UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

තෙමහල් ධර්ම අධ්‍යාපන මන්දිරය 2 වනදා විවෘත කැරෙන ගල්කිස්ස බෞද්ධායතනය


දිවියාගහ යසස්සි නා හිමි

ගමටම දහම් මිහිර බෙදාදෙන ගමේ කේන්ද්‍රස්ථානය ගමේ පන්සලය. දහසක් බුදුන් බුදුවන හිමිදිරි පාන්දර 4 ට හෝ 5 ට විහාරස්ථ ඝණ්ඨා නාදය තුළින් ගමටම වෙලාව කියා දෙන්නාක් වැනිය. ඒ ඇතැම් විට ගමේ සැදැහැවතුන්ට වෙලාවට වැඩ කිරීමේ පුරුද්දද ඇති කළා විය හැකිය.

එපමණක් නොව නිරවුල්ව හා නිවැරැදිවත්, කාර්යශීලිවත්, පිළිවෙලටත් ක්‍රියාකිරීමේ ආදර්ශයද බොහෝ දුරට විහාරස්ථානය මගින් ලබාදෙන ආදර්ශ අතර මහඟු ආදර්ශ වේ.

බෞද්ධායතන සම්බුදු මැදුර

යොවුන් ශක්ති පදනම වියළි ආහාර පිරිනමමින්...

මහ සඟරුවන පිණ්ඩපාතයේ වැඩම කළ අවස්ථාවක්

දහම් පාසලේ සිසු සිසුවියන් ආගමික වතාවත්හි යෙදෙමින්

එවන් ආදර්ශ රැසක් බොදු සමාජයට ලබාදෙන විහාරස්ථානයකි ගල්කිස්ස වටරප්පල පාරේ බෞද්ධායතනය.

එම බෞද්ධායතනාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සසුනඹර ආලෝකවත් කරන සංඝ පීතෘන් වහන්සේ නමකි.

1984 දෙසැම්බර් 31 වනදා ගල්කිස්ස වටරප්පල පාරේ බෞද්ධායතනයට මුල්ගල තබා එහි කටයුතු අරඹන ලදී. එදා පටන් ගත වූ වසර 27 ක කාලය තුළ ගල්කිස්සේ බෞද්ධායතනය කේන්ද්‍රස්ථානය කර ගනිමින් සිදු කළ හා සිදු කරනු ලබන ආගමික, සාමාජික, ශාසනික හා අධ්‍යාපනික මෙහෙවර බොහෝය.

ඒ අතර බෞද්ධායතන සංවර්ධන සංගමය මගින් විහාරාරාම අංග සම්පූර්ණ කරමින් සියලු ආගමික කටයුතු සංවිධානය කර පවත්වාගෙන සංගමයකි.

බෞද්ධායතන සීල සංවිධානය මගින් සෙනසුරාදා දිනවල පවත්වනු ලබන භාවනා ඇතුළු සියලු ආගමික කටයුතු සංවිධානය කැරේ.

බෞද්ධායතන ධර්ම විද්‍යාලීය සංවර්ධන සමිතිය මගින් සිංහල හා ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් පවත්වන දහම් පාසල හා ඊට අනුබද්ධ විවිධ කටයුතු සංවිධානය කැරේ.

වටරප්පල පොදු සහනසේවා මණ්ඩලය වටරප්පල හා තදාසන්න ප්‍රදේශවල වෛද්‍යසායන ආදී පොදු ජන සුබසේවා කාර්යයන් ඉටු කැරේ.

බෞද්ධායතන ප්‍රජා සේවා පදනම මගින් ආරාමයෙන් බැහැර පොදු ජනතාවට අවශ්‍ය විවිධ සේවාවන් සිදු කැරෙන සංවිධානයක් වේ.

තරුණ පිරිස ඒකරාශි කර පිහිටුවා ඇති යොවුන් ශක්ති පදනම භාවනා හා සංස්කෘතික අංගයන් ක්‍රියාත්මක කරමින් ජනතා යහපත සඳහා පොදු සේවාවන්හි නියැලී සිටිති. දරු දැරියන්ගේ සියලු අංශයන්හි ගුණාත්මක සංවර්ධනය අරමුණු කොට ප්‍රබුද්ධ ශිෂ්‍ය සංගමය පිහිටුවා ඇත.

මෙසේ පෙර පාසල් දරුවාගේ සිට වියපත් තැනැත්තා දක්වා බෞද්ධායතන ආගමික හා සාමාජික මෙහෙවර ව්‍යාප්තව ක්‍රියාශීලිව ක්‍රියාකරන විහාරස්ථානයකි ගල්කිස්සේ බෞද්ධායතනය.

විහාර මන්දිරය, දාන ශාලාව සංඝාවාසය, බෞද්ධ පුස්තකාලය සහිත තෙමහල් ධර්ම මන්දිරය, චෛත්‍යය, කියවීම් ශාලාව, බෞද්ධායතන ධර්ම විද්‍යාලයය ඇරැඹීම ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් දහම් පාසලක් ආරම්භ කිරීම බෝධි රෝපණය , බෝධි ප්‍රාකාරය සහිත දේව මන්දිරය, සිව්මහල් ධර්ම මන්දිරය ආදි සියලු විහාරාංගයන්ගෙන් බෞද්ධායතනය අංග සම්පූර්ණ වූයේ දිවියාගහ යසස්සි නාහිමියන් ගේ කාර්යශූරත්වය හා චාම් සරල දිවිපෙවෙත නිසාමය.

1935 ජනවාරි 02 වනදා මාතර දීයගහ ඩී.එන්. රත්නායක සහ ඒ .එල්.ඩී. ප්‍රැන්සිනා දම්පතීන්ට පින්බර පුත්රුවනක් ලැබිණි. මේ පින්බර කුමරා කල්ගතවත්ම දීයගහ බටහිර රජයේ විදුහලෙන් හා කඹුරුපිටිය ඊරියතොට රජයේ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබීය.

1947 ඔක්තෝබර් 8 වනදා මාතර පොල්හේනේ පුරාණ විහාරාධිපති ගණේගම අත්ථදස්සී නාහිමියන්ගේ හා මාතර දීයගහ බෝධිරුක්ඛාරාමාධිපති දිවියාගහ විපුලතිස්ස මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්විය.

මාතර ශ්‍රී සුදර්ශි පිරිවෙනින් මූලික පැවිදි අධ්‍යාපනය ලද උන්වහන්සේ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනින් හා විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූහ.

මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී 1955 දී අධිසිල් ලැබු දිවියාගහ යසස්සි හිමිපාණෝ 1962 දී මාතර ශ්‍රී සුදර්ශි පිරිවෙනෙහි ආචාර්ය මණ්ඩලයට එක්වූහ.

1962 දී රජයේ ගුරු පත්වීමක් ලැබූ දිවියාගහ යසස්සි හාමුදුරුවෝ හක්මණ කෝංගල මහා විද්‍යාලයේ හා මාතර පාලටුව ගුණරතන මහා විද්‍යාලයේද සේවය කළහ. අනතුරුව කඩුවෙල බෝමිරිය මහා විද්‍යාලයේද සේවය කළ උන්වහන්සේ 1970 ජූලි 28 වනදා කොළඹ ආනන්ද මහා විද්‍යාලයට පත්වීම ලදහ.

1986 දී ආනන්ද සියවස මහා පුණ්‍යෙීත්සවය සංවිධානය කළ උන්වහන්සේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ඪඪඪ ශ්‍රේණියේ විදුහල්පති තත්වය ලැබූහ. 1988 දී ආදි ආනන්දීය බෞද්ධ සංගමය ඇරැඹීමෙහි පුරෝගාමී මෙහෙවරක් උන්වහන්සේ සිදු කළහ.

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඉසුඹු ලැබූ උන්වහන්සේ රත්මලාන පිරිවෙන් අභ්‍යාස විද්‍යාලයේ අධිපතිධූරයට පත්වූහ. 1972 දී ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ලේකම් ධුරයට පත්වූ දිවියාගහ යසස්සි හාමුදුරුවෝ ඉන්දියාව, රුසියාව, මොංගෝලියාව, එංගලන්තය, ප්‍රංශය, ඕලන්දය, ජර්මනිය, ඉතාලිය, ස්විට්සර්ලන්තය, තායිලන්තය, තායිවානය, ඇමරිකාව, ජපානය, බුරුමය ආදි රටවලට වැඩම කරවන ලදී.

ලංකාව හා ආසන්න රාජ්‍යයෝ නමැති ග්‍රන්ථය පළ කළ දිවියාගහ යසස්සි හාමුදුරුවෝ සුනාමියෙන් විපතට පත්වූවන්ට මෙන්ම ආර්ථික වශයෙන් අපහසුතා ඇති අය වෙනුවෙන්ද නිවාස 13 ක් පමණ ඉදිකරවා පිරිනැමූහ.

2007 දී තම ඥාති සොහොයුරු මුලටියනේ පියදාස රත්නායක මහතාගේ නිවසෙහි මෙරට සිල්මාතා අභ්‍යාස ආයතනය පිහිටුවා එය විවෘත කරවීමට ද පුරෝගාමි වූ දිවියාගහ යසස්සි හාමුදුරුවෝ නිකායත්‍රයේම ගෞරවයට හා ප්‍රසාදයට පත් මහ තෙර නමකි.

ඉතා නිහතමානී චාම් සරල දිවිපෙවෙතට ඇලුම් කරන උන්වහන්සේ රටට, සමාජයට අධ්‍යාපනයට සිදු කළේ උදාර මෙහෙවරකි.

ඒ උදාර මෙහෙවර අගයමින් 1998 දී මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් ‘සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය ගෞරව නාමය සහිත කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමූහ.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සහ බෞද්ධායතනාධිපති දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේටත් සියලු දායකකාරකාදීන්ටත් ආශිර්වාද පතා පුණ්‍යෙීත්සව රැසක් සිදු කැරේ.

සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් අගතනතුරු සහ මහ සව් බව ලැබූ ශ්‍රාවකයෝ අසූනමක් වැඩ සිටියහ. අතීත ආත්මයන්නි විවිධ යහපත් ක්‍රියා කළ උන්වහන්සේලා උදෙසා දෙසැම්බර් 31 වනදා පස්වරු 6 සිට විශේෂ පූජාවක් සිදු කැරේ.

සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් බෞද්ධායතන ධර්ම විද්‍යාලීය සංවර්ධන සමිතිය මගින් ඉදිකරවන ලද තෙමහල් ධර්ම අධ්‍යාපන මන්දිරය විවෘත කිරීම ජනවාරි 2 වනදා පස්වරු 4 ට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් සිදු කැරේ.

එම උත්සවයෙහි මුලසුන සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් විසින් හොබවනු ලැබේ.

දුරුතු පුර අටවක

දුරුතු පුර අටවක පෝය 2011 දෙසැම්බර් 31 වනදා සෙනසුරාදා අපරභාග 10.40 ට ලබයි
2012 ජනවාරි 02 වනදා සඳුදා පූර්ව භාග 01.01 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 01 වනදා ඉරිදාය.

මීළඟ පෝය
ජනවාරි 08 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 01

Full Moonපසෙලාස්වක

ජනවාරි 08

Second Quarterඅව අටවක

ජනවාරි 16

New Moonඅමාවක

ජනවාරි 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]