UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අකාලික බුද්ධානුශාසනාව

නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියො දපනං
එතං බුද්ධානසාසනං

කාරුණික පින්වතුනි,

ඉහත ගාථා ධර්මයෙහි අර්ථය මෙසේ දැක්විය හැකියි. “සියලු පව්වලින් වැළැකී සිටින්න. සියලු කුසල් රැස්කරන්න. තම සිත පිරිසුදුව තබාගන්න. සිත දමනය කරගන්න. මෙයයි බුද්ධානුසාසනය හෙවත් බුදු ඔවදන.”

ගාථාවෙහි පළමුවැනි පදයෙන් කියැවෙන්නේ සියලු පව් නොකරන්න කියාය. පව් යනු අකුසල් යන්නයි. කුසල් යනු පින්ය. නරක, අයහපත් ක්‍රියාවන්ට පව් යන නමත්, හොඳ යහපත් ක්‍රියාවන්ට පින් යන නමත් ව්‍යවහාර වේ. පාප ක්‍රියා බොහොමයක්ද පුණ්‍ය ක්‍රියා බොහොමයක්ද පවතින බව අපි දනිමු. මෙයින් තෝරා බේරා ගත් කරුණු කිහිපයක් පමණක් සාකච්ඡා කරමු.

‘පව්’ යන පුළුල් , විස්තීරණ, ගැඹුරු වචනය ගෙන බලමු. පළමුවෙන්ම, අප කුඩා කාලයේ සිටම පාප ක්‍රියා ලෙස දැන කියා ගත්තේ පන්සිල් කඩකිරීමයි. ඊට අනුව, සතුන් මැරීම, සොරකම් කිරීම, වැරැදි කම් සුව විඳීම, බොරුකීම හා මත්පැන් පානය කිරීම පව්සිදුවන ක්‍රියාවන්ය. එබඳු පව් නොකර සිටීම පින්ය. මේ කුඩා කාරණයේ සිට පව් පිළිබඳ දීර්ඝ විස්තර ඇතුළත් බුද්ධානුශාසනා වශයෙන් දැක්විය හැකි ත්‍රිපිටකාගත සූත්‍රදේශනා කිහිපයක් ඇසුරින් පාප ක්‍රියා ගැන වැඩිදුරටත් විමසා බලමු.

මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ මූල පරියාය වග්ගයේ සත් වැනි සූත්‍රය වන වස්ථූපම සූත්‍රයේ සඳහන් වන ආකාරයට පව් දහසයක් දැක්විය හැකිය.

1. අභිජ්ඣා විසමලොභො - තමන්ගේ වස්තුව පිළිබඳ පවතින ලෝභය හා අන්‍යයාගේ වස්තුව පිළිබඳ පවතින ලෝභය

2. ව්‍යාපාදය - නව ආඝාත වස්තූන් නිසා ඇතිවන වෛරය

3. කොධො - තරහ හෙවත් නොරුස්නා ගතිය

4. උපනාහො - බද්ධ වෛරය, දිගින් දිගටම පවත්නා වෛරය

5. මක්ඛො - අනුන්ගේ ගුණ මැකීම, හෙවත් ගුණමකුකම

6. පළාසො - තමා උසස්යැයි සිතීම

7. ඉස්සා - ඊර්ෂ්‍යාව හෙවත් තමන්ගේත්, අනුන්ගේත් යසඉසුරු  නොඉවසන ගතිය

8.මච්චරියො - තම සම්පත් සැඟවීම හෙවත් මසුරුකම

9.මායා - තම වරද සඟවා ගුණවතකු සේ පෙනී සිටීම

10. සාඨෙය්‍ය - කපටිකම හෙවත් තමන් ළඟ නැති ගුණ පෙන්වන ස්වභාව

11. ථම්භ - තදගතිය, සත්‍යයට නැඹුරුනොවීමේ ස්වභාව

12. සාරම්භ - අනුන් කරන දේට වැඩියෙන් කරන්නට යෑම

13. මානො - මානය හෙවත් තමා පිළිබඳ උඩඟු හැඟීම් ඇතිකර ගැනීමයි. තමාට වඩා උගතකු ධනවතකු, බලවතකු වෙනත් නැතැයි සිතීමයි.

14. අතිමානො - ප්‍රමාණය ඉක්මවා යන උඩඟු බව

15. මදො - තම තත්ත්වය පිළිබඳ උසස් ආකාරයට සිතීම හෙවත් මමත්වයයි.

16. පමාදො – ප්‍රමාදවීම හෙවත් අධ්‍යාත්මික දියුණුවට ඇති මන්දෝත්සාහී බව

මෙකී කාරණා සියල්ලම පව් හෙවත් අකුසල්ය. සිත කිලිටි කරන, මිනිසා අයහපතට යොමුකරවන ඉහත කී පව්වලින් දුරුවීම කුසල් හෙවත් පින්ය.

එසේම සංයුත්ත නිකායේ ඵෙණපිණ්ඩූපම සූත්‍රයේදි දේශනා කළේ ඉඳුරන්ට ලැබෙන අරමුණු දෙස වැරැදි ලෙස බැලීම නොකළ යුතු බවයි. නිමිති ගැනීම නොකළ යුතු බවයි නිදසුනක් ලෙස ඇසට කෙතරම් රූප අරමුණු ලැබුණත් ඒවා නිමිති, අනුනිමිති ලෙස ගනිමින් ඒ පසු පස එළැඹීම නොසුදුසු බවයි. එසේ වුවහොත් සිත අකුසලයට නැඹුරුවීමට ඉඩ ඇත. අනෙක් ඉන්ද්‍රියන්ට ගෝචර වන අරමුණූ බැලිය යුත්තේත් ඒ ආකාරයටමය. එම කරුණ ඉතා ගැඹුරින් විස්තර කළ බුදුපියාණන් වහන්සේ මෙසේ අනුශාසනා කළ සේක.

* ඵෙණ පිණ්ඩූපමං රූපං –රූපය පෙණ පිඩක් බඳුයැයි සිතන්න

* වෙදනා බුබ්බුලූපමා – වින්දනය දිය බුබුලක් බඳු යැයි සිතන්න

* මරීචිකූපමා සඤ්ඤා – හැඳිනීම හෙවත් දැනීම මිරිඟුවක් බඳු යැයි සිතන්න

* සංඛාරා කදලූපමා -චේතනා හෙවත් සංඛාර කෙසෙල් කඳක් බඳු යැයි සිතන්න.

බුදු පියාණන් වහන්සේ වදාළේ මේ සියල්ල මායාවක් හෙවත් තමන් තමන්ම රවටාගැනීමක් ලෙසයි. පව් සිතුවිලි වලින් ඉවත්ව පින්සිතුවිලි සංවර්ධනය කරගැනීමට ඉහත දේශනාව අපට ඉවහල්වේ.

එසේම අංගුත්තර නිකායේ වානිජ්ජා සූත්‍රයේ සඳහන්වන ආකාරයට, නොකළ යුතු වෙළෙඳාම් පහක් දක්වා ඇත. එයින් පළමුවැන්න සත්ත වනිජ්ජා හෙවත් මසට හෝ වහල් සේවයට සතුන් වෙළෙදාම් කිරීමයි. දෙවැන්න සත්ථ වනිජ්ජා එනම් ආයුධ වෙළෙඳාම් කිරීමයි. නොකළ යුතු වෙළෙඳාම් අතරට අයත්වන විස වනිජ්ජා යනු ජීවිත විනාශ කිරීම සඳහා විෂ වර්ග වෙළෙඳාම් කිරීමයි. මංස වනිජ්ජා , මස් වෙළෙඳාමයි. පස්වැන්න මජ්ජ වනිජ්ජා හෙවත් මත් පැන්, මත්ද්‍රව්‍ය වෙළෙඳාමයි.

මේ වෙළෙඳාම් කිරීමෙන් පව් සිදුවන බවත් ඉන් ඉවත්වීමෙන් පින් වැඩෙන බවත් ඉතා පැහැදිලිය. වත්මන් සමාජයේ සුලබ කරුණකි. ඉහත කී අකාරවලට මිනිසුන් අදැහැමි ධනෝපායන මාර්ගවල යෙදී සිටින බව. එසේ ධනය ඉපැයීමෙන් පව් සිදුවන අතරම ඒ ධනය දරු පවුල් පෝෂණය සඳහා යෙදවීමෙන් යහපත් ඵල ලබන්නට නොහැකිවේ.

එසේම සබ්බාසව සූත්‍රයේදී බුදුපියාණන් වහන්සේ වදාළේ, කාමාසව, භවාසව, දිට්ඨාසව හා අවිජ්ඡාසව වැඩෙන ක්‍රියාවන්ගෙන් වැළැ කී සිටීම උසස් බවයි. කාමවස්තුන්හි ඇලී ගැලී විසීම නිසා පාපයට නැඹුරු වේ. අද සමාජයේ සිදුවන බොහෝ කාමාපරාධවලට හේතුව තමන්ගේ තරම නොදැනීමයි. සම්බුදු දහම ගැන අවබෝධයක් නොතිබීමයි. හොඳින් හෝ නරකින් තම අභිමතාර්ථයන් ඉෂ්ඨකර ගැනීමට ඉදිරිපත් වීමයි. එයින් සිදුවන අයහපත ගැන කල්පනා නොවීමයි. මේනිසා පුද්ගලයා අවසානයේදී මහත් විපතකට වැටී දුක්විඳියි.

පව් සිදුකරගන්නා අනෙක් ක්‍රම වන්නේ, භවය ගැන බැඳීම, මිසදිටු අදහස්වලින් යුක්ත වීම සහ වැරැදි දැකීම් ආදියයි. වර්තමාන සමාජයේ ව්‍යාප්ත වී ගෙනයන වැරැදි අදහස් එමටය. බුදුපියාණන් වහන්සේගේ චරිතයේ විශේෂ අවස්ථා පිළිබඳ, ධර්මය පිළිබඳ සහ සංඝයා ගැන වැරැදි අදහස්, මිසදිටු අදහස් රටේ පතුරුවාලීම ඉතාම භයානකය. කරණීය මෙත්ත සූත්‍රයේදී “දිට්ඨිංච අනුපගම්ම” යන වචනයෙන් අදහස් කළේ මිත්‍යාදෘෂ්ටියට වැටෙන්නට එපා යන්නයි.

ආකංක්ඛෙය්‍ය සූත්‍ර දේශනාවේදී, සිව්පසයට ගිජු නොවී ජීවත්වීමේ වටිනාකම පැහැදිලිව බුදුපියාණන් වහන්සේ දේශනාකර ඇත. භික්‍ෂූන්වහන්සේ චීවර, පිණ්ඩපාත, සේනාසන සහ ගිලානපච්චය පරිභෝග කිරීමේදී සම්මා සතියෙන් කළ යුතු බව පැහැදිලිය. ගිහියන් නම් ආහාරපාන, ගේ දොර, බේත්හේත්, ඇඳුම් පැළැඳුම් යනාදිය පරිහරණය කිරීමේදී සැලකිලිමත් විය යුතුය. ඒවා පරිභෝග කළ යුත්තේ පමණ දැනගෙනය. එසේම අන්‍යයන්ට කරදරයක් නොවන අකාරයට ය. ජීවත්වීම සඳහා අවැසි වන මේ දේවල් පරිහරණය කිරීමේදී පව් සිදුවන අකාරයට කටයුතු කරන පිරිස් අද සමාජයේ සුලබය. ඇඳුම් පැළැඳුම් සම්බන්ධ විලාසිතාවල සීමාවක් නැත. ආහාරපාන වුවද මිනිසුන්ට ඉතා ඉක්මනින් රෝග වැළැ‍ෙඳන, මුදල් නාස්ති වන ක්‍රමවලට සූදානම්කර ඇත. සමහරු තම ධනවත්කම ප්‍රදර්ශනය කිරීමේ අරමුණෙන්ම ගේ දොර තනති. කිසිවකින් තෘප්තිමත් භාවයට පත් නොවී අතෘප්තිමත් ආශාවන්ගෙන් මිනිසා පෙළී වෙළී සිටිනු දැකිය හැකිය. බුදුපියාණන් වහන්සේ වදාළේ සිව්පසය පරිභෝග කළ යුත්තේ ‘යාපනාය විහිංසූපරතියා’ එනම්, ජීවිතයේ පැවැත්ම සඳහා පමණක්මය යනුවෙනි. හුදෙක් අලංකාරය පිණිස, අන්‍යයන් විපරීත කිරීමට හෝ රාග, දොස, මෝහ වැඩීම සඳහා නොවන බවය. සරලව කිවහොත් අකුසල් සිතුවිලි නොවැඩී කුසල් සිතුවිලි උපදනා ආකාරටය.

දීඝජානු කෝලිය පුත්‍රයාට බුදුපියාණන් වහන්සේ වදාළේ ශ්‍රද්ධා සීල, ත්‍යාග, ප්‍රඥා වඩන්න. එවිට පින් සිදුවේ. පව් ඉවත්වේ. පුද්ගලයා සද්පුරුෂ, ධාර්මික අයකු බවට පත්වේ. සිත පිරිසුදු වේ. තමාගේ සිත දහමට අනුව පිරිසුදු වූවාට පසු ඔහු බුද්ධානුස්සති,ධම්මානුස්සති හා සංඝානුස්සතිය වඩයි. හෙතෙම මෙලොවත් පරලොවත් ජයගත් පුද්ගලයකු බවට පත්වේ යනුවෙනි.

නිවනට මඟ අවුරන කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ද, උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා යන පඤ්ච නීවරණ ධර්ම චිත්ත ඒකාග්‍රතාවට බාධාවකි. ඒවා යටපත් කර සිත සමාධියට නංවා විදර්ශනා භාවනා කිරීමෙන් පරම නිෂ්ඨාව වූ නිවනට සපැමිණීමට හැකිවේ. තවත් ආකාරයකට පහදනවානම්, සියලු පව්වලින් ඈත්ව, කුසල් රැස්කරගෙන සිත දමනය කර ගැනීම තුළින් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණාවබෝධය කළ හැකිය. එබැවින් මේ බුද්ධානුශාසනය අපේ ජීවිතවල පරමාදර්ශය කරගනිමු.

බුද්ධ දේශනාවට ගරුකරමින් ධර්මානුකූ®ලව හැසිරෙමින් මෙලොවත්, පරලොවත් සැපත ළඟා කර ගනිමු. අප්‍රමාදිව විමුක්ති සුවය උදාකර ගනිමු.

 

වෙසක් මස අව අටවක පෝය

වෙසක් මස අව අටවක පෝය මැයි මස 31 වැනි දා සිකුරාදා අපරභාග 01.08 ට ලබයි.
01 වැනි දා සෙනසුරාදා අපරභාග 12.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 31 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූනි මස 08 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]