UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ත්‍රෛ නිකායික මහ නාහිමිවරුන් ඇතුලු මහා සංඝ රත්නයේ පොසොන් සුබ පැතුම්

ආලෝකය සැපයීම නුවණැස ලැබීමට හේතුවන්නකි

සම්බුදුවරයෙක් ලොව පහලවන්නේ කලාතුරකිනි. ඒ දුර්ලභ අවස්ථාවක් ලෙස ධර්මයේ සඳහන් වන්නේ ඒ නිසාය. උන්වහන්සේගේ ධර්මය ඇසීමට, දැරීමට මෙන්ම ප්‍රගුණ කිරීමට ලැබීම ද අතිශය දුර්ලභ කාරණයකි. එම දුර්ලභ අවස්ථාවන් ලබා තිබෙන ලංකා වාසින් වන අපට මෙය තවත් වැදගත් වන්නේ දඹදිව අශෝක අධිරාජයාගේ සුජාත පුත්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ අවුරස පුත්‍ර වූ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ නිර්වාණගාමී නිර්මල බුදුදහම ලක්දිවට දායාද කර වසර 2320 ක් ගතවීම නිසයි.

බුදු දහමේ ආභාසය ලබා නිර්මාණය වූ නිර්මල සංස්කෘතියක් හා සභ්‍යත්වයක් ඇති ශිෂ්ටසම්පන්න අදීන ජාතියක් වශයෙන් සිංහල ජාතියේ අනන්‍යතාවය ලොව පුරා පැතිරවීමට මුල්වූයේ ඓතිහාසික මහින්දාගමනයයි. එයට සමගාමීව සිංහල භාෂාව, සාහිත්‍ය කලාව වැනි සංස්කෘතිකාංගයන් පෝෂණය වූයේ ද මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසයි.

සුවිශාල සමාජ පරිවර්තනයක්, ආධ්‍යාත්මික විප්ලවයක්, චින්ත ප්‍රබෝධයක් ලක්වැසියන් අතර ඇතිවීම නිසා ජනතාව සාමකාමී, සරල දිවිපෙවතකට හුරුපුරුදු වී ද්වේෂය, වෛරය වැනි දුර්ගුණයන් වෙනුවට මෛත්‍රිය, කරුණාව , ඉවසීම, අවිහිංසාව වැනි ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ගුණාංගවලින් පිරිපුන් ජාතියක් බවට සිංහල ජාතිය පත්විය. විහාරස්ථාන සිංහල සංස්කෘතියේ කේන්ද්‍රස්ථාන බවට පත්වීම නිසා අවිද්‍යාවෙන් මුලාවී පැවති දිවයින ධර්මාලෝකයෙන් ඒකාලෝක විය.

ධර්මයෙන්, විනයෙන් ශික්‍ෂිත මහා සංඝරත්නය නිර්මල දහම නිවැරදි අයුරින් සන්නිවේදනය කිරීම නිසාත්, ධර්මයේ ඇති සාන්දෘෂ්ඨික ,අකාලික හා ඕපනයිකාදි ගුණයන් නිසාත් සම්බුදු දහම රාජ්‍ය දහම බවට පත් කිරීමට උන්වහන්සේලාට හැකි විය.

2600 වන සම්බුද්ධත්වය ජයන්තිය සමරන මේ කාලවකවානු තුළ මහින්දාගමනය සමග ප්‍රඥාලෝකයෙන් ඒකාලෝක වූ මිහින්තලා පුදබිම විදුලියෙන් ආලෝකමත් කරන ලේක්හවුස් ආයතනය මෙවරත් එම කාර්ය සංවිධානය කරන්නේ 50 වන වතාවටය. “දීපදො හොති චක්ඛුදො” ආලෝකය සැපයීම නුවණැස ලැබීමට හේතුවන්නකි. එබැවින් මේ සත්කාර්යය සාර්ථකව ඉදිරියටත් කරගෙනයාමට ආශිංසනය කරණ අතර, උතුම් බුදුදහම අපට හඳුන්වාදුන් මේ වැදගත් පොසොන් පොහෝ දින සද්ධර්මයේ චිරස්ථිතිය සඳහා දාන ,ශීල, භාවනාදී ආමිස ප්‍රතිපත්ති පූජාවන් හි පිහිටා කටයුතු කිරීමට ගිහිපැවිදි සැමදෙනාම අධිෂ්ඨාන කරගන්නා ලෙස ශාසනාලයෙන් සිහිපත් කරමු.


මිහින්තලා ආලෝක පූජාව බොදු බැතිමතුන්ගේ සිත් පහන් කරවන පින්කමක්

දීපචක්‍රවර්ති ධර්මාශෝක මහරජතුමන්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරුණු අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ධර්මදූත පිරිසේ ලංකාගමනය සිහිපත් කෙරෙන පොසොන් පොහොය ශ්‍රී ලංකාවාසී බෞද්ධ පින්වතුන්ට අතිශය වැදගත් දිනයකි.

මහින්දාගමනය අපට වැදගත් වන්නේ ආගමික පුනර්ජීවයක් ලැබුණු නිසා ම නොවේ. ඒ හා සබැඳුණු ශක්තිමත් සංස්කෘතික දායාදයන් රැසක් ද මෙරට ප්‍රතිෂ්ඨාපිත වූ නිසාවෙනි. සියවස් 23 න් පුරා ලක්දෙරණ මත සිදුවුණූ ආගමික, සංස්කෘතික,දේශපාලනික මෙන් ම භාෂා සාහිත්‍යයන්ගේ ප්‍රවර්ධනයටද බෙහෙවින් උපස්ථම්භක වූයේ ද ප්‍රෞඩ ජාතියක් ලෙස අභිමානවත් ව නැගී සිටින්නට හැකියාව ලැබුණේ ද මහින්දාගමනය නිසා බව නොරහසකි.

අදින් වසර 2320 කට පෙර මිහින්තලාවෙන් ඇරඹි ලක්දිව මතු නොව දේශදේශාන්තරයන්හි ද පැතිර ගිය උතුම් බුදුදහමේ ආභාසයෙන් ගොඩ නැගුණු ඒ සුවිශිෂ්ට සිංහල බෞද්ධ සංස්කෘතිය, වර්තමානය වන විට අනතුරට පත් ව ඇති බව සිහිපත් කළ යුතුය. ආත්මාර්ථයෙන් හා තෘෂ්ණාවෙන් අන්ධ වූ ලාංකිකයන් සංස්කෘතික සාරධර්මයන්ට වඩා ධනය, බලය, නිලය අගය කොට සැලකීම මීට හේතුව වී ඇත. එහෙයින් මේ උතුම් පොසොන් පොහොය දිනයේ ආමිස පූජාවන්ට යොමු වීම සේ ම බෞද්ධ සාරධර්මයන් රකිමින් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුරදුන් ද අනුබුදු මිහිඳු හිමියන් ද පුදන්නට අධිෂ්ඨාන කර ගත යුතුවේ.

ඒ සමඟ ලේක්හවුස් ආයතනය මගින් මේ දක්වා වසර 50 ක් පුරා අඛණ්ඩව සිදු කළ මිහින්තලා ආලෝක පූජාව බොදු බැතිමතුන්ගේ සිත් පහන් කරවන පින්කමක් ලෙස අගය කරනු කැමැත්තෙම්හ. මිහින්තලා ආලෝක පූජාව මෙන් ම පොසොන් පොහොය නිමිති කරගෙන සමස්ත ශ්‍රී ලංකාවාසින් ම සිදු කරන සියලු සද්කාර්යයන් තෙරුවන් සරණින් හා ශ්‍රීමත් දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවායි ආශිංසනය කරම්හ.


අනාගත පරපුරටද මේ ධර්මය රක්‍ෂිත කොට දෙන ආරක්‍ෂකයන් බවට පත් වෙමු

අසමසම තථාගත සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව සත් සතියක්ම උතුම් වූ ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ ඇසුරු කරමින් ඒ ආසන්නවම අරහත් ඵල සමාපත්ති සුවයෙන්ම කල් ගත කළ බව ශාසන වංශකතාවේ සඳහන් වේ.

මෙයින් ‘චතුත්ථං රතනාඝරං’ යනු සතරවෙනි සතිය රුවන් ගෙයි පල සමවතින් වැඩ සිටිමින් තමන් වහන්සේ අවබෝධ කළ ධර්මය බෙදා සිහි කරන්නේ (අභිධර්ම දේශනාව) තම ශරීරයෙන් සවනක් ගණ බුදු රැස් බඹයක් පුරා විහිදී ගිය බව කියවේ. මෙසේ ප්‍රඥා විමුක්තිය ලැබූ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ අධි ප්‍රඥාවෙන් අවබෝධ කළ ඒ උතුම් ධර්මය ප්‍රත්‍යවේක්‍ෂා කොට තම ධර්මය හුදී ජනයා වෙත අවබෝධ කරවීම සඳහා සූදානම් වූයේ මෙයට 2600 වසරකටත් පෙර වූ පුන් පොහෝ දිනයකදී ය. එවන් වූ ධර්මය තෙවැනි වරටත් සංගායනා කරමින් තථාගත ධර්මය සුරක්‍ෂිත කොට පෝෂණය කළේ අපේ රටේ අද සිහි කරන අප දෙවෙනි බුදුන් සේ සලකනු ලබන මහා මහින්ද මහරහතන් වහන්සේගේ පිතෘ රත්නය වූ දඹදිව එක්සේසත් කළ ධර්මාශෝක මහාධිශ්වරයාණන් විසින් ය. ධර්මාශෝක මහරජු මේ අනුත්තර පරම සත්‍යය දහම් පණිවිඩය රටවල් නවයක් පුරා බෙදා හැරීමට ගත් උදාර සාසනික සේවාවේ දී අපේ රට ද එයට ඇතුළත් කොට ඒ වන විට පැවිදිව සිටි තම තරුණ පුතු ලවාම ශ්‍රී ලංකාව වෙත බුදු දහම ලබා දීමෙන් ධර්මාශෝක නරපතියාණන් ද අපට දක්වා ඇත්තේ මහත් සෙනෙහසකි.

මෙය බුදු වසින් තෙවනි ශත වර්ෂයේ තෙවෙනි දශකයේ දී පමණ සිදු වී ඇත. මෙවන් දිනයක මෙසේ උතුම් මිනිස් දහමත් රැගෙන අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේ අපේ රටට නොවැඩියා නම්..... අද අපේ මිනිස් සමාජය කෙවැන්නක් වනු ඇත්දැයි සිතා බැලීමට සුදුසුම දිනය අද දවස යයි මම සිතමි. එසේ වූයේ නම් අපිදු තිරශ්චිනයෝ වන්නෙමු ය. තිරිසනා වෙත ඇත්තේ සංඥා තුනෙකි. ඒ අවදි වූ වේලේ පටන් නින්දට යනතුරු ආහාර සොයා වෙහෙසීම නම් වූ ආහාර සංඥාව ද, හැකි හැම තප්පරයේම පංච ඉන්ද්‍රියෝ පිනවීමට ඇති කැමැත්ත නම් වූ කාම සංඥාව ද හා කොයි මොහොතේ තම මරණය සිදුවේ දැයි යනුවෙන් වූ මරණය භය නම් වූ මරණ සංඥාවද වෙති. සත්ව ගති ඇති මනුෂ්‍යයා තුළ ද ඇත්තේ මේ ත්‍රිවිධ සංඥාවෝම ය.

එදා සම්බුද්ධයන් වහන්සේ තමන් වහන්සේගේම ප්‍රඥාවෙන් අවබෝධ කොට වදාළ උතුම් වූ මනුෂ්‍ය ධර්මය, අනුබුදු මිහිඳු හිමියන් වෙතින් මේ රටේ ජනතාවට දේවානම් පියතිස්ස නිරිඳුන් ප්‍රමුඛකොට අනුරාධපුර මිහින්තලා අම්බස්තල කඳු මුදුන්හි සිට,

සමණාමයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා
තමෙව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා

යනුවෙන් දේශිතව වැඩම කොට වදාළ හෙයින්ම අපි වසර 2556 ලිඛිත ඉතිහාසයක් ඇති ශීලාචාර ශිෂ්ට සම්පන්න මනුෂ්‍ය ජාතියක් වෙමු ය.

එහෙයින්ම අරහත් මිහිඳු මහ හිමියෝ මෙහි වැඩියා යින් පසු පළමුකොට “ප්‍රේත වස්තු” දේශනාව පවත්වා පවට ලජ්ජා හා බිය ඇතිකොට “සබ්බ පාපස්ස අකරණං” පටිපදාවෙහි ද, හා “විමානවස්තු” වැනි දේශනා පවත්වා “කුසලස්ස උපසම්පදා” පටිපදාවෙහි ද හා “චුල්ලහත්ථිපදෝ පම – අනන්තලක්ඛණ” වැනි සූත්‍ර දේශනා පවත්වා “සචිත්ත පරියොදපනං” වැනි සේඛ පටිපදාවෙහි ද පිහිටුවා සියලු බුදුවරයාණන් වහන්සේලාම දෙසූ මේ දහම ප්‍රචලිත කොට අප මනුෂ්‍ය ධර්මයෙහි පිහිටුවනු ලැබුවෝ ය.

එවන් වූ ධර්මයක දායාද හිමි අපි ප්‍රතිපත්ති ධර්මයෙහි පිහිටමින් අනාගත පරපුරට ද මේ ධර්මය රක්‍ෂිත කොට දෙන ආරක්‍ෂකයන් බවට පත්වෙමුය යන පණිවිඩය මෛත්‍රී කරුණා සහගත සිත් පෙරදැරි කොට මෙසේ සටහන් කර තබමි. එහෙයින් අපේ රටේ අනිකුත් ආගම් අදහන්නන් හා ජාතීන් ද ආක්‍රමණසීලි ප්‍රතිපදාවන්ගෙන් මිදී මේ උත්තරීතර මනුෂ්‍ය ධර්මය රැක ගැනීමට කොටස්කරුවන් වීමද ඔබේ මනුෂ්‍යකමටම ඇතුළත් බව මෙහිලා සිහිපත් කරමි.


ජන හදවත් තුළ නොමියෙන දිනයක්

අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේගේ ශ්‍රී ලංකා ගමනය සිහිපත්කොට උන්වහන්සේ වෙත කෘතවේදිත්වය පල කරනු වස් ශ්‍රී ලංකා වාසී ජනතාව පෙළ ගැසෙන උත්තම වූ පොසොන් පොහෝ දිනය අප හැමට තවත් අසමසම වු ආගමික පූජෝත්සව සහිත දිනයකි.

ශ්‍රී ලාංකික ජනතාවගේ පූර්‍ණ ආගමික හා ශාසනික මෙන්ම සංස්කෘතික පෙල ගැස්මට උපකාරීවූ මෙම දිනය අප සිහිපත් කරනුයේ තවත් වෙසක් දිනයක් හා සමානවමය. ඒ තරමටම අප ජනහදවත්වලට මෙකී දිනය සමීපය.

ශ්‍රී ලාංකිකත්වය සිංහලකම හා බොදු බැතිය තව තවත් ඔප කරන ආගමික උත්සවයක් ලෙසින් සැමරීමට සියලු කල්හිම රාජ්‍යත්වය හා ජනතාව පෙල ගැසී සිටී. මෙතුළින් අප හදවත් තුළ ඇතිවන ආගමික ප්‍රබෝධය තවත් සියවස් ගණනාවක් සිංහල ලකුණ සනිටුහන් කරනු ඇත.

කරුණාපරවශ බව, මිනිස්කම, අන්‍යෝන්‍ය ආගමික සුහදතාව ආදිකොට ගත් දහසකුත් උත්තුංග මිනිස් ගුණාංග ඉස්මතුකොට දක්වන මෙම පොසොන් දිනය ශ්‍රී ලාංකික ජන හදවත් තුළ නොමියෙන දිනයකි.

මිහින්තලා පුණ්‍ය භූමියෙන් එදා විහිද ගිය දහම් ස්වරය නොවන්නට අපට අපගේ ශ්‍රේෂ්ඨත්වය ලොවට හඬ නඟන්නට ඇත්තේ අන් කවර දෙයක්දැයි සිහි කරනු වටී. සැබවින්ම අපි මුලු ලොවට දහම බෙදා දීමට ශක්තිමත්ව සිටින්නෙමු. අන් කවරදාටත් වඩා සදහම් සුවඳ ජනහදවත්වලට අවශ්‍යවී ඇත. ඒ තරමටම අප සැමට ජීවිතයේ නිස්සාරත්වය මෙම වකවානුවෙහි පසක්වී ඇත. ස්වභාව ධර්‍මයේ රැවුම් ගෙරවුම් තුළ අපට කවර නම් පිහිටෙක්දැයි සිහිපත්වූ වාර ගණන ගිනිය හැකි තරම්ය. මිනිසා විසින්ම ස්වභාව ධර්‍මයට කළ කෙනෙහිලිකම් අන් කවරදාටත් වඩා අපට දැනෙමින් පවතී. එතෙක් මෙතෙක් ලොව තුළ පැවති මහා සම්පත් ක්‍ෂයවී යන අයුරු විද්වත්හු ප්‍රකාශ කරති. එතුළින් අපට පසක්වන්නේ ධර්‍මයේ සඳහන් ත්‍රිලක්ෂණයයි.

මේ සියල්ල සිහිපත්කොට ධර්‍මයේ ඇසුර වඩවඩාත් සමීප කරවන්නට සුදුසුම යුගය මෙයයි. බුදුරදුන් වදාළ මිහිඳු මහ රහතන්වහන්සේ අපට දායාද කළ ධර්‍මයේ පහස අන් කවරදාටත් වඩා අවශ්‍යව ඇත්තේ එබැවිනි. සැවොම නැනසින් දහම දකිත්වා’ ධර්‍මය තුළින් දිවි සරු කෙරේවා! අපගේ දිවි මඟ සරුකර ගැනුමට සසරින් එතෙර වන්නට ඇත්තේ ධර්‍මයේම පිහිටය. නොපමා බවින් කටයුතු කෙරේවා’ උතුම් පොසොන් පොහෝ දිනයේ හරය වැටහේවා’

සැමට සම්මා සම්බුදු සරණයි!


බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් සිදු කරන මාහැඟි සත් ක්‍රියාවකි

මහින්දාගමනයෙන් පසුව උදා වූ 2319 වන පොසොන් පොහොය අදයි. ශ්‍රී ලාංකික පොදු ජන හදවත් සැදැහැයෙන් පුරවා ලූ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ඒ උදාරතර වූ ගුණය සිහිපත් කරමින් විවිධ වූ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වීම් මෙම උතුම් පොහොය මුල් කරගෙන සිදු කරනු ලබයි. ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය ද ඒ උතුම් මොහොත සිහිපත් කරමින් විවිධ වූ පින්කම් සංවිධානය කරන්නේ සැදැහැයෙනි.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ද මෙවරත් ඒ උතුම් පින්කම් සාර්ථක කරගැනීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර ඇත.1962 දී එවක ලේක්හවුස් ආයතනයේ ආදි කර්තෘ ඩී.ආර්.විජේවර්ධන මැතිතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන්නට යෙදුන මිහින්තලා ආලෝක පූජාව මේ වර්ෂය වන විට පනස්වැනි ජයන්තිය සමරන්නේ බුද්ධාලම්බන පී‍්‍රතිය මුල්කරගෙනයි. අඩු පහසුකම් යටතේ ඉතා දුෂ්කරව, එවක මිහින්තලා රජමහා විහාරාධිපතිව වැඩ සිටි වළවාහැංගුනවැවේ ශ්‍රී රතනජෝත්‍යාභිධාන නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනාව අනුව ආලෝක පූජාව පවත්වා ඇත. එදා සිට මේ දක්වා ආ ගමනයේදී ලේක්හවුස් ආයතනයේ මේ පින්කම ආලෝක පූජාවට පමණක් සීමා නොකර ක්‍රමයෙන් විහාරස්ථානයේ දියුණුව මෙන්ම මෙම ප්‍රදේශයේ දියුණුව ද අපේක්‍ෂාවෙන් කටයුතු රැසක්ද දියත් කර ඇත.ඒ සියල්ල සිහිපත් කරන්නේ පුණ්‍යානුමෝදනා පූර්වකය. අතිගරු ජනාධිපතිතුමාගේ කාරුණික මඟ පෙන්වීම යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණයෙන් පෞරාණිකත්වය ආරක්‍ෂා වන අයුරින් මෙම පින් බිමට සංවර්ධන කටයුතු තහවුරු කිරීම හා සංරක්‍ෂණ කටයුතු මේවන විටත් සිදු කරමින් පවතී. එය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් සිදු කරන මා හැඟි සත් ක්‍රියාවකි.

ලංකාවේ සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර ආයතනය ලංකා විදුලිබල මණ්ඩලය සම අනුග්‍රහයෙන් යුතුව පැවැත්වෙන මිහින්තලා ආලෝක පූජාව සාර්ථක කරගැනීම උදෙසා ආරක්‍ෂක අංශයේ රාජ්‍ය සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන හා ස්වේච්ඡා සංවිධාන ආදි බොහෝ සංවිධාන හා ආයතන වල මැදිහත් වීම නිරන්තරයෙන් සිදුවේ. මේ සියලු කටයුතු අවසානයේ පෙළගැසෙනුයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ උදාරතර සේවාවට කෘත්‍යෝපකාරයක් ලෙසටය. මේ උතුම් පින්කම සාර්ථක කරගැනීමට කැප වූ මහන්සි වූ සැමට උතුම් රත්නත්‍රයේ ආනුභාවයෙන් නිදුන් නිරෝගීතාවය උදාවේවාය යන්න මාගේ පැතුමයි.

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]