ගිහි ජීවිතයට සුපැහැදිලි අරමුණක්
ආචාර්ය
ධර්මසේන හෙට්ටිආරච්චි ධර්ම සාකච්ඡාවලදී සහ සම්මන්ත්‍රණවලදී මතු කරන ගැටලුවකි, ‘කාර්යාල
ජීවිතය ගත කරන අයට බුදුදහමට අනුව ක්‍රියාකළ හැකි ද’ යන්න. මෙය, ඇතැම්
විට වෙනත් ආකාරවලින්ද, බෞද්ධයාගේ දිනපතා ජීවිතයට අදාළව නැඟෙන පැනයකි.
‘අද අපට පන්සිල් රැකිය හැකිද?’ ‘තරුණ අයට සිල් රැකීමට පුළුවන්ද?’ තව
පුළුල් ලෙසද මෙයම අසනු ලැබේ. ‘ ගිහිගෙදර නොයෙකුත් කරදරවලට යට වී සිටින
අපට බුදුබණට අනුව ජීවිත් විය හැකිද?’ එවැනි ගැටලු ඇති අය මෙසේ සිය
තීරණද ප්‍රකාශ කරති. ‘විශ්‍රාම අරගෙනවත් පිනක් දහමක් කර ගන්න ඕනෑ.’
‘දරු මුණුපුරන්ගේ වැඩ කටයුතු අවසන් වෙලාම ආගම දහම් ගැන බලනවා.’
මේ සියලු විමසීම්වලින් ප්‍රකාශ කෙරෙන්නේ බුදුදහම දිනපතා ජීවිතයේ
කටයුතුවලට සම්බන්ධ කර ගැනීම ගැන වර්තමාන බෞද්ධයාගේ ඇති නොදැනුමයි. දහමට
අනුව ජීවත් විය හැකි දැයි ඇති සැකයයි.
ඒ සැකය තහවුරු කරන දේශනද ලිපිලේඛනද ඇතැම් විට ඉදිරිපත් කෙරෙන බව පෙනේ.
ඒ කෙසේ වුවත් සැබැවින්ම බෞද්ධයකු වීමට අවශ්‍ය නම් මේ සැකය සිතින්
ඉවත්කර ගත යුතුය. ඒ සඳහා ඉවහල්වන කරුණු කාරණා යම්තමින් හෝ විමසා බැලීම
මේ ලිපියේ අරමුණ වෙයි.
තමන් ගත කරන ජීවිතය එලෙසින්ම ගත කරන ගමන් දහම් මඟට බැස ගැනීමට අපේක්ෂා
කළ මිනිස්සු බුද්ධකාලීන සමාජයේද සිටියහ. අද සමඟ සලකා බලන විට
සංඛ්‍යාත්මකව එදා බොහෝ පිරිසක් පැවිදි ජීවිතයට එළැඹුණත්, එදා ජනගහනය
සමඟ සසඳා බලන විට,අද මෙන්ම එදාද එය සුළු පිරිසකි. ගිහිගෙයි රැඳුණෝම
බොහෝ වූහ.පවුල් ජීවිතය අතහැර පැවිදි වුවන් ටික දෙනෙකි.ඒ නිසා
බුදුරජාණන් වහන්සේ ඒ ගිහියනට දහම් දෙසුවේ ඔවුන්ගේ අරමුණු දෙකම ඉටු කර
ගැනීමට හැකිවන පරිදිය.එනම්, ගිහිදිවියේ සාර්ථකත්වය ලැබීම හා දහම් මඟට
පිවිසීම යන අරමුණු දෙකය.පෙළදහම විමසා බලන විට මේ කරුණ මැනැවින්
හෙළිවෙයි. ව්‍යග්ඝපජ්ජ, වේළුද්වාර සහ ධම්මික සූත්‍ර ධර්ම දේශනා කිරීම
සම්බන්ධ නිදාන කථා විමසන විට මේ බව දැක ගත හැකියි.
දීඝජානු කෝලිය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ඉල්ලා සිටියේය.
“ස්වාමීනි ,අපි කාමභෝග ගිහියෝ. ගිහිගෙදර බාධා සහිතවයි ජීවිත ගත කරන්නේ.
අපි කසී සළු පළඳිනවා. සඳුන්, මල්ගඳ විලවුන් දරනවා. රන් රිදී පරිභෝග
කරනවා. එවැනි ජීවිත ගත කරන අපට මෙලොව හිත සුව,පිණිසත්,පරලොව හිත සුව
පිණිසත් දහමක් දෙසනු මැනැව“
වේළුද්වාර ගම්වැසියෝද මේ අයුරින්ම දන්වා තවද කරුණක් අවධාරණය කර සිටියහ.
“ ...ස්වාමීනි, මෙබඳු කැමැත්ත ඇති,මෙබඳු ඡන්ද ඇති, මෙබඳු අභිප්‍රාය ඇති
අපට, එවැනි ජීවිතයකට ගැළැපෙන දහමක් දෙසනු මැනැව.”
මේ අය ගත කරන ජීවිතය ගැන කරන ලද විස්තරයෙන් පෙනෙන්නේ වර්තමාන මිනුම්දඬු
අනුව මැන්නද ‘ සුඛෝපභෝගී’ යැයි හැඳින්විය යුතු ජීවිත ඔවුන් ගත කළ බවයි.
එසේම ඒ ජීවිත වෙනස් නොකර, ඒ අයුරින්ම ගෙන යෑමට කැමැති බවද ඔව්හු ඍජුවම
ප්‍රකාශ කළහ.
“එවං නො භවං ගොතමො,අම්හාකං එවං කාමානං එවං ඡන්දානං ඒවං අභිප්පායානං තථා
ධම්මං දෙසෙතු.”
(සංයුක්ත නිකාය - වේළුද්වාර සූත්‍රය)
ඒ ජීවන ක්‍රමය ගැන අමුතුවෙන් වර්ණනාවක් නොකළද බුදුරජාණන් වහන්සේ ඒගැන
ගැරැහීමක් කළේ නැත. සැප සම්පත් භුක්ති විඳිමින් ගත කරන ජීවිතය දහමට
පටහැනි යැයි නොවදාළ සේක. එපමණක් ද නොව ‘පහසු විහරණය’ අනුමත කළ සේක.
හුදු යැපීම් මට්ටම ඉක්මවා යන ‘සුව පහසුවක්’ ලබා ගත යුතු බව
බුදුහාමුදුරුවෝ පෙන්වා දුන්හ.
‘අත්තානං සුඛේති පීණෙති සම්මා සුඛං පරිහරති.’ පරිභෝජනයේදී, ‘සුඛෙති’,
‘පීණෙති’ යන වදන් දෙකෙන්, අරමුණු දෙකක් ඉටු කර ගැනීමට අනුදත්හ.”සුඛේති’
යන්න මේ කයේ පැවැත්ම ,යැපීම (යාපනාය, ඉමස්ස කායස්ස ඨිතියා)සලසා ගැනීමය.
එනම් මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමය. “පීණෙති’ යන්නෙන් ඉන් එහා උසස්
මට්ටමක් අදහස් වේ.
මූලික අවශ්‍යතා ඉටුකර ගත් පමණින් මනුෂ්‍යයෙකුට,මනුෂ්‍යත්වයේ යහපත්
ඵලනෙළා ගත නොහැකිය.එනිසා,අවශ්‍යතා ඉක්මවා ඇති වුවමනා දැන හැඳිනගෙන ඒවාද
ඉටුකර ගත යුතුය. ඒ වුවමනා ඉටු කර ගැනීම “පිණෙති’ යන්නෙන් අදහස් වේ. එයම
“ඵාසුවිහාරො’ යන්නෙන්ද වෙසෙසින් දක්වා තිබෙන්නකි.
බුදුරජාණන් වහන්සේ ඒ මිනිසුනට අනුශාසනා කළේ දිනපතා ජීවිතයේ කටයුතු සඳහා
සදාචාර මිනුම් දඬුවක් තබා ගැනීමට ය.වෙනත් වචනයෙන් කිවහොත් දහමට එකඟව
මෙලොව සුවපහසු ජීවිතයක් ගත කරමින් ඒ දහම් මඟෙහිද ඉදිරියට ගමන් කිරීම
සඳහා ය.
මේ ක්‍රියාකාරිත්වය තුළ ගිහි ජීවිතයේ එනම් අඹුසැමියන් වශයෙන්ද මවුපිය -
දූ දරුවන් වශයෙන්ද ගත කරන පවුල් ජීවිතයේ ආගමික හා අධ්‍යාත්මික
ප්‍රාප්තිය අර්හත්වය නොවේ. ළඟ අරමුණ රහත් බව ලැබීම නොවේ. මේ බව
ව්‍යග්ඝපජ්ජ ,වේළුද්වාර සහ ධම්මික සූත්‍ර ධර්ම පමණක් විමසා බැලීමෙන්
වුවද ප්‍රකට වන කරුණකි. එය සිගාලෝවාදයෙන් මෙන්ම අනේපිඬු සිටු, මහානාම
ශාක්‍යයන් , නකුල මවුපියන් අමතා කළ දේශනයන්ගෙන්ද තහවුරු වෙයි.
ගිහියන් අමතා කළ දේශනයන්ගෙන්ද ගිහියන් සඳහා කරන ලද දේශනයන්ගෙන්ද
බහුතරයෙන් හෙළිවන ධර්ම පර්යායෙහි අන්තර්ගතය ආර්ය ශ්‍රාවක භාවය තුළ
මෙලොව, පරලොව දියුණුව ලබා ගැනීමය. ආර්ය ශ්‍රාවක භාවයේ පළමුවැනි හෝ
දෙවැනි පියවර හෝ තැබූ ශ්‍රාවකයන් සඳහා අර්හත්වය අරමුණු කොට කරන ලද දේශන
තිබේ. අනිස්සිත විඤ්ඤාණය පිළිබඳ, අනේපිඬු සිටුවරයා අමතා සැරියුත්
මාහිමිපාණන් වදාළ අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රය එයට නිදසුනකි.
මිනිසා පෘථග්ජන භාවයෙන් ආර්ය මාර්ගය කරා යොමු කරවන දේශන,ගෘහස්ථයනට කරන
ලද අනුශාසන අතර බහුල ය.සෝතාපන්න බව හෝ සකදාගාමී බව ම ළඟ අරමුණ වී
තිබේ.ආර්ය මාර්ගයට පිවිසෙන හා පිවිසි ශ්‍රාවකයන්ගේ ආර්ථික,සමාජයීය,
සදාචාර හා ආධ්‍යාත්මික ප්‍රතිපත්ති සකස් කර ගැනීමේ උපදෙස් ඒවායෙහි
ඇතුළත් වේ. සිගාලෝවාදයේ එන දිසා නමස්කාරය , ධන විනාශ මුඛ, සංග්‍රහ
වස්තු, අගති සතර, ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සම්පදා,වේළුද්වාරයේ අත්තුපනායික
ධම්මපරියාය,පත්තකම්මයේ ආයතන පරිභෝජනය, ධම්මික සුත්‍රයේ ගිහිවත,අණන
සූත්‍රයේ ගිහිසුඛ, පංචභයවේර සූත්‍රයේ ආර්ය ප්‍රතිපදාව ආදි ඉගැන්වීම් ඒ
ප්‍රතිපත්ති මාර්ගයේ මූලධර්මය ය.
අර්හත්වයට ළඟා විය හැක්කේ ක්‍රමානුකුල පිළිවෙතක් අනුගමනයකිරීමෙන් බව
කීටාගිරි සූත්‍රයෙන් හෙළිවෙයි.මේ අනුපූර්ව ශික්ෂණ මාර්ගය බුද්ධධර්මයෙහි
අවධාරණය වන සුවිශේෂ ලක්ෂණයකි. මෙසේ ක්‍රමානුකූලත්වය අවධාරණය කෙරෙන්නේ,
ප්‍රායෝගික වන්නේ එය ම නිසාය.
අර්හත්වය ආර්ය මාර්ගයේ අවසන් පියවර ය.අවසන් පියවර කරා යා හැක්කේ පළමුව
මාර්ගයට පිවිසි තැනැත්තකුට ය.අර්හත්වය සඳහා කෙතරම් වෙහෙසක් ගෙන
පිළිවෙත් පිරිය යුතු වුණත් පළමුව ඒ මඟට නොපිවිස එහි ඉදිරියට යෑමක් සිදු
නොවේ. එනිසා ඉතාම වැදගත් වූ ද අත්‍යවශ්‍ය වූ ද කාර්යය වන්නේ පළමුව මඟට
පිවිසීමයි. මඟට පිවිසීම යනු මිනිසාගේ පූර්ණ පරිවර්තනයක් සිදුවීමය.එය
ශරීරයෙහි සිදුවන වෙනස්වීමක් නොවේ. ශාරීරික ක්‍රියාකාරිත්වයෙහි එනම්
සිරුර හැසිරවීමෙහි හා කතාබහෙහි වෙනසක් නම් විය හැකියි. එසේ වන්නේද
සිතෙහි ඇතිවන වෙනස නිසාය. මඟට පිවිසීමේදී සිදුවන්නේ සිතන ක්‍රමය
වෙනස්වීමයි. ඒඅනුව චර්යා රටාව ද වෙනසකට භාජනය විය හැකියි.
මෙසේ ආර්ය මාර්ගයෙහි ගමන්කරමින් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බත
පරාමාස යන සංයෝජන ධර්මතුන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කිරීම සෝතාපන්න බව
ලැබීම යනුවෙන් හැඳින්වේ. එය පෘථග්ජනභාවය සදහටම අවසන් කිරීමය. ආර්ය
මාර්ගයෙහි ස්ථාවරත්වය ලැබීම එවිට සිදුවේ. සම්බුදු දහමට අනුව එය නියත
සම්බෝධි පරායණ බවය. එනම් අර්හත්වය ලැබීම නියත බවය. සසරෙහි රැඳෙනු ඇත්තේ
උපරිම වශයෙන් තවත් භව සතක් පමණි. එද සුගතියකම ය. නැවත දුගතිගාමී නොවන
බව ස්ථිරය. එනිසා සෝතාපන්න ශ්‍රාවකයා, ‘අචලසමණ’ යනුවෙන් දහමෙහි හඳුන්වා
දී තිබේ. සෙලවීමක්,වෙනස් වීමක්, සසර අයාලේ යෑමක් සිදු නොවේ.
පළමු වැනි පියවර සතු මේ ස්ථාවරත්වය පිළිබඳ දහමෙහි සඳහන් කිසිවක් නොදත්
හෝ ඒ ගැන නොසලකා හළ සමහර උගත්හු අර්හත්වයට පත්ව ගිහි ජීවිත ගත කිරීමක්
නොදුටු නිසා, ගිහියනට නිවන් මඟ විවෘත නොවූවක් ලෙස සිතා ගත්හ. ගිහියා
නිවන් මෙගන් බැහැර වූවකු බව ප්‍රකාශ කළහ. ගිහිජීවිතයට නිවන් මඟෙහි
ස්ථාවරත්වයක් නැතැයි ලේඛනගත කළහ. අබෞද්ධ වූ විද්වතුන්ගේ ඒ ප්‍රකාශයන්ම
පිළිගැනීම නිසා, ඒ අදහස්ම ව්‍යාප්ත වී යෑම නිසා එතරම් සුබදායි නොවන
ක්‍රියාමාර්ග දේශකයන් විසින්ද ලේඛකයන් විසින්ද ගනු ලැබ ඇති බව පෙනේ.
ආර්ය මාර්ගයේ මුල අමතක කොට අග අවධාරණය කරමින් කියන්නටද ලියන්නටද බොහෝ
සෙයින් ප්‍රවණතාවක් දැකිය හැක්කේ එයට ප්‍රතිචාර දැක්වීමක් නිසාද විය
හැකියි. එහෙත් එය එතරම් ප්‍රායෝගික නොවන නිසා විය යුතුයි, ප්‍රතිඵල
දැකිය නොහැකිව ඇත්තේ.
පළමුව සෝතාපන්න ශ්‍රාවකයෙකු නොවී එකවර රහතන් වහන්සේ නමක වීම
ගිහිජීවිතයේ නම් සුවිශේෂ වූ ද අතිශයින් විරල වූද අවස්ථාවක් විය හැකියි.
අනුපූර්ව ශික්ෂණයට ගතවන කාලය කුමක් වුවත්, ඒ ශික්ෂණ මාර්ගය නම් පෙළ
දහමෙන් ප්‍රකට වන පිළිවෙත බව අවධාරණය කළ හැකිය. එනිසා ගිහි ජීවිතය සඳහා
නම් ආර්ය මාර්ගයේ අග නොව මුල කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබේ.
තථාගතයන් වහන්සේ ගිහියන් සඳහා මේ ආකාර වූ ධර්ම පර්යායක් පෙළදහම් තුළ
ඉතා මැනැවින් ප්‍රකාශයට පත් කර තිබේ.
ධර්ම ශ්‍රවණය මංගල කරුණක් නිසා ගැඹුරු දහම් කොටස් වලට සවන් දී සාධුකාර
දී නිහඬ වීමක් දක්නා ලැබේ. ඇසූ දේ තේරුම් ගැනීමක් නැති තැන ජීවිතයේ
කිසිදු වෙනස් වීමක් සිදු නොවේ. විසිහතර පැයම බණ ඇසූවත් එක බණ පදයක් හෝ
ක්‍රියාවට නැංවෙන බවක් නොපෙනෙන්නේ එහෙයිනි. දහම් ඇස පාදා ගැනීමට අවශ්‍ය
කරුණු ටික තේරුම්ගෙන එය අවංකව ක්‍රියාවට නංවා නිවන් මඟට එළැඹීම පසෙක
තබා බෞද්ධ ජනතාව අයාලේ යන බවක් පෙනේ.
මෙහිදී අවධාරණය විය යුතු තවද අංශයක් ඇත. සාමාන්‍ය මිනිසාට අධ්‍යාත්මික
දියුණුව ගැන කථා කිරීම නිශ්ඵල බව සිතා, ලෞකික සාර්ථකත්වය සඳහා පමණක්
ඇති ඉගැන්වීම් ඉදිරිපත් කිරීමත් ආර්ථික හා සමාජයීය දියුණුවට පමණක් සීමා
වූ කරුණු හුවා දැක්වීමක් ධර්ම දේශනවලට හා ලේඛන වලට ඇතුළත් වන්නේ
එනිසාය. එහිදී ශ්‍රාවකයා බාහිර වත් පිළිවෙත් හා ආගමික කටයුතු වලට
සීමාවීම සිදුවේ.
ගැඹුරු බණට සාධුකාර දුන් පමණින් වත්, පුද පූජා වන්දනා වත්පිළිවෙත් ආදී
වූ ආගමික කටයුතු හොඳින් ඉටු කළ පමණින් වත් දහම ජීවිතයට ඈඳා ගැනීමක්
සිදු නොවේ.
ගැඹුරු දහම් කරුණු අමතක කර දැමීමට හෝ ආගමික, සංස්කෘතික කටයුතු බැහැර
කිරීමට හෝ කරන අවිචාරවත් යෝජනාවක් නොවේ මේ. බෞද්ධයා දහම් මඟට පිවිසීමේ
අවශ්‍යතාව අවධාරණය කිරීමක් පමණි. බෞද්ධ ගිහියනට සාර්ථක ගිහිජීවිතයක් ගත
කරමින් දහම් ඇස පාදා ගැනීමට ද අද ඇති ශක්‍යතාව මැනැවින් වැටහිය යුතුය.
විවෘත ආර්ථිකයෙන්ද, මාධ්‍ය බලපෑමෙන්ද වෙහෙසට පත්ව සිටින සිංහල
බෞද්ධයන්ටද ගිහිගෙදර කාමභෝගි ජීවිතයක් ගත කරමින් වුව ද දහම් මගට
පිවිසීමට ඇති ඉඩකඩ වඩා හොඳින් ප්‍රකට විය යුතුය. |