ධර්මාචාර්ය
විභාගයට
ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2013
ථෙරවාද බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්
2013 වසරේ පැවැත්වීමට නියමිත දහම් පාසල්
ධර්මාචාර්ය විභාග විෂය නිර්දේශයට අදාළව
ආදර්ශ ප්‍රශ්න පත්‍ර මාලාව සහ පිළිතුරු පත්‍රයේ පස්වැන්න අද පළ වේ.
කුලියාපිටිය සාරානාත් මහා විද්‍යාලයේ
ධර්මාචාර්ය ශාස්ත්‍රපති
උප්පලවත්තේ විමලානන්ද හිමි
01. 1. චතුරාර්ය සත්‍යය හා සම්බන්ධ තිපරිවට්ටය නම් කරන්න.
2. බුදු දහමේ ඉගැන්වෙන කර්මය හා කර්ම පථයේ වෙනස දක්වන්න.
3. රූප ස්කන්ධයට අයත් රූප ප්‍රභේද දෙක ලියන්න.
4. සම්මා කම්මන්තය යන ආර්ය මාර්ගාංගය ත්‍රිලක්‍ෂණවල කිනම් ශික්ෂාවට
අයත් වේද?
5. “සංඛාරා” යනුවෙන් කුමක් අදහස් කරන්නේ ද?
6. කුසල මූල හා අකුසල මූල යන දෙක කෙටියෙන් හඳුන්වන්න.
7. බෝධි පාක්ෂික ධර්මයන්නෙහි අදහස් ලියන්න.
8. “සංඛාර” විඤ්ඤාණ දෙක අතර පවතින සම්බන්ධය දක්වන්න.
9. සංඛාරයන්ගේ ලක්‍ෂණ තුන මොනවාද?
10. ‘දුක්ඛ’ යන්නෙහි දාර්ශනික අර්ථය පෙන්වා දෙන්න.
පිළිතුරු
01. 1. සත්‍යා ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන
2. චේතනාත්මකව ක්‍රියාවන් කිරීම නම්, කර්ම චේතනාවක් ක්‍රියාත්මක වී
සම්පූර්ණ වූ විට කර්ම පථයක් බවට පත් වේ.
3. භූත රූප 04 සහ උපාදාය රූප විසි හතර
4. සීලයට
5. පංචස්කන්ධයයි.
6. අලෝභ, අද්වේෂ, අමෝහ, කුසල මූලයි. ලෝභ, ද්වේෂ, මෝහ, අකුසල මූලයි.
7. චතුරාර්ය සත්‍ය අවබෝධය බෝධි නම්, ඒ සඳහා ඉවහල් වන ධර්ම සමූහ බෝධි
පාක්‍ෂික ධර්ම නම් වේ.
8. කරන ලද කුසල් අකුසල් වලට අනුව රැස් වී ඇති කර්ම ශක්තිය සංඛාර නම්,
එම සංඛාර රඳා පවතින්නේ විඤ්ඤාණ ප්‍රවාහයන්ගෙන් ය.
9. උප්පාද, ඨිති, භංග
10. පාලනය කළ නොහැකි බව, දුක් බව හා අසාර බව.
1. ත්‍රිලක්‍ෂණය කෙටියෙන් හඳුන්වන්න.
බුදු දහමෙහි මූලික අරමුණ වන විමුක්ති සාධනය සඳහා ලෝකය හා සත්ත්වයා
පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කොටගත යුතු ය. යථා භූත ඥාන දර්ශනය
වශයෙන් ද එය හැඳින්වේ. පුද්ගලයාගේ ඇස, කන ආදී ඉඳුරන් මඟින් මෙන්ම ලෞකික
ඉන්ද්‍රිය ඥානය ඉක්මවා ගිය උසස් ඥාන ශක්තීන් මගින් ද මෙම අවබෝධය ලද
හැකි ය. එසේ ලබන අවබෝධය නම් ලෝකය හා සත්ත්වයාත් අනිත්‍ය (වෙනස්වීම)
දුක්ඛ (දුක් සහගත බව) අනාත්මය (මමය මාගේ ය) යනුවෙන් බුදු දහමේ මූලික
සිද්ධාන්තයන් බව ත්‍රිලක්‍ෂණය දක්වා තිබේ.
අනිත්‍ය නම් හේතු ඵල වශයෙන් හටගත් කිසිම දෙයක් සදාකල් හි නොපවත්නා
බවයි. දුක්ඛ නම් දොම්නස් සහගත, පීඩාකාරී අතෘප්තිකර ගතිය යි. අනාත්ම නම්
මම ය මාගේ ය යනුවෙන් වෙනස් නොවී සදාකාලික ආත්මයක් සේ ගත හැකි යමක් නැති
බවයි. මෙය ලොව හැම තැනම පැතිර පවත්නා ලක්‍ෂණයකි. මෙම මූලික ලක්‍ෂණ තුන
පිළිබඳ අවබෝධය බුද්ධ ධර්මයෙන් සැලසෙන උසස්ම ආධ්‍යාත්මික පරිපූර්ණත්වයට
පිවිසෙන දොරටුව විවෘත කරන යතුර සේ සැලකිය හැකි ය.
“යංකිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං”
යන පාඨයෙන් විග්‍රහ කෙරෙන්නේ හට ගැනීමේ ස්වභාවය ඇති හැම දෙයක්ම නැති
වීමේ ඇතිවීමේ ස්වභාවය ද පවත්නා බවයි. සත්ත්වයන්, පුද්ගලයන්,
ද්‍රව්‍යයන් ආදී වශයෙන් ගැනෙන සියලු දෙයටම ඒ සනාතන ධර්මය සාධාරණව පවතින
බව බුදු සමය අවධාරණය කරයි. ගසක පිපෙන මලක් නිරීක්‍ෂණය කිරීමෙන් මැලවෙන,
පරවෙන ස්වභාවයට පත් වන අන්දම දැක ගත හැක. අනිත්‍ය ස්වභාවය යනු එයයි.
දුක්ඛ යන පදයෙහි මූලික අර්ථය නම් කටුක වේදනාව යනුයි. ‘සුඛ’ යන පදයට
විරුද්ධ වූ හැම දෙයක්ම දුක්ඛ යන පදයෙන් හැඟවෙන බව තේරුම් ගත හැකි ය.
දුකෙහි නිධානය ලෙස පෙන්නුම් කරන්නේ තෘෂ්ණාව යි.
“සබ්බේ සංඛාරා දුක්ඛා” සියලු සංස්කාරයෝ දුක ය. දුක මත ලෝකය පිහිටා ඇත.
චතුරාර්ය සත්‍ය දේශනාවේ දී වදාළේ ද දුක්ඛාර්ය සත්‍යය යි.
බුදු දහම සියලු සංස්කාර ධර්මයන්ම අනාත්ම වශයෙන් දක්වයි. ආත්ම වශයෙන් ගත
හැකි කිසිදු ධර්මතාවයක් විශ්වයේ නැත. පංචස්කන්ධ විභාගය හා
පටිච්ජසමුප්පාද දර්ශනය යන මූලික ඉගැන්වීම් දෙකම ආත්මවාද දෙකක් බැහැර
කරන අතර අනාත්මවාදය තහවුරු කරයි. ලෝවැසි සියලු සංස්කාර ධර්ම අනිත්‍යය
යයි ද දුක් යයි ද දැක් වූ බුදු දහම සියලු සංස්කාර ආත්මයැ යි නොදක්වා
සියලු ධර්ම අනාත්ම යැයි අවධාරණය කොට ඇත. හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගත්
සත්ත්වයා සංස්කාරයයි ද හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් නිර්වාණය අනාත්ම බව
ද උගන්වනු ලැබේ.
සබ්බේ ධම්මා අනත්තානි
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ
ඵස මග්ගෝ විසුද්ධියා
“පංචස්කන්ධ ආදී සියලු ධර්මයෝ අනාත්මය’යි ද යම්, කලෙක විදසුන් නුවණින්
එය දන්නේ ද එකල්හි සසර දුකෙහි කල කිරේ. මෙම කල කිරීම විසුද්දිය හෙවත්
නිවනට ම¼ග ය.”
02. ත්‍රිවිධ ද්වාරයෙන් සිදුවන දස අකුසල් නම් කර දක්වන්න.
ප්‍රාණ ඝාතය
අදත්තා දාන
කාම මිථ්‍යාචාරය
මුසාවාදය
පරුෂ වචනය (වචනය)
කේලාම් කීම
හිස් වචන කීම
අභිජ්ජාව (දැඩි ලෝභය)
ව්‍යාපාදය (සිත)
මිථ්‍යා දෘෂ්ඨිය
01. කර්මය විපාක දෙන පිළිවෙළ අනුව 04 කට බෙදේ. ඒවා නම් කරන්න.
02. මෘත ශරීරයක විවිධ අවස්ථා අරමුණු කරගෙන භාවනා කිරීම දස අසුභ ලෙස
සඳහන් වේ. ඒවායෙන් 05 ක් නම් කරන්න.
03. සතර සංවර ශීලය නම් කරන්න.
04. සම්මා සංකප්පයෙහි ප්‍රධාන ප්‍රභේද නම් කරන්න.
05. ශරීරය හා බැඳුණු ආයතන නම් කරන්න.
06. පටිච්ච සමුප්පාදයේ මූලික සූත්‍රය ලියන්න.
07. සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම මොනවාද?
08. අනුස්සති 10 නම් කරන්න.
09. ලොව ක්‍රියාත්මක වන නියාම ධර්ම 05ක් බුදු සමයේ ඉගැන්වේ. ඒවා නම්
කරන්න.
10. පංච නීවරණ ධර්මයන් නම් කරන්න.
පිළිතුරු
01. ගරුක, ආසන්න, ආචින්න, කටත්තා
02. උද්ධුමාතක, විනීලක, විජුබ්බක, විචිද්දක, වික්ඛායිතක, වික්ඛිත්තක,
හත වික්ඛිත්තක, ලෝහිතක, පුලවක, අට්ටක.
03. ප්‍රාතිමෝක්‍ෂ සංවර ශිලය, ඉන්ද්‍රිය සංවර ශීලය, ආජීව පාරිශුද්ධ
ශීලය, ප්‍රත්‍ය සන්නිශි‍්‍රත ශීලය.
04. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප.
05. චක්ඛායතන, සෝතායතන, ඝානායතන, ජීව්හායතන, කායායතන, මනසායතන.
06. ඉමස්මිං සති ඉදං හෝතී
ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ඣති
ඉමස්මිං අසති ඉදංන හෝතී
ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ඣති
07. සතර සතිපට්ඨානය 04
සතර සම්‍යක් ප්‍රධන් වීර්යය 04
සතර සෘද්ධිපාද 04
පංච ඉන්ද්‍රිය 05
පංච බල 05
සත්ත බොජ්ක්‍ධංග 07
ආර්ය අෂ්ටාංගික මාර්ග 08
08. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති.
චාගානුස්සති, දේවතිනුස්සති. ආනාපානසති, මරණානුස්සති, කාය ගතා සති,
උපසමානුස්සති
09.උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම.
10. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්චා
02. භාවනා යන්න කුමක්දැයි හඳුන්වා බුදුදහමෙහි විස්තර කරන මූලික භාවනා
ක්‍රම දෙක හඳුන්වා දෙන්න.
“භාවේති කුසල ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතායානි භාවනා”
“සිත තුළ කුසල් දහම් වර්ධනය කිරීම භාවනාව නම් වේ”
සමථ භාවනා හා විදර්ශනා භාවනා යනුවෙන් භාවනා ක්‍රම දෙකක් ගැන බුදු
දහමෙහි ඉගැන්වේ.
එයින් සමථ භාවනාව නම් කාමච්ඡන්ද ආදී පංච නීවරණ නමින් හැඳින්වෙන අකුසල
ධර්ම හතත් සමනය කර ගැනීමට ඉවහල් වන භාවනාවක් වේ.
“නීවරණති සමතේති සමථෝ”
සිත එක අරමුණක මැනවින් පිහිටුවා ගැනීමෙන් කෙරෙන භාවනාවක් බැවින් මෙය
චිත්ත භාවනා, සමාධි භාවනා යන නම් වලින් ද හැඳින් වේ. ධ්‍යාන උපදවා
ගැනීමට ද උදව් වන භාවනාවකි. දඹදිව විසූ තවුසන් පංච අභිඥා, අෂ්ට
සමාපත්ති උපදවා ගත්තේ මෙම භාවනා ක්‍රමයෙනි. සිත වඩාත් දියුණු කර ගත
හැකිය. සම සතළිස් කමටහන් අරමුණු වශයෙන් ගෙන මෙම භාවනාව ශීලයක පිහිටා කළ
යුතු ය. ප්‍රතිඵල වශයෙන් සිත එක අරමුණක පිහිටුවා ගැනීමටත් උසස්
සමාධියක් ඇති කර ගැනීමටත්, අලසකමින් ඈත්ව සිතේ ඇතිවන නො සන්සුන් බව,
පසු තැවිල්ල දුරු කොටගෙන සහනයෙන් හා මානසික ප්‍රබෝධයෙන් ජීවත් වීමට ද
හැකි වේ.
පංචස්කන්ධය පිළිබඳව අනිත්‍යා දී වශයෙන් බැලීම විදර්ශනාව යි. ප්‍රඥාව
දියුණු කර ගැනීමට ඉවහල් වන බැවින් ප්‍රඥා භාවනා නම් වේ. එසේම විදර්ශනා
වඩා නිවන් අවබෝධ කර ගැනීමට උත්සාහ දරන පුද්ගලයන් දෙවර්ගයක් ගැන ධර්මයේ
විස්තර වේ. එනම් සමථයානික හා විපස්සනායානික යනුවෙනි. සමථ භාවනාව පාදක
කොට නො ගෙන විදර්ශනා භාවනාවෙන් ම ආරම්භ කොට නිවන් පසක් කර ගන්නා
තැනැත්තා විපස්සනා යානික නම් වේ. නිවන් ලැබීමට උපකාරී වන්නේ මෙම භාවනාව
යි.
ඉතිරි කොටස ජුනි මස 08 වන දා
පත්‍රයේ පළ වේ
ධර්මාචාර්ය විභාගයට ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2013 බෞද්ධ විනය මාර්ගය හා
පාලි භාෂා පරිචය |