ජීවිත වියමන වියන
සුපැහැදිලි රටාව
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
මහෝපාධ්‍යාය, අධිකරණ නායක
ධර්මකීර්ති ශ්‍රී සරණංකර පරියත්තිධර
ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති
මකුලෑවේ විමල නා හිමි
අපට පින් අවශ්‍ය වන්නේ ලැබුවාවූ මිනිස් ජීවිතය සඵල කර ගැනීමටත්, සසර
දුකෙන් නිදහස් වීමටත්ය. මේ නිදහස් වීමේ මාර්ගය දේශනා කළ තිලෝගුරු බුදු
රජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයෙහි පුඤ්ඤාභිසන්ද
සූත්‍රයෙහි පින් රැස්කර ගන්නා ආකාරය පැහැදිලි කළ සේක. ස්වර්ග මෝක්‍ෂ
සියලු සැප සම්පත් ගෙන දෙන්නාවූ කුසලෝත්පත්ති තුනක් ප්‍රධාන වශයෙන් එහි
දැක්වෙයි. බුදුන් සරණ යෑම, ධර්මය සරණ යෑම සහ සංඝයා සරණ යෑම යන තෙරුවන්
සරණ යෑම බුදුසසුනෙහි උසස්ම කුශල මාර්ග ලෙසයි එහි ප්‍රකාශ කොට ඇත්තේ.
එම තෙරුවන් ගුණ දැන හැඳින සසරෙන් මිදීම සඳහා ඒ තෙරුවන සරණ කරගත්, පිහිට
කරගත් තැනැත්තා ‘බෞද්ධයා’ යි අපි සලකමු. තෙරුවන් සරණ ගිය පමණින්
ජීවිතයක් සකස් නොවේ. එසේම සසරෙන් මිදීමට ද හැකියාවක් නැත. බුද්ධ ධර්මය
ජීවිතයට සම්බන්ධ කරගත යුතුය. සැප ලබන ක්‍රමයත් සසරෙන් මිදීමේ ක්‍රමයත්
පෙන්වනවා මිස බුදුන් වහන්සේට වුවද එය ලබා දීමට හැකියාවක් නොමැති බව
දක්වා ඇත.
තුම්මෙහි කිච්චං ආතප්පං
අක්ඛාතාරො තථාගතා
යන දේශනාවෙන් තමාගේ දියුණුව තමා විසින්ම සලසා ගත යුතු බව පෙන්වා දුන්
සේක. බුදුරජාණන් වහන්සේට කළ හැක්කේ නිවැරැදි මාර්ගය පෙන්වාදීම පමණයි.
බුදුවරු මැවුම්කරුවෝ හෝ ගැලැවුම්කරුවෝ නොවෙති. මාර්ගෝපදේශකයන් පමණි.
අත්තාහි අත්තනො නාථො
තම තමන්ගේ ජීවිතවලට වගකිව යුතු එකම තැනැත්තා තම තමාමය.
සුද්ධි අසුද්ධි පච්චත්තං
නාඤ්ඤ මඤ්ඤො විසොධයෙ
තමා හොඳ කෙනකු කරන්නේත්, නරක කෙනකු කරන්නේත් තමාමය. අර එක්කෙනා මේ
එක්කෙනා නිසා මට මේ ඉරණම සිදුවුණා යයි වැරැදුන තැන අනුන් පිට වරද
පැටවීමට බොහෝ අය කල්පනා කරති. එහෙත් එය සාධාරණ ප්‍රකාශයක් නොවෙයි.
බෞද්ධකම හෙවත් බුද්ධශ්‍රාවක බව ලබා ගැනීමද පරම දුර්ලභ කාරණයකි. ඒ සඳහා
සම්බුදු සසුනක් විශේෂයෙන් අවශ්‍ය වේ. එබැවින් කරන ලද බොහෝ කුසල් ඇති
කෙනකුට විනා අනිකකුට නියම බෞද්ධයකු විය නොහැකිය. ඒ නිසා බෞද්ධකමේ අගය
හොඳින් වටහාගෙන මොන හේතුවක් නිසාවත් එය කෙලෙසා නොගෙන ධර්මානුකූ®ලව තම
ජීවිතය සකස් කර ගැනීමට අප මහන්සි ගත යුතුය.
බෞද්ධ ජීවිතයක් සකස් කර ගත යුත්තේ කෙසේද යන්න මේ බුද්ධානුශාසනාවෙන්ම
අපට වටහාගත හැකිය.
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උප සම්පදා
සචිත්ත පරියෝදපනං
එතං බුද්ධානසාසනං
මේ ගාථා ධර්මයෙන් කියැවෙන පරිදි සියලු පාපයන්ගෙන් වැළැකී දස කුශල
ධර්මයන් රැස් කරමින් සිත පිරිසුදු කර ගැනීම බුදු කෙනකු ගේ පරම අනුශාසනය
බව ප්‍රකාශ වෙයි. යමකු නියම බෞද්ධයකු නම් ඔහු සීල, සමාධි, ප්‍රඥා යන
ත්‍රී ශික්‍ෂා පූරණය තුළින් තම ජීවිතය සකස්කර ගැනීමට වෑයම් කළ යුතු
වෙයි. ඒ සඳහා තම ජීවිතය සිල්වත් කරගත යුතුය. මෙහිදී අඩුම වශයෙන්
පන්සිල්වත් ආරක්‍ෂා කරගත යුතුය. කයෙන්, වචනයෙන් සිදුවන වැරැදිවලින්
වැළැකී සංවර වනවිට භාවනා මගින් සිත පිරිසුදු කරගෙන සිතේ දියුණුවක් ලබා
ගත හැකිවෙයි. සිත හදාගත් බෞද්ධයාට තමාගේ පරමාර්ථය වූ නිවන කරා යොමුවිය
හැකිය.
බෞද්ධ ජීවිතයක් සකස්කර ගතයුත්තේ මේ ආකාරයෙන් වුවද මෙකල බෞද්ධයන් යැයි
කියාගන්නා සියයට අනූවක් පමණ අය බෞද්ධ ජීවිතයේ හරය නැතහොත් පරමාර්ථය
කුමක්දැ ‘ යි තේරුම් ගෙන ඇති බවක් නොපෙනේ. අප බෞද්ධයන් හැටියට
බුදුරජාණන් වහන්සේගේ චරිතය ඉගෙන ගෙන ඒ තුළින් කෙසේ ජීවිතය සකස් කරගත
යුතු ද යන්න නුවණින් අවබෝධ කරගත යුතුය.
අත්ථදත්තං පරත්ථෙන
බහුනාපි න හාපයෙ
අත්තදත්ථ මහිඤ්ඤාය
සදත්ථ පසුතො සියා
මේ ගාථාවෙන් පෙන්වන පරිදි පළමුකොට තමාගේ ආත්මාර්ථය සිදුකොට ගෙන දෙවැනුව
පරාර්ථය සඳහා යොමුවීම වැදගත් වෙයි. නියත විවරණ ලැබූ බෝධිසත්වයන්
වහන්සේගේ පැතුම මෙහිදී අපේ සිහියට නැඟෙයි.
බුද්ධොහං බොධයිස්සාමි
මුත්තෝ හං මොචයෙ පරෙ
තිණ්ණොහං තාරයිස්සාමි
සංසාරොගා මහබ්භයා
මම පළමුකොට සසර සයුරෙන් එතෙර වෙමි. දෙවැනුව සසර දුක් විඳින ජනතාව එතෙර
කරන්නෙමි. මේ දැක්ම සෑම බෞද්ධයකුටම පරමාදර්ශයකි. අපේ සමාජයෙහි බොහෝ
දෙනකු පුරුදු වී සිටින්නේ අනුන්ට උපදෙස් දීමට මිස තමන් හැදෙන්නට
නොවෙයි. විශේෂයෙන් මේ සිරිත බහුලව දක්නට ලැබෙන්නේ අපේ සිංහල බෞද්ධයන්
තුළයි. තමන්ට පන්සිල් වත් ආරක්‍ෂා කරගත නොහැකිව විවිධ දුසිරිත්වල යෙදී
ක්‍රියා කරමින්, භික්‍ෂූන් වහන්සේත් බුද්ධශාසනයත් උපහාසයටත් අපහාසයටත්
ලක් කරති.
මේ දේශනාව අනුව බලනවිට බෞද්ධකම නම් අනුන් කරන හොඳ, නරක විවේචනය කරමින්
සිටීම නොවෙයි. තමන්ගේ ළඟ ඇති අඩුපාඩු මොනවාදැ’ යි නුවණින් සොයා බලා
ජීවිතය සකස්කර ගැනීමයි. එසේම බුද්ධචරිතයේ හා බෝසත්චරිතවල ඉතා හොඳින්
පෙන්වාදී තිබෙන කරුණාව, දයාව, ඉවසීම, අල්පේච්ඡතාව ආදී ගුණ ධර්ම තුළින්
තම ජීවිතය සකස්කර ගැනීමයි.
එහෙත් අද බොහෝ බෞද්ධයන් බෞද්ධකම අමතක කර දමා ධර්මයෙන් හෝ අධර්මයෙන්
යමක් හරි හම්බ කරගෙන කා බී ප්‍රීතියෙන් ජීවත්වීම වටිනා ලෙසිනි සිතා
සිටින්නේ. මේ අතර ඉතාම ස්වල්ප දෙනෙක් පමණක් තම ජීවිතයෙන් තමන්ටත්
අනුන්ටත් යහපතක් වන ලෙස කටයුතු කරමින් බෞද්ධකම තේරුම්ගෙන ක්‍රියා කරති.
අද අපේ රට දෙස බැලීමෙන් කොතරම් දුරට බෞද්ධයා තම ජීවිත පරමාර්ථය තේරුම්
නොගෙන ක්‍රියා කරනවා දැයි සිතාගත හැකිය. බොහෝ දෙනකු තමන් පරම්පරාවෙන්
බෞද්ධයන් වූවාට බුදුදහමේ උගන්වන කරුණු තේරුම් ගෙන ජීවිතය සකස්කර ගන්නට
උනන්දුවන බවක් නොපෙනේ. වැඩි දෙනෙක් තමන් ගැන, තමන්ගේ දුර්වලකම් ගැන,
තමන්ගේ ජීවිතයේ අඩුපාඩු ගැන නොසලකා අනුන් සෑදීමට, අනුන්ගේ ගුණවත්කම්
සෙවීමට කාලය ගත කරති.
එසේම බෞද්ධ ජීවිතයක තිබිය යුතු අල්පේච්ඡකම හා ලද දෙයින් සතුටුවීමේ ගුණය
ජනතාව අතරින් කොතරම් දුරට ඈත්වි ගොස් තිබේද කිවහොත් මුදල් හරි හම්බ
කිරීමම අද ජීවිතවල පරමාර්ථයක් බවට පත්වී ඇත. ඒ නිසාම සාරධර්ම සියල්ල
විනාශ වී ගියත් මොන ක්‍රමයකින් හෝ ධනය ලැබේ නම් ඒ සඳහා යොමුවීමට බොහෝ
දෙනා පුරුදුවී සිටිති. අද බොහෝ බෞද්ධයන් සිතා සිටින්නේ ආර්ථික දියුණුවට
බුදුදහම බාධාවක් ලෙසිනි. එහෙත් හරිහැටි බුදුදහම තේරුම්ගත් කෙනකුට
ධාර්මිකව ධනය උපයා දියුණු වීමට හැකි ක්‍රම පමණක් නොව ධනය ඉතිරි කරගන්නා
ක්‍රම පවා බුදුදහම තුළින් පෙන්වා ඇති බව වටහා ගත හැකිය. සිඟාලෝවාද,
ව්‍යග්ග පජ්ජ, පරාභව වැනි සූත්‍ර දේශනා තුළින් ආර්ථිකය දියුණුවන කරුණු
හා පිරිහෙන කරුණු මොනවට පැහැදිලි කර දී ඇත. අද බෞද්ධයා මේ සියල්ල අමතක
කොට ඉක්මනින් ධනය උපයන්නට ගොස් අධර්මයට බැස අධර්මයෙන්ම ධනය උපයා, ධනය
විනාශ කරගන්නා මාර්ග ද ඒ හරහාම පාදා ගෙන තිබේ. 20 වන පිටුවට
පින්වත, ඔබ මේ කරුණු ගැන මනාව අවධානය යොමු කොට තම ජීවිතය බෞද්ධ සාරධර්ම
අනුව ගොඩනඟා ගැනීමට කල්පනා කරන්න. කරණීය මෙත්ත සූත්‍රයේ උගන්වන පරිදි
අවංක, නිහතමානී, සන්සුන් ඉඳුරන් ඇති පුද්ගලයන් වීමට සිතට ගන්න.
හික්මීමෙන්, සදාචාරයෙන් පිරිහී ගොස් උගත්කමෙන්, ධනවත්කමෙන් දියුණු වූ
පමණින් යහපත් සමාජයක් ගොඩනොනැඟෙන බව නුවණින් කල්පනා කරන්න. එසේ කල්පනා
කොට නා නා අදහස්, නා නා සටහන්, නා නා ක්‍රියා ඇති විශාල සමාජයක ජීවත්
වීමේදී අසද්ධර්මයට මුළා නොවී ධර්මයත්, සත්‍ය දකින නුවණැසත් දියුණු
කරන්න. යහපත් ජීවිතයට අයිති නොවන අගුණ ක්‍රමයෙන් දුරලා යහපත් ගුණ
වඩමින් ඔබේ බෞද්ධ ජීවිතය අතිපරිශුද්ධතාවට පත් කරගෙන දුක් අඳුර දුරලා
ලබන විමුක්ති සැපත ලබා ගැනීමට උත්සාහ ගන්න. |