සසර පුරා දිනූ දිනුම
මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි
බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ සිටි සමයෙහි සිදුවූ සිද්ධියකි මේ. එදවස
සැවැත්නුවර සොරකම් කොට ජීවත්වන සොරුන් දෙදෙනෙක් විසූහ.මේ දෙදෙනාගේ ජීවන
පැවැත්ම වුයේ අන්සතුදේ සොරකම් කොට එම මිල මුදලින් දරු පවුල ආරක්‍ෂා
කිරීමයි. දෙදෙනා කරන ක්‍රියාව නරක වුවද, ඔවුන් දෙදෙනා අතර මිත්‍රත්වය
ඉතා හොඳින් දලුලා වැඩුණේය.පවුල් දෙක අතරද දැඩි මිත්‍රත්වයක් විය.එක
දවසක් මේ දෙදෙනා සිය අරමුණු සාර්ථක කර ගැනීමේ අදහසින් දෙව්රම් වෙහෙරට
ගියහ.
මිනිස්සු බුදුරජාණන් වහන්සේගෙන් බණ අසති. බණ අසන ඔහු සෙනග මැද බණ අසන
මුවාවෙන් සෙමින් සෙමින් වට පිට බලමින් උකුසු ඇස මානමින් කෙනෙකුගේ මුදල්
පසුම්බියක් පැහැර ගන්නේ කෙසේදැයි යන සිතිවිල්ලෙන් ඔවුහු මිනිසුන් අතර
සොර කමේ දැල එලූහ. එක් අයෙක් මෙසේ සිදුකරමින් සිටින වාරයේ අනෙකාගේ හිත
බුදුබණ කෙරෙහි නැඹුරු විය. බුදුරාණන් වහන්සේ සරලව පැහැදිලි කරන බණපද
අසා සිටීමට සිතෙහි ආශාවක් ඇති විය. අශාවෙන් බණ ඇසූ ඔහු දහම පිළිබඳව
කිසියම් වැටහීමක් ඇතිකර ගත්තේය.
මිනිසුන් පිළිබඳව විමසිලිමත් වෙමින් මුදල් පසුම්බියක් අරගන්නේ කෙසේදැයි
සිතමින් බලා සිටි පළමුවැනි සොරා සිය අරමුණ ජයගත්තේය. බණ අසන මිනිසුන්
අතර බුද බණටම සිත නැඹුරු කරගෙන සිටි අයකුගේ මුදල් පසුම්බිය අයිතිකරුවාට
නොදැනෙන සේ සූක්‍ෂම ලෙස තමා සතු කරගත්තේය. ධර්ම දේශනාව එක දිගටම
පැවැත්වෙයි .බණ ඇසීමෙන් පලක් නැත. තම අරමුණු ජයගත නොවේදැයි සිතු පළමු
සොරා බණ අසන පිරිස අතරින් එළියට පැමිණ සිය සගයා එනතුරු ජේතවනාරාමය අසල
පටු මඟක රැෙඳමින් කල් ගත කළේය. බණට සිත නැඹුරු වී බණ අසමින් සිටින
සොරාට තමන් පන්සලට ආවේ කුමන කටයුත්තක් සඳහාද? යන අරමුණද අමතක වී
ගියේය. ඇත්තටම ඔහු පන්සලට ආවේ බණ ඇසීමට හෝ සදහම් දැරීමේ අදහස් ඇතිකර
ගැනීමට නොව කාගේ හෝ කෙනෙකුගේ මුදල් පසුම්බියක් පැහැර ගැනීමටය. ඔහුගේ
අනෙක් යහළුවා ඒ අරමුණෙහිම ඉඳ අරමුණ ජයගනු ලැබීය. නමුත් අරමුණ අමතකව බණට
සිතනැඹූරු වූ ඔහුට ධර්මය පිළිබඳ වැටහීම කෙමෙන් කෙමෙන් ඇතිවන්නට විය.හේ
සෝවාන් පලයට පත් විය. යහළුවා එනතුරු පටුමඟෙහි රැඳී සිටි අනෙක් යහළුවාට
පමාවී ඔහු සොයා එන යහළුවා මුණගැසුණේය. බණ අසා සෝවාන්වුවද අතේ ගෙදර ගෙන
යාම සඳහා කිසිවක් නොවීය. එක් අයෙක් සොරකම් කළ පසුම්බිය ඇතිව ගෙදර ගිය
අතර,අනෙක් තැනැත්තා කිසිවක් අතෙහි නැතිව ගෙදර ගියේය. සොරකම කළ සොරාගේ
නිවසෙහි බත් අඩුවක් නොවීය. සෝවාන් වූ තැනැත්තාගේ නිවසෙහි හැදුණේ කැඳ බත්
පිසීමය. ඔහුගේ බිරිඳ සැමියාට බැණ අඬගසන්නට විය. “ ඔබ නුවණ නැති හෙයින්
අප ගෙය හුළු කැන් පමණය” ඇය සැමියාට දොස් නගමින් එසේ කීවාය. සැමියා
දෙව්රම් වෙහෙරට ගොස් බුදුරජාණන් වහන්සේ හමු වී තමන් බණ ඇසුවත්, හිත
හදාගත්තත් මතුවී ඇති ගැටලුව පැහැදිලි කළ එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ
පැහැදිලි කරනු ලැබූ ධර්ම කරුණ මෙසේය.
යම් කිසි අනුවණ පුද්ගලයෙක් තමන් අනුවණ කෙනෙකු යැයි දැන සිටින්නේ නම්
එබඳු පුද්ගලයා පණ්ඩිතයෙකු යැයි හැඳින්විය හැකිය.නමුත් නුවණ නැත්තෙකු
තමන් පණ්ඩිතයකු යැයි සිතා සිටින්නේ නම් එබඳු පුද්ගලයා මෝඩයකුම
විය. පණ්ඩිතයකු බවට පත්වන්නේ නැත. යන්නයි.
යෝ බාලෝ මඤ්ඤතී බාල්‍යං
පණ්ඩිතොවාපී තේන සෝ
බාලොච පණ්ඩිතමානි
ස වෙ බාලෝති වුච්චති
මෙහිදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනු ලබන්නේ සමාජයේ සිටින පොදු
මිනිසුන්ගේ ස්වභාවයයි. පුද්ගලයන් දෙකොටසක් පිළිබඳව මූලික වශයෙන් මෙහිදී
කියයි. එනම් අනුවණ පුද්ගලයා සහ නුවණැති පුද්ගලයා යන දෙදෙනාය.මේ
දෙපිරිසම ජීවත් වන්නේ එකම සමාජයකයි. ඔවුන් දෙදෙනා කොයි කවුරුන්දැයි හරි
හැටි දැන හඳුනාගන්නට ලැබෙන්නේ ඔවුන් කරන ක්‍රියාවෙන්ය. සිතන
සිතිවිල්ලෙන්ය. දොඩන වදනින්ය. ඇතැම් අය කොයි කවුරුන්දැයි මැනවින් දැන
හඳුනාගැනීමට දීර්ඝ කාලයක් ඇසුරු නිසුරු කිරීමට සිදුවෙයි. මිනිසා
දැකීමෙන් හෝ සිනාවෙන් හෝ කතාවෙන් හෝ හරි හැටි පිළිසිඳ දැන ගැනීමට
නොහැකිය. නමුත් මේ දෙපිරිසම ජීවත් වන්නේ එකම සමාජයේයි. නරක මිනිසා, නරක
සිතිවිලි වලින්ද, නරක වදනින්ද,නරක ක්‍රියාවෙන්ද සමාජයට නරක දෙයම තිළිණ
කරයි.
නරක දෑම සමාජයට දුන් නිසාම ඔහු ජීවිතයේද ලබන්නේද සංසාරය පුරාම ලබන්නේද
නරක දෙයමයි. එයට හේතුව දුන් දෙයම තමන් ලබන නිසාය.නොඑසේ නම් තමා ලැබීමට
කැමැති දෙයම පමණක් සමාජයට දිය යුතු වන නිසා.
පණ්ඩිතයා බාලයාට වඩා බොහෝ වෙනස්ය. ඔහුගේ වෙනස් බව රැෙඳන්නේ සිතන
සිතිවිලි වලින්ය.දොඩන වදනින්ය. නරක ක්‍රියාවන් ගෙන්ය.හේ සමාජයටද තමාටද
අයහපත නොසිතයි. නොකියයි.නොකරයි.
බුදුරජාණන් වහන්සේ එම ගාථා ධර්මයේදි දක්වනු ලබන්නේ එම දෙදෙනාම අතර
සිටින පුද්ගලයන් පිළිබඳවය.එනම් තමන්ගේ අනුවණ බව දන්නා අනුවණයා සහ
තමන්ගේ අනුවණ බව නොදන්නා අනුවණයා පිළිබඳවය. උන්වහන්සේ දන්වන්නේ මෙය
තරමක් භයානක තරමක වෙනස් තත්වයකි. මෝඩයා වුවද තමන් මෝඩයකු බව දන්නා ඔහු
සිතන සිතිවිල්ල ද දොඩන වදනෙහිද,කරන කෙරුමෙහිද තරමක් පරිස්සම් වෙයි. එය
එසේ වන්නේ ඔහු සතු තමන්ගේ අනුවණ භාවය පිළිබඳව දැනීමක් තිබෙන
නිසාය. එනිසාම එක හෙළා යමක් ප්‍රකාශ නොකොට තම ප්‍රකාශ කළ යුතු වන්නේ
කුමක් දැයි සිතයි. එකවර නරක සිතිවිලි නොසිතා තමා හිතට නැෙගන සිතිවිලි
හරි ඒවා දැයි ඔහු සිතයි. යමක් කිරීමේදී මේ මෙය කරන්නේ කළයුතු දෙයක්
දැයි නැවත සිතයි. එසේ සිතා විමසා බලා සමාජයේ හැසිරෙන, ගෘහ පරිසරයේ
හැසිරෙන මිනිසුන් අතින් සමාජයට අභාග්‍ය සම්පන්න දෙය සිදුවන්නේ
නැතිතරම්ය.ඔහු බණේ අණට අනුව තමන් අනුවණ බව දන්නා අනුවණයා වුවද
පණ්ඩිතයකු ලෙස හැඳින්වීමට අවසරය තිබේ. එබඳු අවසරයක් බුදු දහමෙහිදී
තිබෙන්නේ මෝඩයා වුවද තමන්ගේ මෝඩ බව දන්නා බැවිනි.
තමන්ගේ අනුවණ බව පවා නොදන්නා පුද්ගලයා හරිම භයානකය. ඔහු සිතන සිතන දේ
නොවිමසා සිතයි. ඒවා නිවැරැදි ඒවා ලෙසම සිතයි. එම සිතිවිල්ල නිවැරැදි
සිතිවිල්ලක් ලෙස පිළිගනී. ඔහුගේ කටට එන එන දෙය කියයි. තමන් කියු නිසා
එය නිවැරැදි යැයි සිතයි. තමන් කිව්වේ නිවැරැදි ප්‍රකාශයක් යැයි
පිළිගනී. තමන්ට සිතෙන සිතෙන දෙය කරයි .තමන් කළ හැමදෙයක්ම නිවැරැදි එක
යැයි සිතයි. තමා එය කළ නිසා එය සාධාරණීකරණය කරයි.නිවැරැදි එක යැයි
පිළිගනී. එබඳු පුද්ගලයා හරිම භයානකයි. ගෘහ ජීවිතය අවුල්වියවුල් කර ගනී.
සමාජ ජීවිතය අවුල් අපිළිවෙලට පත් කරයි. පෙර සංසාරයේ පිනට ලැබුණ මිනිසත්
බව ඛේදජනක තත්ත්වයට පත්කර ගනී. පෙර සංසාරයේ පිනට ලැබුණ කට සංසාරය
දුක්මුසුව දිග්කර ගැනීමට යොදා ගනී.පෙර පිනට ලැබුණ අංග සම්පූර්ණ ශරීර
අංග තමාගේද සමාජයේද අයහපත පිණිසම යොදා ගනී. තමන්ගේ අනුවණ බව නොදන්නා
අනුවණයාගේ ස්වභාවය එයයි.
ස වෙ බාලීච පණ්ඩිතමානී බාලෝ ති මුච්චතී
යනුවෙන් දක්වනු ලැබ ඇත්තේ එම කාරණාවයි.එදා දවසේ නිවසේ කැඳ බත් පමණක්
ඉදුණද සංසාරය පුරා ලැබූ දිනුම ,දිනුමක්ය යනුවෙන් බුදුරජාණන් වහන්සේ
විසින් මෙසේ සොරකම නොකොට බණ ඇසූ සොර දෙටුවාට පැහැදිලි කර දෙනු ලැබුයේ
එයයි.
සටහන: හේමමාලා රන්දුනු |