UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ජන සමාජයේ පෞද්ගලික වශයෙන් ද, ආයතනික වශයෙන් ද අදහස්, උදහස්, ආරංචි, ප්‍රවෘත්ති හුවමාරු කර ගැනීමේ කාර්යය ජන සංනිවේදනය වශයෙන් හැඳින්වීමට පුළුවන. බුද්ධ භාවිතය සිව්වනක් පිරිසට හා දෙව් බඹුන්ට කියා දීමේදී අනුගමනය කළ ක්‍රියා පිළිවෙළ බෞද්ධ සංනිවේදනය වශයෙන් නම් කළ හැකිය. ඒ ක්‍රියා පිළිවෙළ උදාරය. ප්‍රණීතය. ආර්ය සංඛ්‍යාවේලා ගැනේ.

ඒ බෞද්ධ සංනිවේදනයේ මූලික හරය, උත්තරීතර පරමාර්ථය සත්‍යය, ඇත්තම ජනයා වෙත ඉදිරිපත් කිරීමයි. මෙම පරමාර්ථය මුදුන් පැමිණවීමෙහිලා භාග්‍යවතුන් වහන්සේ අනුගමනය කළ ක්‍රියා මාර්ගය සොයා බැලීමෙන් බෞද්ධ සංනිවේදනයේ හැඩ රුව ක්‍රමය අවබෝධ කළ හැකිය.

පළමුව ශ්‍රාවකයාගේ, ඇහුම්කන් දෙන්නාගේ සිත දිනා ගැනීම කරයි. ඔහුගේ සුව දුක්, ආ ගිය තොරතුරු විචාරීමෙන් සිත දිනා ගැනීම, තමන් කියන දේට නැඹුරු කර ගැනීම කරයි. සම්මෝදනීයං කථංසාරානීයං යනුවෙන් එය දැක්වෙයි. තම පියා බිම්බිසාර ඝාතනය කළ, තමන් (බුදුන්) මරන්නට දෙව්දතුන්ට යටිතල පහසුකම් සැලසූ අජාසත්ත බුදුන් සමුවීමට ගිය මහ රැයේදී පළමුව කළේ ඔහුගේ සුව දුක් සොයා බැලීමයි. සාරාණීය කථාවන්ය. එයින් ශ්‍රාවකයාගේ සිත සන්සුන් කර සකස් කරයි. රාහුල හිමියන් සැලළිහිණියාගෙන් පළමුව අසන්නේ “ එන මග දුකෙක් නොවී ද සබඳිනි කලණ” යනුවෙනි. ඒ සාරාණිය කථාවයි.

දෙවැනිව ශ්‍රාවකයාට ඉදිරිපත් කරන්නේ යහපත් පණිවුඩයකි. දෙලොවට වැඩදායක පණිවුඩයකි. එය සංනිවේදනයේ ලක්ෂණයකි. ධම්මියා කථාය යනුවෙන් එය දැක්වේ. තුන් ලොවටම යහපත් වූ දෙයක් විනා කුරා කුහුඹියකුටවත් අනතුරක් විපතක් සිදු වන දෙයක් නැත.

ඉක්බිතිව අසන්නා තමන් කෙරෙහි විශ්වාසය ඇති කර ගන්නා අන්දමට ක්‍රියා කරයි. පහදවා ගනියි. එසේ පහදවා ගෙන සතුටට පත් කරයි. ආලවක දමනයේදී ආලවකයා නම්මවා ගත්තේ පළමුව කීකරු වීමෙනි. ඒ මගින් ඔහු ප්‍රීතිමත් කර තමන් කෙරෙහි විශ්වාසය ඇති කර ගත්හ. සිත නතු කර ගත්හ. සම්පහංසෙත්වා යනුවෙන් එය සඳහන් කර ඇත.

උපාලි ගෘහපතියා කීවේ තමන් තුන් වන වරටත් තථාගතයන් කෙරෙහි පැහැදුනු වගය. ඇයි තමන් කෙරෙහි පැහැදුනත්, තුනුරුවන් සරණ ගියත්, නිවටුන්ට මෙතෙක් කල් ගෙදරින් දුන් දන් වැට නවත්වන්න එපා යැයි බුදුහු වදාළ නිසාය. ආත්මාර්ථයෙන් තුරන් වීම නිසාය. සංනිවේදකයෙකු පොදු පුද්ගලයෙකු විනා ආත්මාර්ථකාමී අයකු නොවිය යුතු බව එමගින් උගැන්වීය.

ඝෝණදණ්ඩ බුදු රදුන්ගේ සංනිවේදන සුවිශේෂතා අවබෝධ කරගෙන ප්‍රශංසා කළේය. මිහිරි වචන, බොළඳ නුවූ පණිවුඩය, නිදොස් වූ පරමාර්ථය, අනාමිස දර්ශනය පිළිබඳ පැහැදීමෙනි. පරමාර්ථය වැරදි නම්, ලාමක නම් ඒ සංනිවේදනය කෙරෙහි ජනතා ප්‍රසාදය පළ නොවේ.

බෞද්ධ සංනිවේදන ක්‍රමය නිරාකූලය. එයට හේතුව අනුපිළිවෙළ අනුගමන කිරීමයි. තණ්හාව දුරු කිරීමට මුල් වූ දානයෙන් ආරම්භ කර නෛෂ්ක්‍රම්‍යයේ ආදීනව දක්වමින් අවසන් කිරීම අනුපිළිවෙළ කථාවයි. බෞද්ධ සංනිවේදනයේදී අනුන්ට ගැරහීම, දෝෂාරෝපණය කිරීම අගය නොකරයි. අනුන් ගරහමින් තමන් හුවා දැක්වීමක් බෞද්ධ සංනිවේදනයේ නැත.

බෞද්ධ සංනිවේදනයේ තේමාව පරානුකම්පාවයි. විවිධ උපමා දක්වමින්, බුද්ධ භාසිතය රට තුළට ගෙන ගියේ සත්වගට හිතවත්ව මිස මුදල් වලට, පිරිකර වලට හිතවත්ව නොවේ. නිරාමිසව දහම් දෙසීම, උපදෙස් දීම බෞද්ධ සංනිවේදනයේ හරයයි. මේ ඉහත දැක්වූයේ භාග්‍යවතුන් වහන්සේගේ සංනිවේදනයේ ලක්ෂණ කිහිපයකි.

මෙයට අමතරව බොදු දහමේ ව්‍යාප්තිය හා එදිනෙදා කටයුතු කර ගෙන යාමේදී අනුගමනය කරන සංනිවේදන මාර්ග ද බෞද්ධ සංනිවේදන මාර්ගම වේ. මෙහිදී ඒවා ද සලකා බැලිය යුතුය. තථාගත ධර්මයේ මුල්ම සංනිවේදකයන් වූයේ භික්ෂූන් හැට නමකි. ඒ හැට නම ගම් නියම් ගම් දනව් නගර පීරා ගොස් තථාගත පණිවුඩය ජනයා වෙත ඉදිරිපත් කළේය. භික්ෂු සමාජය වැඩීයත්ම ආරාම විහාර ඇතිවීමෙන් පසුව භික්ෂූන් වහන්සේලා ඒ විහාරාරාමවල සංඝ සමාජයක් වශයෙන් පදිංචි වීමෙන් පසුව ප්‍රධාන සංනිවේදන මග වූයේ ගෙඩිය ගැසීමයි. භික්ෂූන් රැස් කළේ ගෙඩිය ගැසීමෙනි. ගෙඩිය නමින් ව්‍යවහාර කළේ ලී කොටයක් හාරා ගත් භාණ්ඩයකි. ලී වලින්ම තැනූ මිටියකින් මෙයට ගැසූ විට ශබ්ද නගයි. පිණ්ඩපාතයේ යන්න, තුනුරුවන් වඳින්න, වත් පිරිත් කියන්න පිරිවෙනක හෝ ආරාමයක භික්ෂූන් රැස් කළේ මේ ගෙඩිය ගැසීමෙනි. “සිල් බැලීමෙන් විවේකවත් සැපයීමෙන් තුන් පැයැක් යවා ගෙඩිය ගැසූ කල සතංහත්ථි සතං අස්සා යනාදිය සිහි කරමින්” යයි සාමණේර බණ දහම් පොතේ සඳහන් වේ. අද වන විට මේ වෙනුවට භාවිතා කරන්නේ ඝණ්ඨාරයයි. ඝණ්ඨාරය පන්සලේ පාවිච්චි කළ සංනිවේදන භාණ්ඩයකි. සතර පෝරුවේ දායකයන් හදිස්සියකදි පන්සලට කැඳවූයේ මේ ඝණ්ඨාරය හැඬවීමෙනි. ජනයාට පෝය දවස මතක් කළේ, දහම් පාසල මතක් කළේ, පිරිත් දේශනය, වස් විසීම ආදිය බෞද්ධයා වෙත නිවේදනය කළේ මේ ඝණ්ඨාරය නාද කිරීමෙනි.

පන්සලේ ධර්ම දේශනය, පිරිත් පින්කම් ජනයාට දැන් වූයේ අඬබෙරය මගිනි. එය අණබෙරය නොවේ. අණබෙරය යැව්වේ රජතුමාය. අඬබෙරය යැව්වේ පන්සලෙනි. අඬබෙරය අසන කවුරුත් පාරට විත් අඬබෙරකරුගෙන් පන්සලේ පණිවුඩය අසාගෙන නිසි වෙලාවට පන්සලට යයි. හේවිසිය බෞද්ධ සංනිවේදන ක්‍රමයකි. පසළොස්වක පොහොය දවස මුළු දවස පුරාම පන්සලේ හේවිසි පූජා පවත්වන සිරිත ආදියේ තිබිණි. හේවිසි කූට්ටමේ එක් භාණ්ඩයක් තම්මැට්ටම නමින් හඳුන්වයි. එය විශේෂ සංනිවේදන භාණ්ඩයකි. දහවල් බුද්ධ පූජාව තැබීමට පෙර, රාත්‍රියේ මහ පිරිත පටන් ගැනීමට පෙර තම්මැට්ටම මගින් ඒ බව රටටම සංනිවේදනය කරයි. රාත්‍රි මහ පිරිතට පෙර වැඩමවීමට පැය භාගයකට පමණ කලින් තම්මැට්ටම වාදනය කරන්නේය. පන්සලේ දායකයෝ මහ පිරිත අසන්න හනි හනික පන්සලට එන්නේ මේ තම්මැට්ටමේ වාදනය අනුවය.

බෞද්ධ කොඩිය, සුදු කොඩිය, කහ කොඩිය බෞද්ධ සංනිවේදන මාර්ගයෝය. පන්සලේ බෞද්ධ කොඩිය එල්ලා ඇතිනම් එහි පින්කමක් බව බෞද්ධයෝ දැන ගනිති. සුදු කොඩිය පාරේ එල්ලා තිබේ නම් ඒ බෞද්ධයකුගේ මරණය කියා පාන්නකි. කහ කොඩිය එල්ලන්නේ භික්ෂුවකගේ අපවත්වීම දන්වන්නටය.

ගොක් රැහැන් හා ගොක් කොළ ආරුක්කුව ද බෞද්ධ සංනිවේදනය සඳහා යොදා ගනී. බෞද්ධ සංකේතය ගොක් රැහැනය. ගොක් කොළය දෙකට ඉරා දැමීම, සුදු රැළි එල්ලීම ද බෞද්ධ සංනිවේදන උපකරණයකි. ආදියේ පන්සල් වල ධර්ම ශාලාව මුළුමනින්ම සැරසුවේ සුදු ටිෂූ රැල් වලිනි. මේ අන්දමට සුදු පැහැය බෞද්ධ පැහැය වී ඇත. සුදු හැඳ සුදු උරමාව පෙරවූ විට ඒ තැනැත්තා සිල් සමාදන් වී ඇති බව හැමදෙනා අවබෝධ කර ගනී. එයත් සංනිවේදනයකි.

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]