UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මුල් සාකච්ඡා වලින් අනතුරුව රජුගේ නැණවත් බව පසක් කොට දේශනා කිරීමට තෝරාගත් සූත්‍ර ය ද භික්ෂුව කෙරෙහි පැහැදුනු රජුගේ සිත තව දුරටත් තෙරුවන කෙරෙහිම ප්‍රසාදය ජනිත කරවන්නක් විය. මජ්ඣිමනිකායට අයත් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේවානම් පියතිස්ස රජු ප්‍රමුඛ හතළිස් දහසක් වූ පිරිසට ධර්ම දේශනා කිරීම පිණිස තෝරාගත් මුල්ම සූත්‍රය වේ. මෙම සූත්‍රය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතය.

කාලිංග යුද්ධයෙන් විනාශයට පත් දහස් සංඛ්‍යාත ජීවිත නිසා තැවුණු දැවුණු හදවතින් පෙලුනු මෞර්ය අධිරාජ අශෝකයන් ශාන්ත ගමනින් හා නිවුනු ගතින් වැඩම කළ නීග්‍රෝධ සාමණේරයන් දැකීමෙන් හා උන්වහන්සේගෙන් බණ ඇසීමෙන් ලත් සැනසුම බුදුදහම වෙත ඔහු නැඹුරුවීමට ප්‍රමුඛ හේතු වූ අතර බුදුසසුනේ චිර පැවැත්ම අරභයා ද උපස්ථම්බක වූ කරුණක් විය.

ඒ අනුව ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවසේ අශෝකයන්ගේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ හා මොග්ගලිපුත්ත තිස්ස හිමියන්ගේ පුරෝගාමිත්වයෙන් පැවැත් වූ තෙවන සංගීතිය ධර්මයේ චිර පැවැත්මට පමණක් සීමා නොවූ අතර එහි සෘජු ප්‍රතිඵලයක් ලෙසින් දියත් වූ ධර්මදූත ව්‍යාපාරය හේතුවෙන් බුදුදහම ජාත්‍යන්තර ආගමක් ලෙසින් ද ව්‍යාප්ත විය. මිහිඳු මහා රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායමේ ලංකාගමනය ද ධර්මදූත ව්‍යාපාරය යටතේ වූ වැදගත් හා ඓතිහාසික සිදුවීමක් ලෙස ඉතිහාසගතය.

අදවන් පොසොන් පුර පසළොස්වක් පොහෝ දිනෙක මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම ලක්දිවට වැඩම කොට මිහින්තලාවේ අම්බස්තලයේ දී ලක් රජු වූ දේවානම් පියතිස්ස රජුට දහම් දෙසා තෙරුවන පිළිබඳ හැඟීමක් හා දැනීමක් රජු ඇතුළු පිරිසට ඇති කිරීම මඟින් ලක්දිව බෞද්ධ ශාසනයේ ආරම්භක පියවර සනිටුහන් කළේය. මිහින්තලයෙන් ආරම්භ කළ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූතයන් වහන්සේලාගේ ශාසනික මෙහෙය රජුගේ සිට රට වැසියා දක්වා සැමට සමානාත්මතාවයෙන් පිරිපුන් ශාසනික හා සංස්කෘතික කාර්යදාමයක් සඳහා අවතීර්ණවීමට මං හෙළිකිරීමක් වූ අතර ලක්දිව ඉතිහාසය එතෙක් ගමන් කළ මඟ වෙනස් මාවතකට යොමු කිරීමට බලපෑ ප්‍රධාන එක් සාධකයක් ද විය.

දේව, යක්ෂ හා නාග වැනි ආගමික සංකල්පවල එල්බගෙන සංවිධිත නොවූ එවැනි ආගමික මතවාද අනුගමනය කරමින් විසූ ජන සමාජයක්, සංවිධානය කරලීමේ කාර්යභාරය සියතට ගත් භික්ෂුහු ජන හදවත්වලට සමීප වීමට සිය දේශන මාර්ගය එක් විධික්‍රමයක් ලෙසින් උපයෝගි කොට ගත්හ. වංසකථාව දක්වන ආකාරයට මිහිඳු මාහිමියන් විසින් පළමුවෙන් රජු පුම්‍රඛ පිරිස් විෂයෙහි දේශනා කළ සූත්‍ර ධර්ම රජ මැදුරේ සිට සාමාන්‍ය ජනයා දක්වා හැම හදවතකටම වඩාත් සමීපවීමට මං හෙළි කළ අතර බෞද්ධාගම හා එහි හර පද්ධතිය පිළිබඳව ජනතාවගේ නැණැස පුබුදුවාලීමට ද හේතු කාරක විය.

මිහින්තලේ අම්බස්තලයේ දී රාජකීය පිරිස් සමඟින් හමු වූ දේවානම්පියතිස්ස රජුට තමා කවුද යන්න පළමුවෙන් හඳුන්වාදීම තුළින්ම පාලක ප්‍රසාදය දිනා ගැනීමට මිහිඳු හිමියන් සමත් විය. “අප ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා වන්නෙමු. නුඹලාට අනුකම්පාව පිණිස දඹදිවින් මෙහි ආවෙමු.” යන වදන තුළ කරුණාව මෛත්‍රිය ගැබ්ව ඇති අතර අනුකම්පා පිණිස පැමිණි බව කීම තුළින් හා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බව ප්‍රකාශ කිරීමත් සමඟ බුදුරදුන්ගේ හා ශ්‍රාවක සංඝයාගේ කාර්යභාරය කුමක් ද යන්න පිළිබඳව වැටහීමක් රජුට ඇති කර ගැනීමට ඉඩ සලසාදීමක් ද විය.

තමා සමඟ පැමිණි පිරිස දක්නට සැලැස්වීමත් සමඟ රජු මොවුන් කවදා ආයේ ද යන්න විමසන අතර තමා සමඟ පැමිණි බව දැක්වීමත් සමග දඹදිව මෙබඳු භික්ෂූන් තව වේ ද යන්න අසන රජුට මිහිඳු හිමියන් දෙන පිළිතුර ද රජුගේ අවනත බව දිනා ගැනීමට සමත් විය. එනම් මුළු දඹදිව කසාවතින් බබලන බවත් සෘද්ධිමත් පරසිත් දන්නා දිව්‍යශ්‍රොත ඇති රහතුන් වැඩ වෙසේ ය යන්න පැහැදිලි කිරීමත් සමඟ භික්ෂුව පිළිබඳව ප්‍රාසාද ජනක හැඟීමක් රජු කෙරෙහි ඇති කරලීමට සමත් වූ බවක් පෙනේ. අනතුරුව මිහිඳු මාහිමියන් වහන්සේ රජු වෙත ඉදිරිපත් කළ අඹ පැනය හා නෑ පැනය ද දෙපාර්ශ්වයේ බුද්ධිය දෙපාර්ශ්වයට අවබෝධ කොට ගැනීමට ඉඩ සලසාදීමක් විය.

මුල් සාකච්ඡා වලින් අනතුරුව රජුගේ නැණවත් බව පසක් කොට දේශනා කිරීමට තෝරාගත් සූත්‍ර ය ද භික්ෂුව කෙරෙහි පැහැදුනු රජුගේ සිත තව දුරටත් තෙරුවන කෙරෙහිම ප්‍රසාදය ජනිත කරවන්නක් විය. මජ්ඣිමනිකායට අයත් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේවානම් පියතිස්ස රජු ප්‍රමුඛ හතළිස් දහසක් වූ පිරිසට ධර්ම දේශනා කිරීම පිණිස තෝරාගත් මුල්ම සූත්‍රය වේ.

මෙම සූත්‍රය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතය. එනම් පිලොතිකා පරිබ්බ්‍රාජකයා හා ජාණුස්සෝණි බ්‍රාහ්මණයා අතරවන සාකච්ඡාව හා දෙවන කොටස බුදුරජාණන් වහන්සේ හා ජානුස්සොණි බ්‍රාහ්මණයා අතරවන සංවාදයයි. සරල උපමාවක් යොදා ගනිමින් ගැඹුරු දහමක් මෙම සූත්‍රයෙන් නිරූපිතය. කුඩා ඇත් පියවරක් උපමා කොටගෙන ඇතෙකු පිළිබඳ විනිශ්චයකට එළඹෙන්නාක් මෙන් තෙරුවනගෙන් ආරම්භව ධර්මයේ ගැඹුර සොයා යන ආකාරයක් මෙම සූත්‍රය තුළින් මතු කරලීමට උත්සාහ ගෙන ඇත. පිලෝතිකා මෙසේ ජාණුස්සොණි බ්‍රාහ්මණයාට පෙන්වා දෙයි. “පින්වත යම් සේ නාගවන වැසි දක්ෂ පුරුෂයෙක් නාගවනයට ඇතුළ් වේ ද හෙතෙම සිහිනුදු දික් වූ පරසින්දු වූ පුළුල් වූ මහ ඇත් පියවරක් දක්නේ ද හෙතෙම පින්වත මහා ඇතෙකැයි නිශ්චයකට පැමිණෙන්නේය. පින්වත එසේම මම යම් තැන ශ්‍රමණභවත් ගෞතමයන් වෙත ඤාණ පද හතරක් දිටිම් ද එතැන පටන් මම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ බවත් උන්වහන්සේගේ ධර්මය ස්වාක්ඛාත බවත් සංඝයා සුපටිපන්න බවත් දැන ගතිමි.”

මෙහි පළමු කොටසින් පිලොතිකා පරිබ්‍රාජකයා ගෙන් බුදුරදුන් පිළිබඳව අසා දැනගත් තොරතුරු තුළින් පැහැදීමට පත් ජාණුස්සෝණි බමුණා “නමෝ තස්ස භගවතො” මැයෙන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දිශාවට හැරී නමස්කාර කරයි. මෙයින් රජු ඇතුළු පිරිසට පළමුවෙන් බුදුරජුන් සරණයන ආකාරය පැහැදිලි කරදීමක් සිදුවේ. බෞද්ධයකු බවට පත්වන පුද්ගලයකු බුදුරදුන් නමස්කාර කළ යුතුය යන අදහසක් ඉන් පෙන්වාදීමක් වේ. ඇත් පියවර අනුව ඇතෙකු හඳුනාගත හැකිය යන උපමා තුළින් බුදුරදුන් ගැන පැහැදීමක් ඇති කරවන පිලෝතිකා සමඟ කළ සාකච්ඡාවෙන් පසු බුදුරජාණන් වහන්සේ දකින ජාණුස්සෝණි බමුණාට ඇතෙකු හඳුනා ගැනීමේ තවත් ලක්ෂණ ඇති බව බුදුරදුන් විසින් වටහා දෙනු ලැබීය. ඇතෙකුගේ ප්‍රමාණය දැන ගැනීමට පිට ඇතිල්ලූ තැන්, අතු කැඩූ තැන් දළින් ඇන සිඳින ලද තැන් ද වැදගත්වන බව පෙන්වා දෙයි.

තෙරුවනගේ ගුණය අවබෝධ කොට සසුනට වැද චතුරාර්ය සත්‍ය පසක් කොට ගන්නා ආකාරය ක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ එකින් එක විසින් ජානුස්සොණි බ්‍රාහ්මණයාට මෙම සූත්‍රයෙන් පැහැදිලි කොට ඇත.

විශේෂයෙන්ම තෙරුවන් පිළිබඳ හැඳීන්වීමක් මෙමඟින් ඉදිරිපත් කිරීම අශෝකයන් වෙතින් තෙරුවන් ගැන දැන සිටි දේවානම්පියතිස්සනට තම මුල් අවබෝධය වඩා වර්ධනය කර ගැනීමට මෙන්ම තෙරුවන් සරණයාමේ වැදගත්කම පසක් කර ගැනීමට ද අතිශයින්ම ඉවහල් වූ බව කිව හැකිය. ශ්‍රමණ භාවය හා ශ්‍රමණ ප්‍රතිපත්තීන් හදුන්වාදීම පිණිස පළමුවෙන් මිහිඳු මාහිමියන් වහන්සේ විසින් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළ බව සාරත්‍ථප්පකාසීනිය දක්වයි.

මිහිඳු මාහිමියන්ගේ දේශනාව අවසානයේ හතලිස් දහසක පිරිසක් සමඟින් රජු සරණ ශීලයේ පිහිටි බව වංසකථාව සඳහන් කරයි. මිහිඳු හිමියන් වහන්සේ විසින් තෙරුවන්ගේ ගුණය වඩාත් පැහැදිලි ලෙසින් වඩාත් සමීප වූ ඇත් උපමාවක් මත පැහැදිලි කිරීම නිසා රජු ඇතුළු පිරිසට පහසුවෙන් තෙරුවන හැඳින ගැනීමට උපකාරී වූ බව හා ඒ නිසාම ඒ කෙරෙහි පැහැදී තෙරුවන් සරණ ගිය බෞද්ධ පිරිසක් බවට පත් වූ බව මෙමඟින් පැහැදිලි ය. එදිනම රාත්‍රි මිහින්තලයට පැමිණි දෙව සමූහයා වෙත සාරිපුත්ත හිමියන් විසින් දේශනා කොට තිබූ සමචිත්ත සූත්‍රය දේශනා කරමින් ඔවුන් වෙත මිහිඳු මාහිමියන් සිය කාරුණිකත්වය දක්වා ඇත.

රජුගේ ආරාධනයෙන් පසුදින දවල් දනට මාලිගයට වැඩම කරන මිහිඳු හිමියන් ප්‍රමුඛ දූත පිරිස අනුලා දේවිය ඇතුළු පන්සියයක් පමණ වූ පිරිසට පුඤ්ඤ පාප ඵලය වඩාත් ප්‍රකාශික පේතවත්‍ථු හා විමානවත්‍ථු හා සච්චසංයුක්තය පදනම් කොට දහම් දෙසූ බව දැක්වේ. එවකට එම සමාජය තුළ මළවුන් පිදීම පිළිබඳව මෙන්ම යක්ෂ, ප්‍රේත දේවතා පිළිබඳ පැවැති විශ්වාසයනට ද නව අරුතක් දීමට මෙමඟින් උත්සාහයක් ගත් බවක් පෙනෙන අතර සැප දුක් පිළිබඳ අදහසත් මතු කර තිබේ. සච්චසංයුක්තයෙන් පරමාශ්වාදය ලෙසින් පෙන්වන නිවනේ ස්වභාවය පෙන්වමින් බුදුදහමේ ගමන් මඟ හා පුද්ගලයෙකු විසින් නිවන අරමුණු කොට තම ක්‍රියාදාමය සකසා ගත යුතු අයුරුත් මෙම සූත්‍ර දේශනාවන් තුළින් පැහැදිලි කරදීමට උන්වහන්සේ ක්‍රියා කළ බව පැහැදිලිය.

දවල් දන් වළදා දේශනා කළ දේවතා සංයුක්තය ද සුචරිතවත් ජන සමාජයකට ඉවහල් වන කරුණු සමුදායකින් හෙබි සූත්‍ර දේශනයකි. තිදොරෙ සුචරිතවත් බව සුගතියක ඉපදීමට අදාළවන අතර එහි දුශ්චරිතවත් බව අපායාදී දුගති භූ®මිවල ඉපදීමට ඉවහල්වන්නක් බව පැහැදිලි කරමින් මිනිසාගේ ක්‍රියාදාමයන් යහපත් මාවතකට යොමු කරලීමට උත්සාහගෙන ඇත. සිය ජීවිතය දුකට පත්කර ගැනීම හෝ සැපතකට පත් කර ගැනීමේ අයිතිය හා ක්‍රියාදාමය තමා සතුවේ ය යන අදහස මෙම සූත්‍රයෙන් වඩාත් ඉස්මතු කෙරෙන අතර නිවන් මඟේ ගමන් කරන පුද්ගලයාගේ කාර්යයන් කෙසේ සකස් විය යුතු ද යන්න පිළිබඳ මෙම දේශනය තුළින් පෙන්වා දී තිබේ.

හත්ථිශාලාව දහම් අසන්නන්ට සම්බාධ සහිත වූ හෙයින් නන්දන වනයට එක් තැන් වූ පිරිස විෂයෙහි බාලපණ්ඩිත සූත්‍රය මිහිඳු මාහිමියන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මිනිසා සුචරිතයට යොමු කරනු ලබන දේශනයක් වූ බාලපණ්ඩිත සූත්‍රයෙන් පණ්ඩිතයා බාලය අතර වෙනස මැනවින් උන්වහන්සේ ලක් වැසියනට වටහා දුන්හ. කාය, වාග් හා මනෝ දුශ්චරිතයන්හි යෙදෙන්නා බාලයකු ලෙසින් හා ඉන් වැළැකී කාය වාග් මනෝ සුචරිතය රැකීමට මහන්සි ගන්නා පණ්ඩිතයකු ලෙසිනුත් විග්‍රහ කෙරෙන මෙම සූත්‍රය මෙලොව පරලොව දෙලොව සුබසිද්ධිය සඳහා තමාගේ ක්‍රියාවන් ඉවහල්වන්නේ කෙසේ ද යන්න පෙන්වා දෙමින් සමාජය දුසිරිතෙන් මුදවා ගැන්මට හා සුසිරිතේ ආදීනව වඩාත් ඉස්මතු කොට පෙන්වාදීමට හා එමඟින් ධාර්මික සමාජ පසුබිමකට අදාළ පදනම ගොඩනඟා ගැනීම මිහිඳු මාහිමියන් මෙම සූත්‍රය දේශනා කරමින් බලාපොරොත්තු වූ බව පැහැදිලිය.

දෙවන දිනයේ නන්දන උයනේ දී අග්ගික්ඛෙන්‍ධාපම සූත්‍රය දේශනා කරමින් දහසක් දෙනාට මඟඵල සුව සැලසූ බවත් තෙවන දින එහිදීම ආසිවිසෝපම සූත්‍රය දේශනා කළ බවත් සිවුවැනි දිනයේ දි අනමතග්ග සූත්‍රය ද පස්වන දින ඛජ්ජනී්‍ය‍යක සූත්‍රය ද සවැනි දින ගොමය පිණ්ඩක සූත්‍රය ද සත්වැනි දින නන්දන උයනේදීම බුදුරජාණන් වහන්සේගේ පළමුවැනි ධර්මදේශනය වන චතුරාර්ය සත්‍ය ධර්මය ගැබ් කොටගත් ධම්මචක්කපවත්තන සූත්‍රය ද දේශනා කළ බව වංසකථාව දක්වයි. දීපවංසයට අනුව මිහිඳු මාහිමියන් වහන්සේ විසින් චර්යා පිටකය මෙන්ම දේවගණයාගේ ප්‍රසාදයට පත් සූත්‍රයක් ලෙසින් දැක්වෙන මහාසමය සූත්‍රය ද දේශනා කළ බව සඳහන් කරයි.

එමෙන්ම මිහිඳු මහරහතන් වහ්සේ ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම ශ්‍රී ලංකාවට වැඩම කොට විසිහයවැනි දින මහා අප්පමාද සූත්‍රය දේශනා කළ බව දැක්වේ. අප්පමාද සූත්‍රය යනු කුමක් ද යන්න පළමුවෙන් වටහාගත යුතුයි. ත්‍රිපිටක සාහිත්‍යයේ අප්පමාද නමින් හැඳින්වෙන සූත්‍ර කිපයක්ම ඇත. සාරත්‍ථදීපනී ටීකාකරු මහාඅප්පමාද සූත්‍රය නමින් හැඳින්වෙන රාජෝවාද සූත්‍රය දේශනා කළ බව කියයි. අංගුත්තර නිකායේ එකාදස නිපාතයේ එන අප්පමාද සූත්‍රය මිහිඳු හිමියන් විසින් රජුට දේශනා කළ බව සිංහල බෝධිවංසයේ සඳහන් කර ඇති මුත් එබඳු සූත්‍රයක් එහි අන්තර්ගත නොවේ. එනමුත් දසක නිපාතයේ දැක්වෙන අප්පමාද සූත්‍රය පදනම් කොට ගෙන බෝධිවංසකරු මෙම පුවත තම කෘතියට ඇතුළත් කරන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

මෙම අදහස සාරත්‍ථදීපනියේ දැක්වෙන පුවත සමඟ ද සැසැදිය යුතුවේ. සාරත්‍ථදීපනියේ දැක්වෙන පරිදි රාජෝවාද නමින් සූත්‍රයක් ත්‍රිපිටකයේ අන්තර්ගත නොවේ. එනමුත් ජාතක සාහිත්‍ය තුළ රාජෝවාද නමින් ජාතකයක් ඇති කරගත යුතුවන්නේ කෙසේ යන්න පදනම් කොට ගෙන බුදුරදුන් විසින් මෙම ජාතක දේශනා කොට ඇත. මෙහි දී රාජ්‍ය පාලකයාගේ දැහැමි බව වඩාත් ඉස්මතු කොට ඇත. පාලකයෙකු අදැහැමිවන විට තෙල් මී පැණි හා වන මුල් ඵළ ද අමිහිරි වේ. ඕජස් රහිත බවට පත් වේ. එමෙන්ම මුළු රටම ඔද තෙද රහිත කසට බවට පත් වේ. රජුන් දැහැමි වන විට වනමුල් ඵල මිහිරි රසැති වේ. මුළු රට ඔදවත් වේ. තෙදවත් වේ. ගඟකින් ගවරැළක් එතෙරවන විට ගවරැළක නායකයා ඇදට යේ නම් අන් ගවයන් ද ඇදට යති. ගව නායකයා කෙළින් ගමන් ගන්නේ නම් අන් ගවයන් ද ඔහු අනුව සෘජුව යෙති. පාලකයා සතර අගතියට ගියේ නම් අධාර්මික නම් ජනතාව ද අධර්මයට නැඹුරු වේ. රජු දැහැමිවන කළ මුළු රටම සුවපත් බවට පත් වේ යැයි රාජෝවාද ජාතකය දක්වන කරුණුවලින් පාලකයෙකුගේ හැසිරීම කෙසේ විය යුතු ද යන්න හා දැහැමි පාලකයා යනු කවරෙක් ද යන්න පෙන්වා දී ඇත. සාරත්‍ථදීපනී කතුවරයා ජාතක පාලිය ඛුද්දක නිකායට අයත්වන බැවින් ජාතකය ද සූත්‍ර පෙළක් ලෙසින් පෙන්වා දෙන්නට ඇත. විශේෂයෙන් මිහිඳු හිමියන් රජු මුල් කොටම මෙම දේශනා කොට ඇති බැවින් රාජෝවාද ජාතකයම පදනම් කොට ගෙන දේශනා කරන්නට ඇතැයි සිතිය හැකිය.

මෙලෙසින් වංසකථා සාහිත්‍යගත පුවත් දෙස බලන කල්හි මිහිඳු මාහිමියන්ගේ දේශනාවන්හි යම් අනුපිළිවෙලක් අන්තර්ගත බව පෙනේ. බුදුදහම ගැන වූ මුල් පාඩමේ සිට නිවන දක්වා වූ ගමන් මඟ අනුපිළිවෙලකට එක්වන ලෙසින් සිය දේශනා කළ බව කිව යුතුය. තෙරුවනගේ ගුණ අන්තර්ගත චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් අරඹන සිය දේශනා පේතවත්‍ථු විමානවත්‍ථු දේවදූත වැනි සූත්‍රන්තික අදහස් මඟින් සමකාලීන පැවැති විශ්වාසයනට නව අර්ථකථනයන් ලබා දෙමින් මිනිසා සුචරිත මඟට හා තමා කරනු ලබන දැයේ ඵලය හා විපාකය පිළිබඳව නිවැරදි දැනීමකට ජනතාව යොමු කරවනු ලබන අතරම නිවනේ ඇති අද්වෛත සුඛය ද ඊට සමගාමීව පෙන්නුම් කිරීමට උන්වහන්සේ උත්සාහ ගත්හ. එමෙන්ම ආසිවිසොපම බාලපණ්ඩිත වැනි සූත්‍ර ධර්මයන් ඇසුරෙන් සිය දේශනයන් ගෙනයමින් මිනිසකු ලෙසින් අපගේ තිදොර සංවරවයට පත් කරගනු ලබන ආකාරය හා ඉන් ලබන සැපයත් ශික්ෂණයත් කෙතෙක් ද යන්නත් පෙන්වා දුන් අතර ධම්මචක්ක වැනි සූත්‍රයන් තුළින් චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනීම දියුණු කරලීමට හා ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරලීමටත් බුද්ධිමය පාර්ශ්වය දියුණු තියුණු කරලීමටත් කටයුතු කළහ. දින විසිහයක් පමණ ශාසනික කටයුතුවල නිරත රජුට සිය චර්යාව එකින් නෙකින් සකස් කර දීම අරභයාත් ජනතාව අතර පාලකයෙකු වශයෙන් පාලන කාර්යයන් කෙසේ ගෙන යා යුතුද යන්නත් දැහැමි පාලකයා යනු කවරෙක් ද යන්නත් නිරූපනය වන ලෙසින් රාජෝවාද වැනි දේශනාවන් කරමින් පාලකයාගේ කාර්යය ජනතා හිතවාදි විය යුතුය යන බෞද්ධ ආකල්පවලට අනුව හැඩ ගැස්වීමට ගත් ප්‍රයත්නයක් බවත් පැහැදිලිය. එසේම මෙම දේශනාවන් වඩාත් බුදුදහම කෙරෙහි ජනතා ප්‍රසාදය ලබා ගැනීමට සමත් දේශනාවන් වූ බව පෙනේ.

රජ පවුලෙන් ආරම්භ කළ මෙම දේශනාවන් දුගී පැල දක්වා එක ලෙසින් ගෙන යාමට අවකාශ සැලසීම මත ද සංවිධානාත්මක බෞද්ධ මතවාදයක් හා ඊට සමගාමීව බෞද්ධ සංස්කෘතියක්, පාලන සැකැස්මක් මෙන්ම දැහැමි සමාජයක් ද නිර්මාණය කිරීමට හැකියාවක් ලැබුණු බව පෙනේ. එබැවින් මිහිඳු හිමියන් ගෙන් ආරම්භ කළ මෙම දේශනා සම්ප්‍රදාය ශ්‍රී ලංකාවේ සමාජ සංවිධානය කිරීමේ මූලික පදනම සකස් කළ ක්‍රමවේදය ලෙසින් අද දක්වාම ගමන් කරන බව කිය යුතුවන අද අදවන් පොසොන් දිනයකින් එවැනි යහපත් ගමන් මඟකට අඩිතාලම සකස් වූ බව ද සිහිපත් කළ යුතුව ඇත.

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]