අරුත්බර ගමනක ඇරැඹුම
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ඉතිහාස අධ්‍යයන අංශයේ
මහාචාර්ය
හඟුරන්කෙත ධීරානන්ද හිමි
එතෙක් පැවැති විශ්වාසයන්ගෙන් ඔබ්බට ගොස් වඩා
අර්ථාන්විත සංස්කෘතියකට උරුමකම් කීමට අවශ්‍ය පසුතලය මහින්දාගමනයත් සමඟ
සකස් කර ගනු ලැබිණ. ආගමික ඇසුරෙන් සරල දිවි පෙවෙතෙකට හුරු වූ ජන
ජීවිතයත් ඒ තුළින් මතු වූ
සංයමයත් නිසා ශ්‍රී ලාංකේය අනන්‍යතාවය තහවුරු විය.
මේ නිසා ලක්වැසියන්ට අලුත් ජීවන මාර්ගයක් පමණක් නොව
ජීවත්වීමේ අලුත් පරමාර්ථයක් ද උදා කළ
පින් බිම වූයේ මිහින්තලයයි
මෙම ලිපියෙහි මුල් කොටස ‘මිහින්තලයෙන් ඇරැඹුණු ජාතික හා බෞද්ධ
අනන්‍යතාව‘ මැයෙන් ජුනි 23 වන දා පත්‍රයේ පළ විය.
පුද්ගල චරියාවේ වටිනාකම හා ආත්ම සංයමයේ උසස් බව වටහා දෙමින්
සදාචාරාත්මක මාවතකට පුද්ගල ක්‍රියාකාරීත්වය බද්ධකරන ආකාරය සිංහල සමාජයට
හඳුන්වාදීමට මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායමට හැකිවිය. ඒ අනුව,
කෙටිකලක් තුළ බුදුදහම ලක්දිව පුරා ශීඝ්‍රයෙන් පැතිරයාම සිදුවිය.
මිහින්තලයේ අම්බස්තලයේ දී ලක් පාලකයා ප්‍රමුඛ රාජකීය පිරිසට දහම්
දෙසීමෙන් ආරම්භ කළ ධර්ම ප්‍රචාරය සිරිලක ඈත පිටිසර ගම් දනව් කරාද
විහිදිනි. භික්‍ෂුන් වහන්සේ විසින් ගෙන යනු ලැබූ මෙම සුචරිතවාදී
පිළිවෙත දේශීය ජන ජීවිතයේ ආධ්‍යාත්මික පෝෂණයට සෘජුවම දායක විය. බෞද්ධ
ජන දිවියේ සැකැස්මේ මුලාවස්ථාව ප්‍රදර්ශනාත්මකව සමාජය තුළ ඉස්මතුවීමට
වැඩි කලක් ගත නොවීය. පඤ්චශීලයෙන් ශික්‍ෂණය ලද ජනතාව අවිහිංසාව සිය
ජීවිතයේ පදනම කර ගනිමින් කෘෂිකර්මයෙන් ජීවනෝපාය සරුකර ගත්හ. නොපෙනෙන
දෙවියන් සරණ යෑම වෙනුවට තිසරණය ජීවිතයට ළඟා කරගත් අතර ගස්, ගල් වන්දනා
කිරීම වෙනුවට බුදුන් වහන්සේගේ පාරිභෝගික වස්තුවක් වූ බෝධියටත්,
චෛත්‍යයටත් එම ස්ථානය හිමිකර දෙනු ලැබිණි. එතෙක් පැවැති විශ්වාසයන්ගෙන්
ඔබ්බට ගොස් වඩා අර්ථාන්විත සංස්කෘතියකට උරුමකම් කීමට අවශ්‍ය පසුතලය එසේ
සකස් කර ගනු ලැබිණ. ආගමික ක්‍රියාකාරීත්වයෙන් සරල දිවි පෙවෙතෙකට හුරු
වූ ජන ජීවිතයත් ඒ තුළින් මතු වූ සංයමය හා පරාර්ථචරියානුබද්ධ ජීවන
ප්‍රතිපදාවත් නිසා ශ්‍රී ලාංකේය අනන්‍යතාවය තහවුරු වූ සංස්කෘතියක්
බිහිවීමට පසුබිම සකස් විය. මේ නිසා ලක්වැසියන්ට අලුත් ජීවන මාර්ගයක්
පමණක් නොව ජීවත්වීමේ අලුත් පරමාර්ථයක් ද උදා කළ පින් බිම වූයේ
මිහින්තලයයි.
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා රැසක් සනිටුහන් වූයේ
මහින්දාගමනයෙන් පසුව බව සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක සාක්‍ෂි තුළින්
සනාථ වේ. පන්සල අධ්‍යාපන කේන්ද්‍රස්ථානය වූ අතර භික්‍ෂුව ජාතියේ
ගුරුවරයා විය. මිහිඳු හිමියන් විසින් අම්බස්තලයේ දී රජුගෙන් විචාරනු
ලැබූ අඹ පැනයත්, ඥාති පැනයත් සඳහා රජු ලබා දුන් පිළිතුරු නිරතුරුව
සිහිගන්වනුයේ විචක්‍ෂණශීලි ගුරුවරයකුගේ භූමිකාවයි. ඒ අනුව, භික්‍ෂූන්
වහන්සේ ජාතියේ ගුරුවරයා වීමේ පළමු වැනි පියවර තබන ලද්දේ ද මිහින්තලයෙන්
බව පැහැදිලිය. එමෙන්ම ක්‍රිස්තු පූර්ව සවැනි සියවසට අයත් යැයි පැවසෙන
බ්‍රාහ්මී අක්ෂර කිහිපයක් දැනට අනුරාධපුර ගෙඩිගේ කළ කැණීම් මඟින් මතු
කරගෙන ඇතත් දීප ව්‍යාප්ත වූ අක්ෂර රටාවක් ගැන තොරතුරු ලැබෙනුයේ
ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවසින් පසුව බව අභිලේඛන සාක්‍ෂි තුළින් පෙනී
යයි. දීපව්‍යාප්ත අක්ෂර රටාවක් මෙන්ම භාෂාවක් හඳුන්වාදීමේ ගෞරවය ද
මිහිඳු හිමියන් ප්‍රමුඛ භික්‍ෂුනට හා භික්‍ෂුණිනට හිමිවන බව පැහැදිලිය.
ක්‍රිස්තු පූර්ව තෙවැනි හා පළමුවැනි සියවස්වලට අයත් සෙල්ලිපි හැත්තෑ
පහක් පමණ මෙහි හමුව ඇති අතර පළමුවැනි සියවසටත් දෙවැනි සියවසටත් අයත්
සෙල්ලිපි හතරකි. ක්‍රිස්තු වර්ෂ සවැනි, සත්වැනි සියවස්වලට අයත්
සෙල්ලිපි කිහිපයක් ද ක්‍රිස්තුවර්ෂ අටවැනි සියවසට අයත් තඹපත්‍ර හා
අම්බස්තල ස්ථූපයට නුදුරින් ඇති ත්‍රිකායස්තව සෙල්ලිපිය ද සුවිශේෂ ය.
ක්‍රිස්තු වර්ෂ දහවැනි සියවසට අයත් සිව්වැනි මිහිඳු රජුගේ පුවරු ලිපිය
ද බුද්ධශාසන ඉතිහාසයෙහි සංඝ සමාජය හා විහාර පාලනය පිළිබඳ හෙළි කරනු ලබන
වටිනා ලිපියකි. ඉදිකටු සෑයේ තිබී සොයාගත් ලේඛනයන්හි මහායානික සූත්‍රයක්
වන පංචවිංසති සහශි‍්‍රකප්‍රඥා පාරමිතාව සඳහන්ය. තවත් තඹපත්‍ර
කිහිපයකින් කාශ්‍යප පරිවර්ත සූත්‍ර පාඨ හමුවී තිබේ.
ඒකීය වර්ණමාලාවක් සහිත භාෂාවක් ජනතාව අතර ව්‍යාප්ත කරලීමට භික්‍ෂූන්
මූලිකත්වය ගැනීම ජාතින් වශයෙන් හා පළාත් වශයෙන් බෙදී සිටි පිරිස්
එක්සත් සංස්කෘතික රාමුවක් වෙත යොමු කරලීමට මහත් අනුබලයක් විය. ලක්දිව
ආදි සෙල්ලිපිවලින් ප්‍රමාණිත කොටසක් මිහින්තලෙන් ලැබී ඇත. එබැවින්
ඉතිහාසය පමණක් නොව සිංහල භාෂාව පිළිබඳ ද ඉපැරැණි අක්ෂර මාලාව ගැන ද
කරුණු හදාරන්නකුට එමඟින් ලැබෙන දායකත්වය සුළු පටු නොවේ. ඒ අනුව, මෙරට
තුළ දේශීය අක්ෂරයේ මෙන්ම භාෂාවේ ද විකාශනය සිදුවූයේ කෙසේ ද යන්න වටහා
ගැනීමට මිහින්තලය කදිම පුණ්‍ය භූමියක් වේ.
ශ්‍රී ලාංකේය පාලන විකාශය හැදෑරීමේ දී ද අදාළ නිදසුන් රැසක්
මිහින්තලයෙන් ලබාගත හැකිය. ‘දෙවනපිය’ විරුදය පාලක විරුදයක් ලෙසින් ද
හඳුනා ගැනීමට මින් ඉඩක් ලැබේ. ‘දෙවනපිය ගමණි උති’ යන නමින් පෙනී සිටින
මහරජු වනාහි පැහැදිලිවම දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු වන උත්තිය රජුම
වේ. ඔහු භාවිත කරන ‘දෙවනපිය’ විරුදය පැහැදිලිවම මෞර්ය අභිෂේකයෙන්
ලද්දක් වන අතර ‘ගමණී’ යනු ලක්දිව පැරැණිම පාලක විරුදයක් වූ බව
විද්වතුන්ගේ මතයයි. ඒ අනුව වංසකතාගත විජය පුරාවෘත්තය ගැන නැවැත
සිතීමටත් ලක්දිව රාජත්වයේ ආරම්භය මෙරට ග්‍රාමීය මට්ටමින් බිහි වූ
ප්‍රාදේශීය පාලන ඒකකවල විකාශනයෙන් සිදු වූයේ ය යන මතවාදයටත් අදාළ
සාක්‍ෂියක් ලෙසින් ද මෙම ශිලාලේඛනය දැක්විය හැකි ය.
එමෙන්ම, වංසකතාව නොදක්වන උත්තිය රජුගේ දියණිය හා බිසවගේ නාමයන් වන
තිස්සා හා සුමනා යන රාජකීය කාන්තාවන්ගේ නම් පැහැදිලිව දැක්වෙන ශිලාලේඛන
හමුවන්නේ ද මිහින්තලාවෙනි. වංසකතා නොදක්වන ප්‍රාදේශීය පාලකයන් වශයෙන්
සැලකිය හැකි ‘රජ’ විරුදය දරන පාලකයන් කිහිප දෙනකු ගැන ද මිහින්තලා ලෙන්
ලිපි හෙළිදරව් කරයි. ‘කණගම තිස’, ‘දීපරාජ’ ‘දමරජ’ ඉන් කිහිප දෙනෙකි.
අනුරාධපුර පාලකයන් කළ ලෙන් ලිපි ද මෙහි වේ. ඒ අනුව, විවිධ ප්‍රදේශ
පාලනය කළ පාලකයන් රැසකගේ ලෙන් ලිපි එකම ස්ථානයකින් හමුවීමෙන්
පැහැදිලිවන කරුණක් ඇත. එනම් මිහින්තලය වනාහි සෑම දෙන එක් කළ පොදු
ස්ථානයක් බවයි. ප්‍රාදේශීය බෙදීම්වලින් ඉවත්ව ආගමික නාමයෙන් පාලකවරුන්
මෙන්ම සමාජගත විවිධ ජන කණ්ඩායම් ද එක් කළ, සමඟිය සාමය හා සහජීවනය
අර්ථගැන් වූ ස්ථානයක් ලෙසින් ද මිහින්තලය හැඳින්වීම නිවැරැදිය. එලෙසින්
ගොඩනැඟුණු එක්සත් සංස්කෘතික පසුබිම හා මානසික ස්ථාවරත්වය ක්‍රිස්තු
පූර්ව දෙවැනි සියවස වන විට දුට්ඨගාමණිගේ නායකත්වයෙන් දියත් වූ එක්සත්
රාජ්‍යයක් කරා ගමන් කළ ජාතික කාර්යාවලියට ද මහත් උපකාරීත්වයක් වූ බව
පැහැදිලිය.
මුල් කාලයේ දී ථෙරවාදී මධ්‍යස්ථානයක් ලෙසින් පැවැති මිහින්තලය
පසුකාලයේදී විවිධ නිකායනට අයත් මහායානික මතවාදයන්ද ගරු කළ පිරිස්
එක්තැන්ව කටයුතු කළ තැනක් ලෙසින් ද වර්ධනය වූ බව පුරාවිද්‍යාත්මක
සාක්‍ෂිවලින් සනාථ වේ. එමෙන්ම සඟමිත් තෙරණිය විසින් ගෙනෙන ලද ශ්‍රී මහා
බෝධියේ හටගත් අංකුර අටකින් එකක් සෑගිරියේ රෝපණය කළ බව මහාබෝධිවංසය
මෙන්ම සමන්තපාසාදිකාව ද සඳහන් කරයි. මිහිඳු හිමියන්ගේ පිරිනිවන් පෑමද
මිහින්තලාවේ දී සිදු වූ බව වංසකතාව දක්වන අතර උන්වහන්සේගේ ශාරීරික
ධාතූන් වහන්සේ තැන්පත් කොට මිහිඳුසෑය උත්තිය රජු විසින් ගොඩනංවනු ලැබ
තිබේ. මෙම සාධක මතින් මිහින්තලය වනාහි බෞද්ධාගමික මධ්‍යස්ථානයක් ලෙසින්
මෙන්ම ආගමික සහජීවනයක් සනිටුහන් වන කලාපයක් ලෙසින් ද හඳුනාගත හැකිය.
මෙම කරුණු වලට අනුව, මිහින්තලය වනාහි ශ්‍රී ලාංකේය ජාතික හා බෞද්ධ
අනන්‍යතාව මතු කෙරෙන පුණ්‍ය භූමියක් බව සඳහන් කළ හැකිය. එසේම
සිංහලයන්ගේ ප්‍රෞඪ වූ බෞද්ධ ශිෂ්ටාචාරයේ අරුණලු උදා වූයේ ද මිහින්තලා
ගිරි මුදුනෙන් බව දැක්වීම නිවැරැදිය.
|