UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කරුණාවන්ත වෙද මහත්තයා

සම්ප්‍රදායික වෛද්‍යවරයාගේ ජීවිතය පුරාම දැකිය හැකි වැදගත් ලක්‍ෂණයක් වන්නේ අටලෝ දහමෙන් කම්පා නොවීමයි. ඔහු ලාභ ,අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක යන සියල්ල උපේක්‍ෂාවෙන්ම විඳ දරා ගත්තේය. ප්‍රශංසාව හා මුදල් ආදි ලාභයන් උදෙසාම කටයුතු නොකළේය. රෝගියාගේ සුවපත්භාවය ම බලාපොරොත්තු විය

බුදුදහම වනාහි ජාති, ජරා, ව්‍යාධි , මරණාදි රෝගයන්ට ඇති එකම ඖෂධයයි. එබැවින් බුදුරජාණන් වහන්සේ ‘බව දුකට වෙදාණන්’ යනුවෙන් හඳුන්වා තිබේ. උන්වහන්සේගේ ධර්මය මානසික ව්‍යාධියට මෙන්ම කායික ව්‍යාධීන් වලටද ඖෂධය කි.

සෞඛ්‍යය යනු මිනිසා විසින් ස්වකීය ව්‍යායාමයෙන් ඇති කරගනු ලැබිය යුතු තත්ත්වයක් බව බුදුන් වහන්සේ දේශනා කොට තිබේ. පාරම්පරික වෛද්‍යවරයාගේ කාර්යභාරය නිර්මාණය වීමෙහි ලා බෞද්ධ ජීවන වටපිටාව, සම්ප්‍රදාය එකඑල්ලේම බලපෑම් ඇති කරන්නට විය. බුදුදහමේ උගන්වන මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්‍ෂාව යන සතර බ්‍රහ්ම විහරණ වෛද්‍ය ක්ෂේත්‍රයට ඉතා වැදගත් ආචාරධර්ම සමූහයක් විය. තවද බොහෝ බෞද්ධ සූත්‍ර දේශනාවල ඇතුළත් වන උතුම් ගුණධර්ම අනුගමනය කිරීම සම්ප්‍රදායික වෛද්‍යවරයාගේ පෞරුෂය වර්ධනයට හේතුවිය. නිදසුන් වශයෙන් කරණීයමෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, මෙත්තානිසංස සූත්‍රය, මහාමංගල සූත්‍රය, මිත්තානිසංස සූත්‍රය හා සේඛියා ආදිය පෙන්වා දිය හැකිය. එහිදී නිවැරැදිව කටයුතු කිරීම, නිහතමානී බව කෙළෙහිගුණ සැලකීම, සුවච බව, කීකරු බව, ලද දෙයින් සතුටුවිය හැකි බව, නිරවුල් කර්මාන්තය, අඩුවැඩ ඇති බව, සැහැල්ලු ගති පැවැතුම් ඇති බව, බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව, ශිල්ප දැනුම, සිත මැනැවින් පිහිටුවා ගැනීම, සුදුසු ප්‍රදේශයක වාසය කිරීම, මත්පැන් පානයෙන් වැළැකීම, දන්දීම සහ ධම්මචරියාව ආදිය සාම්ප්‍රදායික වෛද්‍යවරයාගේ පෞරුෂය කෙරෙහි මහත් බලපෑමක් ඇතිකොට තිබේ. ඔවුන් නිතර මෙම සූත්‍රදේශනා ශ්‍රවණය කිරීම හා සාකච්ඡා කිරීම එයට හේතුවන්නට ඇත.

තවද සම්ප්‍රදායික වෛද්‍යවරයාගේ ජීවිතය පුරාම දැකිය හැකි වැදගත් ලක්‍ෂණයක් වන්නේ අටලෝ දහමෙන් කම්පා නොවීමයි. ඔහු ලාභ ,අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක යන සියල්ල උපේක්‍ෂාවෙන්ම විඳ දරා ගත්තේය. ප්‍රශංසාව හා මුදල් ආදි ලාභයන් උදෙසාම කටයුතු නොකළේය. රෝගියාගේ සුවපත්භාවය ම බලාපොරොත්තු විය. එමෙන්ම අපේ පැරැණි වෙද මහතා ආර්ය ධනයම උසස් කොට සැලකූ කෙනෙකි. ශ්‍රද්ධාව , සීලය, හිරිඔතප් බව, දන් දෙන බව සහ ප්‍රඥාව ආදි ගුණධර්ම ජීවිතයට වැදගත් වේය යන්න අවබෝධ කොට ගත් අයෙකි. එමෙන්ම වසල සූත්‍රයෙහි අන්තර්ගත වන කිපීම, වෛරය, ලාභ අපේක්‍ෂාවෙන් අකටයුතුකම්වල යෙදීම සහ අනුන් රැවටීම යනාදි වසල කරණ ධර්මවලින් ඉවත් වී කටයුතු කිරීම අතිශයින් වැදගත් වූ සාම්ප්‍රදායික සංස්කෘතික ලක්ෂණ බවට පත්වී තිබිණ.

සමාජයක යහපැවැත්මට එම සමාජයේ පුද්ගලයන්ගේ හා සමාජ සංස්ථාවන්හි කාර්යභාරය හා ක්‍රියාකාරිත්වය ඉතා වැදගත් වෙයි. සමාජයක සාමාජිකයකු වශයෙන් තම තමන් අතින් ඉටුවිය යුතු යුතුකම් පද්ධතියක් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. අපේ පැරැණි සමාජය තුළ බුදුරදුන් පෙන්වා දුන් එම ආචාරධර්ම, ගුණධර්ම ඉහළින් ක්‍රියාත්මක කිරීම නිසා සාම්ප්‍රදායික වෛද්‍යවරයා පමණක් නොව අනෙකුත් රැකියාවන්හි නිරතවන අය ද එම ගුණ ධර්ම අනුගමනය කොට තිබේ.

පන්සලට ගොස් වැඳුම් පිදුම් කරන්නට, වතාවත් කරන්නට විටෙක රෝගියා මෙහෙයවන්නේ වෛද්‍යවරයාය. දන් වැට පැවැත්වීමත්, දුගී මගී යාචක ආදීන්ට සහ තිරිසන් සතුන්ට ආහාරවලින් හා වෙනත් ආකාරයන්ගෙන් උපකාරවීමත් නියම කරනු ලබන චර්යා වේ. තවත් අයකුට බරපතළ රෝගයක් තිබේ නම් ඊට පිළියම් සලකා මරණයට නියම වූ සතුන් නිදහස් කරමින් අභයදානය දෙන්නේය.

මෙම සියලු කටයුතු වෙද මහතාගේ අනුදැනීම ඇතිව කරනු ලැබූ අතර රෝග සුවපත් කිරීම මුල්කරගෙන පාරම්පරික වෙදකම හා සම්බන්ධ වූ ප්‍රතිකාර ක්‍රම වේ. බුදුදහම හා සම්බන්ධ වූ මෙම චර්යාවන් අනුගමනය කිරීමෙන්, යම් පාපකර්මයක විපාක නිසා හට ගන්නා හා වැඩීමට පත්වන රෝගාබාධ වෙයි නම් ඒවා සමනය වීම සිදුවූ අතරම මානසික සුවය ඇතිවීම නිසා කායික නිරෝගී භාවයට කොහොමත් හේතු විය. එබැවින් මේවා අතිසාර්ථක ප්‍රතිකාර ක්‍රමවේ.

වෛද්‍යවරයකු, උපස්ථායකයකු තුළ තිබිය යුතු ගුණාංග රැසක් බුදුදහමේ උගන්වා ඇත. එමෙන්ම ප්‍රතිකාර කිරීමට සුදුසු, නුසුදුසු රෝගීන් ගැනද සඳහන් කොට තිබේ. රෝගියකුට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාට එම රෝගියාගේ දැනීමේ මට්ටම පිළිබඳ අවබෝධයක් තිබිය යුතුවේ. බුදුදහමේ ඉගැන්වෙන ආකාරයට, අඥාන රෝගියකුගේ ලක්ෂණ වශයෙන් හඳුනා ගැනෙන කරුණු කිහිපයක් උවටැනට දුෂ්කර ගිලනකුගේ ලක්‍ෂණ වශයෙන් දක්වා තිබේ. ඒවා මෙසේය.

1. රෝගයට අපථ්‍ය (අයෝග්‍ය වන) දෑ කිරීම
2. රෝගයට පථ්‍ය (යෝග්‍ය වන ) දැයෙහි පමණ නොදැනීම
3. නියමිත පරිදි බෙහෙත් නොපිළිගැනීම
4. සුවපත්භාවය කැමැත්තෙන් කටයුතු කරන ගිලානෝපස්ථායකයාට රෝග තත්ත්වය නිවැරැදිව පැහැදිලි නොකිරීම
5. ශාරීරිකව හටගන්නා දැඩි වූ වේදනා නොඉවසීම

මේ කරුණු පහෙන් යුතු වූ රෝගියාට උපස්ථාන කිරීම දුෂ්කර වේ. මෙවැනි කරුණු ඇසුරෙන් වෛද්‍යවරයාට රෝගියාගේ යථා ස්වරූපය හඳුනාගෙන, ප්‍රතිකාර කිරීමට සුදුසු අකාරයෙන් කටයුතු කළ හැකිය. එසේ නොමැතිව රෝගියා වැරැදි ලෙස හඳුනාගෙන නොමඟ ගොස් වැරැදි ප්‍රතිකාර කිරීමෙන් අනතුරු සිදුවිය හැකිය.

උපස්ථානයට යෝග්‍ය වන රෝගියකුගේ ලක්ෂණ ද පෙන්වා දී තිබේ.

1. රෝගයට හිත වූ ගැළැපෙන දේ කිරීම
2. රෝගයට හිත වූ ගැළපෙන දේවල පමණ දැනීම
3. නියමිත පරිදි බෙහෙත් පිළිගැනීම
4. රෝගය අඩු වැඩි වන අයුරු නිවැරැදිව උපස්ථායකයාට පැවසීම
5. ශරීරයේ ඇතිවන දුක්, කටුක වේදනා ඉවසිය හැකිවීම

එමෙන්ම ගිලානෝපස්ථානයට හෙවත් වෙදකමට සුදුසු පුද්ගලයාගේද නුසුදුසු පුද්ගලයාගේද ගතිගුණ උගන්වා තිබේ. රෝගීන්ට උපස්ථාන කිරීමට නුසුදුසු පුද්ගලයා කරුණු පහකින් යුක්ත වේ. ඒවා මෙසේය.

1. වෛද්‍යවරුන් විසින් නියම කරනු ලබන බෙහෙත් සකස් කිරීමේ දක්ෂ බව හා නුවණ නොතිබීම
2. රෝගියාට සුදුසු නුසුදුසු දැය නිවැරැදිව නොදැන, නුසුදුසු දෑ දෙයි. සුදුසු දෑ නොදෙයි.
3. යම්කිසි ලාභයක් බලාපොරොත්තුවෙන් රෝගියාට උපස්ථාන කරනු විනා මෛත්‍රි සිතින් රෝගියාට උපස්ථාන නොකරයි.
4. රෝගියාගේ මළ, මුත්‍ර , වමනය හා කෙළ ආදී අපවිත්‍රදෑ බැහැර කිරීමට පිළිකුල් වෙයි.
5. රෝගියා කාලයෙන් කාලයට ධාර්මික කතාවෙන් පැහැදවීමට අසමත් වෙයි.

ගිලනුන්ට උපස්ථාන කිරීමට සුදුසු පුද්ගලයා ද කරුණු පහකින් යුක්ත වේ.

1. වෛද්‍යවරුන් විසින් නියම කරනු ලබන බෙහෙත් සකස් කිරීමේ දක්ෂ බව හා නුවණ තිබීම
2. රෝගියාට සුදුසු නුසුදුසු දැය නිවැරැදිව දැන, නුසුදුසු දෑ නොදෙයි. සුදුසු දෑ දෙයි.
3. මෛත්‍රි සිතින් මිස ලාභයක් බලාපොරොත්තුවෙන් රෝගියාට උවටැන් නොකරයි.
4.රෝගියාගේ මළ , මුත්‍ර, වමනය හා කෙළ ආදි අපවිත්‍ර දෑ බැහැර කිරීම පිළිකුල් නොවෙයි.
5. රෝගියා කාලයෙන් කාලයට ධාර්මික කතාවෙන් පැහැදවීමට සමත් වෙයි.

මෙම කරුණු චිකිත්සක කාර්යය හැසිරවීමට අතිශයින්ම යෝග්‍ය වන අතර, එම ධර්මතා (norms) සහ අගනාකම් (Values) සාම්ප්‍රදායික වෙද ක්‍රමයේ මැනැවින් දක්නට ලැබේ. සාම්ප්‍රදායික වෛද්‍යවරයා පවට බිය වූ අතර, පිනට කුසලයට ලැදි වූවකු විය. තවද වෛද්‍යවරයා සමාජගත ප්‍රශ්න හොඳින් හැඳිනගත් අතර අන් අයගේ දුක සැප හැඳින ගනිමින් සමාජීය කටයුතුවලදී ප්‍රධානත්වයක් ගත් ගුණවත්, කාරුණික තැනැත්තෙකු විය. පැරැණි ලංකාවේ බෞද්ධ සංස්කෘතික බලපෑම එයට හේතුවී තිබේ. රජකම නැත්නම් වෙදකම යනුවෙන් ව්‍යවහාරයට පැමිණ ඇත්තේද එහි ඇති උසස් තත්ත්වය නිසාය. වෙද රජ (king physician) යන විරුදාවලිය ලැබූ රජවරු විශාල සංඛ්‍යාවක් ලංකා ඉතිහාසයෙන් හමුවෙති. බුද්ධදාස රජතුමා වැනි බෝසත් ගුණ පිරි, සතුන්ට පවා වෙදකම් කළ රජුන් ගැන අසන්නට ලැබීමත් වාසනාවකි.

මේ ආකාරයට බුදුදහම නිසා අපගේ සාම්ප්‍රදායික වෙදකම වටිනාකම් රාශියක් හිමි කරගෙන තිබේ. එම වටිනාකම් ගැන දැන ඉගෙන ඒවා අප තුළ වගාකරගත යුතුය. එසේම එම ගුණ දහම් අනාගත පරපුරට ද දායාද කළ යුතුය.

දුරුතු පුර අටවක

දුරුතු පුර අටවක පෝය 2011 දෙසැම්බර් 31 වනදා සෙනසුරාදා අපරභාග 10.40 ට ලබයි
2012 ජනවාරි 02 වනදා සඳුදා පූර්ව භාග 01.01 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 01 වනදා ඉරිදාය.

මීළඟ පෝය
ජනවාරි 08 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 01

Full Moonපසෙලාස්වක

ජනවාරි 08

Second Quarterඅව අටවක

ජනවාරි 16

New Moonඅමාවක

ජනවාරි 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]