නිකිණි පුර අටවක 2013 අගොස්තු 14 වන දා
මව්පිය උපස්ථානය
ආදරණීය අම්මා ස්වකීය දරුවා වෙත බොහෝ උපකාර ඇති තැනැත්තියකි.
දරුවකු පිළිසිඳ ගත් දා පටන් ඒ මව ඉතා ප්‍රවේශමෙන් ඒ දරුගැබ පවා
රැක ගන්නීය. දරුවකු මෙ ලොවට බිහි වූ මොහොතේ පටන් මවගේ හදවත
පිරි කරුණාව නිසා ම රතු රුධිරය සුදු පැහැති කිරි බවට පත් වී ඒ
කිරි දරුවා වෙත පොවමින් හදා වඩා ගන්නීය. තද සීතලක් හෝ තද
උණුසුමක් පවා ඒ දරුවා වෙත නො දැනෙන්නට තරම් රැක බලා ගන්නීය.
මැසි, මදුරු, උකුණු, මකුනු ආදී සතකුටවත් ළං වන්නට ඒ මව ඉඩ
නොදෙන්නීය.
මව සතු යම් වස්තුවක් වේ නම් උපන් දරුවා වෙනුවෙන් ඒ සියල්ල
ආරක්‍ෂා කර රැක බලා ගන්නීය. දරුවා හදා වඩා පෝෂණය කරමින් ලොකු
මහත් කර ගැනීමට ගන්නා දරනා උත්සාහයන් ද අප්‍රමාණය.
බහතෝරන වියේ පටන් වයසින් මුහුකුරා යන කුඩා දරුවා ට ඤාති
මිත්‍රාදීන් හඳුන්වා දෙමින්, හොඳ නරක ගැන පළමු පාඩම කියා
දෙන්නේත් මව ම ය. පියා ම ය.
තම දරුවාට මව මෙන්ම ආදරය ඇති තවත් කෙනෙකු වේ නම් ඒ ආදරණීය
පියාණන් ය. දරුවා උපන්දා සිට වෙනදාටත් වඩා කය වෙහෙසවා හරි හම්බ
කර යමක් නිවසට ගෙනැවිත් දෙන්නේ පියාණන්ය.
දරුවාට නිසි විය එළඹෙන විට අකුරු කිරීමට පාසල වෙත යොමු කරවන්නේ
මවත්, පියාත් දෙදෙනා ය. ඉගෙනීම තව තවත් සාර්ථකව කරගෙන යාමට
අමතර ඉගැන්වීමේ නිරත වනුයේ ද දයාබර මව්පිය දෙපළමය.
දරුවාගේ වරදක් දුටුවිට අවවාදයෙන් හෝ තරවටු කිරීමෙන් දරුවා ඒ
වරදින් නිදහස් කරගැනීමට මහන්සි වන්නේ ද ආදරණීය මව්පිය දෙදෙනාය.
එහෙත් ඒ අවවාද, තරවටු කිරීම් කිසි විටෙක අකාරුණිකත්වයෙන් තොරය.
සමාජයේ අනෙකුත් මව්පියවරුන්ගේ දරුවන්ට වඩා යම් උසස් මට්ටමකට තම
දරුවා රැගෙන ඒමට මව්පිය දෙදෙනා හැර දරුවා වෙනුවෙන් මහන්සි
වනුයේ වෙනත් කවරෙක් ද?
ඒ උදාර මව්-පිය දෙදෙනාගේ ඒකායන අරමුණත්, වෑයමත් තම දරුවාගේ
දියුණුවමයි.
මෙසේ දරුවාට හැම අයුරෙන්ම පිහිට වූ දෙගුරු වූ මව්පිය දෙදෙනා
වියපත් වන කල ඒ දරුවා තම මව්පිය දෙදෙනාගේ උපකාර සිහිපත්
නොකරන්නේ නම් සැබැවින්ම එම දරුවා ගුණමකු අයකු වේ.
කළගුණ සැළකීම ගෞතම බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට
පත්ව ලෝ වැසියාට ආදර්ශයෙන් කළ අවවාදයයි.
බෞද්ධ සමාජය තුළ ගුණ දහම් සුරකින, සාරධර්ම අගයන දරුවන් වැඩි
පිරිසක් විසීම සතුට ට කරුණකි. එහෙත් අවාසනාවකට මෙන්ම ඇතැම් විට
කලාතුරෙකින් හෝ දරුවෙකු තම ආදරණීය මව ට පියා ට සැළකීම අතපසු
කරදමයි. සිය යුතුකම හා වගකීම පැහැර හරියි.
දරුවකු ඇති දැඩි කරන්නේ මව්-පිය දෙදෙනා බව පෙරකීය. එසේ නම් තමා
ඇතිදැඩි කළ මව්-පිය දෙදෙනා පෝෂණය කරමින් රැක බලා ගැනීම දරුවාගේ
වගකීම නොවේද?
මවට පියාට නොසලකා හරින කලාතුරකින් හෝ දරුවකු නිසා ඒ මව පියා
කෙතරම් අසහනයට පත්වෙයිද? ඇතැම්විට සිය මවට පියාට සංග්‍රහ කිරීම
තබා නිවසේ සෙවණ ලබනවාට පවා අකැමැති දරුවකු නිසා මහ මඟ හිමිවන
මව්පියවරු දකින්නට ලැබේ. ඇතැම්විට ධනය, නිලය නිසා තම මව්පියවරු
අමතක කරන දරුවකුට සැනසීමෙන් ජීවත්විය හැකිද?
මව්-පිය දෙදෙනාගේ වටිනාකම සමහර දරුවකුට දැනෙනුයේ තමනුත් මව්පිය
පදවිය ලැබූ විට ය. නොඑසේ නම් මව්පිය දෙදෙනා මෙලොවින් සමුගත්
දාටය.
මව, පියා පරලොව සැපත්වීමෙන් පසු මිල අධික මංජුසාවක තැන්පත් කර
දින ගණනක් පුරා ගෞරව දැක්වීමට කටයුතු යොදා බාහිර අලංකාරය යෙදූ
පමණින් මව්පිය දෙදෙනාට සැළකුවේ යැයි අව්‍යාජව දරුවකුට සතුටු
විය හැකිද?
පෙර එක් ගිරවකු කුඹුරක ට පියාසර කරවිත් ඒ කුඹුරේ වී ටිකක් කා,
තවත් කරල් කීපයක් රැගෙන යයි. මෙසේ දින කීපයක් මේ අයුරෙන් ම වී
කා කරල් රැගෙන ද යයි. කෙත රකින්නා ගිරවා අල්වාගෙන කෙතේ
අයිතිකරුවාට ගිරවා දිනපතා කරන මේ අලාභය ගැන කීය.
වී ටික කා තවත් ටිකක් රැගෙන යන්නේ කාට දැයි කෙතේ අයිතිකරු ඇසූ
විට ගිරවාගේ පිළිතුර වූයේ වියපත් මව්-පිය ගිරවුන් දෙදෙනා වෙත
එසේ වී කරල් ටිකක් රැගෙන යන බවයි.
ඒ බව ඇසූ කෙතේ අයිතිකරු මොනවත් සොයාගෙන කෑමට ශක්තිය නැති ඒ
ගිරවු දෙදෙනාට සැළකීම ගැන සතුට ට පත්විය. කෙතේ අයිතිකරු ඉන්
නොසෑහී තම කෙතෙහි කොටසක් ඒ ගිරවුන් දෙදෙනාගේ ප්‍රයෝජනයට ගැනීමට
ද වෙන් කර දුන්නේ ය. එපමණක් නොව අල්ලා ගෙන සිටි ගිරවා ද වහා
නිදහස් කර හැරියේ ය.
තිරිසන් සතුන් අතර පවා මව්පිය උපස්ථානය එසේ නම් මිනිස් නාමය
ලැබූ අය මව්පිය දෙදෙනා වෙත කෙසේ සැලකිය යුතු දැයි නිරන්තරයෙන්
සිහියේ තබා ගත යුතු කරුණක් නොවේද? |