අසූමහා
ශ්‍රාවක
චරිත 14
බුදුරදුන් ගොඩ නැඟු
ධර්ම රාජ්‍යයෙහි මහ ඇමැතිවරු
ඛදිරවනිය රේවත
මහා ශ්‍රාවකයන් වහන්සේ
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි
බුදුරදුන්ගේ ආරණ්‍යය ශ්‍රාවක භික්‍ෂූන් අතර අග්‍රස්ථානයට පත් වූයේ
ඛදිරවනිය රේවත රහතන් වහන්සේ යි. බොහෝ භික්‍ෂූන් ආරණ්‍යකව විසුවත් පැන්
පහසුව, පිණ්ඩපාත පහසුව, ගමනාගමන පහසුව වැනි දේ බොහෝ දුරට සලකා ආරණ්‍ය
ගතව වැඩ වාසය කළා. මේ රේවත හාමුදුරුවන් ඒ කිසිදු පහසුකමක් නොබලා ඉතා
කටුක මග ඇති දරුණු කිහිරි ගස් වැවී තිබුණු ආරණ්‍යයක ඉතා සතුටින් වැඩ
වාසය කළා. පදුමුත්තර බුදුරදුන් කළ විවරණ ලබා සසර ගමන් කොට අප බුදුරදුන්
කල උපත ලබා සිටි උන් වහන්සේ ගේ චරිත කතාව ඉතා සිත් ඇද ගන්නා මෙන්ම
වැදගත් වූවක්.
මගධ රාජ්‍යයෙහි නාලක නම් බමුණු ගමෙහි උපතිස්ස මහාසාල බමුණා නිසා සාරි
නම් බැමිණියගේ කුසෙහි පිළිසිඳ උපත ලැබීමෙන් පසු රේවත නමින් හැඳින්වූවා.
වැඩි මහලු සොහොයුරන් තිදෙනෙක් සහ වැඩි මහලු සොහොයුරියන් තිදෙනෙක් රේවත
කුමරුවන්ට සිටියා. ඒ වැඩි මහලු සය දෙනාම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි
වූ නිසා මේ රේවත පුතණුවන් කෙසේ හෝ ගෙදර නතර කර ගැනීමට මෑණියන්ට දැඩි
ඕනෑකමක් තිබුනා. ඒ අනුව තරුණ වියට පා තබන්නටත් පෙර සුදුසු කුමරියක හා
අතිනත ගැනීමට කටයුතු යෙදුවා. විවාහ උත්සව අවස්ථාවෙහි ඒ සුරූපී කාන්තාවට
තම මිත්තනියට මෙන් අවුරුදු එකසිය විස්සක් ජීවත් වීමට වාසනාව ලැබේවා යි
ඤාතීන් ප්‍රාර්ථනා කළා. මේ අවස්ථාවෙහි එකසිය විසි වයස් වූ මිත්තනිය
කොහිදැයි රේවත කුමාරයා විමසූ විට දත් වැටුනු, කෙස් ඉදුනු, සම රැලි
ගැසුනු, දුර්වල ඉඳුරන් ඇති, අපැහැදිලි කථා ඇති, කුදු සිරුරක් ඇති,
සැරයටි වාරුවෙන් ගමන් කරන මහලු කාන්තාවක් පෙන්නුවා. ඒ මහළු කාන්තාවගේ
තත්ත්වය තම අතිනත ගත් බිරියට ද සිදුවන්නේ දැයි විමසා ඇයට පමණක් නොව
තමන්ටත් ඒ තත්ත්වය උදා වන බව මැනවින් වටහා ගත්තා. මෙයින් රේවත
කුමරුවන්ගේ සිත මහත් සේ වෙනස් වූවා.
රියක නැගී නිවසට යන අතර ශරීර කෘත්‍ය කිරීමට යයි වාර දෙකක්ම රිය නවතා වන
ලැහැබ තුළට ගොස් අවුත් නැවත ගමන පටන් ගත්තා. තෙවන වර “ ඔබ යන්න මම පසුව
එමි” යි රියෙන් බැස වනයට පිවිස වහා දුව ගොස් ඒ වනය තුළ තිබූ ආරාමයකට
ඇතුළුව තමා පැවිදි කරන මෙන් භික්‍ෂුන්ගෙන් ඇයැද සිටියා. එහි විසූ තිස්
නමක් පමණ වූ භික්‍ෂූන් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළා. ඒ ඇසූ රේවත
කුමාරයා දෑතින් හිස බදාගෙන ස්වාමීනි, මා නොනසනු මැනවි’ යයි වාර ගණනක්
මහ හඬින් කෑ ගැසුවා. පින්වත, ඔබේ ඔය රන් රුවන් හෝ වටිනා වස්ත්‍රාභරණ
මෙහි සිටින කිසිවෙක් පැහැර ගන්නේ නෑ. මවු පිය භාරකරු කිසිවෙකුගේ
අවසරයක් නොමැතිව පැවිදි කිරීම කළ නොහැකි නිසා ඔබේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප
කළා’ යයි භික්‍ෂූන් දැනුම් දුන්නා. මෙහි දී ගිහි කල උපතිස්ස නමින්
හඳුන්වා බුදුරදුන් ළඟ පැවිදි වීමෙන් පසු සාරිපුත්ත නමින් හඳුන්වනුයේ
තමාගේ සොහොයුරා බව රේවත කුමරුවන් අනාවරණය කළා. මිථ්‍යාදෘෂ්ටික මගේ
පවුලේ නෑයන් අතුරෙන් කවුරුන් හෝ අවුත් පැවිද්ද ඉල්ලුවොත් මවුපිය
අවසරයකින් තොරව පැවිද්ද ලබා දෙන්න යයි කල් තබාම සැරියුත් හිමියන්
භික්‍ෂූන්ට දන්වා තිබූ හෙයින් රේවත කුමරුවන් පැවිදි කළා.
පැවිදි බිමට පත් වහාම රේවත හිමියන් ගවු එකසිය විස්සක් දුරින් පිහිටි
ඉතා කටුක කිහිරි වනයට ගොස් භාවනා කොට රහත් භාවයට පත් වූවා. මේ අතර
සැරියුත් හිමියන් උන්වහන්සේ හමුවීම සඳහා බුදුරදුන්ගෙන් අවසර ඉල්ලූ
නමුත් ඒ අවස්ථාව වනවිට රහත්ව නොසිටිය හෙයින් බුදුරදුන් දෙවරක්ම ඒ ගමන
වැලැක්වූවා. තෙවන වර විමසූ විට භික්‍ෂූන් පිරිවරාගෙන කිසිදු ප්‍රත්‍ය
පහසුකමක් නැති බිය ජනක තිස් යොදුන් මග වැඩමවද්දී සීවලී හිමියන්ගේ
පුණ්‍ය මහිමය ප්‍රකට කරමින් සියලු ප්‍රත්‍ය පහසුකම් ලබන්නට පුළුවන්
වුනා. මේ වන විට සගුන් පිරිවර ඇතිව බුදුරදුන් වැඩම වන බව දැනගත් රේවත
හිමියන් තම සෘද්ධි බලයෙන් බුදුරදුන් ප්‍රධාන සංඝරත්නයට වැඩ සිටීමට
අවශ්‍ය සියලු පහසුකම් සහිත දර්ශනීය ස්ථාන සහ ප්‍රත්‍ය පහසුකම් මැවුවා.
අඩ මසක් එහි වැඩ සිටි බුදුරදුන් රේවත හිමියන්ගේ විවේකයට බාධාවක් වන බව
දක්වා ගාථා පන්සීයයකින් උන් වහන්සේගේ ගුණ වර්ණනා කොට ආපසු වැඩම වීමට
පිටත් වූවා. ආරාමයේ සුන්දරත්වය ගැන කතා කළ සමහර භික්‍ෂූන් මෙවැනි ආරාම
ඉදි කළ රේවත හිමියන් භාවනාවට සිත් යොමු කරන්නෙක් නොවේ යයි චෝදනා කළා. ඒ
භික්‍ෂූන්ගේ සිවුරු පාවහන්, කුඩ, සැරයටි ආදිය අමතක වේවායි බුදුරදුන්
අධිෂ්ඨාන කළා. ඒ නිසා ටික දුරක් ගොස් තමනට අමතක වූ දෑ ගෙන ඒමට සෙනසුනට
ඒමේ දී ඉතා දුෂ්කර වූ මාර්ගයෙහි කටු ඇනෙමින් මහත් වේදනා සහිතව ගොස්
කිහිරි කණු වල එල්ලා තිබූ තම පිරිකර ගෙන රේවත හිමියන් මොනතරම් දුකක් මේ
වනයේ විඳිනවා දැයි සිතමින් ආපසු වැඩම වූවා. සැවැත්නුවරට වැඩම වූ
බුදුපාමොක් මහ සඟනට විශාඛාවන් සිය නිවසේ දී දානය පූජා කරද්දී රේවත
හිමියන් ගෙන් කිහිරි වනය ගැන එතුමිය බුදුරදුන්ගෙන් විමසුවා. එවිට
බුදුරදුන් භූමිය මනහර වේවා හෝ නො වේවා යම් තැනක රහත්හු වැඩ සිටිත් ද ඒ
භූමිය ඒකාන්තයෙන් ම මනහර යයි උන්වහන්සේ වදාළා.
|