සම්බුදු දහම කුමක් සඳහාද?
කේ.කේ. සුගතපාල
බුදුරජාණන් වහන්සේ හමුවට එන දීඝජානු කෝලීය පුත්‍රයා මෙසේ විමසීමක්
කරන්නේ ය. ස්වාමීනි, ගෘහස්ථ
කාමභෝගීන් වන අපි අඹුදරුවන් පෝෂණය කරමින් සම්බාධක ඇති සයනයෙහි
වසන්නෙමු. වර්ණවත් වස්ත්‍ර දරමින් මල් ගඳ විලවුන්
දරමින් රන් සහ රිදී (මුදල්)
පරිහරණය කරම්හ. ස්වාමීනි , මෙසේ වූ අපට ද යම් ධර්මයක් මෙලොව සැප පිණිස
හා පරලොව සැප පිණිස දේශනා කරන්නේ නම් මැනවයි ඉල්ලා සිටියේ ය.
ව්‍යග්ඝපජ්ජය, මෙලොව සැප පිණිස පවත්නා හිතසුව පිණිස පවත්නා සතර
ධර්මයෝ වෙති
භාග්‍යවත් තථාගත සම්මාසම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකොට වදාළ ශ්‍රී
සද්ධර්මය කුමක් සඳහා දැයි යනුවෙන් යමෙකුගෙන් ප්‍රශ්න කළහොත් එයට ලැබෙන
පිළිතුර වනුයේ සසර දුකින් මිදී නැවත පුනර්භවයක් නැති නිවනට පත්වීම සඳහා
බව ඒකාන්තයෙන් කියනු ඇත. ධර්මානුකූලව ගතහොත් මෙය ඉතාමත් නිවැරැදි
පිළිතුර වේ.
එනමුත් මෙම ධර්මතාවයට පත්වීම සඳහා එයින් මෙපිට කටයුතු බොහෝ ධර්ම කාරණා
ත්‍රිපිටක ධර්මය තුළ අන්තර්ගතව ඇති බව සඳහන් කිරීම වටී. මෙහි ලා සඳහන්
කළ යුතු ප්‍රථම කරුණ වශයෙන් දැක්විය හැක්කේ යමෙක් සියලු දුකින් මිදී
බෞද්ධයෙකු වශයෙන් අපේක්‍ෂා කරන්නේ නිවන නම් තමා විසින් කළයුත්තේ ලබා
ඇති මෙලොව ජීවිතය නිවැරැදිව හා සාර්ථකව පවත්වා ගෙනයාමට කටයුතු සලසා
ගැනීමයි. මේ සඳහා භාවිත දහම් පදය වනුයේ සම්මා ආජීවයි. එනම් නිවැරැදි
දිවි පැවැත්මයි. යමෙකු තමා ලබා ඇති මෙලොව ජීවිතය සාර්ථක නොකර ගත්තේ නම්
කිසි දිනෙක ඔහුගේ පරලොව ජීවිතය සාර්ථක වන්නේ නැත. එහෙයින් බුදු දහම
කුමක් සඳහා දැයි නඟන ප්‍රශ්නයට ආසන්නම පිළිතුරු විය යුත්තේ ‘ලැබූ
ජීවිතය සාර්ථක කර ගැනීම බවය.’
අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ එන ව්‍යග්ඝ පජ්ජ සූත්‍රයේ බුදුරජාණන්
වහන්සේ හමුවට එන දීඝජානු කෝලීය පුත්‍රයා මෙසේ විමසීමක් කරන්නේ ය.
ස්වාමීනි, ගෘහස්ථ කාමභෝගීන් වන අපි අඹුදරුවන් පෝෂණය කරමින් සම්බාධක ඇති
සයනයෙහි වසන්නෙමු. වර්ණවත් වස්ත්‍ර දරමින් මල් ගඳ විලවුන් දරමින් රන්
සහ රිදී (මුදල්) පරිහරණය කරම්හ. ස්වාමීනි , මෙසේ වූ අපට ද යම් ධර්මයක්
මෙලොව සැප පිණිස හා පරලොව සැප පිණිස දේශනා කරන්නේ නම් මැනවයි ඉල්ලා
සිටියේ ය. ව්‍යග්ඝපජ්ජය, මෙලොව සැප පිණිස පවත්නා හිතසුව පිණිස පවත්නා
සතර ධර්මයෝ වෙති. ඒවා නම්,
උට්ඨාන සම්පදා – කෘෂි කර්මයෙහි වෙළෙඳාමෙහි ගව පාලනයෙහි රාජ්‍ය සේවයෙ හි
හෝ අන්‍යතර ශිල්පයකින් – කර්මාන්තයකින් ජීවිතය ගත කෙරේනම් අලස බවින්
තොරව, එහි දක්‍ෂ වූයේ ඒ කාර්යයන් කිරීමට හා සංවිධානය කිරීමට සමත් උපාය
ඥානයෙන් ද යුක්ත වූ වීර්ය (උත්සාහය) තිබිය යුතු ය.
ආරක්‍ඛ සම්පදා – දෑත් වෙහෙසා, දහදිය හෙලමින්, දැහැමින් උපයාගත් ධනය
ආරක්‍ෂා කරගත යුතු ය.
කල්‍යාණ මිත්තතා - ශ්‍රද්ධාවත්, සිල්වත්, ත්‍යාගශීලී, ප්‍රඥාවන්තයන්
ඇසුරු කළ යුතු ය.
සමජීවිකතා - ලබන ආදායම අනුව වැය නොඉක්මවා සමදිවි පැවැත්මක් ඇත්තෙකු විය
යුතු බව දේශනා කොට වදාළ සේක.
එසේම මෙවන් පැවතුම් අතින් මෙලොව දියුණුව සලසාගත් පුද්ගලයා කෙරෙහි
සද්ධා
චාග
ශීල
ප්‍රඤ්ඤායන ගුණයන්ගෙන් සම්පන්න වේද පරලොවද සාර්ථක කර ගන්නා බව මෙම
සූත්‍රයේ දී දේශනා කොට වදාළ සේක.
තවද අංගුත්තර නිකායේ එන අනණ සූත්‍ර දේශනාවේදී තථාගතයන් වහන්සේ මෙලොව
සැප සඳහා සතර කරුණක් මෙසේ දේශනා කොට වදාළ සේක.
අත්ථි සුඛ – පුද්ගලයා දෑත දෙපය වෙහෙසා දහඩිය හෙලා උපයාගන්නා සම්පත්
(ධනය) තමාට දැන් ඇතැයි යනුවෙන් තීන්දු කර ගැනීම සැපයකි.
භෝග සුඛ – එසේ රැස් කරගත් ධනය තමන් භුක්ති විඳිමින් අනුන්ට ද පරිත්‍යාග
කිරීම සැපයකි. උපයාගත් ධනය පරිභෝග කළයුතු අයුරු ද දේශනා පාලියේ මෙසේ
සඳහන් ව ඇත. කොටසක් පුත්‍රදාරාවන් සමඟින් තමාගේ පරිභෝජනයට ද ඉතිරි කොටස
කොටස් 05 කට බෙදා
1. ඤාති බලී (තම ඤාතීන් සඳහා)
2. අතිථි බලි (ආගන්තුක සංග්‍රහ සඳහා)
3. රාජ බලී (රජය වෙත ගෙවිය යුතු අයබදු ආදිය සඳහා)
4. දේවතා බලි (ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී කොට ඇති පිදිය යුත්තන් පිදීම සඳහා)
5. පුබ්බපේත බලි (මලගිය ඇත්තවුනට පින් පෙත් අනුමෝදන් කිරීම සඳහා) ආදී
වශයෙනි.
අනණසුඛ – නය නැති (කුමන හෝ ආකාරයකින්) බව සැපයකි.
අනවජ්ජ සුඛ - සටකපටකම්, රැවටිලිකම් ආදී කොට ඇති ව්‍යාජ දිවි පැවැත්මෙන්
තොරව නිවැරැදිව අව්‍යාජව දිවි ගෙවීම සැපයකි.
මෙසේ ලබාගත් ජීවිතය ලැබූ මොහොතේ සිට සැපෙන් හා සුවයෙන් ගත කිරීම සඳහාම
කරුණා සහගත සියලු බුද්ධ දේශනා පවත්වා ඇති බවට ත්‍රිපිටක ධර්මය ගැඹුරින්
අධ්‍යයනය කිරීමේ දී දැකිය හැකි සුවිශේෂ ලක්‍ෂණයකි. මිනිසාගේ අතීතය ගෙවී
ගිය එකෙකි. කිසිදා එය නැවත ලංකර ගත නොහැක. තවද එකල්හි සිදුවූ යම්
අයහපතක්, අකුසලයක් හෝ පවක් නැවත සිහි කෙරේද එය පවත්නා වත්මන් සිත
අයහපතෙහි හැසිරවීමකි. එසේම අපගේ අනාගතය ප්‍රාර්ථනාවක් පමණි. එය තවමත්
ළඟා වී නැත. එහෙයින් ගත කරන මේ මොහොත යම් ක්‍ෂණය අවබෝධයෙන් යුතුව යහපත්
ව පවත්වා ගන්නා වූ යනු නොලැබූ අනාගතය යහපත් කර ගැනීමක්ම වේ. අංගුත්තර
නිකායේ ‘තමෝතම පරායන සූත්‍රයේ’ ඒ බව මෙසේ සඳහන් වේ.
අඳුරෙන් අඳුරට යන පුද්ගලයා
අඳුරෙන් ආලෝකයට එන පුද්ගලයා
ආලෝකයෙන් අඳුරට යන හා පුද්ගලයා
ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයා යනුවෙන් සතර පුද්ගල විශේෂයක් ද,
මේ දේශනා සියල්ලෙහිම වර්තමානයේ අප ලබා ඇති මේ මිනිස් ජීවිතය කරුණු
කාරණා දැනගත් මොහොතේ සිටම යහපතෙහි හසුරුවාගෙන ටිකෙන් ටික පියවරෙන්
පියවර, දවසින් දවස, මොහොතින් මොහොත දස පුණ්‍ය ක්‍රියාවන්හි හා දස
කුසලයන්හි ඇසුරු කරවන්නේ ද ඔහු සියලු දුක්නැති නිවන සාක්‍ෂාත් කර ගන්නා
බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කොට වදාළ සේක.
සියලු බුදුවරයන් වහන්සේලා, සියලු මහරහතන් වහන්සේලා හා සියලු මාර්ගඵල
ලාභී උතුමෝ ඒ උත්තරීතර ඵල ලබාගත්තේ මරණින් පසු පරලොවේදී නොව මෙ ලොව
වශයෙන් ම ය. ඒ අරමුණ කරා යන අපි ද මහාරාහුලෝවාදී සූත්‍ර දේශනාවෙහි
බුදුරජාණන් වහන්සේ රාහුල තෙරුන් වහන්සේට දේශනා කළ පරිදි තමන්ට ද අනුන්ට
ද අහිතකර කායික, වාචසික හා මානසික ක්‍රියාවන්ගෙන් වැළැකී තමන්ට ද
අන්‍යයන්ට ද හිතකර ත්‍රිවිධ යහපතෙහි යෙදී උතුම් මිනිසෙකු වීමට
අධිෂ්ඨානය කරගනිමු.
බුදු දහම මෙලොව සැප සඳහාමය මෙලොව සතුට සඳහාමය. මිනිසත් බව නැති
කිසිවෙකු හට මාර්ගඵල සංඛ්‍යාත උත්තරීතර මිනිස් බව ලැබිය නොහැකිය. |