UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වසර 2319 ක් සපිරුනු මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 259 ක් සපිරෙන

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උපසම්පදා පුණ්‍යෝත්සවය

සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා හා සියලුම භික්ෂු, භික්ෂුණීන් විසින් ලැබියයුතු ශීලයන් අතුරෙන් අතිශ්‍රේෂ්ඨතම ශීලය උපසම්පදා ශීලය යි. සම්බුද්ධ ශාසනය ස්ථිරව පවත්වා ගැනීමට නම් මෙම උපසම්පදාව ලැබූ භික්ෂූන් වහන්සේ වැඩ විසිය යුතුමය.

සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උපසම්පදාව අදට වසර 2601 කට පෙර භාරත දේශයේ බුද්ධගයාවේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස බුද්ධත්වයට පත්වීමත් සමඟම සිදුවූයේ යැයි මිලින්ද ප්‍රශ්නයේ සඳහන් වේ. ආරම්භයේදීම සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් උපසම්පදාව ලබාදුන් නමුත් පසුව භික්ෂූන් වහන්සේගේ පහසුව හා අනාගත චිරස්ථිතිය සඳහා භික්ෂු සම්මතයෙන් උපාධ්‍යයන් වහන්සේ මුල්කොට උපසම්පදා භික්ෂූන් වහන්සේ විසින්ම උපසම්පදාව සිදුකළ යුතුය. එවන් උපසම්පදා භික්ෂූන් වහන්සේ නිසාම සම්බුද්ධ ශාසනය පවත්නේය.

උපසම්පදාව නැතිවිට ශාසනය ද නොපවතී. “ විනයෝ නාම සාසනස්ස ආයු, විනයේ ධිතෙ සාසනං ධිතං හොති” විනය නම් හික්මීමයි. හික්මීම යනු ශීලයයි. එම ශීලයෙහි උපරිම ශීලය උපසම්පදා ශීලයයි. මෙම උපසම්පදා ශීලය පැවතීම සම්බුද්ධ ශාසනයේ ආයුෂයයි. හෙවත් පැවැත්මයි.

එකී උපසම්පදා ශීලය පිහිටි කල්හිම ශාසනය පිහිටියේ වේ. උපසම්පදා ශීලය වශයෙන් සැලකෙන්නේ චතුපාරිශුද්ධි ශීලය යි. එනම් නවදහස් එකසිය අසූකෙළ පන්ලක්ෂ තිස් හයක් ශික්ෂාවෙන් යුක්ත ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය අධිශීලය නම් වේ.

කෙතරම් බහුශ්‍රැත, විනයධර, ධර්මධර හා ධ්‍යානාදියෙන් සමන්විත වූයේ සැටවස් සපිරුණු උපසම්පදා නොවූ රහතන් වහන්සේ පවා උපසම්පදාව ලැබූ පෘථුග්ජන නවක භික්ෂුවට වැඳුම්, පිදුම්, සත්කාර, සම්මාන කළයුතුයැයි සඳහන් වන්නේ මෙම උපසම්පදා ශීලයෙහි ඇති උත්තරීතර භාවය නිසාමය. එහෙයින් දෙව් බඹුන් ඇතුළු සකල සත්වයාත්, උපසම්පදා වූ භික්ෂූන් උපසම්පදාව ලැබූ දින සිට වස් ගණන අනුව උපසම්පදා භික්ෂූන් වහන්සේට දැක්වියයුතු සැළකිලි ගෞරව ආදිය මොනවට පැහැදිලි වේ.

අකුශලයන්ගෙන් වළක්වා කුශලයෙහි පිහිටුවීම හෝ සාමණේර භාවයෙන් මුදවා උසස්ම ගුණයයැ යි කියන ලද මෙම උපසම්පදා විනය කර්මය නිසාම සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යාමට සුදුසු බුද්ධ පුත්‍රයාණෝ පහළවෙති. මෙම උපසම්පදා විනය කර්මය භාරතයේ මධ්‍ය දේශයේ සිදුකළ හොත් භික්ෂූන් දස නමක් වත් සිටියයුතු අතර එයින් බැහැර ප්‍රදේශවල විනයධර භික්ෂූන් වහන්සේ නමක් සහිතව භික්ෂූන් වහන්සේලා පස් නමකගෙන් යුක්තවිය යුතුය.

ලක්දිව උපසම්පදාව

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ උපසම්පදා භික්ෂූන් වහන්සේ පස්නමක් කැටුව බු : ව : 236 දී බු : ව : 235 දී ශ්‍රී ලංකාද්වීපයේ අනුරාධපුරයේ මිහින්තලාවට වැඩම කොට දේවානම්පියතිස්ස මහරජතුමාගේ පූර්ණ අනුග්‍රහය ලබාගෙන අනුරාධපුර මහාවිහාර සීමාව තුළ ග්‍රාමසීමාවක් සම්මත කොට සුමන සාමණේරයන් වහන්සේ ප්‍රථමයෙන් උපසම්පදාවට පත් කළහ. මෙය ලක්දිව සිදුකළ ප්‍රථම උපසම්පදා විනය කර්මය යි. මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ආරම්භ වූ අනුරාධපුර මහා විහාරයේ දී සිදුකළ ප්‍රථම උපසම්පදාව මහාවිහාර උපසම්පදාව නමින් ප්‍රකටව වලගම්බා රජු සමය දක්වා නිරුපද්‍රිතව පැවතගෙන ආ බව ඓතිහාසික ශාසනික හා සාහිත්‍යාගත වාර්තාවලින් මනාව පැහැදිලිවේ.

වලගම්බා රාජ්‍ය සමයෙහි මහා විහාරයෙන් වෙන්වූ භික්ෂු පිරිසක් අභයගිරි නමින් ද මහසෙන් රජ සමයෙහි අභයගිරියෙන් වෙන්වී ගිය භික්ෂූහු ජේතවනය නමින් ද නිකායක් පිහිටුවා ගෙන ඒවායෙහි ද උපසම්පදා විනය කර්ම සිදුකළහ.

සොළී ආක්‍රමණ නිසා ගජබා රාජ්‍ය සමය වනවිට ශ්‍රී ලංකාවට පැමිණි සොලීන් ශ්‍රී ලාංකිකයන් 12000 ක් ද පාත්‍රා ධාතූන් වහන්සේ හා දේවාහරණ ද එරටට ගෙනගිය බවත් 1 ගජබා රජතුමා එකී සොළී රටට සුවිශාල සේනාවක් සමඟ ගොස් එම පාත්‍රධාතුන් වහන්සේත්, දේවාහරණත්, ලාංකිකයන් 12000 ක් සොළීන්ගෙන් 12000 ක් යන 24000 ක් සෙනඟ ගෙනවුත් නැවතත් සිංහල රාජ්‍යයත්, සම්බුද්ධ ශාසනයත් නගා සිටුවමින් පෙරහැර ආදිය ද පවත්වන මොහොතේ එයින් අසීමිත සතුටට පත් භික්ෂූන් වහන්සේ රජතුමාගේ විජයග්‍රහණය අගය කරමින් “ ගාමිනී අභය යුදජි” යුද්ධ ජයග්‍රාහක ගාමිනි අභය” යන ගෞරව නාමයෙන් රජතුමා දිරි ගන්වමින් කටයුතු කළ ආකාරය ක්‍රි : ව: 112 මින්විලූ සෝමවතී සෙල් ලිපියෙහි සඳහන් වේ.

එසේම ක්‍රි. ව. 164 දී කනිට්ඨතිස්ස රජතුමා අභයගිරියෙන් භික්ෂූන් වහන්සේ වැඩමවා රෝහණයේ වර්තමාන පොළොන්නරුවෙන් සෝමවතී චෛත්‍යස්ථානයෙහි සිදුකරණ ලද ආගමික කටයුතුත් අංග සම්පූර්ණ රාජකාරි ක්‍රමයත්, මණිඅගිය පොහොය සීමාව, විහාර ආදිය සංරක්‍ෂිත කළ අයුරුත් සුවිශාල සෙල්ලිපි 3 ක් පිහිටුවමින් කහවණු 500 ක් ( රන් පවුම් 4000 ) වැනි සුවිශාල දඩ නියම කරමින් එකී දඩ මුදල් පවා එම විහාරස්ථාන දියුණුව සලසමින් සිදු කරන ලද ශාසනික සංග්‍රහයන් තුළින් නැවතත් ශාසනික හා ජාතික දියුණුව සැළසුනු අතර මහසෙන් රාජ්‍ය කාලයේ ද සිදුවූ ශාසනික විනාශයත්, නිසා මහාවිහාර උපසම්පදාව පරිහානියට පත්වුව ද අභයගිරි විහාර උපසම්පදාව දියුණු තත්වයට පත්වූ නමුත් නැවත නැවතත් සොළී ආක්‍රමණත්, සිංහල රාජ්‍යයේ අස්ථාවරත්වය නිසාත් ජාතික, ආගමික, සංස්කෘතික හා ශබ්ද ශාස්ත්‍රත්, සාහිත්‍ය කලාශිල්ප ආදියත් අන්ත පරිහානියට පත් විය.

අනුරාධපුර යුගය අවසන් වෙනවාත් සමඟම උපසම්පදා භික්ෂූන් 5 නමක් වත් සොයා ගැනීමට නොහැකි වු හෙයින් පොළොන්නරුවේ මහ විජයබා රජතුමා රක්ඛංක දේශයෙන් භික්ෂූන් ගෙන්වා උපසම්පදාව පිහිට වූ අතර මහා විහාරය, අභයගිරිය, ජේතවනය යන නිකායත්‍රයම මහා පරාක්‍රමබාහු රජතුමා සමඟි කොට නැවතත් මහාවිහාර උපසම්පදාව තහවුරු කරවීය. දඹදෙණි කතිකාවත ද කරවූ 2 පරාක්‍රමබාහු රජතුමා මහවැලිගඟ දහස්තොට දී උපසම්පදාව සිදුකරවා “රාජ සම්මතයෙන් එකම ස්ථානයක උපසම්පදාව සිදුකළ යුතුයැයි ව්‍යවස්ථාවක් ද පැනවීය.

යාපහුනුවර 1 බුවනෙකබා රජු ද, ඇතුගල්පුර 2 බුවනෙකබා රජු ද, රාජනියෝගයෙන් ම උපසම්පදාව සිදුකළ අතර ගම්පොළ 3 වන බුවනෙකබා රජු ද, ගම්පල මෙහෙණවර වංශාභිජාත වීරබාහු රජු ද, ජයවර්ධනපුර කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු රජු ද උපසම්පදා විනය කර්මයන් සිදු කරවූ අතර සෙංකඩගල වීරපරාක්‍රම රජුගේ කාලයේ දී මහවැලි ගංතොට දී ධර්මකීර්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ද උපසම්පදා විනය කර්ම සිදු කළහ. මහනුවර රාජධානි සමයේ 1 විමලධර්මසූරිය රජු කල ලක්දිව උපසම්පදා භික්ෂූන් නොසිටි හෙයින් රක්ඛංක දේශයෙන් භික්ෂූන් වහන්සේලා 33 නමක් ගෙන්වා උපසම්පදාව පිහිටවූ බව සඳහන් වේ.

6 වෙනි පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ දී මහා විහාර උපසම්පදාව සියමට හා 6 බුවනෙකබාහු රාජ්‍ය සමයේ දි බුරුමයටත් ලංකාවෙන් උපසම්පදාව ගෙනගිය බව ඓතිහාසික වාර්තාවල හා කල්‍යානි ශිලා ලිපියෙහි සඳහන් වේ.

මේ අයුරින් රාජාරාජ මහාමාත්‍යාදීන් විසින් සම්බුද්ධ ශාසනයේ පැවැත්ම උපසම්පදාව නිසාම සිදුවන හෙයින් අසීමිත ගෞරවාදර භක්තියෙන් උපසම්පදාව පිහිටුවීමට උදාරතර ප්‍රයත්නයක යෙදුනු බව කිවයුතුය. එහෙත් වරින්වර රාජානුග්‍රහය නොලැබුණු නිසාත්, රටේ පැවති අභ්‍යන්තර හා බාහිර උවදුරු නිසාත් උපසම්පදාව සමඟම සම්බුද්ධ ශාසනය ද පරිහානියට පත්වීම නොවැලැක්විය හැකිවිය. මෙසේ අනුරාධපුර යුගයේ සිටම දියුණු වෙමින් හා පිරිහෙමින් පැවති සම්බුද්ධ ශාසනයත් ශබ්දශාස්ත්‍රත් අන්ත පරිහානියට පත්වූ මහනුවර යුගයේ දී වැලිවිට අසරණ සරණ සරණංකර සාමණේරයන් වහන්සේ පහළවූහ.

ස්‍යාමෝපසම්පදාව

සම්බුද්ධ ශාසනයත්, ශබ්දශාස්ත්‍රත්, සිංහල සංස්කෘතියත් පරිහානියට පත්ව එකම උපසම්පදා නමක්වත් නොවූ යුගයක ජාතියේ පිනට පහළවූ වැලිවිට අසරණ සරණ සරණංකර සාමණේරයන් වහන්සේ ධර්මවිනය ඉතා දුකසේ උගෙණ නියමකන්ද ස්ථානයේ විද්‍යාස්ථානයක් පිහිටුවා සිල්වත් සමාගම නමින් ඇති කරගත් ශිෂ්‍ය පිරිසට ධර්මවිනය ශබ්ද ශාස්ත්‍ර උගන්වමින් සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවත්නේ උපසම්පදා භික්ෂූන් වහන්සේ නිසාමයැයි යන වදන නිතර සිහියට නැගු මුන් වහන්සේ උපසම්පදා භික්ෂූන් වහන්සේගෙන් හිස්වු ශ්‍රී ලංකාද්වීපයට විදේශයකින් හෝ උපසම්පදාව ගෙන ආ යුතුයැයි අධිෂ්ඨාන කර ගත්හ. මේ බව නරේන්ද්‍රසිංහ රජුට කීපවතාවක් දැන්වූ නමුත් ඉන් ප්‍රතිඵලයක් නොවූයෙන් සිය අදහස් සඵල කර ගැනීමට සුදුසුවන සේ ශාසන ඉතිහාසය පාලියෙන් ලියා විදේශයකට යැවීමට සුදුසු සන්දේශ ලියා තැබූහ. ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ විජය රාජසිංහ රජුගෙන් අනුග්‍රහය ලබාගෙන ලන්දේසි නැවකින් පේගුනුවරට ගිය දූත පිරිස කුණාටුවකට හසුවී ජීවිත ගණනාවක් විනාශයට පත්වීම නිසා ගමන අසාර්ථක විය.

එයින් අධෛර්යයට පත් නොවූ සරණංකර සාමණේරයන් වහන්සේ දෙවන වරට ද රාජ්‍යානුග්‍රහය ලබාගෙන නැවත වරක් සියම් රටට දූත පිරිසක් යැවූ නමුත් විජය රාජසිංහ රජුගේ මරණය නිසා මේ ගමන ද අසාර්ථක විය. දෙවරක්ම යැවූ දූත ගමනට සිල්වතුන් පස් දෙනා බැගින් යවන්නට ඇත්තේ එම රටවල දී හෝ උපසම්පදාව ලබාගෙන ලක්දිවට අවුත් නැවත උපසම්පදාව පිහිටුවීමේ අදහසින් විය හැක. නමුත් එසේ සිදුවිය යුත්තක් නොවේ.

මිහිඳු මහ රහතන් වහන්සේගේ පටන්ම මහනුවර සමය තෙක්ම වරින්වර උපසම්පදාව ලක්දිව උපසම්පදාව පිහිටුවීමට එම රටවලින් උපසම්පදා භික්ෂූන් වහන්සේ වැඩම කළා මිස එම රටවලට ගොස් එහිදී උපසම්පදාව ලබාගෙන මෙරටට වැඩමවා උපසම්පදාව පිහිට වූ බවක් කිසි තැනක සඳහන් නොවේ. එම ගමන් දෙකම අසාර්ථක වීමට මෙයද හේතුවූයේ යැයි සිතිය හැක.

මේ පිළිබඳව නන් අයුරින් කල්පනා කළ සරණංකර සාමණේරයන් වහන්සේ ස්වකීය ශිෂ්‍ය කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමාගේ අනුග්‍රහය ලබාගෙන සියම් දේශයෙන් උපසම්පදාව ගෙන ඒම සඳහා විල්බාගෙදර රාළ ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස සියම් රටේ පරම ධාර්මික රජු බැහැ දැක පඬුරු හසුන්පත් පුද කිරීමෙන් අනතුරුව අසීමිත සතුටට පත් රජතුමා උපාලි හිමියන් ප්‍රධාන භික්ෂූන් 21 නමක් ද, සාමණේරයන් වහන්සේලා 8 නමක් ද ඇමතිවරු 3 දෙනෙක් යන 32 ක් වූ පිරිස 1752 දී ලංකාවට පිටත්කර එවූහ.

වැලිවිට සරණංකර හිමියන් හා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් මේ පිරිස පිළිගෙන මෙතෙක් බලාපොරොත්තු වු උපසම්පදාව රජතුමා විසින් පූජා කරන ලද මල්වත්තෙහි සම්මත කරන ලද විසුංගාම සීමාවේදී රා : ව : 1753 ජූලි 15 ඇසළ පුණු පොහෝ දින සිදු කිරීමට කටයුතු යෙදවීය.

මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පිහිටුවා වදාළ මහා විහාර උපසම්පදාව ශ්‍රී ලංකාවේ සිට සියම් දේශයට හා බුරුම දේශයට රැගෙන ගිය ආකාරය මුලදී සඳහන් විය. එසේ රැගෙන ගිය උපසම්පදාවම නැවතත් සියම් දේශයෙන් ගෙනවුත් උපාලි මහතෙරුන් ගේ උපාධ්‍යායත්වෙයන් හා බ්‍රහ්මජෝති, මහාපුඤ්ඤ යන තෙරවරුන්ගේ කර්මාචාර්යත්වයෙන් සියම් රටින් වැඩම වු නාග නම් සාමණේරයන් වහන්සේ පළමුව උපසම්පදා කොට ඒ සමඟම කොබ්බෑකඩුවේ, වැලිවිට තිබ්බටුවාවේ, හුලංගමුවේ, බඹරදෙණියේ හා අස්ගිරි විහාරයේ නාවින්නේ යන සාමණේර සය නම උපසම්පදා කළහ. මෙම වර්තමාන ලංකා සම්බුද්ධ ශාසනයේ ප්‍රථම උපසම්පදාවයි. වසර 50 ක් පමණ කාලයක් මුළුල්ලෙහි අභාවයට පත්ව තිබු ශාසන ජීවය වූ මේ ශ්‍රේෂ්ඨ විනය කර්මය සිදු කිරීමෙන් සරණංකර සාමණේරයන් වහන්සේ පමණක් නොව ශ්‍රී ලංකා ධරණී තලයම සාතිශය ප්‍රමෝදයට පත්විය.

මෙයින් ප්‍රමුදිත භාවයට පත් කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමා උපසම්පදාව බොහෝ කාලයක් පවත්වා ගැනීමේ අභිලාෂයෙන් සියම් රටේ පරම ධාර්මික රජතුමාගේ අදහස් ද සලකා මල්වතු අස්ගිරි උභය මහා විහාරවාසී භික්ෂූන් වහන්සේ රැස් කරවා උන්වහන්සේලා මධ්‍යයෙහි මෙවන් ශාසනික කටයුත්තකට මුල්වූ වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර හිමියන්ට සංඝරාජ ධූරය 1760 දී පිරිනමන ලදී.

අනතුරුව සරණංකර සංඝරාජ මාහිමියන්ට වස් දොළසක් සම්පූර්ණ වු රා : ව : 1765 දී ලාංකික භික්ෂූන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදු කරන ලදී.

සංඝරාජ මාහිමියන් වහන්සේගේ උපදෙස් පරිදි ඉමහත් දුෂ්කරත්වයෙන් ආරම්භ කරන ලද උපසම්පදාව හා සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කර ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධ රක්ඛිත හිමියන්ට උපොෂිත පුෂ්පාරාම (පෝය මළුව - මල්වත්ත) යන විහාර දෙකේ මහානායක පදවිය ද උරුලෑවත්තේ ධම්මසිද්ධි හිමියන්ට හයගිරි විජයසුන්දරාරාම ( අස්ගිරි – විජයසුන්දරාරාමය ) යන විහාර දෙකේ මහානායක පදවිය ද පිරිනමන ලදී.

මෙසේ සංඝරාජ පදවියත්, මහානායක පදවි දෙකත් පත් කරමින් අස්ගිරි මහා විහාරයේ ද උපසම්පදාව පිහිටුවා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියත්, උභය මහා විහාර මහා සංඝයා වහන්සේගේ සාමග්‍රියත් යම් දිනක එක විහාරයක උපසම්පදාව අභාවයට ගියහොත් අනෙක් විහාරයෙන් ගෙනවුත් උපසම්පදාව පිහිටුවා උපසම්පදාව අඛණ්ඩව පවත්වා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කරන ලද උත්තරීතර මහා ශාසනෝපකාරයකි.

මේ අයුරින් ස්‍යාමෝපසම්පදාව ශ්‍රී ලංකාද්වීපයේ පිහිටුවීම නිසාම වර්තමාන සම්බුද්ධ ශාසනයත්, ශබ්ද ශාස්ත්‍රත්, බෞද්ධ සංස්කෘතිය හා ජාතික ලක්ෂණත් වසර 258 ක් මුළුල්ලෙහි දිනෙන් දින දියුණු වෙමින් අද සකල ලෝකයාගේම ආදර ගෞරවයට පාත්‍රව පවතී. මෙවන් අති උදාර තත්ත්වයකට පත්වූයේ ජාතියේ පිනට පහළ වූ බෝධිසත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයත්, ශ්‍රද්ධාවත්, ප්‍රඥාවත් නිසාම බව කිව යුතුය. උන්වහන්සේගෙන් මෙවන් උදාරතර සේවයක් මහනුවර මල්වතු මහා විහාරය මුල්කොට නොවන්නට අපේ වර්තමාන ධර්ම ශාස්ත්‍රීය ස්වරූපය වෙනස් මඟකට යොමු වන්නට ඉඩ තිබුණි.

එහෙයින් වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේට මුළු මහත් රටේත් ජාතියේත් ගෞරවනීය ප්‍රණාමය හිමිවිය යුතු අතර ජීවිත පරිත්‍යාගයෙන් අපමණ දුෂ්කරතා මධ්‍යයේ කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමාගේ රාජකීය මල්වත්ත මල්වතු මහා විහාරය බවට පත්කරමින් එකී පොහොය සීමාව මුල්කොට පිහිටුවා වදාළ සම්බුද්ධ ශාසනයේ ජීවය වූ වසර 2600 ක් මුළුල්ලෙහි පවත්නා උපසම්පදාව (උපසම්පදා භික්ෂූන් වහන්සේ) සකල බෞද්ධ ලෝකයා විසින් සදා ආරක්ෂා කරගත යුතුමය.

මෙවන් ශ්‍රේෂ්ඨ උපසම්පදා විනය කර්මය මෙම වෙසක් පුර පසළොස්වක් පොහෝ දින මහනුවර මල්වතු මහා විහාරයීය රාජපූජිත මංගල උපොෂතාගාරයේ දී 259 වන වරටත් පැවැත්වීම ඓතිහාසික සිද්ධියක් වන්නේ අනුරාධපුර මහා විහාරයේ දී මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම් පියතිස්ස මහරජතුමාගේ සහෝදර අරිට්ඨ කුමාරයන් ඇතුළු රාජකීය පිරිස පැවිදි උපසම්පදා කරමින් ආරම්භ කළ මහා විහාර උපසම්පදාව 2319 වන වරටත් පවත්වාගෙන ඒමයි.

රා : ව : 1753 සිට මේ දක්වාම එම මහාවිහාර උපසම්පදාවම මල්වතු මහා විහාරය තුළින් සිදුකරන අති ශ්‍රේෂ්ඨතම ශාසනෝපකාරය යි. එම නිසාම මල්වතු මහා විහාර උපසම්පදාවට” මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උපසම්පදාව“ යැයි භාවිතා කරති. මෙතෙක් රාජ්‍යානුග්‍රහය ලැබ හෝ නොලැබ වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන මෙම උදාරතම උපසම්පදාව සම්බුද්ධ ශාසනයේ ජීවය හෙයින් මෙවර 2601 සම්බුද්ධ ජයන්තිය නිමාවට සමගාමීව 2601 වන වරටත් 300 කට අධික ලක්දිව නොයෙක් ප්‍රදේශවලින් පැමිණෙන සාමණේරයන් වහන්සේලා 2012 මැයි 5 දින වෙසක් පුර පසළොස්වක පොහෝ දින පටන් ජුනි 04 පොසොන් පොහෝ දිනය දක්වා කාලය තුළ දින පතාම උපසම්පදා විනය කර්මය සිදු කරමින් පොහෝ දින පහේ දී වාහළ නාග නාමයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිට මල්වතු මහා විහාරයටත් අස්ගිරි මහා විහාරයටත් ( මැයි 5, 12, 20, 28, හා ජුනි 04 ) දිනයන්හි හස්ථිරාජයා පිට තබාගෙන ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමෙතුමා විසින් සූදානම් කරවන දර්ශනීය පෙරහැරකින් වැඩමවා පරම පුජනීය මහානායක මාහිමියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලබා දෙති.

මේ අයුරින් උභය මහා විහාරයේ වාහල නාග නාමයෙන් 10 නමක් සාමණේරයන් වහන්සේලා පෙරහර සහිතව උපසම්පදා කරන අතර සෙසු සමාණේරයන් වහන්සේලා ද පෙරහර රහිතව ඒ අයුරින්ම උපාධ්‍යාය කර්මාචාර්යයන් වහන්සේලා 80 නමකින් සමන්විත මහා සංඝ රත්නය තුළින් උපසම්පදාව ලබා දීම පෞරාණික චාරිත්‍රානුකූලව සිදු කරති.

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]