ලංකාවේ ථේරීය බෞද්ධ සම්ප්‍රදායේ
ආරම්භය හා ව්‍යාප්තිය
අනුරාධපුර බුද්ධශ්රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය
මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි
ථේරීය සම්ප්‍රදාය යනු බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වා දුන් එහෙත්
පසුකාලයේ හටගත් වෙනත් දර්ශනවාදී මතිමතාන්තර සමඟ සම්මිශ්‍රණය නො වූ
පිරිසුදු බෞද්ධ පිළිවෙත යයි කිවහොත් නිවැරදිය. මෙසේ ථේරීය සම්ප්‍රදාය
වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වාදෙන ලද බුදුසමය වෙන් කොට
හඳුන්වාලීමට සිදු වන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් කෙටි කාලසීමාවක් ඉකුත්
වන්නටත් පෙර බුදුරජාණන් වහන්සේගේ ධර්මානු සමයෙහි සිටම අප්‍රකටව ඉස්මතු
වෙමින් පැවති බුද්ධ භාෂිත විරෝධී මතවාද ප්‍රසිද්ධියේම කරලියට පැමිණීම
නිසයි. මෙම විවිධ මතවාදයන්ගෙන් පිරිසුදු බුදුදහම ආරක්‍ෂා කර ගනු පිණිසම
ගනු ලැබූ ප්‍රයත්නයන් සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 300 ක් ඇතුළත ථේරීය
ධර්ම සංගායනා තුනක්ම පැවැත්වීමෙන් පැහැදිලි වන්නේය.
මෙහිදී ශ්‍රී ලංකාවේ ථේරීය සම්ප්‍රදායේ ආරම්භය සනිටුහන් කෙරුණේ
ධර්මාශෝක රාජ්‍ය සමයේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ
ප්‍රධානත්වයෙන් පැවැති තෙවන ධර්ම සංගීතියත් සමඟය. එහි ප්‍රතිඵලයක්
වශයෙන් ධර්මාශෝක මහරජතුමා විසින් ප්‍රත්‍යන්ත දේශවලට පිටත් කොට හරින ලද
ධර්මදූතයන් වහන්සේලා අතර ශ්‍රී ලංකාවට වැඩම කරවනු ලැබුවේ එතුමාගේ
පුත්‍ර මහේන්ද්‍ර මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්මදූත කණ්ඩායමයි. හත්
දෙනෙකුගෙන් සමන්විත වූ මෙම දූත පිරිස පිළිබඳ විමසීමක් කළහොත් එහි වඩාත්
අර්ථාන්විත බවක් පෙන්නුම් කරනුයේ අනෙකුත් රටවල් 08 යවන ලද ධර්මදූත
කණ්ඩායම්වලට වඩා මෙහි විශේෂත්වයක් මෙන්ම ථේරීය සම්ප්‍රදාය ශ්‍රී ලංකාවේ
අද දක්වාත් චිරස්ථායි වීමට මෙහි සංයුතියෙහි ප්‍රබල බලපෑමක් ඇති වීම
තුළිනුයි. ශ්‍රී ලංකාවට සැපත් වූ මෙම කණ්ඩායමට සුමන සාමණේරයන් වහන්සේ
හා භණ්ඩුක උපාසක ද ඇතුළත් වූහ. මෙහිදී භණ්ඩුක උපාසකතුමා නිසා සැබෑ
බෞද්ධ ගිහි ප්‍රජාව පිළිබඳ නියෝජනයක් ද සාමණේර භික්ෂුවකගේ ඇතුළත්
වීමෙන් කිසියම් දේශයක සම්බුද්ධ ශාසනයේ පැවැත්ම අර්ථවත් වන්නේ එරට
විනයානුගත පැවිදි උපසම්පන්න භික්ෂූන් වහන්සේගේ පැවැත්ම තහවුරු
කිරිමකි.මේ නයින් බලන විට සුමන සාමණේරයන් වහන්සේ පසුකාලීනව
උපසම්පත්තියට පත්වීමෙන් ශ්‍රී ලංකාවේ විනය කර්ම පිළිබඳ අත්දැකීමක්ද
ශාසනයේ පැවැත්මට උපසම්පදාව චිරස්ථායි කිරීමේ අවශ්‍යතාවද අර්ථවත්
කෙරෙයි. එපමණක් නොව මෙම දූත පිරිසට ශ්‍රී ලංකාවේ විනයකර්මයක් සිදු
කිරීමට අවශ්‍ය කරන උපසම්පන්න භික්ෂූ පිරිසක් ඇතුළත් වීම තුළින් මේ රටේ
ගිහි දරුවන් පැවිදි කොට එම පිරිස්වලට උපසම්පදාව ලබා දීමට තරම් අවශ්‍ය
අනෙකුත් ථේරීය සම්ප්‍රදායානුගත අවශ්‍යතා පිළිබඳ සැලකිළිමත් වූ ආකාරය
පෙනී යයි.
මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මෙම දූත පිරිස අදට වසර 2300 කට පමණ පෙර
එදා පොසොන්පුර පසළොස්වක පොහෝ දින මිහින්තලා පර්වතය මුදුනට පා තබා දෙවන
පෑතිස් මහරජතුමන් හමු වී රජතුමා ඇතුළු එම රාජකීය පිරිසෙහි බුද්ධිමය
ශක්තිය ද මැන මිහින්තලාවේදී චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීමද
විශේෂත්වයක් දරන්නේය. මෙම සුත්‍රයෙන් පෙන්වා දෙනු ලබන්නේ බුද්ධාදි
රත්නත්‍රය පිළිබඳවත් භික්ෂු ජීවිතයක පරමාදර්ශි බවත් උතුම් පැවැත්මක්
ඇති සාර්ථක භික්ෂු ජීවිතයක උත්තම ඵලය ලෙස නිර්වාණය හඳුන්වා දීමත්ය. මෙම
දේශනාවෙන් පසුදින අනුරාධපුර නගරයට වැඩම කරන මිහිඳු මාහිමියන් විසින්
විමානවත්ථු, පේතවත්ථූ මාතෘකා වශයෙන් ගෙන කරන ලද ධර්මදේශනා මගින් පුණ්‍ය
හා පාප කර්මයන්හි කර්මඵලය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමෙන් ලාංකේය සමාජය
තුළ දැහැමි සංකල්පනා ජනිත කොට පාපීධර්මයන් පිළිබඳ හිරිඔතප් ඇති
කිරීමෙන් ශිෂ්ට සම්මත සමාජයක් ද අපේක්‍ෂා කෙරුණු බව පැහැදිලිවේ.
ඉන් අනතුරුව රජතුමා විසින් සිදු කෙරුණු මහමෙවුනා සඟසතුකොට පිදීම තුළින්
ශ්‍රී ලංකාවේ ථේරීය සම්ප්‍රදායාගත අධ්‍යයනය සඳහා එකට ජාත්‍යන්තර
කීර්තියට පත් කෙරුණු මූලස්ථානයක් වශයෙන් මහාවිහාරය එහි චිරස්ථායි විය.
මේ නිසා පසු කාලයේදී මෙම ස්ථානය හැම විටම ථේරීය බෞද්ධ සම්ප්‍රදාය
පිළිබඳ විද්වත් පැවිදි පරපුරක් ශ්‍රී ලංකාවේ පවත්වා ගෙනයාමට කදිම
තෝතැන්නක් විය.අනුරාධපුර රාජධානියේ බිඳ වැටීම දක්වාම ථේරීය බෞද්ධ
පර්යේෂණ මධ්‍යස්ථානයක් වශයෙන් ද පැවැති බව පැහැදිලිව පෙන්වා දිය හැකිය.
ඒ මගින් ථේරීය බෞද්ධ සම්ප්‍රදායයේ ව්‍යාප්තියට සිදු වූ මෙහෙවර සුළුපටු
නොවේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේ කෙරෙහි දැඩිව බලපෑම් එල්ල
වූ මහායාන වෛතුල්‍යවාදී වැනි මතවාදයන්ගෙන් ථේරීය භික්ෂූ පරපුර ආරක්ෂා
කොට අද දක්වාමත් ථේරවාදි භික්‍ෂු පරපුරක් ලෙස ශ්‍රී ලංකාවේ චිරස්ථායි
කිරීමට අවශ්‍ය ශක්තිමත් අඩිතාලම දැමුවේ මෙම මහාවිහාර මූලස්ථානයයි.
මහාවිහාර භුමියෙහිම භික්ෂුන් වහන්සේගේ සංඝකර්ම සිදු කිරීමට සීමාමාලකය
වශයෙන් ලෝවාමහා ප්‍රාසාදය ඉදිවීම තවත් වැදගත් සිදුවීමක් කොට පෙන්වා දිය
හැකිය.
මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනයෙන් මසක් වැනි ඉතා කෙටිකාලයක් ඉකුත් වීමටත්
පෙර ශ්‍රී ලාංකේය අරිට්ඨ අමාත්‍යවරයා ඇතුළු පනස්පස් දෙනෙකු පැවිදි
උපසම්පදාව ලැබීමත්, ප්‍රථම වස් කාලය මිහිඳු මාහිමියන් ප්‍රමුඛ 60 නමකට
ආසන්න වූ සියලුම උපසම්පන්න භික්ෂූන් වහන්සේ මිස්සක පර්වතය ආශි‍්‍රතව
වස්විසීමත් ථේරීය සම්ප්‍රදායානුගත විනයානුලෝමික ප්‍රතිපදාව ශ්‍රී
ලාංකේය ජනතාවට හඳුන්වා දීමත් තවත් සුවිශේෂ සිදුවීමක් විය. මින් අනතුරුව
සිදු වූ ශ්‍රී මහාබෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩමවාගෙන සංඝමිත්තා
මහරහත් මෙහෙණින් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ සම්ප්‍රාප්තියත්, ඒ
නිසාම ලංකාවේ අනුලා දේවිය ඇතුළු ශ්‍රී ලාංකේය ස්ත්‍රින්ට පැවිදි වීමේ
වරප්‍රසාදය හිමිවීමත් ලක් බුදුසසුනේ ව්‍යාප්තිය කෙරෙහි මහත් බලපෑමක්
ඇති කළේය. ථූපාරාම චෛත්‍යය ඉදිවීමත් අනතුරුව සිදුවිය. මේ කාරණය නිසා
බෞද්ධ විහාරාංග පිළිබඳවත් ජනතාව තුළ අවධිකමක් ඇති කළේය. අද දක්වාත්
විහාරස්ථානයක ඉදිවෙන චෛත්‍යය බෞද්ධ සිද්ධස්ථානයක් හඳුන්වා දෙන ප්‍රබල
සංකේතය බවට පත් වී තිබේ. විශේෂයෙන් මහාවංශාදී මූලාශ්‍රය මගින් පැහැදිලි
කෙරෙන පරිදි ථූපාරාම ධාතු නිධානෝත්සවය එදා බොදු ජනතාව තුළ මහත්
ප්‍රබෝධයක් ජනිත කිරීමට සමත් විය. ශාසනික වශයෙන් බලන විට මෙම ධාතු
නිදානෝත්සව අවස්ථාවේදී තිස්දහසක් පමණ දෙනා පැවිදි බිමට ඇතුළත් වූහ. මෙම
සංඛ්‍යාවට සාමාන්‍ය ගිහි ජනතාව මෙන්ම දෙවනපෑතිස් මහරජුගේ සොහොයුරු අභය
කුමරු ඇතුළු රාජකීය පිරිස් එකතු වූහ. මේ නිසා ථේරීය භික්ෂූ පරපුරේ
ව්‍යාප්තියට විශාල බලපෑමක් බවට පත් වූයේ මෙම භික්ෂූන් වහන්සේලා එතැන්
සිට ලංකාවේ විවිධ ප්‍රදේශවල විහිදී ගොස් ශාසනික ව්‍යාප්තිය ශීඝ්‍රවීම
නිසයි.
ථේරවාදි බෞද්ධ සම්ප්‍රදාය චිරස්ථායිවීමට වඩාත් බලපෑමක් ඇති කළ
සංසිද්ධියක් ලෙස මෙම ථූපාරාම සිද්ධස්ථානය ආශි‍්‍රතව අරිට්ඨ මහරහතන්
වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු විනය සංගීතිය හඳුන්වා දිය
හැකිය.මිහිඳු මාහිමියන් විසින්ම වරක් දෙවනපෑතිස් රජතුමා විසින් නගන ලද
ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියේ ලංකාවේ උපන් කුමරුවෙකු
පැවිදි වී විනය සංගායනාවක් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සම්මාසම්බුද්ධ
ශාසනය ස්ථිරව මුල්බැස ගන්නා බවයි. එමෙන්ම මෙහිදී ප්‍රධානත්වය ඉසුලූ
අරිට්ඨ මහරහතන් වහන්සේ විනය පිටකය කඩපාඩමින් කියවා විනය සංගායනාව සිදු
කිරීම සුවිශේෂ වෙයි.
මෙය ථේරීය භික්ෂු සම්ප්‍රදාය එදා තහවුරු කළ භාණක ක්‍රමයයි. එය වඩාත්
ප්‍රතිඵලාදායි වූයේ අනුරාධුපර යුගයෙහිම වළගම්බා රාජසමයෙහි ත්‍රිපිටකය
ග්‍රන්ථාරූඩ කිරීමේ අවස්ථාව දක්වාමත් ලාංකේය ථේරීය භික්ෂූන් වහන්සේ
මෙම සමස්ත ත්‍රිපිටකයම මුඛපරම්පරාවෙන් ආරක්‍ෂා කොට පවත්වා ගෙන ඒම මෙම
භාණක හේතු වීම තුළිනුයි. ථේරීය සම්ප්‍රදාය අද දක්වාත් පවත්වා ගෙන ඒම
මෙම ත්‍රිපිටක ලේඛනාරූඩකරණය ප්‍රබලතම හේතු කාරකය බව ප්‍රකාශ කළ යුතුව
ඇත. |