UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයට නමස්කාර කිරීම සඳහා ආදි කාලයේ සිට බෞද්ධ මහජනතාව යොදා ගනු ලබන වාක්‍ය “ ස්වාක්ඛාතො භගවතා ධම්මෝ...” යන පාඨයයි. බොහෝ විට තුණුරුවන්ගේ ගුණ දීඝ නිකායේ සූත්‍රවල ධර්මයේ ගුණ ගයන්නේ මේ පාඨය ප්‍රකාශ කිරීමෙන් ය. මෙය නමස්කාර පාඨයකට වඩා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ ඇති ස්වරූපය විග්‍රහ වන පාඨයකි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය කුමන ස්වරූපයක් ගන්නේද යන්න මේ ස්වාක්ඛාත පාඨයෙහි සඳහන් කරුණු හය තේරුම් ගැනීමෙන් අවබෝධ කළ හැකිය.

මෙහි “ස්වාක්ඛාත” යනු මුල මැද අග පිරිසුදු නිවන් මඟ වහා කැඳවන්නා වූ සකලාංගයන්ගෙන් පරිපූර්ණ වූ දේශනාවක් වීම යන්නයි. මෙයට ප්‍රතිවිරුද්ධ මාර්ගය උගන්වා ඇත්තේ දුරක්ඛාත ධර්මය යනුවෙනි. එහි අර්ථය වැරදි මත, වැරදි පිළිවෙත්, වැරදි ධර්ම විනයකින් යුක්ත වීම යන්නයි. දුරක්ඛාත මාර්ග කෙතෙක් අනුගමනය කලත් වැලි මිරිකා තෙල් ලබා ගන්න බැරුවා සේම ජීවිතයේ සැබෑ සැනසීමක් ලබා ගත නොහැකිය. “දුරක්ඛාතේ භික්ඛවේ ධම්ම විනයේයෝච සමාදපේති යංච සමාදපේති යෝච සමාදපිතෝ තථත්නාය පටිපජ්ජති සබ්බෙතේ බහුං අපුඤ්ඤං පසවන්ති “ මහණෙනි, යමෙක් දුරක්ඛාත ධර්මය පිළිගෙන සෙස්සන්ට උගන්වන්න එය පිළිගෙන අනුගමනය කරත්ද ඒ අය බොහෝ අකුසල් රැස් කෙරෙති. යනුවෙන් දේශනා කළ සේක.

අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය පිටින් කෙතරම් මුල, මැද, අග යහපත් යැයි විස්තර කළත් එය සැබැවින්ම යහපත් බව දැනගත හැකි වන්නේ ප්‍රතිපත්තියට නගන්නා වූ ධර්මය මගිනි. මන්ද ප්‍රතිපත්තියට නොනගන්නා වූ ධර්මය කෙතරම් යහපත් යැයි සඳහන් කළත් එය ජීවිතයේ සැබෑවක් වන තුරු යහපත් බව නොදන්න බැවිනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය කෙනෙකුගෙන් අසා දැනගත්තක් නොවන බවත්, තමන් වහන්සේ විසින් ම අවබෝධ කරන ලද, එනම්, “අභිඤ්ඤාවෙන් “අවබෝධ කළ දේශනාවක් බව උන්වහන්සේ විසින්ම දේශනා කළ සේක. පරම සත්‍යයක් වූ ඒ දේශනාව දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ වෙනත් කිසිම කෙනෙකුට බොරු නොකළ හැකි සේම, එය ඉක්මවා යා හැකි කිසිවක් කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකි බවත් දේශනා කර තිබීමෙන්ම ධර්මයේ ඇති ස්වාක්ඛාත තත්ත්වය පැහැදිලි කරගත හැකිය.

ධර්මයේ ස්වරූපය විස්තර කරන දෙවැනි ගුණය වන්නේ සන්දිට්ඨික ගුණයයි. බුද්ධ දේශනාව තුළ උගන්වන උසස්ම ඉගැන්වීම වන්නේ පුනර්භවය අවසන් කිරීමයි. එයද සමීපරායික වශයෙන් පරලොවදී නොව මෙලොවදීම ලබන ප්‍රතිඵලයක් ලෙස දේශනා කර තිබීමෙන් එය පැහැදිළිය. බුදු දහමේ පෙන්වා දෙන ධ්‍යාන මාර්ග ඵල නිර්වාණ ආදි මේ සියල්ලම මරණින් පසු ලබන්නක් නොව, සන්දෘෂ්ටිකව මෙලොව එහි උදාර ආධ්‍යාත්මික දියුණුව ඇතිව ගෙවන ජීවිතයක් පිළිබඳව උගන්වන දහමකි. තවත් අයුරකින් පැහැදිලි කරන්නේ නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය අනුගමනය කරන්නට සාන්දෘෂ්ටික විපාක පිණිස මිස යන තැනකට සිදු කරගැනීමක් නොවන බව පැහැදිලිය.

වරක් “වච්ච” නම් තව්සා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ ඔබ වහන්සේ ලබාගත් අරහත්වය නැතහොත්, ඔබ වහන්සේ විසින් පවසන කාමාදි ආස්‍රවයන් ක්ෂය කොට පැමිණ සිටින ශ්‍රාවකයෙකු ඇත්දැයි ඇසූ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වච්චය, සියයකුත් නොව, දෙසියකුත් නොව, හාරසියයකුත් නොව පන්සියයකුත් නොව මාගේ ශ්‍රාවකයෝ බොහෝ දෙනෙක් ආස්‍රව ක්ෂය කොට අරහත්වයට පැමිණ සිටින්නාහ යනුයි. මේ අයුරින්ම වච්චයන් පැවිද ශ්‍රාවිකාවන් ගැන ද ගිහි උපාසක උපාසිකාවන් ගැන ද එමෙන්ම කාම භෝගී ජීවිත ගෙවන ගෘහස්ත උපාසක උපාසිකාවන්ගේ ස්වරූපය පිළිබඳව ද, වච්චයන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බොහෝ දෙනෙක් මග ඵල නිර්වාණය පමණක් නොව උසස් ධ්‍යාන මාර්ගයන් වැඩූ අයද බොහෝ ඇති බවය. එය සාන්දෘෂ්ටිකව ලැබූවකි. එමෙන්ම මාර්ග ඵල නිර්වාණය පමණක් ම නොව උසස්ධ්‍යාන මාර්ගයන් වැඩූ අයද බොහෝ ඇති බවයි. එය සාන්දෘෂ්ඨිකව ලැබූවකි. එමෙන්ම මාර්ගඵල නිර්වාණය පමණක් නොව, සීහ සේනාධිපතිට බුදුරජාණන් වහන්සේ දානයෙන් අනුසස් සාන්දෘෂ්ටිකව ලැබෙන විපාක දේශනා කල සේක. මෛත්‍රි භාවනාව කළ කෙනෙකුට අනුසස් 11 ක් දෙසූ බුදුරජාණන් වහන්සේ එයින් කරුණු 1 ක් හැර අනෙක් කරුණු දහයම සාන්දෘෂ්ටිකව ලැබෙන බව පැහැදිලි කල සේක.

අජාසත්ත රජු බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්දේ සාන්දෘෂ්ඨික ඵලය කුමක්දැයි විමසා සිටි අවස්ථාවේදී සාමඤ්ඤඵල සූත්‍රයේදි පැවිද්දේ ඇති සාන්දෘෂ්ඨික බව දේශනා කළ සේක. වර්තමානයේ වැඩි දෙනෙකුගේ අදහස තමන් කරන කියන ආගමික කටයුතු වල ඵලය පරලොවක දී විපාක ලෙස ලබා ගැනීමයි. මේ ආකල්පය බුදු දහමේ බොහෝ කාලයක් ලියලමින් පැවත මේ වන විට එය වැඩි දෙනෙක් පිළිගත් මතයක් බවට පත්ව තිබීම නිසා ධ්‍යාන භාවනා දියුණුව පමණක් නොව නිර්වාණයද මරණින් පසු ලබන්නක් ලෙස සලකා වැඩ කරති.

ඊළඟ ගුණය අකාලික ගුණයයි.අකාලික යනු කල් නොයවා ඵල ලැබීමයි. ලෞකික ජීවිත වල කෙතක් වපුරන්නෙකු කරල් පැහී ගෙට ගන්නට යම් කාලයක් ගත කරයි. විභාගයකට පෙනී සිටින්නෙකු විභාගයට පෙනීසිට එහි ප්‍රතිඵල ලබන්නට කල් බලා සිටිති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය අනුගමනය කරන්නෙකුට කල් මරා බලා සිටිය යුතු නැත. එය වහා ඵල ලබා දෙන්නකි. මෙලොව පින්කම් කොට පරලෝකයේදි විපාක බලාපොරොත්තු වීම බහුජනයා විසින් ගොඩනගාගත් වර්තමානයේ එය තදින් පිළිගත් මතයක් ලෙස තහවුරු වී තිබුණත් අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳින් තේරුම් ගත් නිවැරදි පිළිවෙත් ප්‍රතිපාද අනුගමනය කරන්නෙකුට ගහක් සිටුවා ඵල ලැබෙන තුරු බලා සිටින්නා සේ බලා නොසිට යම් සම්මා සමාධියකට පත් වන්නෙකුට ඒ සමාධි සුවය ඒ මොහොතේදී ම ලබා ගන්නා සේම, සෝතාපන්න ආදි මඟ ඵල වලට පත්වන්නෙකුට අවාසනාවන්ත කුසලයන්ගෙන් නිදහස් වූ විරාගි සැපත ඒ මොහොතේ දී ම ලබා ගත හැකිය.

ඊළඟ ධර්මයේ ගුණය “ඒහි පස්සික “ගුණයයි. එහි සාමාන්‍ය අරුත “එව බලව“ යන්නයි. එය ඥානවන්ත මනුෂ්‍යයකුව කරන ආමන්ත්‍රණයකි. මෙහි බැලීම නම් ඉඳුරන් මගින් බැලීම නොව විදසුන් නුවණින් බැලීමය. ඉඳුරන් මඟින් බැලීම පිටින් බැලීමකි. පිටින් බැලීම යනු සම්මුතියයි. ජීවිත යථාර්ථය බලන්නෙකුට සම්මුතිය බාධකයකි. යථාර්ථය වූ කලී වෙන වෙනම තම තමා විසින් දැක ගත යුත්තකි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය මේ යථාර්ථයට මඟ කියන්නකි.එය ප්‍රතිපත්තියට නඟා ගැනීමෙන්ම තේරුම් ගත යුතු දෙයක් බව පැහැදිලිය. වර්තමානයේ කෙනෙකු විසින් කරන ආගමික ජීවිතයෙන් ලබන ඵල පරලෝකයකදී හෝ වෙනත් තැනකදි දැක ගත හැකි නම් කිව යුත්තේ “එව බලව නොව, යව බලව “ යනුයි. මේ බඹයක් පමණ වූ ලෝකය තුළ දුකද, දුකට හේතු වූ ධර්මයද, දුකෙන් නිදහස් වීමද, දුකෙන් නිදහස් වීමේ මාර්ගය ද දේශනා කළේ ඥානවන්ත කෙනෙකු විසින්, එය විදසුන් නුවණින් බලා “සිව්සස්” ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමටය.

ඊළඟ ගුණය “ඕපනයික” ගුණයයි.මේ ගුණයෙන් මූලික වශයෙන් පෙන්නුම් කරන්නේ ස්ව සන්තානයට නඟා තේරුම් ගැනීමයි. එය ඉඳුරාම විදර්ශනා මාර්ගය අනුගමනය කිරීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් විදර්ශනා මාර්ගයෙන් පරික්‍ෂා කරමින් අධ්‍යාත්මික ලෝකයේ ඉහළ තලවලට පැමිණීමයි.

විදර්ශනා මාර්ගයෙන්ම ඒ ඒ ධර්මයන් හඳුනා ගැනීමම “පච්චත්තං වේදි තබ්බ “ප්‍රත්‍යක්ෂ වශයෙන් ලබන්නා වූ අවබෝධයයි. අනුමාන ඤාණයෙන් කොතරම් විග්‍රහ කලත් ප්‍රතිපත්තියට නගා විදර්ශනා නුවණ ඉපදවීමෙන් ප්‍රත්‍යක්ෂ වූ අවබෝධය ලැබෙන තාක් කෙලෙස් වල තුනී වීමක් හෝ ක්ෂය වීමක් නැතහොත් උපාදානයන්ගේ නිරෝධයක් ලැබිය නොහැකිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයේ ස්වරූපය විග්‍රහ වන මේ ධර්ම කාරණා හය වෙන වෙනම තේරුම් කර ගැනීමට උත්සාහ කළත් මෙහි ඇත්ත ස්වභාවය නම් කරුණු හයම එකට දම්වැලක් සේ පැවතීමයි.අපි මෙහිදී තේරුම් ගත යුතු වැදගත් කාරණය නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය ඥානවන්ත මනුෂ්‍යයෙකුට වුවමනා කරන්නේ සසර බොහෝ කාලයක් නිමක් නොකරන ක්ලේශ පරිදාහයන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීමටය. එසේ වූ ඥානවන්ත මනුෂ්‍යයෙකුට අනුගමනය කිරීමේදි ඇති නිරවුල් බව,අනුගමනය කිරීමට ආරම්භයේ සිටම එහි ඇති සාන්දෘෂ්ටික ඵලය නැතහොත් කල් නොයවා විපාක දෙන ස්වරූපය තමා තුළම දුක සහ එයට ප්‍රත්‍ය වූ ධර්මයන් ද ඒවායේ නිරෝධ කිරීමෙන් ලබන විමුක්තියද ස්ව සන්තානය තුළම දැක ගත හැකි ප්‍රත්‍යක්ෂ අවබෝධයයි. මේ සියල්ල එකිනෙක බැඳී පවත්නා ධර්ම පරියායක් ලෙස අවබෝධ කල හැකි වීම මෙහි විශේෂතාවයයි.

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]