ජනක වෙත්තසිංහ
බෞද්ධ
සංස්කෘතිකාංගයන්ගෙන් විචිත්‍රවත් ඉදිකිරීම් කලාවෙන් සැමදා පොහොසත් වූ
අප මාතෘ භූමියේ බුදු මැඳුරට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි.
විහාරස්ථානයක ඇති තුන් බෝධියෙන් වඩාත් විචිත්‍රවත්ව කලාත්මකව මෙන්ම
නිර්මාණාත්මකව නිදහසේ ගොඩ නැංවීමට හැකි නිසාම අපේ විහාර නිර්මාණ
ශිල්පියා බුද්ධ මන්දිර නිර්මාණයට වඩාත් වැඩි රුචිකත්වයක් දක්වයි.
එවන් නිර්මාණයන් රස සොයා යන සංචාරකයකුට කලාගාරයක් බඳු ය. පහස සොයා යන
වන්දනාකරුවකුට සැනසුම් සුවය විවේකය ප්‍රදානය කරනා හෙද මැඳුරක් වැනි ය.
විහාරස්ථානයකට ස්වර්ණාභරනයක් සේ වූ එකවිට සිත සතුටු කරන, පිනවන, සනසවන
බුදු මැදුර වැනි මන නන්දනීය මන්දිරයක් වෙනත් කොතැනකවත් නොමැති තරම් ය.
එවැනි විහාර මන්දිරයක් වෙතට අද අපි පිවිසෙමු.
කොළඹ නුවර පාරේ අලකොලංග නම් කුඩා නගරයෙන් හැරී ගොස් ලංකාතිලක විහාරය
වෙත ළඟා විය හැකි ය. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයට අයත්
හියාරපිටිය ග්‍රාම නිලධාරී වසමේ මෙය පිහිටා තිබේ.
‘පන්හල්ගල’ නම් ඓතිහාසික නාමයෙන් හඳුන්වන සොබා සොඳුරු සිරිය වඩවාලන
පර්වතයක් මස්තකයේ වන සෙල් තලාවක් මත විහාරය ඉදිකර තිබෙ යි.
මෙම සෙල් තලාව මත චෛත්‍යයක් මෙන්ම බෝධීන් වහන්සේ ද දකින්නට ලැබුණ ද
ලංකාතිලක විහාරය කියූ පමණින් අපගේ සිතෙහි ඇඳෙන්නේ එහි වන ආකර්ෂණීය
විහාර මන්දිරය යි.
ගම්පොල යුගයේ ප්‍රථම රජ වන iv වන බුවනෙකබාහුගේ ( ව්‍ය. ව. 1341 – 1348
) නියමයෙන් සේනාලංකාධිකාරි සෙනවිතුමාගේ මූලිකත්වයෙන් විහාර මන්දිරය
ඉදිවන අතර මෙහි නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කර ඇත්තේ ව්‍යා. වර්ෂ 1344 වෙසක්
පුර පසළොස්වක පොහොය දිනයකදී ය.
ලංකාතිලකය ගොඩනැගෙන්නේ ඊට පෙර බෝධිකොටුව නම් විහාරස්ථානයක් පැවැති බිමක
ය.
එක් කලෙක සේනාලංකාධිකාරී ඇමතිතුමා සීලවංශ ධර්මකීර්ති හිමි සමඟ භාරතයේ ‘
ධාන්‍යකටකයේ’ එක්ව වාසය කර එහි ගල් විහාරයක් ඉදි කළ බව ගඩලාදෙණිය
ධර්මකීර්ති ශිලා ලේඛනයේ සඳහන්ව තිබේ.
මේ දෙදෙනා ලංකාවට පැමිණීමෙන් පසුව භාරතයේ දී ලද අත්දැකීම් ද උපයෝගී කර
ගනිමින් විෂම වූ ගල්තලාවක් මත ඔපමට්ටම් කළ කළු ගලෙන් පාදම නිමවා ඒ මත
ගඩොලින් සහ හුනු බදාමයෙන් සිව් මහලින් සැදි විහාර මන්දිරය සෙනෙවිතුමා
විසින් සාදවනු ලබයි.
මෙම ඓතිහාසික බුද්ධ මන්දිරය ලංකාවේ දකින්නට ලැබෙන සිත් ඇද බැඳ ගන්නා
විශිෂ්ට නිර්මාණයක් බව විවාදයක් නොමැත.
පොළොන්නරු ගෘහ නිර්මාණයන්හි දකින්නට ලැබෙන හින්දු ආභාෂයත් මෙතැනට ද
මුහුවී තිබේ. එහෙත් ඒ තුළ අපගේ සම්ප්‍රදායික ලක්‍ෂණයන් ද ගැබ්වී තිබෙන
අතර අස්ගිරි ගෙඩිගේ මහනුවර නාථ දේවාලය, ගඩලාදෙණිය විහාරයේ ද මීට සමාන
ලක්‍ෂණ දකික්නට ලැබෙන බව මහාචාර්ය නන්දසේන මුදියන්සේ පවසයි.
මෙහි විහාර නිර්මාණ ශිල්පියා, ‘ස්ථාපතිරායර්’ නැමැත්තෙකි. විහාරයේ
ආකෘතිමය ලක්‍ෂණ අනුව නිර්මාණ ශිල්පියා දකුණු ඉන්දියානුවකු විය හැකි බව
විශ්වාස කෙරෙ යි.
iv වන බුවනෙකබාහු රජතුමාගේ රාජාභිෂේකයට මුල්වී කටයුතු කළ
සේනාලංකාධිකාරී ඇමැතිතුමා අගමැති තනතුර ද හොබවමින් රජතුමාට පමණක්
දෙවැනි වූ ප්‍රබල තත්ත්වයකට පත් වූ වෙකි. එසේම එතුමාගේ පාරම්පරික ගම
‘සිදුරුවාන’ ය. එම පරවේනී ගම ආසන්නයේ මෙම විහාරස්ථානය තම අභිමතය පරිදි
ගොඩනැංවීමට තරම් බලයක් ද සෙනවිතුමාට තිබුණි. ඒ නිසාම මෙම විහාර මන්දිරය
ඉතිහාස විහාර වංශ කතාවේ අලංකාරවත් වූ ස්මාරකයක් බවට පත්ව තිබෙ යි.
විහාරය ගොඩ නැංවීමට මසුරන් තුන් කෙළ සැට ලක්‍ෂයක් වැයවූ බව ද සඳහන්
වෙයි.
එසේම ඉදිකිරීම් කලාවේ අපූර්වත්වය මෙන්ම විහාර මන්දිරය පිහිටි පරිසරයේ
සුන්දරත්වය කදිම සුසංයෝගයක් බවට පත්වී තිබෙයි.
විහාරය පිහිටි උස් ගල් පර්වතය මුදුනට නැගීමට පිහිටි ගලෙහි පිය ගැට නෙලා
ඇත. එය තරමක අපහසු ගමනකි. එම අපහසුතාවයේ වෙහෙස සෙල්තලාව මුදුනේ පිහිටි
විහාරස්ථානය දැකීමෙන් පහව යන සෙයකි.
මෙම පරිසරයේ අගය වැඩි කරවන අපහසු ගමන ද ජීවිතයට එකතු කරන්නේ නුහුරු
සොඳුරු අත්දැකීමකි.
බුදු මැදුරට පිවිසෙන තැන සිට හිතෙහි කිසිඳු හිදැසක් ඇති නොවේ.
අසිරිමත්, ඔදවත්, දැවැන්ත මකර තොරණ යටින් ඇතුල් වී විචිත්‍රවත් විසල්
ඝන දාරුමය දොර පියන් හැර ගනිමින් ඇතුල් ගැබට පිවිසෙන මොහොතේ සිට සිත
විකසිත කරනා හැඟුම් සමුදාය විසින් හදවතෙහි ඇඳ තබන්නේ සදාතනික වටිනාකම්
ප්‍රදානය කරවන සිතුවමකි. විහාරයේ ගාම්භිරත්වයට සමගාමී වන ලෙස නිමවී ඇති
මටසිළුටු සුන්දරත්වයෙන් ඔබ්බට ගිය නුවර යුගයේ කලා සම්ප්‍රදාය මෙන්ම
ඉන්දියානු ආභාෂයන් ද මතු කරලන එහෙත් නිර්මාණාත්මක අතින් පොහොසත් විසල්
සමාධි බුද්ධ ප්‍රතිමාව ලංකාවේ බුදු පිළිම කලාවේ එක් පැති කඩක
පිළිඹිඹුවකි. එහි නිමවා ඇති මකර තොරණ ද නව මානයකට අපව කැඳවා ගෙන යයි.
ඒකාකාරීව විහිදෙන මතු පිටක් නොමැති පැන්නුම් කුළුණු සහිත බිතු මත ඉදිරි
දෙකකුල් නිරූපිත උන්නත ඇත් රූ 16 කින් සහ කුඩා මකර තොරණ පහකින් ද පිටත
බිත්ති අලංකාර වී තිබෙයි.
මෛත්‍රී - නාථ, ශක්‍ර, බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර, සුමන, විභීෂණ, ගණපති
ආදී නායක පිළිම 28 ක් සහ කුඩා පිළිම දහසක් සිව්වන මහලේ තිබූ බව ශිලා
ලේඛණයක සඳහන්වේ. නුවර සම්ප්‍රදායේ රූ සපුවෙන් ශෝභාවත් වූ පිළිමාදියෙන්
ආඩ්‍යව තිබූ ඇතුළත කුහරයන්හි දේව මන්දිර සහිත මෙය බෞද්ධ කලාගාරයකි.
ලංකාතිලක විහාරය ප්‍රථමයෙන් සිවුමහල් ආකාරයෙන් ඉදි කළ ද අද අපට දැක
ගැනීමට ලැබෙන්නේ මහල් දෙකකි. vi වැනි පරාක්‍රමබාහු රාජ්‍ය යුගයේදී (
ව්‍ය. ව. 1412 – 1467) මෙන්ම කීර්ති ශ්‍රී රාජසිංහ යුගයේ ද මෙය
ප්‍රතිසංස්කරණය විය.
අපගේ ඓතිහාසික උරුමයන්ට විණ කැටූ චෝල ආක්‍රමණිකයන්ගෙන් පසුව පැමිණි
පෘතුගීසි ලන්දේසි යුගවලදී මෙම නෙත් පිනවන විහාර මන්දිරයට ද ආපදා විපත්
සිදුවිය. අනෙක් පසින් කාල විපත් වලින් ද පහර වදින විට විහාර මන්දිරය
ගරා වැටීමට ලක්වූ බව පැවසෙයි.
ඉන්පසුව උනම්බුවේ දිසාපතිතුමා 1844 වසරේදී මෙය තරමක් දුරට
ප්‍රතිසංස්කරණය කළ ද ගරා වැටීම නො නැවතුණි. 1961 වසරේදී පුරා විද්‍යා
දෙපාර්තමේන්තුව නැවත පිළිසකර කරන ලදී. කලක් තිස්සේ පැවැති ව්‍යසනයන්ට
නතුව එහි මුල් ස්වරූපයේ ඇතැම් ලක්‍ෂණ ඇකී මැකී ගොස් තිබෙයි.
කෙසේ වෙතත් අද අප දකින ලංකාතිලක විහාරයේ ස්වරූපය වුව ද විශිෂ්ට
නිර්මාණාත්මක ලක්‍ෂණ මතු කර යි. එසේ නම් මෙහි මුල් ස්වරූපය මොනතරම් නම්
අලංකාරවත් ලෙස තිබෙන්නට ඇත්දැයි සිතාගත හැකිය.
ලංකාවේ වටවන්දනා සිතියමට ලංකාතිලක විහාරය අනිවාර්යයෙන්ම ඇතුළත් වන්නේ
මෙය සුවිශේෂී බෞද්ධ සිහිවටනයක් නිසාම ය.
සිගිත්තාගේ නළල මත තබන සඳුන් තිලකයෙන් ඇස්වහ, කටවහ දොස් නිවාරණය වේ
යැයි මතයක් පවති යි. ලලනාවගේ නළලත තිලකය තබන්නේ ඇයගේ රූප ශෝභාව තව තවත්
ඔපවත් කර ගැනීමටයි. ත්‍රී සිංහලයට ද තිලකය කියනු ලැබේ.
එසේම ලංකාතිලකය ලක්මාතාවගේ නළලත සඳුන් කල්කයෙන් සාදා තැබූ තිලකයක් බඳු
ය. එහි සුවඳින් පිරි සොඳුරු බව තුන් සිංහලය පුරාම විහිදෙ යි. |