UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරි දළදා සමිඳු වැඩ සිටි දන්තපුරය

සිරි දළදා සමිඳු වැඩ සිටි දන්තපුරය

උදේනි රජුගේ පුත් කුමරකු දළදා වැඳීමට පැමිණ දළදා වහන්සේට වතාවත් සිදුකරමින් දන්තපුරයේ සිටි බව වංසකතාවල සඳහන් වෙයි. දළදා වහන්සේට රැකවරණය සැලසීම සහ පුද පූජා පැවැත්වීම පිළිබඳ වගකීම ඔහුට පැවරුණි. ඔහු හැඳින්වුණේ දන්ත කුමරු නමිනි. රජු විසින් තම දියණිය වූ හේමමාලා ඔහුට සරණ පාවා දුනි. මේ අතර කලින් පැලලුප් නුවර ආක්‍රමණය කළ බීරධාර රජුගේ බෑණා කෙනෙක් දළදාව අත්පත් කරගන්නට සේනාව සමඟ දන්තපුරයට ආවේ ය. මගේ දිවි තිබෙන තුරු දළදාව සතුරන්ට නොදෙන්නෙමි යි සිතූ ගුහසීව රජු දන්ත කුමරු අමතමින්, මහ සයුරෙන් එතෙර පිහිටි සීහළ දේශයෙහි සිටින්නේ ඔබගේ හෝ මාගේ නෑයන් නොවේ. එහෙත්සීහළ දේශයේ මිනිස්සු බුදුරදුන් කෙරෙහි සැදැහැති බෞද්ධයෝ ය. ආරක්‍ෂාව සඳහා ඔවුන්ට දළදාව ගෙනගොස් දෙන්නැ යි නියම කළ බව දාඨාවංසයේ දැක්වෙයි

බුදුරදුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ඉතිරි වූ සතර දළදා අතරින් වාම දළදා වහන්සේ ඛේම මහරහතන් වහන්සේ විසින් කළිඟු රජුට ගෙනවුත් දෙන ලදී. ඔහු රන්රුවන් මුතු වැල්වලින් බැබළෙන සුවිසල් මැඳුරක් සාදවා දළදාව එහි තැන්පත් කළ බව පාලි දාඨාවංසයේ සඳහන් වෙයි. එය ලොව පළමුවන දළදා මැදුර යි. එය පිහිටි පෙදෙස දන්තපුරය නමින් හැඳින්වුණි. සිංහල පන්සිය පනස් ජාතක පොතේ තිබෙන චූල කාලිංග ජාතකයේ ද ධර්මප්‍රදීපිකාවේ 146 දන්තපුරේ රාජා හුත්වා යනුවෙන් දැක්වෙන විස්තරයේ ද දන්තපුරය ගැන සඳහන් වෙයි. කළිඟු රජුගේ ඇවෑමෙන් රජකමට පත්වුණේ ඔහුගේ පුත් කාසිරාජ ය. එකල දළදා මැඳුර ආලෝකවත් කෙරුණේ මැණික්වලිනි. කාසිරාජගේ පුත් සුනන්ද කුමරු ද තම පරපුරේ සිරිතට අනුව දළදා හිමිට පූජා පැවැත්වීය.

පසුකලෙක රජකමට පත් ගුහසීව රජු මිසදිටු නිගණ්ඨයන්ගේ බහට රැවටුණි. ඔහු දළදා හිමියන්ට වැඳුම් පිදුම් කිරීම අත්හැරියේ ය. එහෙත් දන්තපුර වැසියෝ නොකඩවාම වාර්ෂික දළදා පෙරහර පැවැත්වූහ. නිවෙස් ඉදිරිපස කෙසෙල් ගස්වලින් ද, නගරයේ වීදි කොඩිවලින් ද සැරසූ ඔවුහු සුවඳ දුම්වලින් හා මල්වලින් පෙරහරේ වැඩමවන දළදා හිමියන් පිදූහ. ඒ දෙස බලා සිටි ගුහසීව රජු බුදුදහම කෙරෙහි පැහැදී දළදා පිදුමට එක්විය. එයින් කෝපයට පත් මිසදිටු නිගණ්ඨයෝ පැළලුප් නුවර (පේෂාවෝර්) පණ්ඩු රජු හමු වී ගුහසීව රජු විෂ්ණු හා සිව දෙවිවරුන්ට නින්දා කරමින්, මිනී ඇටයකට වැඳුම් පිදුම් කරන බව කියා සිටියහ. ඔවුන්ගේ බස් ඇසීමෙන් කෝපයට පත් පණ්ඩු රජු ඒ මිනී ඇටයත් සමඟ කළිඟු රජු අල්ලා ගෙනෙන්නැයි චිත්‍රයාන නමැති ප්‍රාදේශීය රජකුට දැනුම් දුනි. සේනාව සමඟ දන්තපුරයට ගිය චිත්‍රයාන රජු ගුහසීව රජු කෙරෙහි පැහැදුණි. නමුත් ඔහුට පණ්ඩු රජුගේ නියමයට පිටුපෑමට නොහැක. එමනිසා, ඔහු දළදාවත් සමඟ ගුහසීව රජු පණ්ඩු රජු හමුවට ගෙනාවේ ය. නිගණ්ඨයන්ගේ බස් ඇසීමෙන් කුපිතව සිටි පණ්ඩු රජු මුලින්ම කළේ දළදාව ගිනි අඟුරු වලකට දැමීමයි. එහෙත් දළදාවට කිසිදු හානියක් සිදුනොවුණි. දළදාව රැස් විහිදුවමින් බැබළුණි. රජු ඊළඟට නියම කළේ දළදාව කිණිහිරයක් මත තබා කුළුගෙඩියකින් තැලීමට යි. එසේ කරන විට දළදාව කිණිහිර ඇතුළට ගිලුණි. එය දැකීමෙන් පණ්ඩු රජු විශ්මයට පත්විය. බුදුරදුන්ගේ දළදාව විෂ්ණුගේ දතක් යැයි සිතූ නිගණ්ඨයෝ එයට සුවඳ පැන් ඉසිමින් කිණිහිරෙන් එය ගැලවීමට වෙර දැරූහ. ඔවුන්ගේ උත්සාහය අසාර්ථක වුණි. දේවයන් වහන්ස, විෂ්ණ දෙවිඳුගේ අවතාර දසයකි. මෙය ඒ අවතාරයන්ගෙන් එකකට අයත් වූවකි. පෙළහැර පාන්නේ ඒ නිසා යැයි නිගණ්ඨයෝ රජුට පැවසූහ.

දළදා හිමියන් පෑව අසිරිමත් පෙළහර දැකීම නිසා තෙරුවන් කෙරෙහි පැහැදුන පණ්ඩු රජු දළදාව හිස මත තබාගෙන පෙරහරකින් නගරය වටා ගමන් කළ බව දාඨාවංසයේ දැක්වෙයි. පණ්ඩු රජු පැළලුප් නුවර අලංකාර මන්දිරයක් තනා දළදාව එහි තැන්පත් කළේ ය. එය දඹදිව ඉදිකෙරුණ දෙවන දළදා මැදුරයි. එහෙත් පසුකලෙක බීරධාර නම් රජකුගෙන් පණ්ඩු රජුට තර්ජන එල්ල විය. ඒ නිසා දළදාව රැකගැනීම ගුහසීව රජුට පැවරුණි. ඔහු දළදාව නැවතත් දන්තපුරයට ගෙන ගියේ ය.

උදේනි රජුගේ පුත් කුමරකු දළදා වැඳීමට පැමිණ දළදා වහන්සේට වතාවත් සිදුකරමින් දන්තපුරයේ සිටි බව වංසකතාවල සඳහන් වෙයි. දළදා වහන්සේට රැකවරණය සැලසීම සහ පුද පූජා පැවැත්වීම පිළිබඳ වගකීම ඔහුට පැවරුණි. ඔහු හැඳින්වුණේ දන්ත කුමරු නමිනි. රජු විසින් තම දියණිය වූ හේමමාලා ඔහුට සරණ පාවා දුනි. මේ අතර කලින් පැලලුප් නුවර ආක්‍රමණය කළ බීරධාර රජුගේ බෑණා කෙනෙක් දළදාව අත්පත් කරගන්නට සේනාව සමඟ දන්තපුරයට ආවේ ය. මගේ දිවි තිබෙන තුරු දළදාව සතුරන්ට නොදෙන්නෙමි යි සිතූ ගුහසීව රජු දන්ත කුමරු අමතමින්, මහ සයුරෙන් එතෙර පිහිටි සීහළ දේශයෙහි සිටින්නේ ඔබගේ හෝ මාගේ නෑයන් නොවේ. එහෙත් සීහළ දේශයේ මිනිස්සු බුදුරදුන් කෙරෙහි සැදැහැති බෞද්ධයෝ ය. ආරක්‍ෂාව සඳහා ඔවුන්ට දළදාව ගෙනගොස් දෙන්නැ යි නියම කළ බව දාඨාවංසයේ දැක්වෙයි. බමුණු යුවලක් සේ වෙස්බලා ගත් දන්තකුමරු හා හේමමාලා කුමාරිය නොයෙකුත් උවදුරුවලින් ද, දළදා අත්පත් කරගන්නට තැත් කළ පණ්ඩුභාර නමැති නා රජුගෙන් ද බේරී සීහළ දේශයට පැමිණියේ කිතුවසින් 312 දී කිත්සිරිමෙවන් රජුගේ පාලන කාලයේ දී ය. දළදාව දැකීමෙන් සතුටට පත් කිත්සිරිමෙවන් රජු සීහළ දීපය බුදුරදුන්ට පුදන බව පවසමින් රන්මිණියෙන් තැනූ ඔටුන්න දළදා වහන්සේට පිදුවේ ය. ඉන්පසු වාර්ෂිකව දළදා පෙරහරක් ද පැවැත්වී ය.

දළදා හිමි වැඩ සිටි දඹදිව දන්තපුරය තිබුණේ කොතැනකද? වර්තමානයේ ඔරිස්සා ප්‍රාන්තයේ පිහිටි ජගන්නාත් දෙවොල තිබෙන්නේ පැරණි දළදා මැදුර පැවැති භූමියේ යැයි බොහෝ විද්වත්හූ පවසති. දන්තපුරය ජගන්නාත් පුරි නම් විය. ජගන් යනු ලෝකයයි. නාථ යනු අධිපතියා යි. ඒ අනුව ජගන්නාත් දෙවොල ලෝකයට අධිපති දෙවියන් සඳහා තැනූවකි. ජගන්නාත් පිළිමයට අමතරව බලභද්‍ර හා සුභද්‍රා යනුවෙන් නම් කෙරුණ දේව පිළිම දෙකක් ද මෙම දේවාලයේ ඇත. ආචාර්ය අතුල් චන්ද්‍ර විසින් ලියන ලද ජගන්නාත් ඇදහිල්ලේ පරිනාමය නමැති ග්‍රන්ථයේ. මෙම ප්‍රතිමාවන් පිළිබඳ ඔහුගේ අදහස ඉදිරිපත් කර ඇත. ජගන්නාත්, සුභද්‍ර සහ බලභද්‍ර පිළිමවලින් සංකේතවත් කරන්නේ බුද්ධ, ධම්ම හා සංඝ යන ත්‍රිමුර්තිය යි. මහායාන බුදුදහමේ ජගන්නාත් නමින් හැඳින්වෙන්නේ බුදු රජ ය. ටිබෙට් බුදුදහමේ මෙන්ම නේපාලයේ ද ජගන්නාත් දේව යන නම බුදුරදුන් සඳහා භාවිතා වෙයි. කිතුවසින් අටවන සියවසේ ඥානසිද්ධි නමැති ග්‍රන්ථයේ බුදුරදුන් ජගන්නාත් නමින් හඳුන්වයි. ඔහු ග්‍රන්ථය ආරම්භ කරන්නේ ජගන්නාථ වූ සර්වඥ වූ ගගන තලය මෙන් පැතිරුණ බලැති සියලු බුදුවරුන් නමස්කාර කරන බව සඳහන් ශ්ලෝකයකිනි. ඔරිස්සා කෞතුකාගාරයේ අධිකාරි ආචාර්ය සී.බී. පාතෙල් පූරි නගරයේ පැරැණි ජගන්නාත් දෙවොලේ බෞද්ධ සබඳකම ගැන ලියූ ලිපියේ ජගන්නාත් පූරි දෙවොලේ බෞද්ධ ඉතිහාසය ගැන තොරතුරු රාශියක් ඇතුළත් වෙයි. එහි සඳහන් පරිදි, ජගන්නාත් දෙවොල දළදාව තැන්පත් කර තිබුණ ස්ථානයයි.

අශෝක රජ සමයේ ඔරිස්සාවේ සබර ගෝත්‍රිකයන් බුදුදහම වැළඳගෙන ඇත. දෙවොලේ මෙම ත්‍රිරත්න ප්‍රතිමා තැබුවේ ඔවුන් ය. 2003 වසරේ දී ඉන්දීය පුරා විද්‍යා අධිකාරී ආචාර්ය ටී. සත්‍යමූර්ති නාථ මණ්ඩපය අසල ගරුඬ කණුව යට කැනීමක් සිදුකර ඇත. එයට යටින් ඉතා ගැඹුරට වලලන ලද අශෝක කුළුණක කොටසක් මතුවුණි. ජගන්නාත් පූරි දෙවොල පිහිටියේ පැරැණි බෞද්ධ විහාර සංකීර්ණයක බව පැහැදිලි විය.

පුරාවිද්‍යාත්මක සාධකයන් හැරුණු විට ජගන්නාත් දෙවොලේ වාර්ෂික රථ යාත්‍රාව සහ ස්නාන යාත්‍රා පෙරහර මහනුවර දන්තධාතු පෙරහරරේ චාරිත්‍රයන්ට බොහෝ සමාන ය. පිළිම නෑවීමේ නානුමුර මංගල්‍යයක් හා ආහාර පිදීමේ මහා ප්‍රසාද පූජාවක් ජගන්නාත් දෙවොලේ දී සිදුකෙරේ. කවර කෙනකුට වුව ද, දෙවොලට ඇතුල්වීමට හා ඒ සියලු දෙනාම එක්ව ආහාර ගැනීමට ඉඩ ලැබෙන එකම තැන ජගන්නාත් පූරි දෙවොල යි. සාමූහික ගණ භෝජනය තන්ත්‍රයාන බුද්ධාගමේ දැක්වෙන්නකි.

 

 

නිකිණි පුර අටවක පෝය

 අගෝස්තු මස 14 වැනි දා බදාදා පූර්ව භාග 05.10 ට ලබයි.
15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 03.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 14 වැනිදා බදාදා ය.

මීලඟ පෝය
අගෝස්තු 20 වැනි දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]