UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 

මහ රජතුමා ඇතුළු හතළිස් දහසක් පමණ පිරිස පළමු දිනයේදීම පන්සිල්හි පිහිටුවා ඔවුන් බෞද්ධයන් කැරවූහ. එතෙක් බිය පදනම් කරගෙන, භෞතිකමය වශයෙන් පවත්නා විශාලත්වය සැලකිල්ලට ගෙන මහා වෘක්ෂයන්ට වන්දනා මාන කළ මිනිසුන් කිසියම් විචාරශීලී අදහසින් මේ වෘක්ෂ වන්දනා මාන කරන්නට විණි. සිදු කරනු ලැබූ සියලු වන්දනාවන්ට අර්ථාන්විත බවක් එක් විණි. මිහිඳු මහ රහතන් වහන්සේට අවැසි වූයේ, පංචශීලය පදනම් වූ සමාජයක් ගොඩනැගීමටයි. ථෙරවාදී භික්ෂු පරම්පරාවක් ඇති කිරීමටය. අනතුරුව උන්වහන්සේලා හරහා ථේරවාදී බුදු දහම ව්‍යාප්ත කරවීමටය

මුළු මිහින්තලයම පින්බර පොසොන් හඳෙන් ආලෝකවත් වන ඒ සෞම්‍ය සඳ එළියෙන් නැහැවී ඇත. පිවිතුරු සදහම් දෙසනු පිණිස මිහිඳු මා හිමියන් ඇතුළු පිරිස වැඩි මිස්සක පව්ව දැක බලා ගනු රිසින් දහස් ගණන් සැදැහැතියන් දෙපා නගා යන ඒ රළු ගල් පඩි ගානේ, ගල් පඩි දෙපස ඇති අරලිය මල් වැට ගානේ ඒ හඳ එළිය කිසිඳු වෙනසක් නොමැතිව එක සේ වැටී ඇත. හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහමට පිවිසෙන්නට කිසිවෙකුට වෙනසක් නොමැතිව අවසර ඇතිවාක් මෙනි.

සදහම් දෙසනු රිසින් පව්ව මත වැඩ සිටින මිහිඳු හිමියන් තමන් වහන්සේ වැඩි කාරණය මිහිපල් දෙවන පෑ තිස් හට ප්‍රකාශ කළහ.

සමණාමයං මහා රාජ
ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉදාගතා

“මහ රජුනි, අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු.

කිණිහිරි මල් පෑ කසාවත් මිස්සක පව්ව මත දිදුළන විට, අප සිටියේ ගස්, ගල්, ඉර, හඳ වන්දනා කරමිනි. බ්‍රාහ්මණ ආගම, ශිව ආගම අදහමිනි. එහෙත් මේ කිසිවකින් අධ්‍යාත්මික විමුක්තියක් නොලැබෙන බැව් ඔවුන් දැන සිටින්නට ඇත. වඩා යහපත් වූත් වඩා බුද්ධි ගෝචර වූත් දර්ශනයක් ඔවුන් ප්‍රාර්ථනා කරමින් සිටි යුගයක් වීය එය.

පැවති මේ සමාජ සහ ආගමික පසුබිම මිහිඳු හිමියන් ඇතුළු පිරිසගේ ලංකාවතරණය සිදු වීමට වඩාත් සුදුසු පරිසරය විය. මිහිඳු මහ රහතන් වහන්සේත් රජතුමාත් අතර ඇති වූ පිළිසඳර සියලු ශ්‍රී ලාංකිකයන්ට, ඔවුන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට යහපත් අනාගතයක් උදා කර දෙන කාලයක් විය.

අතීත පරම්පරාවන් ජීවත් වුයේ ආගමක් දහමක් නොමැති ම්ලේච්ඡයන් ලෙස නොවේ. ඔවුන් සිය ආගම ඇදහුයේ විචාරයකින් තොරවයි. මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනයත් සමඟින් අවිචාරවත් ඇදහිලි වලට විචාරවත්බවක් එක්වුණි. මිනිස්සු වඩාත් ශිෂ්ට සම්පන්න වූහ. ලාංකීය ඉතිහාසයේ ස්වරණතම යුගයේ ආරම්භයට මුල පිරෙන්නේ එතැන් සිටයි.

වංශ කතා සහ අට්ඨ කතා වල අන්තර්ගතය පිරික්සන විට පැහැදිළි වන්නේ මිහිඳු මහරහතන් වහන්සේට අවැසිව තිබෙන්නේ, රට තුළ බුදු දහම ව්‍යාප්ත කරලීම, භික්ෂු පරම්පරාවක් ඇති කරලීම, ආදියයි. ඉට්ඨිය, උත්ථිය, සම්බල, භද්දසාල යන මහරහතන් වහන්සේලා සිව් නමත්, සුමන සාමණේරයන් හා අනාගාමී වූ භණ්ඩුක නම් උපාසකතුමන් ද සමගින් පැමිණියේ ඒ දඹදිව වේදිසගිරි නම් පෙදෙසිනි.

උන්වහන්සේ පැමිණ, චුල්ලහත්ථි පදෝපම සූත්‍රයෙන් දහම් දෙසා පළමුකොට රජු ධර්මයෙහි පිහිට වූහ. උන්වහන්සේ විමානවත්ථු, පේත වත්ථු සූත්‍ර ඇසුරින් ද දහම් දෙසා ලක් වැසියන් වඩාත් විශිෂ්ට සම්පන්න කරවීමට ක්‍රියා කළහ.

මහ රජතුමා ඇතුළු හතළිස් දහසක් පමණ පිරිස පළමු දිනයේදීම පන්සිල්හි පිහිටුවා ඔවුන් බෞද්ධයන් කැරවූහ.

එතෙක් බිය පදනම් කරගෙන, භෞතිකමය වශයෙන් පවත්නා විශාලත්වය සැලකිල්ලට ගෙන මහා වෘක්ෂයන්ට වන්දනා මාන කළ මිනිසුන් කිසියම් විචාරශීලී අදහසින් මේ වෘක්ෂ වන්දනා මාන කරන්නට විණි.

සිදු කරනු ලැබූ සියලු වන්දනාවන්ට අර්ථාන්විත බවක් එක් විණි. මිහිඳු මහ රහතන් වහන්සේට අවැසි වූයේ, පංචශීලය පදනම් වූ සමාජයක් ගොඩනැගීමටයි. ථෙරවාදී භික්ෂු පරම්පරාවක් ඇති කිරීමටය. අනතුරුව උන්වහන්සේලා හරහා ථේරවාදී බුදු දහම ව්‍යාප්ත කරවීමටය. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කොට, ඒ සඳහා සිංහලෙන් අටුවාද සම්පාදනය කළහ. ක්‍රි. ව. 5 වන සියවස වන විට අංග සම්පූර්ණ සිංහල අටුවා සහිත පිරිසුදු ථෙරවාද ත්‍රිපිටකය සම්පාදිතව තිබුණේ අනුරාධපුර මහා විහාර දුරස්කර ග්‍රන්ථාකාර පිරිවෙනේය.

බුද්ධඝෝෂ හිමියන් විසින් පාලි භාෂාවට නැංවූයේ ඒ ත්‍රිපිටකයයි. මිහිඳු හිමියන් මෙරටට පැමිණීමෙන් පසු, දහමින් රට වැසියන් උසස් තත්ත්වයකට පත් කරලීමට ක්‍රියා කළා පමණක් නොව, අපූර්ව වාස්තු විද්‍යා ශිල්පයක්, කලා සම්ප්‍රදායක් අපට දායාද කර දුන්හ.

අද වන තුරුත් රටේ අනන්‍යතාව විදහා දක්වන කලා නිර්මාණයන්හි සංකේත බවට පත්ව ඇති සඳකඩ පහණ, මුරගල, කොරවක්ගල, පුන් කළස, වාමන රූප ආදිය ඒ උතුම් මහින්දාගමනයේ ප්‍රතිඵලයන් ය. සීල, සමාධි, ප්‍රඥා, මෙත්තා, කරුණා ආදි ගුණයන්ගෙන් හෙබි කලු ගලින් නිර්මාණය වූ බුද්ධ ප්‍රතිමා, මිහිඳු හිමියන්ගේ ආගමනයේ ප්‍රතිඵලයකි.

මිහිඳු හිමියන්ගෙන් ආරම්භ වූ ලාංකීය සංඝ සමාජයේ එදා සිටම පරමාර්ථය වූයේ, රජයට හා රජුට අනුශාසනා කරමින්, ජනතාවට ද වඩාත් සැදැහැති ජීවන රටාවක් උරුම කර දෙමින් ස්වකීය ආගමික ජීවිතයක් ගත කරමින් ආධ්‍යාත්මික අරුමුණු ඉටු කර ගැනීමයි.

ඒ හුරුව පුරුද්ද අද වනතුරු ද අපේ ගරුතර ස්වාමින් වහන්සේලා වෙතින් ඉක්ම ගොස් නැත. රටට ස්වාමීන් වහන්සේලාගේ අවවාද සහ උපදෙස් අවැසි වන්නේ කිනම් මොහොතකද, ඒ සෑම අවස්ථාවකදීම උන්වහන්සේලා තමන් වහන්සේලා වෙතින් ඉටු විය යුතු යුතුකම නොපිරිහෙළා ඉටු කළහ.

එසේ හෙයින්, මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස එදා මිස්සක පව්ව මතට නොවඩින්නට, අද පවත්නා මේ ආගමික සංහිඳියාව වෙනු වට අපි තවමත් ගස් ගල් අදහමින්, ඉර හඳ වඳිමින් ජීවත් වන රටක තවත් එක පරපුරක වැසියෝ පිරිසක් වෙමු.

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]