UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විඳීම හා විඳවීම

විඳීම හා විඳවීම

විඳීම යනු පසිඳුරන් පිනවීම ය. විඳවීම යනු අනේකවිධ දුක් ගැහැටවලට මුහුණ දීමය. විඳීම කොතැනකද? විඳවීමද එතැනම ය. එය විටෙක පෙරමුණ ගනී. විටෙක පසු පසින් ලුහුබඳී. කාගේත් සහජ උරුමයන් වන එයින් ඉටුවන එකම සේවය භව ගමනට අත්වැලක් වීම පමණි. අපි ද පෙර පින් විඳිමින් හා කළ පව් විඳවමින් සසර කතරේ බොහෝ දුර ඇවිද ආවෙමු.

“ජීවිතයක් ලබන්නේ විඳින්නට මිස විඳවන්නට නොවේ” යයි විද්වත්හු පවසති. දැන උගත් බොහෝ දෙනා එය අනුමත කරති. විඳීම යනු පසිඳුරන් පිනවීම ය. විඳවීම යනු අනේකවිධ දුක් ගැහැටවලට මුහුණ දීමය. විඳීම කොතැනකද? විඳවීමද එතැනම ය. එය විටෙක පෙරමුණ ගනී. විටෙක පසු පසින් ලුහුබඳී. කාගේත් සහජ උරුමයන් වන එයින් ඉටුවන එකම සේවය භව ගමනට අත්වැලක් වීම පමණි. අපි ද පෙර පින් විඳිමින් හා කළ පව් විඳවමින් සසර කතරේ බොහෝ දුර ඇවිද ආවෙමු. ඒ අතර විඳවීම සිහි නුවණින් ඉවසා දරාගෙන ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගත් අය ද වෙති. ඒ අයට නම් යකා කියන තරම් කළු නැති බව හැඟෙන්නට ඇත. එහෙත් කබලෙන් ලිපට වැටෙමින් අඳුරෙන් අඳුරට යන අයට නම් කළුම කළු යකුන් නැතැයි සිතිය නොහැකි ය. ඒ නිසා වඩා යහපත් වන්නේ විඳීමද? විඳවීමද? නොඑසේ නම් ඉන් ඔබ්බට ගිය වෙන අන් යමක්දැයි තෙවෙනි ඇස විවර කර බලන්නට වටණේ ය.

එදා අබලන් වූ නැව ගිලෙන්නට ඔන්න මෙන්නය. පිරිස අන්දුන් කුන්දුන් වූහ. තම මෑණියන් කර පිට හිඳුවා ගත් අභීත පුත්‍රයෙක් මුහුදට පැන්නේ ය. ගැඹුරු මහ මුහුද නිසල ය. බිහිසුණු ය. ඝනාන්ධකාරය, අනෝරා වැස්ස සහ අවටින් ඇසෙන බිහිසුණු ශබ්ද ඔහු වට කරගත් මාර සෙනගය. තමන් අත හැර දිවි ගලවා ගන්නා ලෙසට මෑණියන් ඇවටිලි කළ ද, හෙතෙම එය කනකට නොගත්තේ ය. “ජීවිතය හෝ මරණය දෙදෙනාටමය” යනු ඔහුගේ දැඩි අධිෂ්ඨානය විය. පුරා දින හතක් ජල රකුසා සමග පොර බදමින් ඔවුහු යම්තම් ගොඩබිමකට සේන්දු වූහ.

සුදු මැලි වූ දෑත් දෙපා විහිදුවා පුත්‍රයා වැල්ලේ දිගා විය. දේවත්වයෙන් පිදිය යුතු ඔහුගේ චිත්ත ධෛර්යය නිසා මව තවමත් ජීවතුන් අතරය. ඇගේ සතුට ඉහවහා ගියේ ය. මගේ පුතේ ඔබ බුදුවේවා යැයි ඇයට ඉබේටම කෑ ගැසුණි. තම දෙසවන්හි නින්නාද වූ ඒ හඬ පුතු අවදි කළේ ය. ඔහුගේ දෙනෙත් අනත්ත ආකාශය පුරා විහිද ගියේ ය. ඈත ක්‍ෂිතිජය වෙත යොමු විය.

“මේ මහා සමුද්‍රය තරණය කළාක් මෙන් මම යම් දිනෙක භයංකාර වූ සංසාර සාගරයෙන් එතෙර වන්නෙමි. ලෝක සත්ත්වයාද එතෙර කර වන්නෙමි” යි හේ තමාටම කියා ගත්තේ ය. ඒ දැඩි අධිෂ්ඨානය හා වීර්යය සුවිසි අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ අප මහා බෝසතාණන් සමඟ භවයෙන් භවයට ගමන් ගත්තේ ය. මෙය ගෞතම බුද්ධ රාජ්‍යයේ ආරම්භය සේ සැලකේ.

මළ දරුවා කර පින්නා ගත් කිසාගෝතමිය ගමින් ගමට ඇවිද ගියා ය. ඇගේ දෙපා රිදුම් දෙන්නට ඇත. උරෙහිස් කකියන්නට ඇත. උගුර ලේ රහ වන්නට ඇත. මෙසේ බොහෝ දුර මඟ ගෙවා ඇය නතර වූයේ දෙව්රම් වෙහෙරේ වැඩ සිටි විශේෂඥ වෛද්‍යවරයා ඉදිරිපිට ය. දරුවා සුව කරන්නට නම් නොමළ ගෙයකින් අබ මිටක් ගෙනෙන්නට කී සැණින් ඇය වඩාත් යුහුසුළු වූවා ය. එය ඉතා පහසු කාරියක් යයි සිතමින් ගෙට දිව ගියා ය. “අබ නං ඕනෑ තරම් දිය හැකි. ඒත්.......” බොහෝ දෙනා හූල්ලමින් කියූ කඳුළු කතාවලින් ඇයට සත්‍යය අවබෝධ වූවා ය. ජීවිතය අනිත්‍ය බවත්, අනිත්‍යය නිසා දුක ඇති වන බවත් වටහා ගැනීමට ඇයට තවත් බණ පද වුවමනා වූයේ නැත. සසරේ අවසාන විඳවීම ඇය අමෘත මහා නිර්වාණයට යොමු කළේ ය.

පෙරදින රාත්‍රියේ නාගයකු දෂ්ඨ කිරීමෙන් සැමියා මළේ ය. ඔහුගේ මළ සිරුර වියළි කොළ ගොඩකට යට කළ ඇය තවත් දිගු ගමනකට පිය මැන්නා ය. ඒ ගමනට හරස් වූයේ අචිරවතී ගංඟාවය. අලුත උපන් දරුවා උකුස්සකුගේ දිගු නියපොතුවල ඇමිණී ගුවනේ පාවෙයි. අනෙකා සැඩ පහරට අසුව ගසාගෙන යයි. මේ කුරිරු දසුන පටාචාරාවගේ දැස සිදුරු කළේ ය. ඇයගේ සර්වාංගය ගිනි ගත්තේ ය. ඇවිලෙන ගිනි දැල් මැද දැවෙමින් ඇය දිව ගියේ දෙව්රම් වෙහෙරටය. ‘නැගණිය සිහි එළවා ගන්න’ යන මුදු මොළොක් බුද්ධ භාෂිතයෙන් ඕ තොමෝ සන්සුන් වූවා ය. අනාදිමත් කාලයක සිට පිරූ පෙරුම් දම් සපුරා බුදුන් දැක නිවන් දැක්කා ය. සියලු විඳීම්වලින් හා විඳවීම්වලින් නිදහස් වූවා ය.

කැරැල්ලක් මර්දනය කර පැමිණි සන්තති නම් සෙනෙවියාට කොසොල් රජතුමා සතියක් නිවාඩු දුන්නේ ය. ඒ සියලු යස ඉසුරින් අනූනව රජ සැප විඳිමින් ජය පැන් බොන්නටය. පුරා දින හයක් ඔහු පී‍්‍රති සාගරයක කිමිදුණේ ය. සුරූපී නළඟනකගේ විශ්මිත නර්තන විලාශයන් දැක ඔහු මන්මත්ව සිටියේ ය. හත්වෙනි දින රඟ දක්වමින් සිටියදී ම ඇය වේදිකාව මත මැරී වැටුණා ය. කඩා හැලුණු කඳුළු ගංගාවෙන් සෙනෙවියාගේ රජ සැප සේදී ගියේ ය. හඬමින් වැළපෙමින් ඔහු පැමිණියේ මහා කාරුණික බුදුපියාණන් වෙතය. බුද්ධ වචනයෙන් ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගත් හෙතෙම ගිහි වෙසින්ම නිවනින් නිවී සැනසුණේ ය.

මේ සියල්ල බුද්ධ කාලයේ සිදුවීම් ය. විඳීමට වඩා විඳවීම නිර්වාණයට කිට්ටු මඟක් සේ පෙනෙතත් අප දකින්නේ සසර පුරා ඔවුන් ආ දිග ගමනේ අවසන් පියවර කිහිපය පමණි. බුදුන් දැක නිවන් දකින්නට පිරූ පෙරුම් ඇති ඔවුහු මහා භාග්‍යවන්තයෝ ය. අපි ද පෙර පින් විඳිමින් හා කළ පව් ගෙවමින් දුර ගමනක යෙදී සිටිමු. මිනිසත් බව ලැබීමේ මහා පිනෙන් පොහොසත් වී සිටිමු. විඳීමත් විඳවීමත් ඉක්මවා යන කිසියම් සත්‍ය ධර්මයක් වෙතොත් එය නිදන් කොට ඇත්තේ ද අපගේම චිත්ත සන්තානය තුළ විය හැකි ය. දහම් එළිය දල්වා ජීවිත අඳුරු ලෙන පිරික්සා බලන්නට හැකි නම් කෙතරම් අපූරුද? ජීවිතයක් ලබන්නේ විඳින්නට හෝ විඳවන්නට නොව ඇත්ත ඇති හැටියේ දැක ගැනීමට නොවේද?

 

දුරුතු මස පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි මස 18 වැනි දා සිකුරාදා අපරභාග 04.30 ට ලබයි. 19 වැනි දා සෙනසුරාදා අපර භාග 06.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 18 වැනිදා සිතුරාදා ය.

 මීළඟ පෝය
ජනවාරි 26 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]