දුරුතු පුර අටවක 2012 – 01- 01
කැඩපත කුමට ද?
“කැඩපත” ඉදිරියට යන තැනැත්තා එමඟින් සිදු කරන්නේ, බලන්නේ තමාගේ
ම රුව දෙස බැලීමය. විමසීම ය.
වෙසෙසින් ම තම මුහුණේ පෙනීමට, දැකීමට ඇති අඩුපාඩු කවරේදැයි
විපරම් කර බලයි.
තම මුහුණේ අන්‍යයන්ට දැකීමට, පෙනීමට ඇති අප්‍රසන්නතාවයන් ඉවත්
කර ගැනීමට එමඟින් පෙළෙඹෙයි.
දිනකට කී වරක් නම් කැඩපත ඉදිරියට ගොස් අඩුපාඩු විමසා බලයි ද? ඒ
අඩුපාඩු අඩු වැඩි තරමට ම කැඩපත ඉදිරියට යයි.
තමන් දෙස බලන අයෙක් තම මුහුණෙහි ඇති අඩුපාඩු දැකීමෙන් තමා වෙත
යම් පාඩුවක් වෙතැයි සිතන තරමට තමා තමන් වෙත ම විමසීම සොයා
බැලීම අගය කළ යුතු ය.
රුව බාහිරෙන් ශෝභාවත් කර ගැනීමට කෙතරම් නම් උත්සාහයක් දරයිද?
ඇතැම් විට වරලස පීරා විවිධ හැඩ වැඩ ගන්වයි. විවිධ සුවඳ ගල්වයි.
ඇසට, ඇහි බැමට විවිධ හැඩ ගන්වයි. විවිධ දේ ආලේප කරයි. ඒ විවිධ
හැඩ ගැන්වීම් කුමටද? කාටද?
ඒ තමාගේ රුව දෙස බලන දකින තමාට ම බැලීමට ය. එසේ නොමැති නම්
සමාජයට බැලීමට සහ දැකීමට ය.
යම් අයෙකු ශෝභාවත්ව සිටීම අගය කළ යුතු ය. ශෝභාවත් විය යුත්තේ
අලංකාර විය යුත්තේ බාහිර පෙනුමෙන් පමණක් ම නොවේ.
ඕනෑම අයෙකුගේ ජීවිතය බාහිර මෙන්ම අභ්‍යන්තර වශයෙන් ද ලස්සන විය
යුතු ය. ශෝභා සම්පන්න විය යුතු ය.
මල, පුෂ්පය සුවඳය. සුවඳවත් වූ මල ලස්සන වූ තරමට දකින, බලන හැම
දෙනාටම පි‍්‍රයමනාප වේ. පි‍්‍රයශීලී වේ.
මඩගොහොරුවක පිපෙන නෙළුම පවා ඒ මඩ ගොහොරුවෙන් ඉහළට එසැවී යයි.
බොදුනුවා ඉතා කැමැත්තෙන් හා ඕනෑකමෙන් ඒ නෙළුම සම්බුදු පුදට පවා
නෙළා ගනියි.
කෙතරම් මල් තිබුණද ඒ හැම මල බුදු පුදට ද නොගනී.
මල් අතර බොහෝ මල් සුගන්ධය පතුරයි. කලාතුරෙකින් මලක් දුගන්ධය
පතුරයි. කිඩාරං මල දුගඳ ය. ඒ දුගඳට පි‍්‍රය නොවේ.
ජීවිතය මලක් වැනි ය. ඒ මලක් වැනි ජීවිතය ලස්සන විය යුතු ය.
එමෙන් ම අලංකාර ද විය යුතු ය. එසේම සුවඳවත් විය යුතු ය.
ජීවිතයක් ජීවත් විය යුත්තේ, ජීවත් කළ යුත්තේ සුවඳ හමන මලක්
මෙන් සුගන්ධවත් වන්නට ය. ලස්සන මලක් මෙන් අලංකාර කරන්නට ය.
ශෝභාවත් කරන්නට ය.
එසේ වූ විට ඒ ජීවිතය කාටත් පි‍්‍රයශීලී වේ. ජීවිත අර්ථ සිද්ධිය
සලසා ගත්තා වේ.
හිමිදිරියේ රැය පහන් කළ මොහොතේ පටන් රෑ නින්දට යන මොහොත දක්වා
පමණක් නොව සුව නින්දක් පවා අපේක්‍ෂා කරන්නේ නම් ඒ දක්වා ද
කෙතරම් යුතුකම් සහ වගකීම් ඉටු කළ යුතුව ඇත්ද?
දම්වැලක පුරුක් මෙන් ජීවත් වන සෑම මොහොතක් පාසාම අප විසින් ඉටු
කළ යුතු වගකීම් හා යුතුකම් එකිනෙක ඉටු කළ යුතු නොවේද?
තම යුතුකම සහ වගකීම නිසි ලෙස හරිහැටි ඉටු නොකරන්නේ නම්
අයිතිවාසිකම් කෙසේ ලබා ගන්නේ දැයි මොහොතක් සිතා බැලිය යුතු
කරුණකි.
එක් එක් තැනැත්තා විසින් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් සිතා
මතා පැහැර හරින්නේ නම් ඒ තැනැත්තා අයිතිවාසිකම් පිළිබඳ කෙසේ
කතා කරන්නේ ද?
යුතුකම, වගකීම ඉටු කිරීම මිනිස්කමය. බෞද්ධකමය. උසස් ගුණ දහමය.
ගුණ දහමෙන් තොර ජීවිතය කිඩාරං මලක් මෙනි. යුතුකම, වගකීම පැහැර
නොහරින ජීවිතය හැම විට ආදර්ශවත් ය. සැමට ආශිර්වාදයකි.
බාහිර අලංකාරයට වැය කරන මුදල ජීවිතයක අධ්‍යාත්මික සුවය සඳහා
වැය කරන්නේ නම් යුතුකම, වගකීම සඳහා එය කැප කරන්නේ නම් මිනිස්කම
කෙතරම් නම් ලස්සන වේද?
ගෙවී ගිය කාලය දෙස බලා පසුතැවිලි විය යුතු නොවේ. එහෙත් උදාවන
හෙට දවස සැනසිල්ලේ ගත කළ යුතු නම් ගෙවී ගිය අතීතයේ දී අත පසු
වූ යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කළ යුතු බව අමතක නොකරන්න.
සුවඳ මල බුදු පුදට ගෙන එන්නාක් මෙන් ගුණ බර දිවි පෙවෙතක් ගත
කළහොත් ඒ දිවි පෙවෙතෙහි අඩු පාඩු කැඩපතෙන් අමුතුවෙන් නැරඹිය
යුතු නොවේ. එබැවින් අතපසුවීම් සිදුවීම සාමාන්‍ය ස්වභාවයකි.
සිතා මතා අතපසුවීම අගය කළ නොහැකි ය.
ඉකුත් වසරේ තම ජීවිතයෙන් යම් අතපසුවීමක්, අඩුපාඩුවක් සිදු වූයේ
නම් එය මඟ හරවා ගනිමින් නිවැරැදි ජීවිතයක් ගත කිරීමට අදිටන් කර
ගැනීම කාලෝචිත වේ. ලැබූ මිනිසත් භවයෙන් ඵල ලබාගත් අයකු වේ.
තෙරුවන් සරණයි. |