දුසිල්වත්ව සිදුකරන ක්‍රියාවට ලැබෙන දඬුවම
බරපතලයි
පිළියන්දල සද්ධර්මාලෝක
ධර්ම නිකේතනයේ අනුශාසක
පිටිගල
ගුණරතන හිමි
අකුසලයට හේතුව නො දැන අකුසලය නිරුද්ධ කරන පිළිවෙතත් නො දැන, අකුසල නොකර
සිටියත්, කුසල සහගත වුවත් කුසල මූලය නොදන්නේ නම් කුසලය සම්පූර්ණයෙන්
නිරුද්ධ කරන මඟ නො දන්නේ්නම්, ඔවුන් දෙ කොටසම මේ ශාසනය තුළ හඳුන්වන්නේ
හීනයකු ලෙසයි
තථාගතයන් වහන්සේ අපේ හික්මීම සඳහාත්, තම තමාගේ සංවරය සඳහාත් “සීලය” නම්
උතුම් ප්‍රතිපදාව පෙන්වා වදාළා. සීලය යනු හීලෑබවයි. කය, වචනය, සිත යන
තිදොරේ සංවර බවයි. සීලමය පින අප බොහෝ දෙනාට බොහෝ උපකාර ගෙන දෙනවා.
සීලයෙන් තොරව පැවැත්මක් අපට නැහැ. හැම මොහොතකම අපට සිල්වත්ව ඉන්න
වෙනවා. සිල්වත් නොවී දුසිල්වත් වන සෑම මොහොතකම සිදුකරන ක්‍රියාවට ලැබෙන
දඬුවම බරපතලයි.
මේ කාය වාචසික සංවරභාවය තුළ සුරක්ෂිත වෙන්නට මහන්සි ගතයුත්තේ එ නිසයි.
ශික්ෂාව පිළිබඳව ඉගැන්වීමේ දී නිවැරැදි , හික්මවිය යුතු සියලු දෙය
එක්තැන් කොට ගත්විට එය ලෝක වජ්ජ හා සම්මුති වජ්ජ නමින් කොටස් දෙකකට
බෙදෙනවා. ලෝක වජ්ජ කියන්නේ තථාගතයන් වහන්සේ ලොව පහළ වූවත්, නො වූවත්
ලෝක සම්මතයට ශිෂ්ඨ සමාජය වැරැදිය, පාපය, අකුසලය කියන දේ නොකළ යුතුයි
කියා බැහැර කළ දුරස්කළ දෙය. ප්‍රාණඝාතය ලෝකයේ ශිෂ්ඨ සමාජය තුළ කවදාවත්
ම අනුමත කරන්නේ නැහැ. සොරකම, වැරැදිකාම සේවනය, බොරුකීම, කේලාම්කීම,
පරුෂ වචනය, සුරාව, සූදුව ලෝකයේ ශිෂ්ඨ සමාජය පිළිකුල් කරමින් බැහැර
කරනවා.
ඒ වගේම සම්මුති වජ්ජ කියන්නේ ලෝක සම්මුතිය තුළ වැරැදි නැහැ. නමුත්
තථාගතයන් වහන්සේ වැනි ශාස්තෘවරුන් පැනවීම මත වැරැදිය යන ඝණයට අයත් වන
දේ. උදාහරණ ලෙස හිරු අවරට යාමෙන් අනතුරුව ආහාර ගැනීම ලෝක සම්මුතිය තුළ
වරදක් නොවේ. නමුත් ශාසනික ප්‍රතිපදාවට පැමිණි කෙනෙකුට උන්වහන්සේගේ
සම්මතය තුළ එය වැරැදියි. උස් අසුන්, මහ අසුන් පරිහරණය රන්, රිදී, මුතු
මැණික් පරිහරණය මල්ගඳ විලවුන් දැරීම නැටුම්, ගැයුම්, වැයුම් බැලීම,
ගිහි සමාජයට ප්‍රතික්ෂේප වූ කාරණා නොවේ. නමුත් ආර්ය ශාසනයේ
ප්‍රතිපදාවට පැමිණි කෙනෙකුට ඒ ප්‍රතිපදාව සම්පූර්ණ කර ගන්නට බාධා ඇතිවන
බැවින් තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට එය ඇවැතක් වන බව වදාළා. එබඳු දේ
සම්මුති වජ්ජයි.
අප වරදින් මිදෙනවා නම් ලෝක වජ්ජ, සම්මුති වජ්ජ කියන දෙකෙන්ම මිදෙන්න
ඕන. ගිහි සමාජය ලෙස බොහෝ කොට දකින්නට ලැබෙන්නේ සම්මුති වජ්ජයට වඩා ලෝක
වජ්ජයෙන් මිදුන බවක්. පොහෝ දිනක නම් විකාලභෝජනා, නච්චගීත වාදිත, මාලා
ගන්ධ විලේපන, උච්චාසයන මහාසයනා, ජාත රූප රජත වැනි ලොව සම්මත ශික්ෂාපදවල
හික්මෙනවා. පංචශීලය තුළ දක්නට ලැබෙන්නේ ශිෂ්ඨ සමාජය ගරහා කරන
පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරන වැරැදියි. මේ වැරැදි නො කිරීමෙන් තමාටත්
සමාජයටත් බොහෝ යහපත වෙනවා.
මේ සීලය සහ ශික්ෂණය බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන්න කලිනුත් ලෝකයේ
තිබුණා. මහමායා දේවිය එදා සිද්ධාර්ථ කුමරු මව්කුස පිළිසිඳ ගන්නා දවසේත්
පෙහෙවස් සමාදන් වී සිටි බව බුදුසිරිතේ සඳහන්. එදත් මේ වරදින් මිදෙන්න
කරන උත්සාහය සීල සංවරය තිබුණා. එය ඉතාමත්ම ගැඹුරින් ඒ සම්මත බව ජීවිතයට
එකතු කරගෙන තිබුණා. එනිසාමයි ආලාරකාලාම, උද්දකරාම වැනි තවුසෝ සීලමය
ශික්ෂණය රැකගෙන කාය, වාග් සංවරය ඉක්මවා මානසික සංවරය ඇතිකරගෙන සිත
සමාධිමත් කරගෙන අෂ්ඨසමාපත්ති දක්වා සිත දියුණු කළේ. නමුත් එය බ්‍රාහ්මණ
සමාජය අනුගමනය කළ සීලමය ප්‍රතිපදාවක් මිස ආර්ය සීලයක් බවට පත්වන්නේ
නැහැ.
වර්තමානයේ බෞද්ධයන් ආරක්ෂා කරන සීලය තුළ තිබෙන දර්ශනය කුමක්ද? මම මේ
වැරැද්ද කරන්නේ නැහැ. මම මිය ගියත් මේ වරදින් මිදී ඉන්නවා කියලා
අධිෂ්ඨාන පරිත්‍යාගයෙන් වරදින් මිදෙන්න උත්සාහයක් අද සමාජයේ බොහෝ දෙනා
තුළ දකින්නට නැහැ.
තථාගතයන් වහන්සේ මේ ලෝකයේ සිටින පුද්ගලයන් හතර කොටසක බෙදා දක්වා එයින්
දෙකොටසක් සීලයටත්, දෙකොටසක් පණ්ඩිත උතුමන්ටත් වෙන් කළා. පළමුවැන්නා කාය
වාචසික අකුසලයෙන් යුක්තයි. ඔහු අකුසල හට ගන්නේ කොහොමද අකුසලය නිරුද්ධ
කරන්නේ කොහොමද කියා දන්නේ නැහැ. දෙවැන්නා කායික වාචසික, මානසික පැවැත්ම
අකුසල්. නමුත් ඔහු දන්නවා අකුසලය හටගන්නේ මෙහෙමයි. අකුසලය
නිරුද්ධවෙන්නේ මෙහෙමයි කියන නුවණ තිබෙනවා. තුන්වැන්නාගේ ජීවිතයේ
පැවැත්ම බොහෝම කුසල් සහගතයි. කිසි කෙනෙකුට චෝදනා කරන්න ඉඩක් නැහැ.
බොහෝම යහපත්. නමුත් එයා දන්නේ නැහැ කුසලය ඇති වන්නේ මේ හේතුවෙන්,
කුසලයේ විපාකය මෙයයි කියා. සතරවැන්නාගේ පැවැත්ම බොහෝම කුසලයි. යහපත්.
එයා දන්නවා කුසලයට හේතුව මේකයි. මේ කුසලය ද නිරායාසයෙන් නිරුද්ධ කරන ඵල
සමාර්ථ මෙය බව.
මේ සතර දෙනාගෙන් දෙදෙනෙක් හීනයි, දෙදෙනෙක් උත්කෘෂ්ඨයි උතුම් කියා දේශනා
කළා. දැන් කවුද හීනයෝ? කවුද ප්‍රණිතයෝ? අකුසල් සහගත පැවැතුම් ඇති
දෙදෙනා හීනයි, කුසල පැවැතුම් ඇති දෙදෙනා විශිෂ්ටයි කියලා. ඒත් තථාගතයන්
වහන්සේ වදාළේ හීන හා විශිෂ්ටභාවය බෙදෙන්නේ අප සිතන ආකාරයට නොවේ. එක්
පුද්ගලයෙකුගේ පැවැත්ම අකුසල සහගතයි. ඔහු අකුසල මූලය දන්නේ නැහැ අකුසලය
නිරුද්ධ කරන පිළිවෙත දන්නෙත් නැහැ. ඔහු හීනයි. අනෙකාගේ පැවැත්ම බොහෝ
කුසලයි. නමුත්, කුසලය හට ගන්නේ කොහොමද? කුසල මූලය කුමක්ද? දන්නේ නැහැ.
පැවැත්ම කුසල වුවත් තථාගතයන් වහන්සේගේ බෙදීමට ඔහු හීනයෙක්.
තුන්වැන්නාගේ පැවැත්ම අකුසලයි. නමුත් අකුසලයට හේතුව දන්නවා. අකුලසය
නිරායාසයෙන් නිරුද්ධ කරන පිළිවෙත දන්නවා. ඔහු විශිෂ්ටයෙක්.
හතරවැන්නාගේ් පැවැත්ම කුසලයි. කුසලයට හේතුව එය නිරුද්ධ කරන ප්‍රතිපදාව
දන්නවා. ඔහුද විශිෂ්ටයි. තථාගතයන් වහන්සේ හීනත්වය හා විශිෂ්ටත්වය දේශනා
කළේ මේ වර්තමාන ක්‍රියා දෙස බලා නොවේ. ඒ සීලයට ඒ ශික්ෂණයට ඒ සඳහා තිබෙන
මූල කාරණා දර්ශනය දෙස බලලයි.
සරකානු නුවර ශාක්‍යවරු උදේ සිට හවස් වනතුරු සුරාපානය කොට මහමඟම ගැවසිලා
මහමඟම වැටී මිය ගියා. ඔහු සතර අපාය ඉක්මවූවෙක් බව තථාගතයන් වහන්සේ කළ
දේශනාව ලෝකයට විමතිය ගෙන දෙන්නට වුණා. මහානාම ශාක්‍යතුමා පවා විශ්මයට
පත්වුණා. එහෙත් පැවැත්ම අකුසල වුවත්, අකුසල මූලය දන්නවානම්, අකුසල
නිරුද්ධවන පිළිවෙත දන්නවා නම් ඔහු වීර්ය මදකම නිසා අකුසල් කළත් යම්
මොහොතක එක් ක්ෂණයකින් වෙනස්වෙන්න ඔහුට පුළුවන්. එබඳු කෙනෙකුගේ ජීවිතය
අකුසලයෙන් යුතු වුවත් ඔහුට නිවැරැදි වෙන්න පුළුවන්. අකුසලයට හේතුව
සොයා කුසලයට පිවිසෙන්නත්, නැවත හට නොගන්නා ස්වභාවයෙන් අකුසලයෙන්
මිදෙන්නත් දැනගෙන සිටිනවා නම් එක් මොහොතක් ප්‍රයෝජනයට ගෙන නිවැරැදි
වෙන්න පුළුවන්. සරකානු වැනි ශාක්‍යවරුන්ගේ ජීවිතය තුළින් අප දකින ඇත්ත
ඒකයි. විශිෂ්ටත්වය හා හීනත්වය පැවැත්ම තුළ මැන බලන සමාජයකයි අප ඉන්නේ.
තථාගතයන් වහන්සේ දේශනාව තුළ පැවැත්මට වඩා ඒ පැවැත්මට මූලික වන දැක්ම
පිළිබඳයි උන්වහන්සේ ගේ අගැයීමකට ලක්වුණේ.
එනිසා අකුසලයට හේතුව නො දැන අකුසලය නිරුද්ධ කරන පිළිවෙතත් නො දැන,
අකුසල නොකර සිටියත්, කුසල සහගත වුවත් කුසල මූලය නොදන්නේ නම් කුසලය
සම්පූර්ණයෙන් නිරුද්ධ කරන මඟ නො දන්නේ්නම්, ඔවුන් දෙ කොටසම මේ ශාසනය
තුළ හඳුන්වන්නේ හීනයකු ලෙසයි.
සටහන : නයනා නිල්මිණි |