මෛත්‍රිය පුරුදු කරන කඳ පිරිත
කොල්ලුපිටිය වාලුකාරාමවාසී
ගෞරව ශාස්ත්‍රවේදී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
මෙත් සිතට සීමා මායිම් නැත.එකිනෙකා කෙරෙහි මෙත් සිත පැතිරවීමේ අනිශංස
බොහෝ බුද්ධ දේශනාවලදී අවධාරණය කර ඇත. ඒ අතර කඳ සූත්‍රය හෙවත් ඛන්ධ
පිරිතෙන් පෙන්වා දෙනුයේ උරග ප්‍රජාව විෂයෙහි මෙත් සිත් පතුරුවන්නන්ට
විසකුරු සතුන්ගෙන් හානි නොපැමිණෙන බවයි.
සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායට අයත් මෙම සූත්‍රදේශනාව ආශිර්වාදාත්මක
සූත්‍රයක් ලෙස පිරිත් පොත් වහන්සේගේ පළමු බණවරට ඇතුළත් කර ඇත. පිරිත
ආශිර්වාදාත්මක දේශනාවක් වනවාසේම එහි අන්තර්ගතය ප්‍රායෝගික ජීවිතයට එකතු
කරගැනීම තුළින් ලැබෙන ආනිශංස මෙතෙකැයි කිව හැකි නොවේ.
බුදුන්වහන්සේ මෙම සූත්‍රය භික්‍ෂූන්ට උගන්වා වදාළේ එක්තරා සිද්ධියක්
මුල්කරගෙනය. එක් අවස්ථාවක සර්පයකු දෂ්ට කිරීම නිසා භික්ෂූන් වහන්සේ
නමක් කළුරිය කරන්නට යෙදුණි.මෙම සිදුවීම අරභයා බුදුරදුන් දේශනා කළේ, සතර
අහිරාජ කුලයන් කෙරෙහි මෙත් සිත පැතිරවීම සිදුකළේ නම් සර්පයෙකු දෂ්ට කර
මේ භික්‍ෂුවට මෙසේ කළුරිය කරන්නට සිදු නොවන බවයි. එහෙයින් විරූපක්ඛ,
ඒරාපථ, ඡබ්‍යාපුත්ත සහ කණ්හාගෝතමක යන සිව් කුලයට අයත් සර්ප විශේෂයන්
කෙරෙහි මෙත් වැඩීම නොපමාව කළ යුතු බව මහ සඟරුවනට පෙන්වා වදාළහ.
එසේ මෛත්‍රිය පැතිර වූ විට තමාගේ රැකවරණය ද සැලසේ. යමකු තිරිසන්ගත
සත්වයනට පවා කරදර හිරිහැර නොකරන්නේ නම් ඒ තුළින් මෙලොව තමාට නිසි
ආරක්‍ෂාව සලසා ගැනීමට හැකියාවද ලැබේ.
මෙසේ අනුශාසනා කරමින් බුදුරදහු භික්ෂු පිරිස අමතා නැවත මෙසේද වදාළහ.
“විරූපක්ඛේහි මේ මෙත්තං මෙත්තං ඒරාපතෙහි මේ....”
මාගේ මෛත්‍රිය , විරූපක්ඛයන්, ඒරාපථයන්, ඡබ්‍යාපුත්තයන්, කණ්හා
ගෝතමකයන් සමඟය.
මේ තුළින් සර්ප ලොවේ සියලු සර්පයන් කෙරෙහි එක හා සමාන මෙත් සිත පැතිරේ.
මේ වර්ගීකරණයට හසු නොවූ විසකුරු සර්පයකු නැත.
“අපාදකේහි මේ මෙත්තං මෙත්තං දිපාදකෙහි මේ චතුප්පදෙහි මේ මෙත්තං මෙත්තං
බහුප්පදේහි මේ”
මාගේ මෛත්‍රිය හෙවත් මිතුරුකම පා නැති බඩ ගා යන සතුන් සමඟය. මාගේ
මෛත්‍රිය දෙපා ඇත්තන් සමඟය. එසේම සිව්පා ඇති, බහු පා ඇති (පත්තෑ,ගෝණුසු
ආදි) සත්වයන් කෙරෙහි මම මෛත්‍රිය පතුරුවමි.
ඒ කිසිදු සතකුට වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ පමණක් නොව සිතීම්
මාත්‍රයකින් පවා හිංසා නොකරන බව මෙයින් ගම්‍ය වේ. මෛත්‍රියට වර්ග, පාට,
පක්‍ෂ භේද නැති බව මනාව පසක් කරවන අවස්ථාවක් ලෙස මෙය හඳුනාගත හැකිය.
යම් කෙනෙකු තමාට ද්වේෂ කර ඔහු නරක කර්ම රැස්කරගත හැකිය.එයට එකට එක
කිරීමට ගොස් තමාද නරක කර්ම රැස් කරගනිමින් දෙලොව දුක්විපාක ලැබීම
යහපතක් නොවේ.බෝසතාණන් වහන්සේ ගේ මෛත්‍රි පාරමිතාව හා ක්ෂාන්ති පාරමිතාව
මෙයට මහඟු නිදසුනකි.
සසර මොනම හෝ භවයකදීවත් බඩගා යන, දෙපා ඇති, සිව්පා ඇති, බහුපා ඇති සතකු
නොපෙළයිද තමාටද එවන් සත්ව කොටස් වෙතින් කිසිදු හානියක් සිදුනොවේ.
සූත්‍රයෙහි ඒ බව මෙසේ දක්වයි.
“ මාමං අපාදකෝ හිංසි මා මං හිංසි දිපාදකෝ....”
පා නැති සතෙක් මා නොපෙළාවා දෙපා සතෙක් මා නො පෙළාවා සිව්පා සතෙක් මා
නො’පෙළාවා, බහු පා සතෙක් මා නොපෙළාවා.
තමාගේ සිතේ සත්ව ප්‍රජාව උදෙසා පවතින මෛත්‍රී සහගත බව නිසා එම සත්වයන්ද
තමාට හානි සිදු නොකරයි. තමා උපමා කරගනිමින් අන්‍යයන් පෙළීමෙන් වැළැකීම
එක් පැත්තකින් උදාර ගුණාංගයකි. එම ගුණය සතු තැනැත්තා දෙලොව පීඩා වට පත්
නොවන අතර සොබා දහම පවා ඔහුට එරෙහි නොවේ.
සියලු සත්වයනටම මෙත් සිත පැතිරවීම කිසිදු ආකාරයක අලාභයක් සිදුවන්නක්
නොවේ. අප බුදුරඳහු සතුරුකම් කළවුන්ට පවා එකසේ මෙත් වැඩූහ.
යාදිසං වපතේ බීජං
තාදිසං හරතේ ඵලං
එසේ දක්වනුයේද කරන ලද ක්‍රියාවට විපාක ලැබෙන ආකාරයයි. යම් හොඳක්
සිදුකරන්නාට ඇතැම්විට ඒ මොහොතේම ආනිශංස නොලැබිය හැකිය. එහෙත් එය සසර
මහා ලාභයකි. නාලාගිරි හස්තියා බුදුරදුන් හමුවෙහි දණින් වැටුණේ
උන්වහන්සේ තුළ පැවැති සත්ව කරුණාවේ ඇති මහත් බව නිසාවෙනි. තමා තුළ
පවතින මෙත් සිතුවිලි තිරිසන්ගත සත්වයාට පවා මනාව දැනෙන්නකි. ගැරඬියකුට
හිංසා කළ ළමයින් පිරිස අමතා හිංසනයේ අයහපත පෙන්වා දුන්නේද සියලු සත වෙත
උන්වහන්සේ තුළ පැවැති මෛත්‍රිය නිසාවෙනි. ගැරඬියා මෙලොව පීඩා විඳියි.
ළමයි අනාගත දුක් විපාක ලබති. පොදුවේ දෙපාර්ශවයම සසර මහත් දුක් ගැහැට
වලට ලක්වෙති.
කඳ පිරිතෙහි සියලුම සත්වයන්ටම පොදුවේ මෛත්‍රිය පතුරුවන්නේද මෛත්‍රියෙහි
සීමාවක් ඉමක් කොනක් නැති බව නැවත නැවත අවධාරණය කරන්නාක් මෙනි.
සබ්බේ සත්තා සබ්බේ පාණා
සබ්බේ භූතා ච කේවලා
සබ්බේ භද්‍රානි පස්සන්තු
මා කඤ්චි පාපමාගමා
සියලුු සත්වයෝද සියලු ප්‍රාණීහුද සියලු භූතයෝ ද යන සියල්ලෝම යහපත
දකිත්වා! ඒ කිසිවකු වෙත දුකක් නොපැමිණේවා!
මෙසේ භෞතික ලාභාපේක්‍ෂාවකින් තොරව සැමට මෙත් සිත පැතිරවීම ඇසට පෙනෙන හෝ
නොපෙනෙන හෝ බලවේගයන්ගෙන් පවා හානි සිදුනොවීමට හේතුවකි. මෙත්තානිසංස
සූත්‍රයෙහි පෙන්වා වදාළ ලෙස අනුසස් 11 ක් ලැබීමට හේතුවකි. සසර රූප
සම්පත් ලැබීමට පිටිවහලකි. කරණීයමෙත්ත සූත්‍රයෙහි දක්වා වදාළ ලෙස සිත
එකඟකරගනිමින් නිවන් සැප ලැබීමට මෙය මාර්ගයකි. කමටහනකි.
තමා සැපවත් වනවාසේම සියලු සත්වයෝද භූ®ත කොට්ඨාසයෝ ද දුකින් අත්මිදී
සැපය ළඟා කර ගනිත්වා යන්න සිතෙන්, වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද අර්ථ
ගන්වන තැනැත්තා නියම ලෙස බුදුමඟ ගමන් කරන්නෙකි. බාහිර ආරක්‍ෂාවක්
නොමැති වුවද කිසිවකුගෙන් ඔහුට හානි නොපැමිණේ. එයට හේතුව ඔහුද කිසිවකුට
හිංසා නොකරන බැවිනි.
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිං
ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්‍ෂා කරනු ලැබේ. |