පැවැත්මේ නැවැත්ම
සසරෙන් මිදීමයි
පිළියන්දල සද්ධර්මාලෝක ධර්ම නිකේතනයේ අනුශාසක
පිටිගල
ගුණරතන හිමි
අපේ ජීවිතවල කලකිරීම් දෙකක් තිබෙනවා.
ආර්ය සහ අනාර්ය වශයෙන්. යම් කෙනෙක් ජීවිතය පිළිබඳව කලකිරිලා දිවිනසා
ගන්නවා. මේ කලකිරීම ආර්ය කලකිරීම නොවේ. ආර්යභාවය තුළ තිබෙන
කලකිරීම රූප, වේදනා, සංඥා , සංස්කාර, විඤ්ඤාණ පිළිබඳ ව යි. කලකිරීමත්
අවබෝධයෙන් ඇතිවිය
යුත්තක් වගේම කලකිරීම ගැන ඇත්ත ඇති සැටියෙන් දැනගෙන සිටීමත් වැදගත්
වෙනවා
ඔබත් මමත් මේ ජීවිතය තුළ හෝ මේ ගෞතම බුදු සසුන තුළ නො එසේ නම් කවදා හෝ
මේ සංසාර ගමනේ නිමාවක් විමුක්තියක් නිවනක් අපේක්ෂා කරන්නේ නම් දැනගත
යුතු ඉගෙනතයුතු එකම දහම වන්නේ යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය බව
අමතක නොකළ යුතුයි.
ඒ ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක සඳහන් වෙනවා “යෝනිසෝ මනසිකාරය හා
අයෝනිසෝ මනසිකාරය දන්න කෙනාමයි දකින කෙනාමයි ආශ්‍රව ක්‍ෂය කරන්නේ”. මේ
නිසා අපට බොහෝ දේ යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය පිළිබඳව දැන
ගැනීමට සිදුවෙනවා. ඒ අනුව අප ආශ්‍රය ක්ෂය කිරීම පිණිස, මගඵල නිවන්සුව
පිණිස මනස මෙහෙයවන්නේ කෙසේද යන කරුණු තරමක් දුරටත් විමසා බැලීම අද අපේ
පරමාර්ථය වෙනවා.
ඔබ සිතන්නේ සසර කියන්නේ කුමක් කියා ද? අප ජාතිය කියා කියනවා නැවත නැවත
මේ ස්කන්ධයන්ගේ පහළවීමට. ජාති වශයෙන් නැවත නැවත අඛණ්ඩව ඒ ස්කන්ධයන්ගේ
නො සිඳ පැවැත්මටයි අප සංසාරය කියා කියන්නේ. මේ සංසාරය නැවතුනා කියන්නේ
ජාති වශයෙන් අඛණ්ඩව හටගන්නා ඒ පැවැත්ම නැවතීමයි. ඒ ස්කන්ධයන්ගේ පැවැත්ම
නැතිවීම සසරින් මිදීම වෙනවා. ඒ මිදීම රූපයෙන්, වේදනාවෙන්, සංඥාවෙන්,
සංස්කාරයෙන්, විඤා්ඤාණයෙන් මිදීමයි. ඒ මිදීම තමයි නැවැත්ම. සසරට
ඇලීලානම්, බැඳිලානම් මිදෙන්න බැහැ.
ඔබත් මමත් සසරෙහි නො බිඳුනේ ඇලිලා නිසා. බැඳීලා නිසා. අප ඇලිලා ඉන්නේ,
බැඳිලා ඉන්නේ කුමකට ද? රූපයට, වේදනාවට, සංඥාවට, සංස්කාරයට, විඤ්ඤාණයට
ඇලිලා ඉන්නවා. ඒවාට බැඳිලා ඉන්නවා.
ඔබට සිතෙන්න පුළුවන් අපත් එසේ බැඳිලා ද? එසේ ඇලිලාද ඉන්නේ කියා. අපට මේ
ලෝකයේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ස්කන්ධ ධර්මතාවයන් හැටියට
හමුවෙලා නැහැ. අපට හමුවෙලා තිබෙන්නේ ආත්ම පුද්ගල භාවයකින්. අම්මා,
තාත්තා, දුව, පුතා, සැමියා, බිරිඳ, ගේ දොර, වතුපිටි, දේපල යාන, වාහන යන
ස්වභාවයෙන්. අපට රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයට බැඳුණ බවක් මතක
නැහැ. නමුත් අම්මා, තාත්තා, ගේ දොර වතුපිටි දේවලවලට නම් බැඳිලා ඇලිලා
කියලා අපට දැනෙනවා.
අප දනක් පිනක් කරන්නට බණක් භාවනාවක් වඩන්නට කවුරු හෝ ඔබට ආරාධනා කළොත්
ඒ සඳහා ඔබ දෙන උත්තරය ඔබ ඉදිරිපත් කරන සාධාරණ හේතු සියල්ලෙන්ම
කියවෙන්නේ ඔබට මිදී යන්න බැරි තරමට ඔබ බැඳී ඇති බව නොවේද? යදමකින්
බැදුනාට වඩා තදින් ඔබ එයට බැඳිලා. මේවා අතහරින්න බැරි තරමට නිදහස් වීමට
නොහැකි තරමට ඔබ බැඳිලා. බැඳිලා තියෙන්නේ ඇලුන නිසා යි. ඒ බැඳීම මහ
පුදුම බන්ධනයක්. බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍රයක තිබෙනවා “මහණෙනි පෙර
වූවක් කියමි. සුර අසුරයන් අතරේ යුද්ධයක් හට ගත්තා. ඒ යුද්ධයට සූදානම්
වූ ශක්‍රයා තමාගේ් දෙවි පිරිස අමතා කියනවා මේ යුද්ධයෙන් අසුරයන් පරාද
වුණොත් වේපචිත්ති අසුරයා ඈත් දෙපා බැද ගෙල පස්වැනි කොට බැඳ කුදලා මා
ළඟට රැගෙන එන්න කියා. වේපචිත්ති අසුරයාත් තමාගේ් අසුර පිරිස අමතා
කියනවා මේ යුද්ධයෙන් දෙවියන් පැරදුනොත් ශක්‍රයාව කුදලා මා ළඟට අරගෙන
එන්න කියා. මහණෙනි මේ යුද්ධයේදී අසුරයෝ පැරදී දෙවියන් දිනනවා.
වේපචිත්ති අසුරයා අල්ලා දෑත් දෙපා ගෙල පස්වැනිකොට බැඳ ශක්‍රයා ළඟට
අරගෙන එනවා. ඒ වේපචිත්ති අසුරයා කිනම් හෝ මොහොතක දෙවියෝ නපුරුයි.
දෙවියෝ අදැහැමියි. අසුරයන් පමණයි දැහැමි. අසුරයන් පමණයි ධාර්මික කියා
දෙවියන්ගේ අගුණ කියයි ද අසුරයන්ගේ ගුණ කියයි ද මේ කියන සිතන හැම වාරයකම
අර බැඳීම තද වෙනවා. අසුරයෝ අයහපත්, අසුරයෝ අදැහැමියි කියා හිතයි ද
කියයි ද ඒ හැම විටකම ඒ බැඳුම ලිහිල්වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙහිදී
වදාළ මේ වේපචිත්ති අසුරයා බැඳලා තිබෙන බැඳුම ලිහිල්වෙන්න කැඩෙන්න හිතෙන
කියන පතන විදිහට යි. යම් විදිහකට හිතෙනවා ද කියනවා ද බැඳුම තද වෙනවා.
යම් විදිහකට හිතනවා ද කියනවා බැඳුම ලිහිල් වෙනවා. ඒ බන්ධනය හිතන
පිළිවෙලට කැඩෙන ලිහිල්වෙන බන්ධනයක්.
අප මේ රූපාදි ස්කන්ධයන්ට බැඳිලා ඉන්නේ සංකල්පමය වශයෙන් හිතන ආකාරයට යි.
රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ වශයෙන් හෝ දුව, පුතා, අම්ම,
තාත්තා, නෑදෑයන් හිතවතුන්, ගේ දොර, වතුපිටි, යාන වාහන වශයෙන් හෝ අප
බැඳිලා කියලා ඒ බැඳිලා තියෙන්නේ මේ හිතෙන විදිහට යි. අප ඇලිලා නම් ඒකත්
මානසික බන්ධනයක්. එය වෙනත් දෙයකින් කපල ඉවත් කරන්න පුළුවන් දෙයක් නොවේ.
ඒ ඇලීම දුරු කරන්නටනම් බැඳීමමෙන් නිදහස්වෙලා මිදෙන්නට නම් කලකිරෙන්ටම
ඕන. කලකිරුණොත් පමණයි නො ඇලෙන්නේ. නො ඇලුනොත් පමණයි විඳින්නේ. මිදුණොත්
පමණයි මිදුණේ කියන නුවණ ලැබෙන්නේ.
අපේ ජීවිතවල කලකිරීම් දෙකක් තිබෙනවා. ආර්ය සහ අනාර්ය වශයෙන් යම් සමහර
කෙනෙක් ජීවිතය පිළිබඳව කලකිරිලා දිවිනසා ගන්නවා. මේ කලකිරීම ආර්ය
කලකිරීම නොවේ. ආර්යභාවය තුළ තිබෙන කළකිරීම රූපය, වේදනා, සංඥා, සංස්කාර,
විඤ්ඤාණ පිළිබඳව යි. කලකිරීමත් අවබෝධයෙන් ඇතිවිය යුත්තක් වගේම කලකිරීම
ගැන ඇත්ත ඇති සැටියෙන්ම දැනගෙන සිටීමත් වැදගත් වෙනවා.
උදාහරණ ලෙස අප ඉතාමත් ළඟින් ඇසුරු කරන යහළුවෙක් අප හදවතින්ම සමීප කරගෙන
ආශ්‍රය කරනවා. එහෙත් ඔහු අප නොදැනීම අපේ විනාශය පිණිස කටයුතුª කරනවා.
අපට හානි කරන්න උත්සහ කරනවා. අප ඔහුගේ ආශ්‍රය නිරතුරුව ප්‍රාර්ථනා
කරනවා. යම් දවසක අප දැනගත්තොත් ඔහු මිත්‍ර ස්වරූපයෙන් අපට හානියක්
අනතුරක්මයි කරන්නේ කියලා ඔහුගේ ඇත්ත ස්වභාවය දැකගත් දවසකටයි අප ඔහු ගැන
කලකිරෙන්නේ. නැත්නම් ඔහු සැබෑ මිත්‍රයෙක් සේ සලකමින් ළඟින් ඇසුරු
කරනවා.
එහෙමනම් පැහැදිලියි අප රූපාදි ස්කන්ධයන් අප ඇසුරු කරන්නේ පි‍්‍රය මනාප
සොඳුරු බවකින් බාරගෙන තිබෙන්නේ එහි ඇත්ත නොදන්නා නිසා යි.
සටහන
නයනා නිල්මිණි |