භිස
ජාතකය
කොළඹ 07, නාරද බෞද්ධ ධර්මායතනාධිකාරී
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
ඔබට කියා දෙන්නේ භිස ජාතකය යි. භිස කියන්නේ නෙළුම් දඬු වලටයි. නෙළුම්
දඬු මුල් කර ගෙන මේ කතාව තිබෙන්නේ.
තථාගතයන් වහන්සේ ජේවතනාරාමයේ වැඩ සිටිද්දී ශාසනයේ උකටලී (කම්මැලි) වූ
භික්ෂූන් වහන්සේ නමක් සිටියා.
මේ හාමුදුරුවෝ ශීල, සමාධි, ප්‍රඥාවන් දියුණු කරන්නේ නැතිව නිකරුණේ
සිටින බව බුදුහාමුදුරුවන්ට ආරංචි වුණා. උන්වහන්සේ ගෙන්වලා ඔබ මේ ශාසනයේ
උටකලීව ඉන්නවා කියන්නේ සත්‍යක්ද කියා විමසා සිටියා. ‘එහෙමයි. මට හරි
කම්මැලියි. හරිම අලසකමක් දැනෙනවා’ කියා පිළිතුරු දුන්නා. මේ වෙලාවේදී
එහෙම වන්නේ කාමයන්ගෙන් වසඟ වෙලා සිටීම නිසා යැයි පහදා දුන්නා. සිත
දියුණු කරන්න මේ ධර්ම මාර්ගයෙහි යෙදෙන්නට උත්සාහ කරන උත්තමයෝ
අබුද්ධෝත්පාද කාලයේ පවා පැවිදි වෙලා ඒ ගුණ ධර්ම පුරා තිබෙනවා. කාමයන්
අත හැරලා තියෙනවා. අබුද්ධෝත්පාද කාලයේ දී පවා එහෙම කළා නම් මේ
බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්න බුද්ධෝත්පාද කාලයේ ඒවා නොකර ඉන්න
එපා. ඒ උකටලීකම් අතහැරලා වීර්යය කරන්නැයි අවවාද කරමින් උන්වහන්සේ පෙර
සිදු වූ කතාව විස්තර කළා.
බ්‍රහ්මදත්ත රජතුමා රජ කරන කාලයේ දී අප මහ බෝසතාණන් වහන්සේ එක්
බ්‍රාහ්මණ කුලයක ඉපදී සිටියා. ඒ කුමාරාගේ පියා වූ බ්‍රාහ්මණතුමාට අසූ
කෝටියක් ධනය තිබුණා. අප බෝසතාණන් වහන්සේ ඉපදුණේ් මේ පවුලේ වැඩිමල්
පුත්‍රයා ලෙසයි. මේ කුමාරයාගේ ශරීරය රත්‍රන් පාටයි. ශරීරයේ මවිල් ගස්
පවා ඒ පාටටම තිබුණා. එනිසා ඔහුට “කාංචන” නම යෙදුවා. පොඩි පුතාට
“උපකාංචන” නම යෙදුවා. මේ පවුලේ පුතුන් හය දෙනෙක් සිටියා. මේ පවුලේ
දියණියත් ඉතාමත් ලස්සන යි. ඇය “කාංචන දේවි”. කාලයක දී මව්පියෝ වැඩිමහල්
පුතා ශිල්ප ශාස්ත්‍රය හදාරන්න යැව්වා. ඔහු වේදය කොටස් හතරම සාර්ථකව
හැදෑරුවා. ඔහු අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කළා.
මේ කුමාරයාට සුදුසු වයස ආ විට මව්පියන් විසින් විවාහයක් කර දීමට
සූදානම් වුණා. නමුත් මේ කුමාරයා ගිහි ජීවිතය දැඩි ලෙස පිළිකුල් කළා.
මව්පියන් ඒ නිසා “උපකාංචන” කුමාරයාට විවාහ යෝජනාවක් ගෙනාවා. ඔහුත්
කිව්වා අයියා කියු දේ ඇත්ත. මටත්, විවාහ වීමට බැහැ කියලා. මේ විදිහට
අනුපිළිවෙලින් එක එක දරුවන් විවාහ කර දීමට මව්පියන් උත්සාහ කළත් අර
දරුවන් විවාහ වීමට කැමැති වූයේ නැහැ.
කාලයාගේ ඇවෑමෙන් මව්පියන් මිය ගියා. දරුවන් මව්පියන් වෙනුවෙන් කළ යුතු
යුතුකම් ඉටුකර අසූ කෝටියක් ධනයෙන් ඉතිරි වූ ධනය දුගී මගී යාචකාදීන්ට
දන් දීලා ගිහි ගෙය අතහැර වනගත වුණා. තපස් දිවියෙන් පැවිදි වූ මොවුන්
උදව්වට දාසයෙක් හා දාසියක් ද සමීපතම මිතුරකු ද සමග පිටත්ව ගොස් විලක්
අසල පන්සලක් තනාගෙන තපස් රැකීමට පටන් ගත්තා.
මේ අයට කිරීමට ඇති වැඩ කොටස බෙදුවා. පලවැල නෙලීමටත් එක් අයෙක් යෙදවූවා.
ඔහු ගොස් පලවැල අල ජාති ආදිය සොයාගෙන ඇවිත් සමසේ බෙදනවා. මේ අය බොහෝම
හොඳට ගුණ දහම් පුරාගෙන ධ්‍යාන වඩා ගත්තා. උග්‍ර තපස් දම් ආරක්ෂා කරගෙන
හිටියා.
මෙහෙම කලක් ගතවෙද්දී මේ තාපසවරුන්ගේ ශීල තේජසින් ශක්‍ර දේවේන්ද්‍රයාගේ
පඬුපුල් ආසනය උණුවුණා. මොවුන් උග්‍ර විදිිහට තපස් රැකලා, පින් කරලා ඒ
පින ඒ කාලයේ සිටි ශ්‍රකයාගේ පිනට වැඩි පිනක් බවට පත්වුණා. එවිට මේ
ස්ථානය මට නැතිවී යනවා යැයි ශක්‍රයාට සැක පහළ වුණා
ඊටපසු මේ ශක්‍රයා මේ ගුණ දහම් පුරමින් උග්‍ර තපස් රකින පිරිස ඇත්තටම
මේක කරනවා ද? කොයි තරම් කැපවීමෙන් ශීලය ආරක්ෂා කරනවාද කියා සෙවීමට එක
දවසක් අර නායක තාපසතුමාගේ් ආහාරය ලෙස බෙදා වෙන්කර තිබූ නෙළුම් අල
ශක්‍රයා විසින් සොරකම් කරනු ලැබුවා. තමාට අල නැති බව තාපසතුමා දුටුවා.
‘මේ අයට අල මදි වෙන්න ඇති. නැත්නම් අමතක වෙන්න ඇති කියා හිතා’ එතුමා
නිශ්ශබ්දව සිටියා. දෙවැනි දවසේ එසේම වුණා. එදත් එතුමා නිරාහාරව සිටියා.
තුන්වෙනි දවසේ ශක්‍රයා එතුමාගේ කෑම ටික හැංගුවා. දැන් ඉතින් දවස් තුනක්
නොකා හිටියා. ඊට පස්සේ තාපසතුමා සියලුම දෙනා ශාලාවට කැඳෙව්වා. කැඳවා
කියනවා ‘මම දවස් තුනක් තිස්සේ බලාගෙන හිටියේ. ඇයි මට කෑම තියන්නේ
නැත්තේ’ කියා ඇහුවා. ‘එහෙම නැහැ. අප හැමදාම ඔබතුමාගේ ආහාර කොටස බොදා
තැබුවා. ඔබට ආහාර වෙන් කරලයි අප කෑවේ’. ඔබතුමාට අප ගරු කරනවා, ඒ යුතුකම
කිසිදිනක නො පිරිහෙලා අප ඉටු කළා’ කියා අනෙක් අය කිව්වා.
මේ අය අතරේ පොඩි සැකයක් ඇතිවුණා. උප කාංචන තාපසතුමා කියනවා තමන්ගේ
නිර්දෝශීභාවය පෙන්වීමටත් මේ සමඟිය බිඳ දැමීමට තැත්කළ පුද්ගලයාට පාඩමක්
ඉගැන්වීමටත් සිතා ශාපයක් කළා. ඔහු කිව්වා බ්‍රාහ්මණය, යම් කෙනෙක් ඔබගේ්
නෙළුම් අල කොටස පැහැර ගත්තා නම් ඒ පුද්ගලයාට අශ්වයන් ගවයන්, රන්, රිදී
ලැබේවා. එපමණක් ;නාවේ. තමන් කැමැති භාර්යාවක්ද ලැබේවා, අඹුදරුවන්ගෙන්
යුක්ත වේවා කියා එතුමා ශාප කළා.
ඊළඟට දෙවැනි සහෝදරතුමාත් ශාපයක් කරමින්, ‘බ්‍රාහ්මණය යම් කෙනෙක් ඔබගේ
නෙළුම් අල කොටස ගත්තා නම් ඒ තැනැත්තා මල්මාලාවන් සහිත කසී රටෙන් ගෙන ආ
සඳුන් දරත්වා’ කියලා. ඒ වගේම ඔහුට දරුවන් බොහෝ සිටිත්වා, කාමයන් ගැන
තියුණු ඇල්මක් ඇතිවේවා, අත හරින්න බැරි විදිිහට මේ තියෙන සම්පත් කෙරෙහි
පුදුමාකාර බැඳීමක් පහළ වේවා කියා ඔහු ප්‍රාර්ථනා කළා. දැන් මේ දේවල්
ලැබෙන්න, ලැබෙන්න කරදරයට දුකට පත්වෙන්නයි වෙන්නේ. තාවකාලික තෘප්තිය
ආශ්වාදය නිසා දීර්ඝ කාලයක් තිස්සේ විඳගෙන ආ දුක මිනිස්සුන්ට අමතක
වෙනවා.
ඊළඟට තුන්වැනි තාපසතුමා කියනවා ‘බ්‍රාහ්මණය යමෙක් ඔබගේ නෙළුම් අල කොටස
පැහැර ගත්තේ නම් හෙතෙම බොහෝ ධනය ඇති කීර්තිමත් ප්‍රකට ගොවියෙක් වේවා!
ඔබ දන්නවා ගොවිතැන් කරන්න කොතරම් අමාරු ද? ඒ වගේම මොහු ගිහියෙක් වේවා.
සියලුම රූපාදි කාම වස්තුන්ගෙන් සමන්විත වේවා කියා ප්‍රාර්ථනා කළා.
දැන් සිව්වැනි තාපසතුමා කියනවා ‘බ්‍රාහ්මණය කවුරුන් හෝ ඔබගේ නෙළුම් අල
කොටස පැහැර ගත්තානම් ඒ තැනැත්තා අන් අයව පෙළන අන් අයට පීඩා ගෙන දෙන
ක්‍ෂත්‍රියෙක් වේවා! කියා ශාප කළා. ක්‍ෂති‍්‍රය කියන්නේ රාජ කුලයක්.
එහෙම රාජකීය පවුලක ඔහු සාමාජිකයෙක් වේවායි කිව්වා. ඒ වගේම මේ මහා
පෘථුවි තලයටම මුළු ලෝකයටම අධිපති වේවා කියලා ශාප කළා. මුළු ලෝකෙට
අධිපති වෙන පුද්ගලයාට ඒ හා සමානව ඇති වන්නේ පීඩායි.
පස්වැනි තාපසතුමා කියනවා ‘බ්‍රාහ්මණය’ යමෙක් ඔබගේ නෙළුම් අල කොටස ගත්තා
නම් ඒ අය නැකැත් ශාස්ත්‍රය හොඳින් දන්නා කෙනෙක් වේවා ඒ වගේම රාගය දුරු
නොකළ කෙනෙක් වේවා කියා ප්‍රාර්ථනා කළා.
හයවැනි තාපසතුමා කියනවා බ්‍රාහ්මණය යමෙක් ඔබගේ නෙළුම් අල කොටස පැහැර
ගත්තා නම් ඒ අය සියලු වේදය හදාරන කෙනෙක් වේවා. සකල වේදය පරතෙරට යනවා
කියන එක ලේසි වැඩක් නොවේ.
ඒ වගේම හත්වැනි තාපසතුමා කියනවා බ්‍රාහ්මණය ‘යම් කෙනෙක් ඔබගේ කෑම සොරා
ගත්තා නම් ඒ තැනැත්තා මිනිසුන්ද, ධනයද, දරද, දාසියද යන මේ සතරින් සරු
ශක්‍රයා විසින් දෙන ලද්දක් බඳු වූ සමෘද්ධිමත් වූ ගමක් භුක්ති විදීවා
කියා’ ශාප කළා. ඒ වගේම ගමක ගම්පතියෙක් වේවායි පැතුවා. මේ අනුව මේ
නෙළුම් හොරාට බේරෙන්න තැනක් නම් ඇත්තේ නැහැ. හැම පැත්තෙන්ම ඔහු
කොටුවෙලයි තියෙන්නේ. ඉතින් ඒ සියල්ල ඔහුට ලැබේවා කියා අර තාපසතුමා
ප්‍රාර්ථනා කළා.
ඊළඟට ඔවුන්ගේ සහෝදරිය ප්‍රාර්ථනා කළා ‘බ්‍රාහ්මණය යම් ස්ත්‍රියක් ඔබගේ
නෙළුම් අල කොටස ගත්තා නම් ඇය මුළු පොළවටම අධිපතිව සක්විති රජ මෙන්
බලවත් රජ කෙනෙකුගේ සොළොස් දහසක් ස්ත්‍රින්ගේ ප්‍රධානී වේවා’ කියා ශාප
කළා. මේ අය අතර සිටි දාසිය කියනවා ‘යම් ස්ත්‍රියක් මේ සොරකම කළානම් ඇය
එක්රැස් වූ තාපසවරුන් මැද කිසිදු පැකිළීමකින් තොරව ඔවුන් සමග ආහාර
අනුභව කරාවා කියා.
මේ අතරේ ශක්‍රයා මේක අහගෙන හිටියා. බරපතල සාපයක්. සාමාන්‍ය කාම ලෝකයේ
මිනිස්සු සැප යැයි සම්මත හොඳ යැයි සම්මත දේ වැඩි වැඩියෙන් ලැබේවා
කියලා ප්‍රාර්ථනා කරන ඒවා සාපයට භාවිතා කර තිබෙන්නේ. ශක්‍රයාට පුදුමයි.
කාමයන්ට මේ තරම් නින්දා කරන්න හේතුව මොකක්ද කියා විමසන්න ශක්‍රයා තමාගේ
නියම ස්වරූපය මවාගෙන තාපසයන් අතරට පැමිණියා. එසේ ශාපයට හේතු විමසුවා. ඒ
වෙලාවේදී බෝසත්තුමා කාමයන්ගේ ආදීනව පවසමින් කියනවා ‘ශක්‍රය කාමයන් නිසා
දඬුමුගුරු ආදියෙන් පහර දෙනු ලබනවා. පීඩාවට පත් කර ගන්නවා. කාමයන්ට ඇති
කැමැත්ත නිසා කායික, මානසික දුක් ඇතිකර ගන්නවා. කාමයට ගිජු වූ කෙනා
නිරයේ උපදිනවා. මුලාවට පත්වෙලා සියලු පව්කම් කරනවා. මේ කාමයන්ගේ ආදීනව
දැකලා සෘෂිවරු කාමයන්ට ප්‍රශංසා කරන්නේ නැහැ. කාමයන් නම් මෙවැනි ආදීනව
සහිත එකක්. පීඩාවන් සහිත එකක්. දුක් ඇති කරන එකක්. මෙලොවදීත් කායිකව සහ
මානසිකව දුක් විඳලා මැරිලාත් දුක් විඳීන්න සිදුවන නිසා තාපසවරු මේ කාමය
අත හරිනවා. එය වර්ණනා කරන්නේ නැහැ කියා පැහැදිලි කළා. ඒ වෙලාවේදී
ශක්‍රයා තමන් අතින් සිදු වූ වරද පවසා සමාව ඉල්ලුවා. තාපසවරු සියලුම
දෙනා ශක්‍රයාට සමාව දුන්නා.
ශක්‍රයා දිව්‍ය ලෝකයට ගියා. අර තාපසවරු හොඳින් භාවනා කර ධ්‍යාන උපදවා
ගෙන බ්‍රහ්ම ලෝකයේ ඉපදුනා කියා භිස ජාතකයේ සඳහන් වෙනවා.
සටහන: නයනා නිල්මිණි |