UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හුරුබුහුටි අපූරු නිර්මාණයක් වශයෙන් මහනුවර නගරයේ ඇති ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රජ මහා විහාරස්ථානය අදටත් දැක වැඳ ගැනීමේ වාසනාව අපට ඉතිරි කර තබා තිබේ.

එහි ගෘහ නිර්මාණ ආකෘතිමය වෙනස මෙන්ම මේ වටා පෙළ ගැසී ඇති පුරාවෘත්තයේ ද අපූර්වත්වය මෙන්ම සුවිශේෂිත්වය විසින් ඉතිහාස කතාවේ එක් ගොඩැල්ලක් මත අස්ගිරි ගෙඩිගේ ඔසවා තබා තිබෙ යි. ඒ ඉතිහාස මග ඔස්සේ යන දිගු චාරිකාවේ දී වන්දනා ගමනක් මෙන්ම සෞන්දර්ය චාරිකාවක් පරිද්දෙන් අපට මේ ගෙඩිගේ වෙතට පිවිසිය හැකි ය.

අද අප එය දකින්නේ සීමිත ඉඩක් තුළදී ය. එහෙත් ඒ මත ඇඳි බැඳී රැඳී පවතින පුරාවෘත්තය ඉතිහාසයේ පුළුල් වපසරියක් ආවරණය කරන සුළු ය. ඉතිහාස ගමන් මඟ තැනක නොනවතා එදා මෙන්ම අදටත් හෙටටත් දිගේලි කිරීමට තරම් මේ සවිමත් ශෛලමය ගෙඩිගෙයට හැකිවීම සුවිශේෂී වෙයි.

ගෙඩිගේ යනුවෙන් හඳුන්වන්නේ විහාරය මත ගෝලයක නැතිනම් ගෙඩියක ආකාරයෙන් කැපූ කළු ගලින් නිමැවූ ආකෘතියක් ඇති ගෘහය යි. මේවා පල්ලව සම්ප්‍රදායට අනුව ලක්දිව නිර්මාණය වු ගොඩනැගිලි විශේෂයක් වේ. (කඳුරට ප්‍රවේනිය–ආචාර්ය එම්.ඒ. පී. අභයරත්න)

අස්ගිරි මහා විහාරය මහා විහාර වංශකතාවේ එක් පහන් කන්දක් සේ ය. මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වය දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන සංඝ මූලස්ථානයකි. එය ආරම්භ වී ඇත්තේ රාජ්‍ය වර්ෂ 1312 දී අරණ්‍යයක් වශයෙනි.

මේ අතරතුර ගම්පල රාජධානියේ රජකම් කළ ධ්ධ්ධ්වන වික්‍රමබාහු රජතුමා (රා.ව. 1347- 1375) ගේ මිය ගිය මව් බිසවගේ දේහය ආදාහනය කළ ස්ථානයේ සිහිවටන ස්මාරකයක් ලෙස බෝධියක් රෝපණය කළේ ය. එම බෝධින් වහන්සේ අදටත් වැඳුම් පිදුම් ලබමින් ‘චන්ද්‍රාවතී බෝධිය’ නමින් නොමියව වැඩ වසයි. ඇයගේ භෂ්මාවශේෂ තැන්පත් කළ තැන ආදාහන මළුව වශයෙන් නම් විය. පසුව මෙම ආදාහන මළුවේ හිස් සිහිවටනයක් වෙනුවට පහන් සංවේගය උදෙසා සදානුස්මරණීය වූ ගෙඩිගේ නමින් පිළිම ගෙයක් නොහොත් බුද්ධ මන්දිරයක් කරවූ බව කියැ වෙයි.

ඒ සමඟ සංඝාවාසයක් ද ඉදිකර ක්‍රමයෙන් විහාරස්ථානයක් ලෙස වර්ධනය කර එහි නඩත්තුවට රජතුමා ගම්බිම් කුඹුරු ප්‍රදානය කළ බවත් අස්ගිරි විහාරයේ ග්‍රන්ථ ධුරය වඩන භික්‍ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිස රාජනාරායන වික්‍රමබාහු නම් භික්‍ෂූන්වහන්සේ වෙත පූජා කළ බවත් ඉන් පසුව ග්‍රන්ථ ධූරාභිලාෂී බොහෝ සංඝයා වහන්සේ ගෙඩිගේ විහාරයෙහි වැඩ සිටි බවත් සඳහන් වෙයි. එතුමා විසින්ම ‘රත්නභානු ගිනිගේ’ නමින් ද හැඳින්වෙන මෙහි භූ®මිය හාත්පස වටකොට මහා වාහල්කඩක් බඳවා විහාර තුනක් කරවා ඒ ස්ථාන තුන උඩමළුව , මැදමළුව, පාතමළුව වශයෙන් නම් කළ බව අස්ගිරි උපත ග්‍රන්ථයේ සඳහන් වෙයි.

මෙහි මැද මළුව අස්ගිරි මහා විහාරයේ මහ තෙරුන් වහන්සේලාගේ ආදාහන කටයුතු සඳහා සම්මත විය. එතැන් පටන් එය ආදාහන මළුව බවට පත් විය. මෙය ‘ආදාහන මළු විහාර’ නමින් ද ප්‍රකට වූයේ මෙතැන එසේ ආදාහන කටයුතු සඳහා භූමියක් වෙන් කෙරුණු බැවිනි. කොණප්පු බණ්ඩාර, පළමුවැනි විමලධර්මසූරිය නමින් රාජාභිෂේක ලද්දේ 1592 වසරේදී ය. සිංහල රාජ වංශයේ ස්ථිරත්වයේ මහා බල පරාක්‍රමය වූයේ උත්තම සිරි දළදා වහන්සේ ය.

කුරුවිට දෙල්ගමු විහාරයේ සිට ශ්‍රී දන්ත ධාතූ®න් වහන්සේ වැඩමවා ගෙන විත් මහනුවර රජ මාලිගාව සමීපයේ ස්ථිර දළදා මන්දිරයක් කරවා එහි පූජනීය ලෙස වඩා හිඳුවීමට විමලධර්මසූරිය රජතුමාට හැකි විය. එසේ දන්ත ධාතුන් වහන්සේ දළදා මාලිගාව වෙත වැඩමවා ගෙන එන අතරතුර තාවකාලිකව එක් ස්ථානයක තැන්පත් කළේය.

ශි‍්‍ර දන්ත ධාතූ®න් වහන්සේ හේමමාලාවන්ගේ හිස මතින් වඩිමින් රාජ අනුහසින් මහා මාලිග මෙන්ම වන, ගිරි, ගුහා දුර්ග පසු කරමින් එහෙත් මහා අභිමානවත් සාඩම්බර උරුමය සුරකිමින් සපැමිණියේ අප මාතෘ භූමියට ආශිර්වාදයක් වූ භද්‍රඝටයක් ලෙසිනි. එවන් වු මහාර්ඝ සම්පතක පහස මොහොතක් හෝ විඳින්නට ලැබෙන තැන ද අති පූජනීය වෙයි.

මහනුවර දළදා මාලිගාව වෙත වැඩමවා ගෙන ආ දන්ත ධාතුන් වහන්සේ තාවකාලික වූව වඩා හිඳුවීමට රජතුමා තෝරා ගත්තේ අස්ගරි ගෙඩිගේ වීම සුවිශේෂත්වයකි. ඒ නිසාම අස්ගිරිගෙඩිගේ ගෞරව බහුමානයෙන් හඳුන්වනු ලබන්නේ ශ්‍රී දළදා ගමන් මාලිගාව ලෙස ය.

පළමුවන විමලධර්මසූරිය රජතුමාගේ සිට වීර පරාක්‍රමබාහු නරේන්ද්‍රසිංහ (ක්‍රි.ව. 1707 – 1739) කීර්ති ශ්‍රී රාජසිංහ (රා.ව. 1747 – 1781) රාජාධි රාජසිංහ (1781 – 1758) සහ ශ්‍රී වික්‍රම රාජසිංහ (1798- 1815) ආදී සියලු රජවරුන් මෙම විහාරස්ථානය වෙනුවෙන් නොමදව රාජ අනුග්‍රහය දක්වා ඇත.

එමෙන්ම ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හැර අනෙකුත් සියලු රජ වරුන්ගේ ආදාහන කටයුතු ද වර්ෂ 1753 දී ලක්දිව නැවත උපසම්පදාව ප්‍රතිෂ්ඨාපනය කළ සියම් ජාතික උපාලි මහ තෙරුන් වහන්සේගේ මෙන්ම මුල් යුගයේ මල්වතු අස්ගිරි මහ නා හිමි වරුන්ගේ ආදාහන කටයුතු කර ඇත්තේ මෙහි ආදාහන මළුවේදී බව සඳහන්ව තිබෙයි. මෙම භූ®මියේ එක් කොටසකට වෙන් වු ආදාහන මළුවේ පැරණි පැවැති සිහිවටන ස්මාරක ලෙස සැළකිය හැකි කුඩා චෛත්‍යය මෙන්ම සොහොන් කොත් බ්‍රිතාන්‍ය පාලන සමයේදී විනාශයට පත් විය.

එසේම උපාලි මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රමුඛ උභය විහාරයේ භික්‍ෂූන් වහන්සේලා මහ පෙරහරින් රැස් කරවා අස්ගිරි බද ගෙඩිගේ විහාරාසන්න මළුවේදි දෙතිස් රියන් දිග අට විසි රියන් පුළුල් සීමා සම්මත කරවු බව සිංහල විශ්ව කෝෂයේ සඳහන්ව තිබේ. එකිනෙකට වෙනස් කැටයමින් යුතු පැරැණි පොහොය සීමා කණු මේ බිමේ අදත් දකින්නට ලැබෙන අතර තායි ප්‍රතිමා සහිත අලුත් විහාර මන්දිරය ගොඩනංවා ඇත්තේ උපාලි මහතෙරුන් වහන්සේ සිහි වීම පිණිස ය.

මහනුවර ඇසළ පෙරහරට දළදා පෙරහර සම්බන්ධ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාග් අභිමතය පරිදි මහනුවර පෙරහරෙහි අවසාන රන්දෝලි පෙරහරේ දළදා කරඬුව මාලිගාවට ගෙවැදීම, අවසානයේ පෙරහරින් පසුව සියලු චාරිත්‍රානුකූලව පුද සත්කාර මධ්‍යයේ මෙම ඓතිහාසික ගෙඩිගේ විහාරයට වැඩම කරවීම සිදුවිය. එම චාරිත්‍රය අඛණ්ඩව අද ද නොනැසී පවතී.

ගෙඩිගේ විහාරයට වැඩමවන පෙරහර කරඬුව දවල් දිය කැපීමේ මංගල්‍යයට පෙරහරින් වඩමවාගෙන යන්නේ මෙම ගෙඩිගේ විහාරස්ථානයේ සිට ය.

එදා දෙල්ගමු විහාරයේ සිට වැඩමවාගෙන ආ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ තාවකාලිකව රඳවා සුරක්‍ෂා කළ ඒ ඓතිහාසික අවස්ථාව සිහිපත් කිරීම පිණිස අද ද මෙම සම්ප්‍රදායික චාරිත්‍රය අඛන්ඩව ඉටුකරනු ලබ යි.

සතර දිගන්තය පුරා විහිදි පැතිරී පවතින කිසිදු ඓතිහාසික දළදා මැදුරකට හිමි නොවූ මේ සුවශේෂී වරප්‍රසාදයේ හිමිකම් ලබා ගැනීමෙ වාසනාව මේ ගෙඩිගේ ප්‍රතිමා ගෘහයට උදාවී තිබීම දළදා ඉතිහාසය වර්ණවත් කළ සිදුවීමකි.

ගෙඩිගේ වාහල්කඩ දොරටුවෙන් ඇතුල්වන විට දෙපස ආයුධ අතින් ගත් දොරටුපාල රූ සමග පෑහෙන ගජසිංහ රූ දෙක දැක විඳීමෙන් මේ කුඩා මැදුර තුළට අපව රැගෙන යන්නේ අභිමානවත් බව සිත තුළ රඳවමින් ය.

නුවර යුගයේ සිතුවමින් හැඩ වැඩ වූ වට බිත්ති ද පසුකර එතැන්නි ඇතුලත වූ තැන දකින ශෛලමය සමාධි ප්‍රතිමාව නුවර කලා සම්ප්‍රදායේ රමණීය ප්‍රතිමාවකි. මෙම ප්‍රතිමාව ද මේ දම් දිවේ දහස් ගණනක් සම්බුද්ධ ප්‍රතිමා පෙළහරෙහි සුවිශිෂ්ට හිමිකාරත්වයකට දායක වන්නේ වසරකට වරක් පෙරහර කරඬුවෙහි දීප්තිමත් වූ රැස් කිරණෙහි බලයෙන් ඔදවත් වන නිසා ය.

මෙසේ වු ඓතිහාසික සන්සිද්ධීන් රැසක රන් අස්වනු එක් රැස්කර තැබීමට අස්ගිරි ගෙඩිගේ නම් ගෞරවනීය වූ ද පූජනීය වූ ද සදානුස්මරණීය සිහිවටනය සමත් වී තිබෙ යි.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 20 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 10.24 ට ලබයි.
21 වැනි දා බදාදා පූර්වභාග 07.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 20 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 28 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk