UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වගකීම් මොනවාද ?

සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තිය සිදුවූයේ ලුම්බිණී සල් උයනේදී. සිදුහත් තවුසාණන් ගෞතම බුදුරජාණන් වහන්සේ ලෙස බුද්ධත්වය ලබා ගත්තේ බුද්ධගයාවේ බෝ මැඬදීයි. එසේම බුදුරජාණන් වහන්සේ බුදු බවට පත්ව ලෝකයාගේ හිත සුව පිණිස ගත කළ වසර 45 ක කාලයෙන් වැඩි කාලයක් ගත කළේ වන සෙනසුන්වලයි. උන්වහන්සේගේ ආරාම සැකසුණේ සුන්දර වන උයන් තුළයි. ජේතවනාරාමය,වේළුවනාරාමය වගේ ආරාම මීට හොඳම නිදසුන් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්.

ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූයේද උන්වහන්සේට බොහෝ සමීප කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සල් උයනේදී .මෙයින් අපට පැහැදිලි වන ප්‍රධානම කරුණ වන්නේ ගහකොළ, වන අරණ ආදියට බුදුරජාණන් වහන්සේ දැක්වූ හිතානුකම්පී ආකල්පයයි. බුදුරජාණන් වහන්සේ පරිසරයට දැක්වූ ඒ ආකල්පය,ඇල්ම, එසේම පරිසරය, ගහකොළ පිළිබඳ දැනුමට අදටත් කිසිඳු පරිසර විද්‍යාඥයකුට විශේෂඥයකුට ළඟාවීමට හැකියාවක් නැහැ.

බුදුරජාණන් වහන්සේ සැම විටම උපමා කර ගත්තේ උදාහරණයට ගත්තේ පරිසරයේ දක්නට ඇති දෙයක්මයි. ‘සිද්ධිවාචක ආනුරූභ්‍යතාවය’ ලෙසින් එය හඳුන්වනවා.

උන්වහන්සේ අහසේ පිපෙන මල් ගැන, හාවුන්ගේ අං ගැන එහෙමත් නැත්නම් ඉබ්බන්ගේ පිහාටු ගැන ආදි අදෘෂ්‍යමාන කිසිවක් උදාහරණ ලෙස ගත්තේ නැහැ. ආහාරයට ගත් දෙය පවා පරිසරය ගහකොළ ආදියට යහපත් අයුරින් ලෙසින් මිසක හානිදායක ලෙසින් කිසිවක් ලබාගෙන නැහැ. ඇඳුම පැලඳුම පවා උන්වහන්සේ සකසා ගත්තේ පරිසරය ගහකොළ ආදිය දෙස බලමින්, වරෙක උන්වහන්සේ ආනන්ද හිමියන්ට පවසා සිටියේ ‘ආනන්ද මගධයේ ඇති විශාල කුඹුරු යාය බලන්න. අපගේ සිවුරු සැකසිය යුත්තේ ඒ කුඹුරු සැකසී ඇති ආකාරයෙන්. එහි ලියැදි තිබෙනවා නියර තිබෙනවා. ඇළ මාර්ග ආදිය තිබිය යුතුයි. අදත් භික්ෂූන් වහන්සේගේ සිවුර සකසා ගත්තේ මගධයේ එදා දක්නට තිබූ ඒ කුඹුරු සැකැස්ම අනුවයි.

මෙයින් අප නිරතුරුවම උත්සාහ ගත යුතුවන්නේ පරිසරය ගහකොළට අප ආදරය කළ යුතු බවයි.ඊට පරිසරය ආරක්‍ෂා කළ යුතු බවයි. මහල් නිවෙස්වල සිටින අතැමුන් සිතන්නේ අපට පරිසරයක් නැහැ. වවන්න ඉඩක් නැහැ.අපි කුමක් කරමුද යන්නයි. අඩුම වශයෙන් අපගේ ප්‍රාණ වායුව වන ඔක්සිජන් වායුව අපට ලැබෙන්නේ කොහෙන්දැයි සිතන්න.

ශාක මඟින් ලබා ගන්නා ඔක්සිජන් වායුව මතින් යැපෙන අප ඊට ප්‍රතිඋපකාර දැක්විය යුතුයි නේද? අවම වශයෙන් ගහකොළ වැවීමෙන් දායක වීමට නොහැකි නම් ඇළ දොළ ගංගා ආදි පරිසරයේ අනෙක් කොටස්වලට හෝ අපට දායකත්වය ලබාදීමට පුළුවන්. අවම වශයෙන් ඇළ, දොළ ,ගංගා අපවිත්‍ර නොකර සිටීමට හැකිනම් එයත් පරිසර සංරක්‍ෂණයට දායක වීමක් බව කිව යුතුවනවා.

අප වසන නිවස පවා හැකිතරම් පරිසරයට නිරාවරණය කරගත යුතු වනවා. එහෙත් අද සමාජයේ බොහෝ දෙනා උත්සාහ දරන්නේ තමන්ගේ වාසස්ථාන හැකිතරම් කොටු කරගෙන ආවරණය කර ගැනීමටයි. අවසානයේ දිවා කාලයේත් විදුලිය බලය සැපයිය යුතුවනවා. ජල විදුලියෙන් වැඩි බරක් සහිත අප රටට එය මහත් බරක් වනවා. අපට පරිසර සංරක්‍ෂණයට දායක විය හැක්කේ කෙසේද? යන්න අප සොයා බැලිය යුතුවනවා. හැකි ආකාරයකින් අප දායකත්වය සැපයිය යුතුයි. නිවසක් තැනීමට පෙර හැකිතරම් පරිසර හිතකාමි විය යුතුයි. ඒ අනුවයි නිවස පවා ඉදි කළ යුත්තේ.

අප බොහෝ විට වාස්තු විද්‍යාඥයන්ට පවසන්නේ කැපී පෙනෙන නිවසක් ඉදිකරන ලෙසයි. නිවස පරිසරයේම කොටසක් ලෙස ඉදිකර ගැනීමට හැකිනම් අපත් පරිසරය රැක ගැනීමට දායක වූවන් වනවා. නිවස හැම විටම පරිසරයේ කොටසක් විය යුතුමයි. නිවස පක්‍ෂීන්ට ඇතුළු අනෙක් සතුන්ට බාධාකාරි නොවිය යුතුයි. ඔවුන්ට සැරිසැරීමට හැකි ස්ථානයක් විය යුතුයි.

ඉස්සර අපේ වත්තේ නිතරම සැරිසැරූ සමනළයො අද කෝ. පරිසරයේ ඇතිවූ වෙනස්කම් නිසා ගහකොළට අප ආදරය නොකළ නිසා අද සමනළයන් දකින්න නැහැ.මිය ගියාට පසුව තමන්ගේ ශරීරයෙන් පවා පරිසරයට දායක වීමටයි අතීතයේ සිට අප පුරුදුව සිටියේ.අද අප ඒ පරිසරයට දක්වන දායකත්වය කෙතරම් කුරිරුද?

බුදුරජාණන් වහන්සේ විහාර ආරාම සියල්ල පරිසරයේ කොටස් ලෙසයි ජනතාවට හඳුන්වා දුන්නේ.

ධාතුන් වහන්සේ නිධන් කළ චෛත්‍යය රාජයාණන් වහන්සේට කිසිවකු අපහාස කෙළේ නැහැ. වන ලැහැබක් මැදින් චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කොත් කැරැල්ලක් මතුවී පෙනෙන විට කිසිවකු එය නොගැළපෙන්නක් ලෙස පවසන්නේ නැහැ.

බසවක්කුළම වැව ළඟ සිට රුවන්වැලි මහ සෑය දෙස බලා සිටින්න. ඒ සුන්දරත්වය අත් විදින්න අකමැති අයෙක් සිටිනවාද?

මෙයට හේතුව ඒ සියල්ල පරිසරයේ කොටස් නිසයි. පන්සල අවට පහසුකම් සහිත නිවාස තිබෙද්දී පරවියන් ඇතුළු පක්ෂීන් විහාරස්ථානයේ ධර්ම ශාලාවේ කූඩු බදින්නේ ඇයි. පන්සල පරිසරයේ කොටසක් ලෙසින් ඉදිකර තිබීමයි මේ වෙනසට හේතුව.

අපගේ ගෙවත්තට අද කුරුල්ලෙක් එන තත්ත්වයක් තිබෙනවාද? ගහට කොළට අප ආදරය නොකරන නිසා පරිසරය අපෙන් ඈත් වෙලා. බුදුරජාණන් වහන්සේ පරිසරය ගහකොළ ගැන විශාල ඇගැයීමක් කළා. අප එයට ගරු කළ යුතුයි. මිහිඳු මහ රහතන් වහන්සේ පවා මෙරටට වැඩම කළ ස්ථානය බලන්න අඹ උයනකට, අලංකාර පරිසරයක වටිනාකම උන්වහන්සේ දැනගෙන සිටියා.

ඇඳුම පැලඳුම පවා අප සකසා ගත යුත්තේ පරිසරය අනුවයි. දේශගුණය ගැන මනා අවබෝධයක් අපට තිබිය යුතු වනවා.

අප සැමවිටම ශාක වැවීම මඟින් පරිසරයට දායක විය යුත්තේ පරිසරය අලංකාරයට පමණක් නොව අපගේ ජීවිතයට ශාකයන්ගෙන් ලැබෙන උපකාරය නිසයි.

විශේෂයෙන්ම අපේ රට ජෛව විවිධත්වය අතින් මුල්තැනක් ගන්නා රටක්. එවන් රටක කඳුකර පරිසරය ආරක්‍ෂා කරගැනීමට අප මුල්තැනක් දිය යුතුවනවා.

ඊට අකුල් හෙළන විට අපට අනිවාර්යයෙන්ම විශාල ගැටලුවලට මුහුණ පෑමට සිදුවනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව වන්නේ මීමැස්සා මල නොතලා රොන් ගන්නාක් මෙන් අප සැම විටම කටයුතු කළ යුතු බවයි. විහාරස්ථානය හෝ උදාහරණය කර ගනිමින් අප සැම විටම කටයුතු කරන්නේ නම් පරිසරයට ආදරය කරනු ලබන විශේෂයෙන්ම ගහ කොළට ආදරය කරන පිරිසක් වීමට අපට පුළුවන්. එසේ නොවුවහොත් වර්ෂාව නොලැබීමේ සිට සියලුම පරිසර විපර්යාසවලට අපට මුහුණ දීමට සිදුවෙනවා. ඒ සියල්ලම වන්නේ අප ආත්මාර්ථකාමි වීම නිසයි.

අපගේ අයිතිවාසිකම් ගැන මෙන්ම සමාජ වගකීම් ගැනත් අප සිතා බලා කටයුතු කරන්නේ නම් සදාචාර සම්පන්න මෙන්ම පරිසර හිතකාමී සමාජයක් අපට බිහිකර ගැනීමට පුළුවන්.

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය ජුලි 26 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 03.27 ට ලබයි.
27 වනදා සිකුරාදා පුර්වභාග 01.23 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුලි 26 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
අගෝස්තු 01 වන දා
බදා දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 26

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]