ ජීවිත අභියෝගවලට මුහුණ දුන් ආකාරය,
උන්වහන්සේ ගත් තීන්දු තීරණ ක්‍රියාත්මක කරපු ආකාරය. උන්වහන්සේ සමාජ
විචල්‍යතාවයන්ට ඔරොත්තු දෙන පරිදි තමන් වහන්සේගේ ජීවන චර්යාව පවත්වාගෙන
ආපු ආකාරය, පිළිබඳවත් අඩුම වශයෙන් අපට පුංචි අධ්‍යායනයක් වත් තිබිය
යුතුයි. අධ්‍යයනයට අමතරව එකී චර්යාව පුරුදු කිරීමේ ජීවන චර්යාවක්
තිබෙන්නට ඕනෑ. බුදුරජාණන් වහන්සේ තාදී ගුණ සම්ප්‍රයුක්තය, එහෙයින් අප
උන්වහන්සේට ඒ ගුණය උදෙසා වඳිමු යැයි, කියා වන්දනා කරන අතරවාරයේදි, තාදී
ගුණය නමින් හඳුන්වනු ලබන දුක්ඛ දෝමනස්සයන්ට හා සුඛ සෝමනස්සයන්ට මැනවින්
ඔරොත්තු දීමේ හැකියාව යම් ප්‍රමාණයක් හෝ අප ළග තිබිය යුතුයි. එහෙම
පොඩි ප්‍රමාණයක්වත් නැතිව ප්‍රශංසා කරල බුදුහාමුදුරුවන්ට වන්දනා
කිරීමෙන් පමණක් අපට වෙන ප්‍රයෝජනයක් නැහැ.
බුදුන් සරණ යන්න නම් එය අනුගමනය කරනවා මිසක් වන්දනා කිරීම පමණක්
ප්‍රමාණවත් නැහැ. ඒ වගේම උදේ පාන්දර අවදිව රාත්‍රිය වනතෙක් පිළිවෙත්
පුරපු කාල සටහනකට අනුව වැඩකරපු බොහෝම හුරුබුහුටි ජීවන චර්යාවක් තිබුණ
බුදුහාමුදුරුවන්ට එසේ තිබුණ බව සැබෑවේ යැයි කියා බුදුපියාණන් වහන්සේට
නමස්කාර කිරීම පමණක් බුදුන් සරණ යන්න ප්‍රමාණවත් වන්නේ නැහැ. එම ගුණ
යම් ප්‍රමාණයක් හෝ අප ළඟ නැතිව බුදුපදවිය ලබාගැනීම සඳහා සාරාසංඛ්‍යෙය
කල්ප ලක්‍ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කරමින් ද, හය අවුරුද්දක් දුෂ්කර
ක්‍රියා කරමින් ද, සති හතක් එක දිගට බවුන් වඩමින් ද, කළ මහා දැවැන්ත
ව්‍යායාමය සැබෑවී සත්‍ය වී නම් කියා, වන්දනා කරනවා වෙනුවට ජීවිතයේ
කිසියම් සාක්ෂාත් කරණීය ධර්මතාවක් අපේක්‍ෂාවක් සාක්ෂාත් කරගැනීම සඳහා
වෑයමක් කරන්නේ නැතිව, වන්දනා කිරීමෙන් පමණක් බුදුන් සරණ යන්න බැහැ.
රම්‍ය, සුරම්‍ය, සුභ යන මාලිගාත්‍රයත්, ඇත්, අස්, රිය, පාබල මහ සෙනගත්
රාජකීය ඔටුන්න සහ රාජකීය සිංහාසනය යන දෙකම අතහැර දමා මහ ඝන වන මැද
බවුන් වැඩීම ලෞකික වශයෙන් මහා දැවැන්ත පරිත්‍යාගයක්. එම පරිත්‍යාගය
නිසා බුදුපියාණන් වහන්සේට වන්දනා වේවා නමස්කාර වේවා කියා වන්දනා
කිරීමෙහි අර්ථ සම්පන්න වන්නේ නැහැ. රට වෙනුවෙන්, සමාජය වෙනුවෙන් කිසිම
කැප කිරීමක් නොකරන කෙනකුට බුදුන් සරණ යන්න බැහැ.
බුදුහාමුදුරුවන් මේ දරුවන් පිළිබඳව සිතපු සිතිවිල්ල සහ දේශනා ටික
අර්ථවත්ව උද්ග්‍රහණය කරල විභාග පාස් කළාට බෞද්ධ අනුගාමිකයෙක් වන්නවත්,
බුදුන් සරණ යන්නවත් බැහැ. එනිසාම කෙසේ බුදුන් සරණ යා යුතු ද ?
බුදුහාමුදුරුවන් අනුගමනය කිරීම බුදුහාමුදුරුවන් වන්දනා කිරීම,
බුදුහාමුදුරුවන් පිළිබඳව ඉගෙන ගැනීම යනු කාරණා තුනක්.
දහම් පාසල් අධ්‍යාපනය, වෙනත් පාසල් අධ්‍යාපනයන්හි අප කෙරෙන්නේ
බුදුහාමුදුරුවන් පිළිබඳ ඉගෙනීම. බුදුහාමුදුරුවන් පිළිබඳ ඉගෙනීමෙන්
පමණක්ම බෞද්ධයෙක් වන්නේ නැහැ. බුදුන් සරණ යන්නත් බැහැ. බුදුහාමුදුරුවන්
පිළිබඳ ඉගෙනීමෙන් බුද්ධාගම පිළිබඳව දැනගෙන ඒ පිළිබඳව උගතෙක් විය
හැකියි. උන්වහන්සේ පිළිබඳ උගතෙක් වීමෙන් විභාග ලිවිය හැකියි. බුද්ධාගම
පිළිබඳව වැඩි ලකුණු ලබාගැනීම යනු බුදුහාමුදුරුවන්ගේ අනුගාමිකයෙක් වීම
හෝ බෞද්ධයෙක් වීම නොවේ. ඔහුට හෝ ඇයට විභාග සමත්වීමෙන් ලද සහතික පත්‍ර
මගින් රැකියාවක් ලබාගෙන වැටුපක් ලබාගත හැකියි. බුද්ධාගම ඉගෙනීමෙන්
අනාගාමික භාවයට අර්ථසම්පන්න වන්නේ නැහැ.
බුදුහාමුදුරුවන්ගේ අනුගාමිකයෙකු වන්න නම්, බුදුන් සරණ යන්න නම්
උන්වහන්සේ අනුගමනය කළයුතුයි. ඒ අනුගමනය කිරීම සඳහා තථාගතයන් වහන්සේගේ
ගුණ ඕනෑ තරම් තියෙනවා. උන්වහන්සේගේ මව්පියන්ට සැලකිමේ ගුණය,
උන්වහන්සේගේ කළගුණ සැලකීමේ ගුණය, උන්වහන්සේගේ සමාජ සේවා කටයුතු,
උන්වහන්සේගේ ජීවිතයේ කාලසටහන, උන්වහන්සේගේ භාණ්ඩ පරිභෝජනය, උපභෝග
පරිභෝග වස්තු භාවිත කිරීම, උන්වහන්සේ දරුවන් පිළිබඳව හිතපු ආකාරය,
උන්වහන්සේ කාන්තාවන් පිළිබඳව හිතපු ආකාරය, රාත්‍රි කාලය සහ දවල් කාලය
ගත කරන්න අවශ්‍ය පිළිවෙළ, උන්වහන්සේගේ කැපවීම, උන්වහන්සේ දීර්ඝ කාලීනව
එක් ඉලක්කයක් සඳහා සැලසුම් සකස් කිරීම, උන්වහන්සේගේ ආහාර හා ඇඳුම්
චර්යාවන්, උන්වහන්සේගේ ප්‍රශ්න කිරීමේ සහ ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදය,
අභියෝගවලට මුහුණ දුන් ආකාරය, උන්වහන්සේ සමාජ සාමුහිකත්වය පිළිබඳව හිතපු
ආකාරය සහ සමාජ සහනශීලිත්වය පිළිබඳ හිතපු ආකාරය යන කාරණා ටිකවත් අපේ
ජීවිතවලට ඇතුළත් කරගත හැකි නම් අනුගාමිකයෙකු බවට පත්විය හැකිය. බුද්ධ
ධර්මය පිළිබඳ බෞද්ධ අනුගාමිකයෙක් වෙන එකද ? බෞද්ධ උගතෙක් වෙන එකද? යන
කාරණාව අප ඉදිරියේ තිබෙන ලොකු ප්‍රශ්නයක්.
බෞද්ධ අනුගාමිකයෙක් නිර්මාණය කරන වැඩසටහනක් අවශ්‍යයි. උගතා වීම යනු
ගුණවතා වීම නොවේ. උගතා වීම යනු උගතා වීමයි. එනිසා දරුවන් තැනූ බුදු
පියාණන් වහන්සේට දරුවන් තනනා දෙමාපියන්ට දෙන්න තිබෙන දැවැන්තම අවවාදය
වන්නේ, තමන්ගේ දරුවා බෞද්ධ අනුගාමිකයන් බවට පත්කරන්න බුදුහාමුදුරුවන්
අධ්‍යයනය කරන්න. ඉගෙනීමයි අධ්‍යයනය කිරීමයි දෙකක් මිස එකක් නොවෙයි.
බුද්ධ චරිතය පිළිබඳව කියවල බුද්ධ චරිතය සිද්ධි පිළිබඳ හිතල ඒ ආකාරයට
කොහොමද ජීවිතවලට මුහුණ දෙන්නේ ? ඒ ආකාරයට කොහොමද අපේ අනාගත පරපුර මුහුණ
දෙවන්න ඕනේ, කියන කාරණාව විශේෂයෙන්ම, ආදරණීය දෙමාපියන් බුදුහාමුදුරුවන්
අනුගමනය කරන දරුවන් පිරිසක් නිර්මාණය කරනවා මිසක් බුද්ධාගමට සහතික ලබන
දරුවෙක් නිර්මාණය කිරීමේ වටිනාකමක් නැහැ.
සටහන
හේමමාලා රන්දුනු |