UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් අමාවක 2012 මැයි 20 වනදා

පුදමු බැතියෙන්

වෙසක් සඳ ගෙවී යත්ම වෙසක් අව අටවක පොහොය උදාවිය. ඒ වෙසක් අව අටවක පොහොය ගෙවී යන විට වෙසක් අමාවක පොහොය උදාවෙයි. ඒ මැයි මස 20 වැනිදා ය.

අනතුරුව පොසොන් පුර අටවක පොහොයෙන් පසු පොසොන් පුර පසළොස්වක පොහොය උදාවෙයි.

පුර පසළොස්වක පොහොය උදාවන විට නිරන්තරයෙන් බොදුනුවා සැදී පැහැදී පේවී සිටින්නේ සීල,භාවනා ආදි ආගමික වතාවත්වල නිරතවීම උදෙසා ය.

අපේ රටේ බොදුනුවා අතර ව්‍යහාර මාසයක් තුළ සතර පොහොය උදාවන බවට දැනුම්වත්ව සිටින පිරිස කෙතරම්දැයි සිතා බැලීම වටී.

වෙසෙසින්ම එසේ උදාවන සතර පෝදාට ම පෙහෙවස් සමාදන් වන පිරිස එදා මෙන් අදත් ගම්බද මෙන්ම නගරබද ව ද වෙසෙන බව අමතක නොකළ යුතු වැදගත් කරුණකි.

පොසොන් පුර පසළොස්වක පොහොය ශ්‍රී ලාංකේය ජනතාව වෙත සම්බුදු දහමේ සදහම් පණිවුඩය ද රැගෙන වැඩම කළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකාගමනය සිහි කැරෙන ඓතිහාසික ආගමික පූජනීය දිනය යි.

වෙසක් පොහොය උදාවන විට බොදුනුවා සති මාස ගෙවමින් ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි යෙදීමට සූදානම් වෙති. පෙළ ගැසෙති.

පොසොන් පොහොය ද බැතියෙන් තොරණ, දන්සැල, පෙරහර ආදි සුවිශේෂි වූ ආගමික කටයුතුවලට සූදානම් වෙති.

සීල සමාදාන, ධර්මදේශනා භාවනා ආදි පින්කම්වල තුන්දොර වෙහෙසවා තුන් සිත පහදවා ගෙන නිරත වනු දක්නට ලැබේ.

අපේ රටේ බොහෝ සමිති සංවිධාන වෙසක් සමයට, පොසොන් සමයට සති මාස ගණනක් නොව වසර පුරාම ඒ සදහා ඇප කැප වී උනන්දුවෙන් කටයුතු කරති. පොසොන් උත්සව පැවැත්වීම ඉතා දිගු කලක සිට පවත්වාගෙන එනු ලබන උදාර සිරිතකි. පින්කමකි.

පොසොන් සමයට දන්සැල්, සමිති, සංවිධාන රට පුරා විවිධ පළාත්වලින් මිහින්තලා පුදබිමේදීත්, අනුරාධපුර මහමෙව්නාවේදීත් වෙසෙසින් පවත්වමින් වන්දනාවේ යෙදෙන බැතිමතුන්ට සංග්‍රහ කිරීම සුලභව දක්නට ලැබෙන්නකි.

එමෙන්ම පොසොන් සමයට වන්දනාවේ යෙදෙන බැතිමතුන් මිහින්තලය අනුරාධපුර පුදබිම් වන්දනා කිරීමට පෙළඹීම නිසාම ලක්ෂ සංඛ්‍යාත බැතිමත්හු දින කීපය පුරා එම පුදබිම්වල වන්දනාවේ නිරත වෙති.

කෙතරම් සතුටෙන් විනෝදයෙන් දිවි ගෙවුවද ස්වකීය අධ්‍යාත්මික සහනය සුවය මිනිස් ජීවිතයට අත්‍යාවශ්‍යය.

ඒ නිසාම බොදුනුවා ජීවිතයේ කිසිදා අමතක නොවන මහ පින්කම්වල නිරතවෙති. එසේ සිදු කරන පින්කම් පින්පොතේද සටහන් කර ගනිති.

ඒ ජීවිතයේ අධ්‍යාත්මික සුවයට අත්‍යාවශ්‍ය වීම නිසා ය.

මිනිසත් භවයක් ලබා ගැනීම පවා දුලභය. අඟ පසඟ සපිරි ජීවිතයක් සැබැවින්ම වාසනාවන්තය. වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලැබීම පමණක් සැනසීමට හේතු නොවේ.

ආලෝකයෙන් ආලෝකය වෙත පිය මනින ජීවිතය සැබැවින්ම වාසනාවන්තය.

උදාවන පොසොන් පුර අටවක පොහොයෙන් පසු පොසොන් පුර පසළොස්වක පොහොය එළඹෙයි. පුරා වසරක් මුළුල්ලෙහි ඒ පොසොන් සමය උදාවන තෙක් බලා සිටි බොහෝ බොදුනුවෝ දාන, ශීල, භාවනා ආදි පින්කම්හි නිරතවීමේ අපේක්‍ෂාවෙන් පසු වෙති.

වසරේ අන් කවරදාකවත් පෙහෙවස් සමාදන් නොවන ඇතැම් සැදැහැවතුන් පවා වෙසක්, පොසොන්, පසළොස්වක පොහොය උදාවන තෙක් බලා සිටිනුයේ ජීවිතයේ සදා මතකයේ රැඳෙන පින්දහම්හි නිරතවීමට ය.

ජීවිතයක සතුට සුවය උදාකර ගැනීමට අපි හැම දෙනාම උත්සාහ කරන්නෙමු. එහෙත් භෞතික සැප සම්පත් පසුපස හඹායෑමෙන් පමණක් අපේක්‍ෂිත සතුට සුවය විඳිය නොහැකි ය.

හැකිතාක් ජීවිතය අධ්‍යාත්මික සුවය වෙතද යොමු කළ යුතුවේ. එවිට අපේක්‍ෂා කරන සුවය සතුට සැනසීම ලඟා කර ගැනීම නිරන්තරයෙන්ම පහසුවනු ඇත.

ඉඩ ලද හැම විට තම ජීවිතය ආගමික කටයුතුවල යෙදවීමට උත්සාහ කළ යුතු ම වේ. එසේ නොවුවහොත් ජීවිතාවසානයේ හදවතින් සතුට සැනසීම උදාකර ගත හැකි නොවේ.

මෙලොව වශයෙන් සතුටෙන් සැනසුමෙන් දිවි ගෙවන්නා දෙලොවදීම සුවසේ වාසය කරයි.

තමන් කරන කියන සියල්ල තමන් පසු පසම එන බව නිතර මෙනෙහි කළ යුතුවේ.

වැදගත් අරමුණු පෙරමුණු කරගෙන බුද්ධිමත් බෞද්ධයා පින්දහම් හි නිරත වෙමින් සසර කතරෙන් එතෙරවීමට අදිටන් කර ගෙන ක්‍රියා කිරීම දෙලොවටම සෙත සදන උදාර කටයුත්තක් වනු ඇත.

තෙරුවන් සරණයි.

 

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි 20 වැනිදා ඉරිදා පූර්වභාග 2.43 ට ලබයි.
21 වැනිදා සඳුදා පූර්වභාග 5.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 20 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි 28 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]