පොළොන්නරුව වටදාගෙය
ලාංකේය භූමියේ ඇති දැනට මනාව තහවුරු කර ඇති ප්‍රධානම වටදා ගේ ත්‍රිත්වය
පොළොන්නරුව, මැදිරිගිරිය, සහ තිරියාය ලෙස හඳුනාගත හැකි ය.
අද අප කතා කරන පොළොන්නරුව වටදාගේ ලංකාවේ වඩාත් ප්‍රකට වටදාගෙය වෙයි.
එසේම නිර්මාණාත්මක අතින් මෙය මැදිරිගිරිය වටදාගෙය ද අභිබවන සුළු
මැදිරිගිරිය වටදාගේ සේම විශිෂ්ට නිර්මාණයකි. මෙම දෙකෙහිම ආකෘතිය එක හා
සමාන බව මහාචාර්ය පරණවිතාන පවසයි. වටදාගේ සහිත ආකෘතිය ලාංකේය විහාර
නිර්මාණ ශිල්පින්ගේම ස්වතන්ත්‍ර නිර්මාණයක් ලෙස හඳුන්වනු ලබයි.
වෙනත් බොහෝ නිර්මාණයන්ට ඉන්දියානු ආභාෂය ලැබුණ ද මෙම වටදාගේ සංකල්පය
ලංකාවට ආවේණික වූවක් ලෙස හඳුන්වති. මෙයට ඉන්දියාවේ ඇති එකම නිදර්ශනය
‘ගන්තු පල්ලි’ නම් ස්ථානය බවත් එය ලාංකීය ශිල්පීන්ගේ කෘතියක් විය හැකි
බවත් මත ඵලවන්නේ ඒ නිසා වන්නට පුළුවන.
මැදිරිගිරිය වටදා ගෙයට වඩා පොළොන්නරුවේ ඇති වටදාගෙය කැටයම් කලාවෙන්
වඩාත් ඉදිරියෙන් සිටින බවත් කියැවෙයි. එය විවිධ ආකාරයෙන් ආකර්ශනීය
කැටයමින් අලංකාරවත් වී තිබේ.
පොළොන්නරුව වටදාගේ ශෛලමය ආවරණ වැට, පෙති හතරේ මල් රටාවකින් ආවරණය කර
ඇත. මෙය ඉතා අලංකාර වට පවුරකි. සතර දිසාවෙන් ඇතුල් විය හැකි පියගැට පෙළ
සහිත පිවිසුම් 4 කි. එමගින් මැද මාලයට පිවිසිය හැක. එතැනින් පිවිසෙන
මුදුන් මළුවේ සතර දිසාවට මුහුණ ලා ගලින් නෙලා ඇති සමාධි ප්‍රතිමා
වහන්සේ ලාංකේය කලා ශිල්පියාගේ මහා ප්‍රතිභා ශක්තිය, කලා කෞෂල්‍ය
ප්‍රදර්ශනය කරනා තවත් පැරැණි සුවිශේෂි අංගයකි.
නැගෙනහිර පිවිසුමේ ඇති දොරටුපාල රූපය ඉතා විශිෂ්ට නිර්මාණයක් ලෙස
ප්‍රකට ය. ඒවායින් අනුරාධපුර යුගයේ අවසාන භාගයේ නිර්මාණ ලක්‍ෂණයන්
විදහා දක්වන බව ක්ෂේත්‍රයේ වියතුන්ගේ අදහස ය.
මෙම වටදාගෙය ගොඩ නංවන ලද්දේ නිශ්ශංකමල්ල රජ දවස බව සෙල්ලිපියක සඳහන්ව
තිබේ. එහෙත් මෙම ගොඩනැගිල්ල එම යුගයටත් වඩා පැරැණි බව ඉතිහාසඥයෝ
විශ්වාස කරති. සමහර විටෙක එහි ප්‍රධාන බිහිදොර පමණක් නිශ්ශංකමල්ල රජ
දවස කරවන්නට ඇති බව පරණවිතාන මහතා අදහස් කරයි.
ඉතා ගාම්භීර මෙන්ම රමණීය පෙනුමකින් යුතු සුවිශේෂී, කලාත්මක අනභිබවනීය
ආකෘතියකින් හෙබි වටදාගෙය නම් නිමැවුම කලාකාමී සිත් ආනන්දයට පත්කිරීමට
සමත් අපූරු ඉදිකිරීමකි. තාක්‍ෂණික ඉන්ජිනේරු ශිල්ප ඤාණය විශ්මිත දේ කළ
හැකි ලෙස අද දියුණුව කරා එළඹ ඇතත් පොළොන්නරුව මැදිරිගිරිය වැනි
ස්ථානයන්හි ඇති මෙම වටදාගෙවල් දකින විට ඇස් අදහා ගත නොහැකි ලෙස අනාගත
මිනිසාද විශ්මයට පත් කරවන බව නම් නොඅනුමානය.
ඒ තරමටම එම නිර්මාණයන් නූතන තාක්‍ෂණ ශිල්පීය දියුණුවට ද තවමත් අභියෝගය
කරමින් සිටියි.
පිය ගැට කීපයක් නැග සලපතල මළුවේ විඩාහැර නැවත පිය ගැට නැග මුදුන් මළුවට
පිවිසෙන විට මුණ ගැසෙන , ඇස ගැසෙන, සමාධි පිළිම වහන්සේ අභියසදී
නිරුත්සාහයෙන්ම දොහොත් නලල් තලය මතට එසවෙනු තරමටම චිත්ත ඒකාග්‍රතාවයකට
පත් කරවීමට සමත් ලෙස වටදාගෙය නිර්මාණය වී තිබේ. එසේ පොළොන්නරුව වටදාගෙය
මහා ප්‍රෞඩ ගෞරවණීය, ආනන්දනීය, බෞද්ධ කලා ඉතිහාසයක එක් පැතිකඩක්
ප්‍රතිබිම්භනය කරනා ස්වර්ණමය කැඩපතකි. |