UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> අම්බලමයි සංසාරයයි

අම්බලමයි සංසාරයයි

පැරැණි සිංහල සාහිත්‍යයෙහි බොහෝම ගැඹුරු ධර්ම කාරණා සඳහන් වේ. බුදුරජාණන් වහන්සේගේ දේශනා ත්‍රිපිටකය වශයෙන් පාලියෙහි ඒකරාශී කර තිබේ. එමෙන්ම එම ධර්මය ග්‍රන්ථ වශයෙන් 57 කම බුද්ධ දේශනා අන්තර්ගත කර තිබේ. ඊට අර්ථ, නිර්වචන සැපයූ අටුවාචාරීන් වහන්සේලාගේ රචනා අට්ඨ කතා නමින්ද අට්ඨ කතාවලට සපයන ලද විස්තර ‘ටීකා’ නමින් ද, ටීකා වලට සපයන ලද විස්තර ටිප්පණි නමින් ද, ටිප්පණිවල සමහර වචනවලට සපයන ලද විස්තර ‘ගැටපද’ නමින් ද හඳුන්වනු ලැබේ. බුදුරජාණන් වහන්සේගේ දේශනා හා ඊට ආනුශංගික දේශනාවලට විශාල වශයෙන් විස්තර, අර්ථ නිරූපණය, විග්‍රහයන්, වාක්‍යයන්, සපයා තිබේ. මේ සියල්ල පාලියෙන් දක්වා ඇත. මෙම පාලි සියල්ලම සන්ත, වාක්‍යයා යනුවෙන් සිංහලයට පරිවර්තනය කොට ඇත.

මේ ආකාරයට පාලියෙහි සිදු වන්නා වූ අර්ථ දැක්වීම්, සිංහලයේ සිදු වෙන්නා වූ අර්ථ දැක්වීම්, විග්‍රහ කිරීම් සහ සූත්‍රගත කිරීම් දකින්නට පුළුවන්, සිංහලයේ දහම් ගැට මාලය නමින් හඳුන්වනු ලබන ග්‍රන්ථයේ දහම් ගැට රැසක් දැක්වේ. ඒවා ඉතාම ගාම්භීර කාරණා වුවත් එහි ලස්සන අර්ථයන් ගැබ් වී තිබේ.

අම්බලමේ පිනා පිනා
වළං කඳක් ගෙනා ගෙනා
ඒක බිඳපි ගො නා ගො නා
ඒකට මට හිනා හිනා

මෝඩ පහේ මිනිසෙකුට සිදුවුන හාස්‍ය ජනක ප්‍රවෘත්තියක් ලෙස සාමාන්‍යයෙන් මෙය දැකිය හැකි ය. ‘පිනා’ කියූ විට මතකයට නැගෙන්නේ පැරැණි ගුවන් විදුලියේ මුවන් පැලැස්ස හා වළං කදක් අරගෙන යන මෝඩ මනුෂ්‍යයාට සිදුවුන ඇබැද්දියක් ලෙස මෙම සිද්ධිය සම්පූර්ණයෙන්ම අපට පෙනෙන්නේ. නමුත් මෙම කාරණාව මෙයට වඩා බොහෝම වෙනස්. මෙම චිත්‍රය, චිත්‍රයක් වශයෙන් ඇඳපු යම් යම් ස්ථානවල, සඳහන්වෙලා තියෙන චිත්‍රවල අම්බලමක් තියෙනවා. මෙම අම්බලමේ මිටි මහත කළු මනුෂ්‍යයෙක් ඉන්නවා. හොඳට කොණ්ඩය පීරල නැති, කකුල් ඇද නිසා පයට සෙරෙප්පු දැමිය නොහැකි, උඩුකය නිරුවත්, බඩ ලොකුවට තිබෙන, තලප්පාවක් බැඳගෙන, කරට තුවායක් දමාගෙන, කදක් බැඳගෙන යන චරිතයක්. ‘කදක්’ යනු දකුණු හෝ වම් උරහිසෙහි දිගට තියෙන පතුරක් වැනි දිග ලීයක දෙපැත්තේ තුලාවක හෙවත් තරාදියක ආකෘතියට අනුව කිසියම් එල්ලා ගැනීමක් කරගෙන, එම කදේ මුට්ටි, වළං රැගෙන යන පුද්ගලයෙක්. ටික වේලාවක් ගතවන විට ගොනෙක් ඇවිත් වළං කද බිඳීනු ලබනවා. මෙම අවස්ථාව පිනාට දුකක් වුවත්, එය බලාගෙන සිටින අනෙක් පිරිස සිනාසෙන්නට වෙනවා. මෙය එතරම් මනස්කාන්ත දර්ශනයක් නොවුවත් ලස්සන ආකාරයෙන් චිත්‍රයට ඇඳ තිබෙනවා. මෙම කවිය ගාම්භීර අරුතක් ගෙන එන දහම් ගැටයක් මිස චිත්‍රයක් නොවේ.

මෙහි අම්බලම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අපි සංසාරයේ උපදින්නේ අම්මගෙන් තාත්තගෙන් අහල නොවෙයි. අපට උපදින්න, අම්මයි තාත්තයි එන්න කියලා කියන්නෙත් නැහැ. යනකොට අපිට අම්ම තාත්තා ඕන කියන්නෙත් නැහැ. සහෝදර සහෝදරියෝ ඥාතීන්, දූ දරුවො අපට යන්න කියන්නෙත් නැහැ. වෙන කවුරුවත් අපට යන්න කියන්නෙත් නැහැ. අපි යනකොට කාටවත් යනවා කියන්නෙත් නැහැ. අපි එනකොට එන්න කියන්නෙත් නැහැ. එන්නද කියලා අපි අහන්නෙත් නැහැ.

එය අම්බලමක ස්වභාවයයි. අම්බලමේ නීතියක් තිබෙනවා, අම්බලමේ ඉන්න කෙනකුට අහන්න බෑ අලුතෙන් අම්බලමට එන පුද්ගලයාගෙන් කොහේ ඉඳන් ද එන්නේ? කෙහෙද? යන්නෙ කියලා. සිය කැමැත්තෙන් ප්‍රකාශ කරන්නේ නැත්නම්, බලහත්කාරයෙන් පෞද්ගලිකත්වය ඇසිය නොහැකි. අම්බලමේ ඉන්න කෙනෙක් දකිනවා තව අලුතෙන් කෙනෙක් එනවා. පසුවදාට ඒ හිටපු අයගෙන් කෙනෙක් නොදන්වාම ගිහිල්ලා. එය සදාචාර විරෝධී නැහැ. නොදන්වා යා හැකි නිසා, එයයි ස්වභාවය. අම්බලමකට එන්නද කියලා කවුරුත් කියන්නෙත් නැහැ. එන්න කියලා අහන්නෙත් නැහැ. අම්බලමට එන්නේ අහම්බෙන්. යන්නද කියලා අහන්නෙත් නැහැ. යන්නකො කියලා එළවන්නෙත් නැහැ. යන්නෙත් අහම්බෙන්. සසරත්, අම්බලමත් සමඟ ගැළපූ විට ‘අම්බලම’ කියන්නේ ‘සසරට’ දෙන ඉතාමත් නිවැරැදි සංකේතයක්.

ඊළඟ ස්වභාවය තමයි, අප ජන්ම ලාභය ලබනවා. අපිට පෙර මේ සංසාරයේ කවුරු හරි ඉන්නවා. අපේ ජීවිත අතර අපට කවුරු හරි හමුවෙනවා. එයාට ඉස්සර වෙලාත් අපි ආපහු යන්න පුළුවන්. ඒ වගේ අම්බලමේ මාසයක් විතර ජීවත් වෙච්ච කෙනෙක් හිටියත්,දවසෙන්, දෙකෙන් ආපු කෙනා යන්න පුළුවන්. ඒ නිසා අම්බලමේ යනවෙලාව හොයන්නත් බැහැ. එන වෙලාව හොයන්නත් බැහැ. ඒ වගේම තමයි සංසාරයේ යන වේලාව හොයන්නත් බැහැ. එන වෙලාව හොයන්නත් බැහැ. ඕනෑම තරාතිරමක කෙනෙකුට අම්බලමට පැමිණිය හැකි වීම අම්බලමේ සාමාන්‍ය තත්ත්වයයි. රජවරු, රාජකීය භටයො, අශ්වාරෝහකයන්, චරපුරුෂයන්, හාමුදුරුවන්, යාචකයන්, සාමාන්‍ය මඟීන් වැනි ඕනෑම තරාතිරමක කෙනෙකුට අම්බලමට පැමිණිය හැකියි. එය සංසාරයේ ස්වභාවයයි. ‘අම්බලම’ කියන සංකේතය යොදාගෙන තිබෙන්නේ මෙම සංසාරයේ ස්වභාවය පැහැදිලි කිරීම සඳහා ය.

අම්බලමක අර්ථ සම්පන්න සදාචාරයක් තිබුණා, ඒකෙදි වැඩිහිටියෙක් ජ්‍යෙෂ්ඨයෙක් සමහර විට ගරු කළාට තරාතිරම්වලට ගරු කිරීමක් නැහැ. සියලු දෙනාම ඉන්නෙ බිම. අම්බලමේ සිට දුර ගමනක් යන කෙනෙක් නැවත නතර වෙන්නේ තවත් අම්බලමක. මේ අම්බලමේ සිට ඒ අම්බලම දක්වා යන ගමනේ දී මේ අම්බලමේ දී හරිහම්බ කරගන්න දේ තමයි. අනෙක් අම්බලම දක්වා හොඳ ගමනක් යන්න නම් රැගෙන යන්න තියෙන්නෙ. ජීවිතයත් ඒ වගෙයි. යහපත් දේවල් එක්කාසු කරගතහොත් ගමන සුවසේ යා හැකියි. ගමනට කියන්නේ ‘ගති’ නම් සුවසේ ගමන ‘සුගති’ වෙයි. ගමන දුකසේ නම් දුකසේ ගමන ගමන කියන්නේ ‘ගති’ නම් දුකසේ කියන්නේ දුගති යන්නයි. මේ ජීවිතයේ ‘දුගති’ සහ ‘සුගති’ කියලා කියන්නේ දුකසේ ගමන සහ සුවසේ ගමන කියන එකයි. මෙම අම්බලමේ සිට තවත් අම්බලමකට යාමේදී සුවසේ යා හැකි වන්නේ කෙසේද? හොඳට හරි හම්බ කරගෙන තියෙනවා නම්, අශ්ව කරත්තයකින් යා හැකි හොඳට හරි හම්බ කරගෙන නැත්නම් පයින් යන්න වෙනවා. සංසාරයේ සුගතිගාමි හා දුගතිගාමි වෙන්නේ ඒ ආකාරයටයි.

මෙම කවියේ පිනා යනුවෙන් හැඳින්වෙන්නේ පින් කළ තැනැත්තා යන අර්ථයෙනි. ලෝකයේ සත්ත්වයින් හැටියට උපදින අප විවිධ සත්ත්ව කොට්ඨාස තියෙනවා. ජීවීන් ඉන්නව, ප්‍රාණීන් ඉන්නව, තිරස්චීනයින් ඉන්නවා, මිනිසුන් ඉන්නවා, ජීවයක් තිබුණත්, ප්‍රාණයක් නැත්නම් එය ජීවීන් කොටසට අයත්වෙනවා. ඇවිදින්න බැරි, කතා කිරීමට බැරි හඬ පිට කිරීමට බැරි, වුවත් ආහාර ගැනීම හා ජනනය කිරීමට හැකියාවක් ජීවීන් සතු සාමාන්‍ය ලක්‍ෂණයකි. ‘ප්‍රාණීන්’ යනු ජනනය කිරීමද, ආහාර ගැනීමද යන ජීවී ලක්‍ෂණ සහිත ශබ්ද පිටකළ හැකි ඇවිදිය හැකි කොටසකි.

ප්‍රාණීන් සියල්ල ජීවීන් වුවත් ජීවීන් සියල්ල ප්‍රාණීන් නොවෙයි. ප්‍රාණීන්ගේ හා ජීවීන්ගේ ලක්‍ෂණවලට අමතරව මනස තිබීම මිනිසුන් සතු ලක්‍ෂණයක්. ප්‍රාණීන් හා ජීවීන් අතර ද මිනිසා උත්තරීතර සත්ත්වයකු වන්නේ එකී සත්ත්වයා සතුව විශේෂ ගුණයක් හා පිනක් තියෙන නිසා.

“වළං කදක් ගෙනා” යන්නෙහි ගැඹුරු අරුතක් ගැතිවෙලා තියෙනවා. වළඳෙහි ස්වභාව ලක්‍ෂණ කිහිපයක් තියෙනවා. වළඳ මිල කළ හැකි වටිනාකමක් තියෙනවා. භාවිතයේ දී කිසියම් උපයෝගීතාවයක් තියෙනවා. වළඳ අනිවාර්යෙන්ම බිඳී යනවා. මිනිසුන් වශයෙන් පින් ඇතිව ඉපදෙන සත්තු හැටියට මෙම අම්බලම හෙවත් මිනිස් ලෝකයේ අප ළඟ ඇති සියලුම වස්තූන් ඉහත සඳහන් කළ වළඳ හා සමානයි. අප සතුව ඇති සියලුම උපභෝග පරිභෝග වස්තුන් මිල කළ හැකි, වටිනාකමක් තියෙනව, උපයෝගීතාවයක් තියෙනවා. අනිවාර්යෙන්ම විනාශ වෙලා යනවා. මෙම උපභෝග පරිභෝග සියලුම වස්තූ®න් අනිවාර්යෙන්ම අවුරුදු සියයකට මෙහාදී අපි අතහැර දානවා. බොහොම සුළු කාලයයි අප ළඟ රඳවාගන්න හැකියාව තියෙන්නෙ. මට අයිති ඉඩම හා අනෙකුත් වස්තූන් අපට ලැබීමට පෙර වෙන කෙනෙකුට අයිතිවෙලා තියෙනවා. ඒ වගේම මට පසුව එය තවත් කෙනෙකුට අනිවාර්යෙන්ම අයිතිවෙනවා. මෙම සියලු ම දේ ටික දවසකින් අතින් අතට මාරුවීමක් වෙනව මිසක් ටික දවසක් මගේ අතේ රැඳෙන්නක් වේ. මිනිසුන් සතුව ඇති සියලු උපභෝග, පරිභෝග වස්තු හරියට රිලේ යෂ්ටියක් වගෙයි. එය ගන්නෙත් වෙන එක්කෙනෙකුගෙන් එය දෙන්නෙත් වෙන එක්කෙනෙකුට රිළේ යෂ්ටියයි, වළඳයි, උපයෝග පරිභෝග වස්තුයි අතර ලොකු වෙනසක් නැහැ.

ටික දවසක් අරගෙන දුවන එක ටික දවසක් අරගෙන දුවන්නේ නැතිව ඒ සඳහා ඇන කොටා ගනිමින් පොර කන එක ගැටලුවකි. අනිවාර්යයෙන්ම වෙන කෙනෙකුට දෙන්න අරන් යන රිළේ යෂ්ටිය අරන් ටිකක් දුරක් දුවන ගමන් රන්ඩු සරුවල් කරන එක තමයි මෙතන තියෙන අර්බුදය. මෙම කවිය නිවැරැදිව තේරුම් ගතහොත් නිවන් දැකීම සඳහා කමටහනක් විය හැකියි.

“ඒක බිඳපු ගො නා” යනුවෙන් මෙහි සඳහන් වේ. ගො නා යනු ගෞතම ගෝත්‍රයේ නායකයන් වහන්සේ ය. පිනාල අම්බලමට රැගෙන ආ වළං කඳ බින්දේ. ගෞතම නායකයන් වහන්සේ ය. උන්වහන්සේ සියලුම වස්තුන් පරිහරණය කළේ බැඳීමකින් තොරවය. ඕනෑම වස්තුවක් පාවිච්චි කළාට ප්‍රශ්නයක් නැහැ බැඳීමකින් තොරව. අතහැර යා යුතුම වේ. යන ගාම්භීර මනස සිත තුළ රඳවාගෙන ඕනෑම වස්තුවක් විසි කළ හැකි. වස්තු භාවිතා කිරීම පිරිහෙළා දැකීමත් බුදුරජාණන් වහන්සේ කළේ නැහැ. අප ළඟ ඇති සියලුම උපභෝග පරිභෝග වස්තුන් සමග සිත බැඳී පැවතීම දැවැන්ත බන්ධනයක්.

බුදුරජාණන් වහන්සේ අපි නමස්කාර පූර්වකව පිළිගනු ලබන්නේ මෙම වළං කද බිඳපු නිසයි. මෙය ඕනෑම නම් නිර්වාණගාමි ප්‍රතිපදාවක්, කමටහනක් ලෙස පාව්චි කළ හැකි ගාම්භීරයි. අර්ථ සම්පන්නයි. සාර සම්පන්නයි.

 
ඉල් පසලොස්වක පෝය

ඉල් පසලොස්වක පෝය නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා අපර භාග 05.36 ට ලබයි.
28 වැනිදා අඟහරුවාදා අපර භාග 08.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා ය.


මීළඟ පෝය
දෙසැම්බර් 06 වැනි දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]