නිකිණි පුර අටවක 2012 ජූලි 26 වැනිදා
සාරධර්ම සුරකිමු
තම දරුවා කෙරෙහි දහසක් බලාපොරොත්තු හදවතේ තුරුළු කරගෙන
සිටින්නේ සෙනෙහෙබර මව සහ පියා ය. මව්පිය දෙපළට ඇති වටිනාම
වස්තුව ද තම දූ පුතුන් ය.
තම දරුවා හදා වඩා පෝෂණය කිරීමට ආදරබර මව්පිය දෙපළ නොවිඳීනා
දුකක් නැති තරම් ය. දරුවා බහ තෝරන වියේ පටන් ගුරුහරුකම් කියා
දෙමින් හොඳ නරක පෙන්වා කියා දෙන්නේ ද, ඤාති මිත්‍රාදීන්
හඳුන්වා දෙන්නේ ද මව සහ පියා විසින් ය.
නිසි විය එළඹුන කල පාසල් අධ්‍යාපනයට යොමු කරවා තම ශක්ති පමණින්
දරුවාට අධ්‍යාපනය ලබා දීමට ද අප්‍රමාණ වෙහෙසක් දරන්නේ මව්පිය
දෙදෙනා ය.
පාසල් අධ්‍යාපනයට අමතරව බාහිර උපකාරක පන්තිවලට යවමින් දරුවන්
වෙනුවෙන් විය පැහැදම් කරමින් දරුවාගේ අනාගතය සාර්ථක කරදීමට
වෙහෙසෙන්නේ ද මව්පිය දෙදෙනා ම ය.
ඒ සියල්ල එසේ සිදු කරගෙන යන අතරතුර දරුවාගේ ආරක්‍ෂාව, රැකවරණය
පතා අන් කවරෙකුටත් වඩා වෙහෙස මහන්සි විය යුත්තේ ද මව්පිය
දෙදෙනාම ය.
තම දුව, පුතා යම් අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ පෑමට සිදුවුවහොත්
එහි පාඩුව විඳගත යුතු වන්නේ ද මව්පිය දෙදෙනාටමය.
එසේ නම් මව්පිය දෙදෙනාම තම දූ පුතුන්ගේ රැකවරණය, ආරක්‍ෂාව පතා
මොහොතක් පාසා සිය දැඩි අවධානයෙන් පසු විය යුතුම ය.
සමාජයේ හැම දරුවෙකුම තමාගේ දරුවන් සේ සැලකීමට වැඩිහිටියන් ද
නොපමාව කටයුතු කළ යුතුව ඇත. එසේ නොවුවහොත් සමාජයේ සාරධර්ම
පිරිහීයාම වැළැක්විය නොහැකි ය.
මඟ තොටේදී මෙන්ම, බස් රියේ දී, දුම්රියේ දීත් කවර ස්ථානයකදී
වුවද හැම දරුවෙකු ම තමාගේ දරුවන් සේ සිතා දරුවන් කෙරෙහි මහත්
කරුණාවෙන් කටයුතු කළ යුතු වේ.
තම තමන්ගේ සහෝදර සහෝදරියන් ලෙස සමාජයේ අනෙකුත් සම වයසේ සියලු
දෙනා වෙත ගරු කිරීමට ඔවුනොවුන්ගේ රැකවරණයට කටයුතු කිරීම තුරුණු
වියේ පසුවන හැම දෙනාගේ ම වගකීම හා යුතුකම ද වේ.
අපරාධයක් සිදු කළ විට නීතියේ රැහැනෙන් මිදී සිටීමේ හැකියාවක්
නොමැත. එමෙන් ම අපරාධයට දඬුවම ද නීතියෙන්ම ලැබේ. කවර අපරාධයක්
වුවද කවදා හෝ නීතියේ රැහැනට නතුවීමෙන් දඬුවම ලබන විට පමණක්
පසුතැවිල්ලට පත්වීමෙන් පලක් නොවනු ඇත.
සිතට එන හැම සිතිවිල්ලක්ම ගතින් ක්‍රියාත්මක කරන්නේ නම් මිනිසා
හා අනෙකුත් සතුන් අතර ද වෙනස්කමක් නො පවතිනු ඇත. මිනිසා
බුද්ධිමත්ව සිතා බලා කටයුතු කළ තරමට ම ජීවිතය වඩාත් නිවැරැදිව
ගත කළ හැකි වේ. මිනිසා නිතරම සිතිවිලි පාලනය කර ගනිමින්
සන්සුන් දිවියක් ගත කළ යුතු ම වේ. නීතියේ රැහැනෙන් පලා ගියද
යම් වරදක් කිරීමෙන් සමාජයෙන් ලබන අපවාදය සුළු පටු නොවේ. එපමණක්
නොව තමන් කරන හොඳ නරක පිළිබඳ තම සිතට වංචා කළ හැකි නොවේ. එසේ
නම් අවංකව හා බුද්ධිමත්ව සිතන කිසිවකුට තම සිතට වංචා කළ හැකි
නොවේ.
දරුවකුගේ ජීවිතයක් අකාලයේ වැනසීයාමට ලක්වන්නේ නම් අපේ සාරධර්ම
ගිලිහීයාමට එය ආරම්භයක් වනු ඇත.
රටක භෞතික සංවර්ධනය අත්‍යවශ්‍ය ය. ඊට රජය පෙරමුණ ගෙන සංවර්ධන
ක්‍රියා දාමය කඩිනම් කරන විට සමාජ සාරධර්ම සුරැකීමට සමාජයම
මූලිකත්වය ගත යුතුව ඇත.
පන්සල, පල්ලිය, කෝවිල ආදී කවර ආගමික මධ්‍යස්ථානයක් වුවද සමාජ
සාරධර්ම ආරක්‍ෂා කිරීම සඳහා ඒ ඒ ආගමික අනුගාමිකයන් සුචරිතයට
යොමු කරවීමට උනන්දුවෙන් ඇප කැප විය යුතු ය. පාසල ද ඊට මහ
මෙහෙවරක් කළ හැකි ස්ථානයකි.
කවර තරාතිරමක අපරාධයක් කළ ද ඔහු කවර තරාතිරමක අයකු වුවද ඔහුට
නැවත ඒ අපවාදයෙන් මිදී නැවත සමාජගතවීමට පහසුවෙන් ඉඩ නොසැලසෙනු
ඇත.
එසේ සමාජයෙන් ලැබෙන අපවාදය පරම්පරා ගණනක් ගතව ගියද මඟ හරවා
ගැනීමට එතරම් පහසු නොවනු ඇත.
එසේ නම් සමාජයේ ඔවුනොවුන් විසින් සමාජ සාරධර්ම ආරක්‍ෂා කිරීම
සෑම පුරවැසියකුම සතු යුතුකම හා වගකීම වේ.
සමාජ දෝෂාරෝපණයෙන් හෝ සමාජ අපවාදයෙන් හෝ නීතියේ රැහැනෙන්
මිදීමට පමණක් යැයි සිතා නොව මිනිස්කමට මෙන්ම බෞද්ධකමටද ගැළපෙන
ලෙස සුළු පිරිසකගෙන් ගිලිහී යන සමාජ සාරධර්ම සුරැකීම සමාජයේ ම
වගකීම හා යුතුකම වනු ඇත. එවිට අනාගත පරපුර ද සුචරිත පරපුරක්
වනු ඇත. |