විපතද සැපතක්
කරගත හැකිය
කොළඹ ආනන්ද විද්‍යාලයේ
විශ්‍රාමික සහකාර විදුහල්පති
අතපත්තුකන්දේ ආනන්ද හිමි
අප මුහුණපාන විවිධ දුක් කම්කටොලු ගැන නොතැවෙමින් ඒවා ආශිර්වාදයක් කර
ගනිමින් ජීවිතයට සවිමත්ව මුහුණ දිය යුතුය. ගැටලු දෙස ධර්මානුකූලව
බලමින් සංස්කාරයන්හි අනිත්‍යතාව
දකිමින් විදසුන් නුවණ වඩවා ගැනීමයි කළ යුත්තේ.
නමෝතස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
තණ්හාය ජායති සොකො
තණ්හාය ජායති භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං
කාරුණික පින්වතුනි,
අද ඉල් පුරපසළොස්වක පොහෝ දිනයෙහි ඔබගේ අවධානය සඳහා යොමු කරන්නට යෙදුණේ
ධම්මපදයේ පි‍්‍රය වග්ගයට අයත්වූ හැම දෙනාටම පාහේ හුරු පුරුදු ගාථා
ධර්මයකි. මෙම ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ
ගොවිතැනින් ජීවත් වු එක්තරා බ්‍රාහ්මණයකුටයි.
සම්බුද්ධත්වයට පත් වීමෙන් පසු තථාගතයන් වහන්සේ පන් සාලිස් වසක් වූ තමන්
වහන්සේගේ සම්බුද්ධත්ව ජීවිතය මුළුමනින්ම ගත කරන ලද්දේ හේතුසම්පත් ඇති
විවිධ පුද්ගලයන්ට ධර්මාවබෝධය ලබාදීම සඳහාය. ඒ අනුව ගව් ගණන් පාගමනින්
වැඩම කළ අවස්ථා මෙන්ම ඇතැම් පුද්ගලයන් කරා එක්වරක් දෙවරක් නොව බොහෝ වාර
ගණනාවක් ගමන්කොට දහම් පණිවුඩය ලබාදුන් අවස්ථාද බොහෝය.
අප මාතෘකාව වශයෙන් තැබූ ඉහත ගාථා ධර්මය දේශනා කළ දිළිඳු බ්‍රාහ්මණ
ගොවියා කරාද උන්වහන්සේ වැඩම කළේ එක්වරක් දෙවරක් නොවේ. වී වැපිරීම සඳහා
බිම් සකස් කිරීමේ පටන් සී සෑම, වැපිරීම පමණක් නොව ගොයම් ආරක්‍ෂා කරන
අවස්ථාවේදීද පැසුණූ ගොයම විනාශ වූ කල්හිද බුදුරදුන් මෙම දිළිදු ගොවියා
වෙත ගොස් තොරතුරු විමසමින් සුහදතාවයක් ඇතිකරගත් අයුරු දක්නට ලැබේ.
කොතරම් සමීපතාව ඇතිවිද යත් මෙම මිසදිටු දිළිඳු බමුණා කෙත පැසුණු පසු
අස්වැන්නෙන් කොටසක් බුදුරජාණන් වහන්සේට පූජා කිරීමට තරම් සිත සකස්
කරගෙන තිබූ බව පෙනේ.
අනතුරුව මහා ගංවතුරකින් විනාශවී ගිය සරුසාර කෙත පිළිබඳ මෙම බමුණා මහත්
සේ ශෝකයට පත්වූයේ විවිධ ප්‍රාර්ථනා ගොන්නක් කෙත සේදීයෑමත් සමගම විනාශයට
පත්වීම නිසාය. ඒ බලාපොරොත්තු අතර මෙම කුඹුරෙහි අස්වැන්නෙන් කොටසක් භවත්
ගෞතමයන් වහන්සේට නොදී තමන් පරිභෝජනය කරන්නේ නැතැයි ඇතිකරගෙන තිබූ අදහස
මුලික විය.මේ නිසා මෙම දුගී බමුණු ගොවියා මහත් ශෝකයටත් කම්පාවටත් පත්ව
ජීවිත ආශාව අතහැර නොකා නොබී සිටි මොහොතේ බුදුරජාණන් වහන්සේ වැඩමකර ඔහු
වෙනුවෙන් සිදු කරන්නට යෙදුණූ අනුශාසනයේදී ඉහත ගාථා ධර්මය දේශනා කරන
ලදී.
බුදුරජාණන් වහන්සේ එහිදී මිසදිටු බමුණූ ගොවියාගෙන් විමසන්නේ ඔබ මෙම
ශෝකය සඳහා හේතුව දන්නේද යන්නයි. එහිදී බමුණා පිළිතුරු දෙන්නේ තමා
නොදන්නා බවයි. ඒ සමගම ඔහු විමසන්නේ ඔබ වහන්සේ ඊට හේතුව දන්නවාද යන්නයි.
තමන් වහන්සේ ශෝකයට මුල්වන හේතුව දන්නා බව ප්‍රකාශ කරමින් තථාගත
බුදුරජාණන් වහන්සේ තම දහම් පණිවුඩය බ්‍රාහ්මණයාට පසක් කළ ආකාරය
විචිත්‍ර වේ.පාළු වූ කෙතට යොමුවූ සිත් ඇතිව ශෝකයට පත්ව සිට
බ්‍රාහ්මණයාට තමන්ගේ වේදනාබර සිත දෙස බැලීමට අවස්ථාවක් සලසා දීම
බුදුරජාණන් වහන්සේ එම ගාථාව දේශනා කිරීමෙන් සිදු කොට ඇත. බ්‍රාහ්මණයාට
එතෙක් දැනුණේ කෙත පාළුවීම නිසා ශෝකයට හා කම්පාවට පත්වූ බවයි. එහෙත්
බුදුපියාණන් වහන්සේගේ දේශනයෙන් පසු ඔහුට තේරුම් ගැනීමට හැකිවූයේ පාළුවී
ඇත්තේ කෙත නොව තමන්ගේ සිත බවයි. මේ අනුව බ්‍රාහ්මණයාගේ සිත තුළ
සද්ධර්මය ඇසීම තුළින් විශාල පෙරැළියක් සිදුවූ අතර විදර්ශනා ඥානය
මුහුකුරා යෑමෙන් සෝවාන් මඟඵල ලැබීය.
තණ්හාවෙන් ශෝකය හටගනී. තණ්හාවෙන් භය හටගනී. එම තණ්හාවෙන් මිදුනේවේද
එබඳු පුද්ගලයාට කිසිදු ශෝකයක් නැත. එසේ නම් කෙසේ භයක් හටගන්නේද යන්න එම
ගාථාවේ අදහස වේ. මේ අනුව ශෝකයට හා කම්පාවට මෙන්ම පසුතැවීමටද හේතුවූයේ
දැඩිසේ බැඳගත් ආශාවයි. යමක් හෝ යමකු කෙරෙහි ඇතිකරගන්නා ලෝභ සහගත ස්වභාව
මෙන්ම මගේය යන අදහස නිසා ඇතිකරගත් දැඩි බැඳීමෙන්ද අසීමිතව සිත පුරවා
ගැනීමෙන් ඇතිවන බලාපොරොත්තු සමූහයක් විසින් පුද්ගලයා පීඩාවට පත්කරනු
ලැබේ. බලාපොරොත්තු කඩවීම නිසා ඇතිවන ශෝකය හා කම්පනය හේතුවෙන් ඇතැම්විට
පුද්ගලයා රෝගියකු බවට පත්විය හැකිය. නැතහොත් ආබාධිතයෙකු විය හැකිය.
නොඑසේ නම් මරණයට පවා පත්විය හැකිය. එම නිසා සීමිත වූ බලාපොරොත්තු ඇතිව
දැඩි ආශාවන්ගෙන් හා ලෝභයෙන් ඈත්වීම ශෝකයෙන් හා භයෙන් තොර යහපත්
ජීවිතයක් ගත කිරීම සඳහා හේතුවන බව ඉහත ගාථා ධර්මය අනාවරණය කරයි.
ඇතැම්විට ආපදා සහ විපත්ති ආශිර්වාද බවට පත්වන අවස්ථා මේ සමාජයෙන් අපට
දැකගත හැකිවේ. ඉහත ගාථා ධර්මය දේශනා කිරීමට හේතුවූ දිළිදු බ්‍රාහ්මණ
ගොවියාට තමන්ගේ කෙත පාළුවීමේ සිද්ධිය අමිල ආශිර්වාදයක් වූ බව පැහැදිලි
වේ. සිදුවූ ආපදාවත් සමඟ දුකෙහි ස්වභාව අත්දකින්නට ලැබිණි. එම අත්දැකීම
විඳිමින් සිටි මොහොතේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනය නිසා ඇතිවූ චිත්ත
විප්ලවයෙන් උතුම් සෝවාන් ඵලයට පත්වීමේ අවස්ථාව ඔහුට හිමිවීම සියල්ලන්ගේ
අවධානයට ලක්විය යුතුවේ. ශෝකයට හේතුවූයේ තමාගේම සිත බවත් එය සිතෙන්ම
ඇතිවූවක් බවත් යෝනිසෝමනසිකාරයෙන් යුතුව වටහාගනිමින් තණ්හාවෙන් අත්මිදීම
තමාම කළ යුත්තක් ලෙස එම දිළිඳු බ්‍රාහ්මණයා විසින් වගකීම භාර ගනු ලැබීම
සිදුවිය. එහි ප්‍රතිඵලය වූයේ මගඵල ලැබීමේ භාග්‍ය හිමිවීමයි. මේ අනුව
අපට පැහැදිලි වන්නේ කම්පන, ආපදා, විපත්ති ආදිය හරහා උතුම් චතුරාර්ය
සත්‍ය අවබෝධ කරගත හැකි බවයි. විවිධ විපත් හා කරදර කම්කටොලු වලට මුහුණ
දුන් විවිධ පුද්ගලයන් සිය අත්දැකීම් පිළිබඳව සිතා නිවන් අවබෝධ කරගත්
ආකාරය ඊට නිදසුන්ය.
මේ පිළිබඳ සලකා බලා අප මුහුණපාන විවිධ දුක් කම්කටොලු ගැන නොතැවෙමින්
ඒවා ආශිර්වාදයක් කර ගනිමින් ජීවිතයට සවිමත්ව මුහුණ දිය යුතුය. ගැටලු
දෙස ධර්මානුකූලව බලමින් සංස්කාරයන්හි අනිත්‍යතාව දකිමින් විදසුන් නුවණ
වඩවා ගැනීමයි, කළ යුත්තේ. ඒ ඔස්සේ එළැඹි මොහොත වඩාත් සැනසිලිදායක හා
අර්ථවත් කර ගත හැකිය.
එසේම ඉතා ඉක්මනින් උතුම් නිවන් සුව සාක්ෂාත් කර ගැනීමටද පිටිවහලක් වනු
ඇත. |