පිරිනිවුනි ඒ නිකෙලෙස්
රහත් හිමිවරු
09 - 10
ගෝතම
මහ රහතන් වහන්සේ
පොල්ගහවෙල
මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
අපගේ ශාස්තෘන් වහන්සේ මේ ලෝකයේ පහළ වී උතුම් ශ්‍රී සද්ධර්මය
දේශනා කරද්දී නිකෙලෙස් රහතුන්ගෙන් නිකෙලෙස් රහත් තෙරිණියන්ගෙන්
දඹදිව් තලය සෝබමානවත් වුණා. තථාගත හඳමඬලේ උපන් ඒ
ශ්‍රාවක පුතුන්ගේ ශ්‍රාවිකා දියණියන්ගේ විමුක්ති සුවසේ අසිරිමත් බව
කැටි වූ සුන්දර උදානයන් ථෙර ථෙරි ගාථා නමින්
ශ්‍රී සද්ධර්මයට එක් වී තිබෙනවා. බුද්ධ ශාසනයේ වැඩසිටි
ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේලා ගැන අසිරිමත් තොරතුරු
මේ ථේර ථෙරී ගාථා ග්‍රන්ථය තුළින් අපට මුණ ගැසෙනවා.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද අප සිත පහදවා ගන්නේ ගෞතම බුදු සසුනේ
වැඩසිටි තවත් උතුම් රහතන්වහන්සේ නමක්වන ගෝතම නම් රහත් මුනිඳුන් ගැනයි.
උන්වහන්සේ විපස්සී සම්බුදුරජාණන් වහන්සේගේ යුගයේ දී සිටු කුමාරයෙක්ව
ඉපදී සිටියා.
දිනක් පිඬුසිඟා වඩින්නා වූ විපස්සී බුදුරදුන් දැක බලවත්
චිත්තප්‍රසාදයෙන් යුතුව ආමෝද මලයක් පූජා කළා. අප්‍රමාණ ගුණ දැරූ
බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිතින් දන්දීම් තුළ ජනිත වූ බලවත්
පින හේතුවෙන් මරණින් මතු දෙව්ලොවෙ ඉපදුණා.
දෙව්ලොව ඉපදී තව තවත් පුණ්‍ය ශක්තිය බලවත් කරගෙන, කාම සුගතීන්වල ඉපිද
අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ් කාලයේදී රජගහ නුවර බ්‍රාහ්මණ පවුලක
ඉපදුණා. ගෝතම නම් වූ බමුණු කුමරු සත් හැවිරිදි වියේදී බමුණු පුනනූල
දමාගෙන රුවන් භික්ෂාවෙහි (මුදල් සිඟා කෑමෙහි) හැසිරුණා. එයින් කහවණු
දහසක් ලබාගෙන එය ආරක්ෂිතව තබා බ්‍රහ්මචාරී සිල් රකිමින් ව්‍රත සමාදානයේ
යෙදුණා.
යොවුන් වියට පැමිණි කුමරුන් පාප මිතුරු ඇසුර නිසා කාමුක සිත් ඇතිව
එක්තරා ගණිකාවක් සමීපයට ගියා. තමා සතු කහවනු දහස ඇයට දී මෙතෙක් රැකී
බඹසර විනාශ කර ගත්තා. එනමුත් පසුව තමාගේ බ්‍රහ්මචාරී දිවියත්, ධනයත්
දෙකම අහිමිවීම ගැන බලවත් සේ කළකිරීමට පත්වුණා.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බුදු නෙතින් ගෝතම කුමරුගේ කළකිරීමත්
ධර්මාවබෝධයට ඇති හේතු සම්පත් ද දැක සෘද්ධියෙන් සම්බුදු රුව පෙනෙන්නට
සැලැස්වූවා. සම්බුදු රුව දැකීමෙන් පැහැදී සතුටු සිත් ඇති කුමරුන්ට
ශ්‍රී සද්ධර්මය දේශනා කළා. සදහම් පැවිදි බව ලබද්දීම, පෙර පින් රැස්කළ
පින් මහිමය නිසා සව් කෙලෙසුන් නසා උතුම් අරහත්වය සාක්ෂාත් කළා. රහත්බව
ලබා ධ්‍යාන සුවයෙන් කල්ගෙවූ ගෝතම තෙරුණ් වෙත දිනක් ගිහිකළ යහලුවෙකු
පැමිණ
‘’රුවන් භික්ෂාවෙන් ලද කහවනු වලට කුමක් කළේදැයි’’
අසා සිටියා. එයිට ගෝතම තෙරුන් සිදු වූ දෙය නො පවසා කාන්තාවන්ගේ් දෝෂයද
තමන් වහන්සේ වීතරාගී බවද ප්‍රකට කරමින් මෙම ගාථාවන් වදාළා.
සුධං සුපන්ති මුනයේ
ඉත්ථිසු න බජ්ඣරේ
සදං වේ රක්ඛිතබිබංසු
යංසු සච්චං සුදුල්ලභා
මුණිවරු කියා කියන්නේ සනීපෙට නින්ද යන පිරිසක්. මුණිවරුන්ගේ් සිත් තුළ
ස්ත්‍රීන් පිළිබඳ බැඳීමක් නැහැ. ඒ නිසාමයි සනීපෙට නින්ද යන්නේ.
ඇත්තෙන්ම හැම තිස්සේම ආරක්ෂා කරගත යුතු මේ කාන්තාවන් තුළ නම් ඇත්ත කීම
හරිම දුර්ලභයි.
වධං චරිම්හ තේ කාම
අණනා දානි තේමයං
ගච්ඡාමදානි නිධිබාණං
යත්ථ ගත්ත්වා න කේවති
ඒයි කාමාශව, අප ඔබව වනසා අවසානයි. දැන් අප ඔබට ණයගැති නැහැ. යම් තැනකට
ගිහින් ශෝක නැතිව ඉන්න පුළුවන්නම් අන්න ඒ උතුම් නිවන කරා තමයි අප
යන්නේ.
බුදුරාජාණන් වහන්සේගේ අනුත්තර පුරිසදම්ම සාරථි වූ මහා කරුණාවෙන් යුතුව
විස්මිත ප්‍රඥාවෙන් යුතුව මේ දහම තුළ දමනය කළ අයුරු කෙතරම් අසිරිමත් ද?
වසභ මහ රහතන් වහන්සේ
ථේර ගාථා තුළින් මීළඟට අපට මුණ ගැසෙන්නේ වසභ නම් රහතන් වහන්සේගේ උදාන
ගාථාවයි.
උන්වහන්සේ පෙර බුද්ධ ශාසනවල දී තෙරුවන් කෙරෙහි සැදැහැ සිතින් යුතුව
පින්දහම් සිදුකොට එක් අබුද්ධෝත්පාද කාලයෙක දඹදිව බමුණු කුලයක උපත
ලැබුවා. බ්‍රාහ්මණ ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන එහි පරතෙරට ගිය ඔහු ගිහි
දිවියේ නො ඇලී තාපස පැවිද්දෙක් බවට පත්වුණා. හිමාලය අසල “සමග්ග“ නම්
පර්වතයේ අසපුවක දහහතර දහසක් වූ තාපසවරුන්ට නායකයාව තවුස් දම් පිරුවා.
ධ්‍යාන අභිඤ්ඤා උපදවාගෙන අන් තවුසන්ට අවවාද අනුශාසනා කරමින් වාසය කළා.
දිනක් ඔහුට මෙබඳු සිතිවිල්ලක් ඇතිවුණා. මම දැන් මේ තාපසයින්ට නායකයාව
ඔවුන්ගේ පුද සත්කාර වන්දනාමාන ලබමින් සිටිනවා. එනමුත් මා විසින් පුද
සත්කාර කළයුතු වන්දනාමාන කළයුතු ගුරුවරයෙක් මට නැහැ. මෙය මට අලාභයක්
යැයි සිතූ® තාපසතුමාට ධ්‍යාන අභිඤ්ඤා බලයෙන් පෙර බුද්ධ ශාසනවලදී
සම්බුද්ධ චෛත්‍යයන්ට තමන් කළ පුද සත්කාර සිහිපත් වුණා.
ඉන්පසු ‘’බුදුවරුන් උදෙසා වැලි වලින් චෛත්‍යයක් සාදා පූජා කරමි’ යි
සිතා සෘද්ධි බලයෙන් රන්වන් වූ වැලි සෑයක් මැව්වා. එම සෑයට තුන් දහසක්
පමණ වූ රන් මලින් පූජා පවත්වමින් ජීවමාන බුදු කෙනෙකුන්ට මෙන් වන්දනා
කළා. යම් මොහොතක සිතේ කාම විතර්ක හටගත්විට
‘’පින්වත ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ ඇසුරේ වෙසෙන ඔබ අකුසල් සිතිවිලි
සිතීම නුසුදුයැයි’’
මෙනෙහි කොට ඒ විතර්ක බැහැර කළා. මරණින් මතු බඹලොව ඉපිද ආයු ඇතිතාක් එහි
වාසය කොට බඹ ලොවින් චුත වී තව්තිසා දෙව්ලොව ඉපදුණා.
සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කෙරෙහි පැවැති අපමණ චිත්තප්‍රසාදය නිසා
රැස්වූ පුණ්‍ය සම්පත්තියේ අනුහසින් අසූ වාරයක් සක්දෙව් පදවියට පත්වුණා.
තුන් සිය වරක් සක්විති රාජ්‍යය ලබාගත්තා. නොයෙක් වර ප්‍රාදේශීය රජකම
ලැබුවා. සම්බුද්ධ සෑයට කළ පූජාවේ අනුහසින් දූවිලි නො රදින, දහඩිය
දුගදෙන් තොර වර්ණවත් සිරුරක් ඇතිව ඉපදුනා. අවසන් භවයේදී සැවැත්නුවර
මහත්භෝග සම්පත් ඇති පවුලක “වසභ” නමින් උපත ලැබුවා.
වසභ කුමරුගේ මව්පියන් මාර්ගඵල ලැබූ ආර්ය ශ්‍රවකයන් දෙපලක්. ඔවුන්
ශ්‍රී මහා බෝධියෙන් ගැලවුණු පොතු තැන්පත් කර රන් සෑයක් කරවා එයට උදේ
සවස වන්දනාමාන කළා. එය දුටු සත් හැවිරිදි වූ වසභ කුමරුන්ට තමන් පෙර
සාදා වන්දනාමාන කළ රන්වන්වූ වැලි සෑය සිහිපත් වුණා. හටගත්
ප්‍රමුදිතභාවයෙන් යුතුව කමට විදර්ශනා වඩා අසිරිමත් අයුරින් අරහත්වය
සාක්ෂාත් කළා. ධර්ම සේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේ වෙත ගොස් පැවිදි
බව ලබා වසභ රහතන් වහන්සේ නමින් ප්‍රකට වුණා.
වසභ මහරහතන් වහන්සේගේ ගුණවත්කම නිසාම භාග්‍යවතුන් වහන්සේ සත් හැවිරිදි
වියේදීම උපසම්පදාව ලබා දුන්නා.
වසභ රහතන් වහන්සේ වාසය කරන තැනට නුදුරින් එක්තරා තැනක භික්ෂුවක් නැති
ගුණ පෙන්වමින් මහජනයා රවටා පුද සත්කාර ලැබුවා. එය දත් සක් දෙවිඳුන් වසභ
මහ රහතන් වහන්සේගෙන් ඒ ගැන විමසූ විට ඒ භික්ෂුවගේ් පාපී ජීවිතයට ගරහා
කරමින් උන්වහන්සේ මේ ගාථාවන් වදාළා.
පුබ්බේ හන්ති අත්තානං
පච්ඡා හන්ති සො පරෙ
සුහතං හන්ති අත්තානං
විතං සෙනෙව පක්ඛිමා
කුහක තැනැත්තා ඉස්සෙල්ලාම නසා ගන්නේ තමාව. ඊට පස්සේ තමයි අනිත් අය
නසන්නේ. ලිහිණි වැද්දා ළඟ ඉන්නවා වීතංස නම් වූ කුරුල්ලෙක්. ඒ කුරුල්ලා
මවා තමයි අනිත් කුරුල්ලන් දඩයම් කරවන්නේ. තමනුත් වනසා ගෙනමයි අනුන්වත්
නසන්නේ.
න බ්‍රාහ්මණෝ බහිවණ්ණෝ
අන්තෝ වණ්ණෝහි බ්‍රාහ්මණෝ
යස්මිං පාපාති කම්මානි
සචේ කණ්හෝ සුජම්පති
බාහිර පෙනුමෙන් බ්‍රාහ්මණයෙක් වෙන්නේ් නැහැ. බ්‍රාහ්මණයෙක් විය යුත්තේ
අභ්‍යන්තර ගුණධර්ම වලින්ම යි. ‘පින්වත් සක් දෙවිඳුනි, යම් කෙනෙකු තුළ
දකින්නට ලැබන්නේ පාප කර්ම නම් ඇත්තේනම එයා පාපියෙක්’.
පින්වත්නි, සම්බුදු ගුණ මහිමයේත් ශ්‍රී සද්ධර්මයේ අනුහසින් උත්තම
අරහත්වය සාක්ෂාත් කළ ඒ නිකෙලෙස් රහතන් වහන්සේලා ගැන අප වඩ වඩාත් මෙසේ
සිත පහදවා ගනිමු.
සටහන : නයනා නිල්මිණි |